උසස් පෙළ කඩඉම් ලකුණු සති දෙකකින් (2)

උසස් පෙළ කඩඉම් ලකුණු සති දෙකකින් (2)

*********************************************

උසස් පෙළ කඩඉම් ලකුණු සති දෙකකින් (2)

(29.09.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

වයස අවුරුදු 20 ත්, 30 ත් අතර සිසුන්ට එන්නත් ලබා දී අවසන් කිරීමට රජය ලබන මාසය අවසන් වීමට පෙර කටයුතු සූදානම් කර ඇති බැවින් නොවැම්බර් සිට විශ්වවිද්‍යාල විවෘත කිරීමට හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා කඩඉම් ලකුණු සති දෙකකින් (2) නිකුත් කරන බව ද සභාපතිවරයා කියා සිටියා.

මේ අතර, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම්, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අදියර හතරකින් (4) පාසල් විවෘත කිරීමට සූදානම වන බවත් එය ඔක්තෝම්බර් අවසන් වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පළමු (1) අදීරයේ දී ළමුන් 200 ට අඩු පාසල් වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ආරම්භ කිරීමටත් , දෙවන (2) අදියර ලෙස ළමුන් 200 ට අඩු සියලු පාසල් විවෘත කිරීමටත්, තුන්වන (3) අදීරයේ දී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි ආරම්භ කිරීමටත් අවසන් අදීරයේ දී සියලු පාසල් විවෘත කිරීමටත් අපේක්ෂා කර බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ෴

******************************************

යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට

(29.09.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව – හල්පිට ප්‍රදේශයේ දී තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

යුද හමුදා කර්නල්වරයා ගමන් ගත් මෝටර් රථයෙහි පැති කණ්ණාඩියෙහි තරුණයා ගමන් ගත් යතුරුපැදිය ගැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පදනම් කර ගනිමිනුයි මෙම පහරදීම සිදු ව ඇත්තේ.

ඊයේ (28) හල්පිට ප්‍රදේශයේ දී සිද්ධියට අදාළ ව චෝදනා එල්ල වී ඇති යුද හමුදා කර්නල්වරයා තරුණයා ගමන් ගත් යතුරුපැදිය පසුපස ගොස් නවතා මහමඟ ඔහුට පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී යුද හමුදා කර්නල්වරයා විසින් තරුණයාට දැඩි ලෙස පහර දුන් බවට ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

පසු ව කැස්බෑව පොලීසිය, අදාළ යුද හමුදා කර්නල්වරයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත්තේ තරුණයා සමග ඇති කර ගත් එකඟතාවක් හේතුවෙන්.

තරුණයාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බවට යුද හමුදා කර්නල්වරයා විසින් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පසු ව පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ යතුරුපැදිය පැද වූ පහර කෑ තරුණයාට රියදුරු බලපත්‍රයක් ද නො මැති බව යි.

******************************************

කාකපල්ලියේ කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර වසර 3 කට පසු සොයා මෙහෙයුම්

(29.09.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 100 කට වැඩි දේපළ ලබා ගැනීමේ අරමුණින් මිතුරන් දෙදෙනෙකු (2) විසින් හලාවත – කාකපල්ලිය කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව හලාවත කලපුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තුන්දෙනා (3) ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර කලපුවට දමා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සමන් විජේසිරි නැමති මෙම කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ, 2018 වසරේ ඔක්තෝම්බර් මස 13 වනදායි.

වසර 3 කට පසු සිද්ධිය පිළිබදව යළි කතාබහට ලක්වන්නේ මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු සහ ඔහුගේ සේවකයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු (1) සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු සැකකරුවන් විසින් නීතිඥවරයෙකුගේ සහාය ලබාගෙන ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් ඔහුගේ දේපළ පවරාගෙන විකුණා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයා විදෙස්ගත වී ඇති බවට ඇඟවීම සඳහා ඊට අදාළ තොරතුරු ද ගුවන් තොටුපළේ දත්ත ඒකකයට ව්‍යාජ අන්දමින් ඇතුළත් කිරීමට ද කටයුතු කර ඇති බවට සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.

ඒ සඳහා සහය ලබාදුන් අනෙක් පුද්ගලයින් ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

******************************************

වරායේ සිර වූ බහාලුම් 800 න් 400 ක් එළියට

(29.09.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය තුළ සිර වී තිබූ අත්‍යාවශ්‍ය ආහාර සහිත බහලුම් 800 න් 400 ක් පමණ මේ වන විටත් නිදහස් කර ඇති බව වාර්තා වනවා.

ඒවා නිදහස් කර ගැනීම ප්‍රමාද වී තිබුණේ පැවති ඩොලර් හිඟය හේතුවෙන්.

කෙසේ වෙතත්, පසුගිය දා අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, කඩිනමින් ඒවා නිදහස් කරන ලෙසට යි.

ඒ අනුව බහලුම් නිදහස් කිරීමට අවශ්‍ය ඩොලර් සංචිත නිකුත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් ආහාර ආනයනයකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ මහ බැංකුව තවදුරටත් ඩොලර් ලබාදුනහොත් ඉතිරි බහලුම් තොගය ද නිදහස් කරගැනීමට හැකියාව ලැබෙන බවයි.

මේ අතර, රජය විසින් සහල් ආනයනය කිරීමට ගත් තීරණයත් සමග කඩිනමින් එම සහල් තොග මෙරටට ගෙන්වා ගැනීම සදහා තානාපති කාර්යාල හරහා මේ වන විට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා ෴

******************************************

කොළඹ වරායේ බහාලුම් සඳහා ඩොලර් නිදහස් කෙරෙයි

(29.09.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමඟ වෙළදපළ තුළ අවශ්‍ය තරම් සහල් පවතින බව තොග වෙළදුන් පවසනවා.

පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ ආර්ථික ගැටලු පවතින මොහොතක සහල් මිල ඉහළ යාම දරා ගැනීමට නො හැකි බවයි.

එසේම පවතින මිලට සහල් තොග මිල දී ගෙන සිල්ලර මිලට අලෙවි කිරීමට යාමේ දී තමන්ට පාඩු සිදු වන බව සිල්ලර වෙළදාමේ නිරත පිරිස් පවසනවා.

කෙසේ වෙතත්, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පාලන මිල ඉවත් කළ ද අසාධාරණ ලෙස සහල් විකිණීමට ඉඩ ලබා නො දෙන බවයි.

එසේම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ද අද (29) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ මහා පරිමාණ මෝල් හිමියන් සහල් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

ගොවි සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක් ද අද (29) මාධ්‍ය හමු කැදවා තිබූ අතර ඔවුන් ප්‍රකාශ කළේ, සහල් අර්බුදය පාලනය කර ගැනීමට නො හැකි වූ විෂය භාර අමාත්‍යවරුන් ඉල්ලා අස්විය යුතු බවයි. ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්‍රානන්ද ද සිල්වා, පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ඩී.කේ.ඩී. විජේරත්න සහ මහනුවර දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නිශාන්ත අත්තනායක යන මහත්වරු එම මාධ්‍ය හමුවට එක් ව සිටියා.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් නිදහස් කරගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් රාජ්‍ය බැංකු දෙකක් (2) වෙත නිදහස් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

එසේ ම අවශ්‍ය නම් තවත් මුදල් එලෙස නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ බහලුම් 800 ක් පමණ සිරවී තිබූ අතර, මේ වනවිට ඉන් 400 ක් පමණ නිදහස් කර ඇති බව ද සඳහන් ෴

******************************************

තීරු බදු නො ගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි දොළොස් දහසක් (12,000) සොයාගැනෙයි

(29.09.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව අද (28) වන දින අංක 230, පරණ යෝන් වීදිය, කොළඹ 12 ලිපිනයේ දී නිවසක් තුළ ගබඩා කර තිබූ දුම්වැටි දොළොස් දහසක් (12,000) සමඟ වයස අවුරුදු 43 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හත් ලක්ෂ අසූ දාහසකට (7,80,000) අධික වටිනාකමකින් යුක්ත බව පැවසෙනවා.

අදාළ සැකකරු හා දුම්වැටි තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත බාර දී ඇති බවයි වාර්තා වෙන්නේ ෴

***************************************

යාත්‍රාව කැඩී මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින් සිව් දෙනෙකු (4) බේරා ගැනෙයි – දිවි රැකගෙන ඇත්තේ අමු කැස්බෑ මස් කාලා

(29.09.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

සිය ධීවර යාත්‍රාවේ මතු වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මාස 4 කට ආසන්න කාලයක් මහ සයුරේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින් සිව් දෙනෙකුගේ (4) ජීවිත ගලවා ගන්නට බේරුවලින් මුහුදු ගිය ‘බීනු 5’ යාත්‍රාව සහ තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමත් වී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 08 වැනි දා බහුදින ධීවර යාත්‍රාවලින් ධීවර කර්මාන්තය සඳහා බේරුවලින් දියත් කෙරුණු මෙම ධීවර යාත්‍රා දෙකට (2) ගැඹුරු මුහුදේ දී අදාල සෝමාලියානු ධීවර යාත්‍රාව පාවෙමින් තිබිය දී හමු වී තිබෙනවා.

මෙම යාත්‍රාවේ සිටි සෝමාලියානු ධීවරයින් තමන් බේරා ගන්නා ලෙස දිගින් දිගට ම සිදු කළ ඉල්ලීම් හමුවේ ඔවුන් සිය යාත්‍රාවට සහ අනෙක් යාත්‍රාවට ගොඩ කරගත් බව ‘බීනු 5’ බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා කියා සිටියා.

සති තුනකට (3) මදක් වැඩි කලක් ඔවුන් රැක බලා ගෙන ඊයේ (28) රාත්‍රියේ බේරුවල ධීවර වරායට රැගෙන ආ මේ දෙදෙනා (2) වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ බේරුවල පොලීසියට භාර දීමට කටයුතු කර තිබෙනවා.

ඊයේ (28) මෙලෙස බේරා ගත් ධීවරයින් දෙදෙනකු (2) එක් බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන ආ අතර අනෙක් ධීවරයින් දෙදෙනා (2) සිටින යාත්‍රාව බේරුවල ධීවර වරායට පැමිණීමට නියමිත ව ඇත්තේ තවත් දින කිහිපයකට පසුව යි.

ඊයේ (28) මෙලෙස පැමිණි සෝමාලියානු ධීවරයින් දෙදෙනා (2) විෂබීජහරණය කිරීමෙන් අනතුරු ව නිරෝධාන කටයුතු සඳහා පිටත් කර යැවීමට නියමිත යි.

මෙම ධීවරයින් බේරාගැනීමේ කාර්යයට මැදිහත් වූ ‘බීනු 5’ ධීවර යාත්‍රාවේ ස්කීප‍ර්වරයා කියා සිටියේ, අදාළ සෝමාලියානු ධීවරයින් වයස අවුරුදු දහ අටත් තිහත් අතර (18-30) වයසේ පසුවන්නන් බවයි.

සිය ධීවර යාත්‍රාව කාර්මික දෝෂයකට ලක් වීමෙන් පසු මාස හතරකට (4) ආසන්න කාලයක් ඔවුන් ගැඹුරු මුහුදේ පාවෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම කාලය තුළ දී සිය ධීවර යාත්‍රාව අසලට පැමිණෙන කැස්බෑවුන් අල්ලාගෙන ඔවුන්ගේ මස් ඉරාගෙන කමින් ඔවුන් ජීවිතය රැක ගත් බව තමන් සමඟ පැවසූ බවයි බීනු 5 ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයා සඳහන් කළේ.

අදාළ ධීවරයින් ආධාර ඉල්ලමින් නිකුත් කළ සංඥා අනුව සිය ධීවර යාත්‍රාව ඒ අසලට යාත්‍රා කළ බවත් එහි දී එහි සිටි ධීවරයින් තමන් බෙර ගන්නා ලෙස කන්නලව් කළ බවත් ඔහු කියා සිටියා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මෙරටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට පනවා ඇති නීති ලිහිල් වෙයි

(29.09.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (28) වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 932 ක් දක්වා පහළ බැස තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,15,524 ක් ලෙසයි.

එමෙන්ම මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය සහ විදේශීය ගුවන් මඟීන් සඳහා නව මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, නව මාර්ගෝපදේශවලට අනුව ඕනෑ ම ගුවන් මඟියෙකු පූර්ණ එන්නත්කරණයට ලක් ව සති දෙකක් (2) ඉක්ම ගොස් ඇත්නම් සහ ඔවුන් පැමිණෙන රටේ පැය 72 කට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු නො වන්නේ නම් මෙරට දී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වීම අනවශ්‍ය බවයි.

මෙම ක්‍රමවේදය කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ දෙක (2) සඳහා ම ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (28) පැවති සාකච්ඡාවක දී මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නො වූ විදේශිකයන්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබාදෙන බවත් එහි දී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළා.

එහෙත් ලාංකිකයන්ට ගුවන් තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මඟින් ආසාදිතයෙකු නො වන්නේ නම් ඔවුන්ව නිවෙස් කරා යොමු කෙරෙනවා.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයකින් ද ආසාදිතයෙකු නො වන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නො මැති පිරිස් වෙත රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ ඔවුන් විසින් තෝරාගන්නා ලද හෝටලයක දී දින 14 ක් නිරෝධායනය වී සමාජගත විය හැකියි.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මියයනවිට ඔහු 45 හැවිරිදි වියේ පසුවුණා.

එමෙන්ම ඊයේ (28) නව ආසාදිතයන් 932 කු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,15,524 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 46,651 ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,56,087 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ (28) තහවුරු කරන ලද නව මරණ 55 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,786 ක් දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++

දිවයිනට පැමිණෙන පිරිස් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

(29.09.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමේ දී විදේශ අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නො වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මෙරටට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් වෙනුවෙන් ඊයේ (28) නිකුත් කළ නව මාර්ගෝපදේශවල අදාළ කරුණු ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක් වූ දෙස් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද පුළුල් ලෙස එම මාර්ගෝපදේශවල කරුණු ඇතුළත්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *