සහරාන් හෂීම්ගේ ජංගම දුරකතනයේ ‘මදර්බෝර්ඩ්’ එකට සිදුවූයේ කුමක්ද? ඇමති දයාසිරි ජයසේකර ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සහරාන් හෂීම්ගේ ජංගම දුරකතනයේ ‘මදර්බෝර්ඩ්’ එකට සිදුවූයේ කුමක්ද? ඇමති දයාසිරි ජයසේකර ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

*********************************************

සහරාන් හෂීම්ගේ ජංගම දුරකතනයේ ‘මදර්බෝර්ඩ්’ එකට සිදුවූයේ කුමක්ද? ඇමති දයාසිරි ජයසේකර ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

(29.09.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

2019 පාස්කු ඉරිදා මෙරට කතෝලික පල්ලි කිහිපයක් සහ තරු පන්තියේ සංචාරක හෝටල් ගණනාවක් ඉලක්ක කර ගනිමින් සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිත කළ ජංගම දුරකථනයේ ‘මදර් බෝර්ඩ්’ (motherboard) එක ඇතුලු කොටස් ‘විදෙස් ඔත්තු සේවාවක්’ විසින් රැගෙන යනු ලැබීම පිලිබඳව රජය විසින් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙම සිදුවීමට අදාළ අල ගිය මුල ගිය තැන් සහ මහා මොළකරුවන් එවැනි පරීක්ෂණයක් හරහා පමණක් සොයා ගත හැකි බවටයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඊයේ (28) කුරුණෑගලදී පවතී වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියා :

“පාස්කු ප්‍රහාරයට අදාලව දැන් කතා කරන්නේ දේශපාලන වශයෙන් පහර දෙන්න පුළුවන් කට්ටිය ගැන. මෛත්‍රී ජනාධිපතිතුමාව අල්ලගන්න බලනවා. බුද්ධි අංශේ නිලධාරින් අල්ලගන්න බලනවා. විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරින්ට ගිහිල්ලා ‘වෙපන්’ එකක් අරන් කාටවත් වෙඩි තියන්න බෑ. ඔවුන් කරන්නෙ තොරතුරු සපයන එක පමණයි.

දැන් කවුරුත් කතා කරලා තියෙනවාද සහරාන්ගේ ෆෝන් එකේ තිබිච්ච ‘මදර් බෝඩ්’ එක කවුද ගත්තේ? කියලා.

උසාවිය නියෝගයක් දුන්නා, ඒක අරගෙන යන්න වෙනත් රටකට. බෝම්බේ ගහපු මිනිහගේ ෆෝන් එකෙනේ තියෙන්නෙ සියලු දේවල් ටික.

ඒ ෆෝන් එකේ මදර් බෝඩ් එක අරන් ගියේ ඔත්තු සේවාවක් විසින්. ලංකාවේ පොලිසියයි, අධිකරණයයි ඒකට ඉඩ දෙනවා කියන්නේ, එහෙමනම් ඉස්සල්ලා මහමොළකරු හොයන්න වෙන්නේ ඒ බෝඩ් එක අරන් ගිය කෙනත් එක්ක කතා කරලා.

ඒ විතරක් නෙවෙයි, ඒකට අවසර දුන්න උසාවිය මොකද්ද, පොලිසිය කවුද, අණ දුන්න දේශපාලඥයෝ කවුද කියලත් හොයලා බලන්න. එතකොට පුළුවන් ඔක්කොම හොයාගන්න.

ඒ නිසා නිකන් හිටපු ජනාධිපතිතුමාටත්, මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරුන්ටත් බැනලා තේරුමක් නෑ. එහෙමනම් පටන් ගන්න ඕනෙ ශ්‍රී මහා බෝධියට ගහපු තැන ඉඳලා.

ඒ ගහපු කාලේ හිටපු ජනාධිපතිවරු, මහ බැංකුවට ගහපු වෙලාවේ හිටපු ජනාධිපතිවරු – මේ සියලු දෙනාට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගන්නවා. මොකද හේතුව ඒකත් නොසැලකිල්ලක් කියලයි අපිට කියන්න පුළුවන්.

ජනාධිපතිතුමාව බලෙන් පහ කිරීමත් දේශපාලන කුමන්ත්‍රණයක්. ඒක කළේ මෛත්‍රී ජනාධිපතිතුමා අපේ මහින්ද මැතිතුමාව ගෙනල්ලා අගමැතිවරයා විදියට පත් කළාට පස්සෙ. ඒ හින්දම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා උසාවි තීන්දුවක් එනකන්, අගමැතිකමින් ඉවත් වෙලත් යන්නැතුව හිටියේ. ඒ තරම් විශ්වාසයක් තිබුණා. ඒ නිසා මේක මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

පාස්කු ප්‍රහාරය එල්ල කළ වුන්ට හැකි උපරිම දඬුවම් දෙන බව පවසමින් ඒ හරහා බලයට පැමිණි මෙම රජය මේ දක්වාත් එම කර්තව්‍යය ඉටු කිරීමට සමත් වී නැති බවට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික ප්‍රජාව දැඩි චෝදනාවක් නගනවා.”

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ ආකාරයේ නවතම චෝදනාවක් ඔහු තනතුරු දරන රජයටම එල්ල කරන්නේ මෙවන් පසු පසුබිමක් යටතේයි.

රාජ්‍ය අමාත්‍යවරයා නගන මෙම චෝදනාවේ ඇත්ත නැත්ත සොයා බැලීම හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අතිශය වැදගත් කරුණු රැසක් හෙළිකර ගැනීමට අවස්ථාව සැලසෙන බවටයි ආරක්ෂක විශේෂඥයින් සඳහන් කරන්නේ ෴

******************************************

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර

(29.09.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala)

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතය ද අවම කිරීමට හැකිවනු ඇති අතර මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇති බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳව ද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට ද පියවර ගැනෙනු ඇති.

ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථානවල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙහිදී භාරදී තිබෙනවා.

මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා වූ බව සඳහන්.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒ සඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා ෴

******************************************

දත්ත මැකුනු හැටි අහන්න මන්ත්‍රී මනූෂ හෙට (30) සී අයි.ඩි.යට කැඳවයි

(29.09.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර හෙට (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මෙම දත්ත මැකීයාම පිළිබද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා තොරතුරු දන්නා බව අනාවරණය වී ඇති බවත් ඒ අනුව එම කරුණු අනාවරණය කරගැනීම සදහා මන්ත්‍රීවරයා කැදවන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ සථානාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ හෙට (30) පෙරවරු 09:30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

යම් ලෙසකින් එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඩුවම් ලබාදිය හැකි බවද එම ලිපියේ දක්වා තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, ඒ අතරම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියා විසින් ද පැමිණිල්ලක් ගොනු කර ඇතැයිද මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් ෴

******************************************

ආනයන සීමා හැකිතාක් ලිහිල් කරන්න අගමැතිගෙන් මහබැංකු අධිපතිට උපදෙස්

(29.09.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමාවන් අවම කර ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට දැනුම් දී තිබෙනවා.

ඒ හරහා අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ වන විට සීමාවන්ට යටත් කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වන සීමාවන් හැකිතාක් ලිහිල් කරන ලෙසයි.

ඇතැම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පන්වා ඇති සීමාවන් හේතුවෙන් මේ වන විට කුඩා ව්‍යාපාරිකයින් සහ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පෙන්වා දෙන ග්‍රමාත්‍යවරයා මහ බැංකු බැංකු අධිපතිවරයාට දන්වා ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීමට වහාම කටයුතු කරන ලෙසයි.

ඒ අනුව ලිහිල් කළ හැකි සීමාවන් සහ සීමාවන් ලිහිල් කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකිරීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළකල බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

සුදුලූණු විමර්ශනයත් රහස් පොලීසියටම

(29.09.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

සුදුලූණු වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් ලෙස විමර්ශනය කරන ලෙසයි.

මෙම සිද්ධියට අදාළව දැනට සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු වන ලංකා සතොස ආයතනයේ මූල්‍ය අංශයේ සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරා ඇප මත මුදා හැර තිබෙනවා ෴

******************************************

වී මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට හැකියාවක් නැහැ – අමාත්‍ය මහින්දානන්ද

(29.09.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

වී මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට හැකියාවක් නොමැති අතර, එය සිදුකරනු ලබන්නේ රජය විසින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඒ, මහ පරිමාණ වී මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන ඊයේ (28) සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පෙරේදා (27) තීරණය කළ නමුත්, ඊට අදාළ ගැසට් නිවේදනය මේ දක්වා නිකුත් කර නැහැ.

කෙසේ වෙතත්, ඊයේ (28) මාධ්‍ය හමුවක් කැදවමින් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, මෝල් හිමියන් ඉදිරියේදී සහල් සහ වී අලෙවි කරන නව මිල ගණන් ප්‍රකාශයට පත් කළා.

ඔහුගේ ප්‍රකාශයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වා සිටියා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට මෙරට සහල්වල මිල තීරණය කළ නොහැකි බවයි.

අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහල් අලෙවි වූයේ ඩඩ්ලි සිරිසේන ඊයේ (28) ප්‍රකාශ කළ මිල ගණන් යටතේයි.

මේ අතර කිරිපිටි ලබාගැනීම සඳහාද දිවයිනේ ප්‍රදේශ රැසකම පෝලිම් දක්නට ලැබුණා.

එසේම නිෂ්පාදන කටයුතු සිදුකරගැනීම සඳහා ප්‍රමාණවත් සිමෙන්ති වෙළඳපොල තුළ නොමැති බවටද පුද්ගලයින් මෙන්ම වෙළඳසැල් හිමියන්ද පවසනවා.

***************************************

එල්ලේ ක්‍රීඩකයා ඝාතනයට ලුතිතන් කර්නල්වරයෙකු අත්අඩංගුවට

(30.09.2021 – 07:08 +0530 – hirunews.lk/sinhala)

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ලුතිතන් කර්නල්වරයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබළුන් 13 දෙනෙකු සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාම නිලධාරිනිය ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

පසුගිය අගෝස්තු මස 20 වැනි දා මෝදර කාකදූපතට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා තිබූ අතර, ඝාතනයට ලක් වූ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය – සමිට් පුර ග්‍රාම නිලධාරිනිය ද ඒ වනවිට තම ස්වාමි පුරුෂයා අතුරුදන් ව ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබුණා.

පසු ව අනාවරණ වුණේ, හමු වූ මළ සිරුර මෙම කාන්තාවගේ සැමියා වන තොටළඟ – අරුණ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ බවට යි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ – උතුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකය විමර්ශනයක් ආරම්භ කළා.

පසු ව හෙළිවුණේ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ ගැමුණුහේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත බුද්ධි නිලධාරියෙකු වන කෝප්‍රල්වරයෙකු සමග අනියම් සබදතාවක් පවත්වා ඇති බවයි.

ඒ අනුව අදාළ කාන්තාව මුලින් අත්අඩංගුවට ගැනුණු අතර එහි දී ඇය විසින්, අදාළ බුද්ධි නිලධාරියා ඇතුළු හමුදා සාමාජිකයින් පිරිසක් විසින් තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වන දා යුද හමුදා රථයකින් මෙලෙස පැහැර ගැනුණු මිය ගිය එල්ලේ ක්‍රීඩකයාගේ සිරුර කළු ගල් පිරවූ බෑගයක ගැට ගසා මෙම හමුදා සාමාජිකයින් පෑලියගොඩ – කළු පාලමෙන් කැලණි ගඟට දමා තිබෙනවා.

ඝාතනයට පෙර කාන්තාව සමග අනියම් සබදතා පැවැත්වූ යුද හමුදා බුද්ධි නිලධාරියා ඔහු සේවය කරන හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා දැනුවත් කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවෙකු හමුදා නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් සිටින බවටයි.

ඒ අනුව ඔහුව ඝාතනය කිරීමට එම කදවුරේ අණ දෙන නිලධාරියා ද අනුබල දී ඇති බවට බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වුණා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන පිරිස ප්‍රකාශයට පත් කෙරේ

(29.09.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 60 ට වැඩි අය, අවුරුදු 30-60 අතර ලෙඩ රෝග සහ ආබාධවලින් පෙළෙන අය, පිළිකා සහ වකුගඩු රෝගීන්, සෞඛ්‍ය ඇතුළු ප්‍රමුඛ පෙළ සේවකයන්ට 3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 685 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,16,209 ක් වනවා ෴

++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 61 ක්

(29.09.2021 – 18:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 61 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,847 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (28) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 36 ක් සහ පිරිමින් 25 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (28) තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 14 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 05 ක් සහ පිරිමින් 09 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 31 ක් සහ පිරිමින් 16 ක් මෙම මරණ 61 අතර වනවා ෴

++++++++++++++++++

එන්නත් දෙකම (2) ගත්, මත්පැන් පානයෙන් තොර අයට විවාහ උත්සව පැවැත්වීමට අවසර ?

(29.09.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (29) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මූලස්ථානයේ දී පැවැත්වුණා.

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.

මෙහිදී දෙපාර්ශ්වය අතර පවතින නීතිරීති සීමා යටතේ නැවතත් විවාහ මංගල උත්සව පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා.

එහිදී පවතින කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඉඩ ලබා දිය හැකි අවම අමුත්තන් සංඛ්‍යාවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙමින් විවාහ මංගල උත්සව ආරම්භ කිරීමට දෙපාර්ශවයෙන්ම එකඟතාව පල වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම පවත්වනු ලබන විවාහ මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොරව පැවැත්වීමටත් මෙම සාකච්ඡාවේදී එකඟ වී ඇති අතර විවාහ මංගල උත්සව සඳහා සහභාගි විය හැක්කේ පූර්ණ එන්නත්කරණය සදහා භාජනය වු අයට පමණක් වන ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශන සැකසීමටත් එහිදි වී එකඟතාව පළ වී තිබෙනවා.

එමගින් වයස අවුරුදු 20–30 සීමාවේ සිටින තරුණ පරපුර එන්නත්කරණය සදහා දිරිමත් කිරීමත් මෙහි එක් අරමුනක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා කුඩා හා මධ්‍ය පරිමාණ විවාහ සේවා සපයන්නන්ගේ සංගමය සමග එකඟ වූ මෙම ඉල්ලිම් ජනාධිපති කාර්යසාධක බලකායට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *