ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

*********************************************

ආරක්ෂාව ගැන නාවික හමුදාවෙන් දේවස්ථානයකට තොරතුරක්

(28.09.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ජාඇල – බෝපිටිය – ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙස නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ දැනුවත් කර තිබෙනවා.

එම දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමන් ප්‍රකාශ කළේ අද (28) පස්වරුවේ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් යළි පැමිණ එය නිවැරදි කළ බවයි.

අද (28) පෙරවරු 10:05 ට පමණ නාවික හමුදා නිලධාරීන් පිරිසක් කැබ් රථයකින් දෙව් මැදුරට පැමිණෙන ආකාරය එහි සී සී ටී වී දර්ශනවලද සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ දේවස්ථානයේ පියතුමා ඉන් බැහැරට ගොස් සිට ඇති අතර, දේවස්ථානයේ සිටි සේවිකාවකට නාවික හමුදා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ පවතින බවයි.

දේවස්ථානයට එලෙස පැමිණි නාවික හමුදා නිලධාරියාට දේවස්ථානයේ ජයන්ත නිමල් පියතුමා දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසීමක් සිදුකර තිබුණා.

නාවික හමුදාවේ නිලධාරින් ලබාදී තිබු අදාළ පණිවුඩය සම්බන්ධයෙන් දේවස්ථානයේ පියතුමා කොළඹ අගරදගුරු මැදුරෙන්ද විමසීමක් කර තිබුණා.

පෙරවරුවේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් පැමිණ ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බවට සිදුකළ ප්‍රකාශය වැරදීමකින් සිදුවූවක් බවත්, එය, නිවැරදි කිරීමට කටයුතු කරන බවත් අද (28) පස්වරුවේ උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ තමාට ප්‍රකාශ කළ බවයි ජයන්ත නිමල් පියතුමා කියා සිටියේ.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගෙන් අප මේ පිළිබඳව විමසා සිටියා.

ඔහු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එය ආරක්ෂක වැඩපිළිවෙලක එක් කොටසක් බවයි.

කෙසේ වෙතත් දේවස්ථානයට පැමිණි නිලධාරීන් අතින් අවශ්‍ය ප්‍රමාණයට වඩා කරුණු ප්‍රකාශ වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දේවස්ථානයේ පියතුමා ප්‍රකාශ කළ පරිදි උස්වැටකෙයියාව නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් දේවස්ථානයට පැමිණ නිවැරදි කර ඇත්තේ අදාළ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉදිරිපත්වූ කරුණු බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ.

******************************************

හෙට (29) ජල කප්පාදුවක්

(28.09.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

‘විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය’ මගින් ප්‍රධාන ජල නළ මාර්ගයට කන්දෙගෙදර ටැංකිය සහ උඩුගම ජල ටැංකිය සම්බන්ධ කිරීම හේතුවෙන් 2021-09-29 වනදා බදාදා (හෙට) දින පෙරවරු 08:00 සිට පස්වරු 06:00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජාල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ උඩුගම, පළාපත්වල, දොස්තරවත්ත, දුංකළවත්ත, මකුලුගහරූපප, සාප්පුවත්ත, සමන්දාව, කිරිගල්පොත්ත, නිකවල B සහ C කොටස, මාතලේ මහා නගර සභා සිමාව, A–9 මාර්ගය, තැන්න, උඩුපිහිල්ල, අලුවිහාරය, කලුදෑවල, කොටුවේගෙදර, කුඹියන්ගොඩ, මණ්දණ්ඩාවල, රත්තොට පාර, අගලවත්ත, පාරාවත්ත, කිවුල හා විහාරපාර වේ.

මේ හේතුවෙන් පරිභෝහිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටු වන බවත්, මෙම කාලය අතරතුර ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලූ වැලි ජාවාරම

(28.09.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ සීනි සමාගමට අයත් භූමියක බලපත්‍ර නීති උල්ලංගණය කරමින් ඇළ ඉවුරුද කපා දමමින් සිදුකරන වැලි ජාවාරමක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළිකරගත්තා.

අද (28) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

කන්තලේ සීනි සමාගමට අයත් සීත බුබුල, යාය 17 ප්‍රදේශයේ ඇති ඇළ මාර්ගයක් වනසමින් කලක පටන් සිදු කෙරෙන මහාපරිමාන වැලි ජාවාරමක් පිලිබදව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙලිකරගත්තා.

ඒ අනුව විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුර වෙත සිදුකල දැනුම් දීමකින් පසු අප අදාළ ස්ථානය වෙත ලගා වුණා.

******************************************

නාරාහේන්පිට අත් බෝම්බයේ සැකකරුට හිටපු LTTE සාමාජිකයෙක් පුහුණුව ලබාදී ඇතිබව හෙළිවෙයි

(28.09.2021 – 19:37 +0530 – sinhala.adaderana.lk)

නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක් තුළින් අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අද (28) තවත් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගත්තේය.

ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලිහි පදිංචි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

රෝහලේ බෝම්බය තැබූ සැකකරු පවසා ඇත්තේ බෝම්බය ලබාදුන් එම පුද්ගලයා බෝම්බ තැබීම ගැන තමාට දින 6 ක පුහුණුවක් ද ලබාදුන් බවය.

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී අත් බෝම්බයක් සොයා ගැනුනේ පසුගිය 14 වනදා ය.

බෝම්බයේ ආරක්ෂක ඇණය ගලවා එය දැල්වෙන මදුරු දඟරයක අමුණා පුපුරායන ලෙස සකස්කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පළමු සැකකරු පාපොච්චාරණයකර තිබුණේ ඒ ගැන පොලිසියට දන්වා තෑගි මුදලක් ලබාගැනීමේ අරමුණින් තමා එම අත්බෝම්බය රෝහලේ තැබූ බවය.

කොළඹ විජේරාම මාවතේ අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියා කටයුත්තකට එක්වූ අවස්ථාවක එම නිවසේ තිබී එම බෝම්බය හමුවූ බවත් ඔහු පවසා තිබුණි.

නමුත් රාජ්‍ය බුද්ධි සේවය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් කරුණක් හෙළිවී තිබේ.

ඒ, දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම සැකකරුගේ මුදල් අවශ්‍යතාව ප්‍රයෝජනයට ගෙන බෝම්බයක් පුපුරුවාහැරීමට තවත් පුද්ගලයෙකු උත්සාහකර ඇති බවය.

ඒ ඔස්සේ පළමු සැකකරුට අත් බෝම්බය ලබාදුන් බව පැවසෙන පුද්ගලයෙකු විමර්ශකයන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්, ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේම පදිංචි එම පුද්ගලයා සොයා අද (28) මෙහෙයුමක් අරඹන්නේ රෝහලේ අත් බෝම්බය තැබූ තැනැත්තා ද සිය භාරයේ රඳවා ගනිමිනි.

ඒ අනුව විමර්ශකයන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අනාවරණ වන්නේ 40 හැවිරිදි එම සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවය.

ඔහු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අධීක්ෂණය යටතේ තිබූ ‘ඉම්රාන් පාණ්ඩියන් බලකායේ’ සේවයකර ඇති බවත් විමර්ශකයින් හෙළිකරගෙන තිබේ.

රෝහලේ බෝම්බය තැබූ පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පුද්ගලයා තමාට අත් බෝම්බය ලබාදී උප්පුවේලි ප්‍රදේශයේ හින්දු කෝවිලක් පිටුපස කැලෑබද භූමියකට තමාව රැගෙනගොස් අත් බෝම්බය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මූලික පුහුණුවක් ද ලබාදුන් බවය.

එම පුහුණුව දින 6 ක් සිදු කළ බවත් එහිදී ගිනි අවිවල ඡායාරූප පෙන්වා ඒ පිළිබඳව තොරතුරු රැසක් ද පැවසූ බවත් ඔහු පවසා තිබේ.

එලෙස මුලික පුහුණුවක් ලබාදුන් බව පැවසෙන භූමිය පිළිබඳව ඔහු අද (28) විමර්ශකයින් ට තොරතුරු ලබාදුනි.

කෙසේ වෙතත් මෙම ප්‍රධාන සැකකරුට අත්බෝම්බය ලබාදුන්නේ අද (28) අත්අඩංගුවට ගත් පුද්ගලයාමද, නැතහොත් සැකකරු පෙර ප්‍රකාශ කළ පරිදි අමාත්‍යවරයෙකුගේ නිවසින් මෙම බෝම්බය ලබාගත්තේද යන්න සම්බන්ධයෙන් විමර්ශකයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.

******************************************

NMRA දත්ත මැකීම – මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

(28.09.2021 – 18:30 +0530 – sinhala.adaderana.lk)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් එම දත්ත පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (28) පෙරවරු 11:00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ‘එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා දිවුලපිටියේ, වැල්ලපිට පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් (මෘදුකාංගයක්) සකස් කර එම දත්ත මකා දමා ඇති බවය.

දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවය.

මූලික ප්‍රශ්න කිරීම්වලදී අත් වැරදීමකින් එම විධාන යොමු කළ බව එම ඉංජිනේරුවරයා ප්‍රකාශ කළද පසුව කළ පරීක්ෂණවලදී එය එසේ නොවන බව හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

කුමන අරමුණකින් එම දත්ත මකා දැමීම සිදුකළේද යන්න පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඩිජිටල් සහ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා විසින් අද (28) පෙරවරුවේ සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට (29) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

******************************************

නිවැසියන් රවටා රන් භාණ්ඩ සහ ලැප්ටොප් පරිගණකය සොරාගත් යකැදුරා

(28.09.2021 – 17:05 +0530 – sinhala.adaderana.lk)

ශාන්ති කර්මයක් සිදුකිරීමේ මුවාවෙන් රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා රන් භාණ්ඩ හා දේපළ වංචා කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

තලංගම, හෝකන්දර, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම පියාගේ අසනීපය සුව කිරීම සඳහා මිතුරෙකුගේ මාර්ගයෙන් ලබාගත් තොරතුරක් මත පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දේවාලයකට මැයි මස 18 වනදා ගොස් තිබේ.

ඒ අනුව දේවාලයේ පූජකයා විසින් එම පුද්ගලයාට පවසා ඇත්තේ, පියාට හා ඔහුට යක්ෂයෙකු ආරූඪ වී ඇති බවය.

එම තත්ත්වය නැති කිරීමට නම් ශාන්ති කර්මයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා පසුව මැයි 22 වන දා අදාළ පුද්ගලයාගේ නිවසේ දී එය සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

ශාන්ති කර්මය පවත්වන අවස්ථාවේ දී ආරූඪ වු පුද්ගලයා නිවැසියන්ට ප්‍රකාශ කර ඇත්තේ, නිවසේ ඇති රන්භාණ්ඩ එම නිවසෙහි පැවතීම නිවසට සාපයක් බවත් දළදා මාළිගාවට පුජා කළ යුතු බවත්ය.

එමෙන්ම නිවෙස් ඇති නවීන පරිගණකය ද ඔවුන් විසින් භාවිත කිරිම සුදුසු නොවන බවත් ඒ සියල්ල හේතුවෙන් වැඩ කටයුතු අඩාල වන බවත් යකැදුරා පවසා තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 4 ක් වටින රන්භාණ්ඩ හා රුපියල් 250,000 ක් වටින ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද යකැදුරා විසින් ඔහුගේ වාහනයට දමන ලෙසට පවසා ඒ සියල්ල රැගෙන නිවසින් බැහැරව ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (27) දින තලංගම පොලීසියට ලද තොරතුරක් මත එයට අදාළ 21 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි යකැදුරෙක් පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයන් 743 ක් සුවය ලබයි

(28.09.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 743 ක් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයන් ගණන 4,56,087 දක්වා ඉහළ යනු ලබනවා ෴

+++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 55 ක්

(28.09.2021 – 17:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 55 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,786 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 26 ක් සහ පිරිමින් 29 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (27) තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 06 ක් සහ පිරිමි පුද්ගලයන් 05 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 20 ක් සහ පිරිමි පුද්ගලයන් 19 ක් මෙම මරණ 55 අතර වනවා ෴

+++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතන් 642 ක්

(28.09.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතන් 642 ක් වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,15,237 ක් බවට පත්වුණා ෴

+++++++++++++++++++

පූර්ණ එන්නත්කරණය ලත් දෙස්-විදෙස් මගීන්ට සුබ ආරංචියක්

(28.09.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ලබන මස පළමුවනදා (01) සිට මෙරටට එන පූර්ණ එන්නත්කරණය ලත් දෙස්-විදෙස් මගීන්ට ගුවන්ගත වනවිට කළ PCR පරීක්ෂාවෙන් ආසාදිතයෙකු නොවේ නම්, යලි මෙරටදී PCR පරීක්ෂාවකට ලක් නොවී පිටවීමට අවසර හිමිව වී තිබෙනවා.

මේ අතර මෙරටට පැමිණීමට සති දෙකකට (2) පෙර දෙවැනි (2) කොවිඩ් එන්නත ලබා ගත්, සංචාරකයින් පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ ප්‍රතිඵලයෙන් කොරෝනා ආසාදිතයෙක් නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන් හට මෙරට තුළට නිදහසේ ඇතුළු විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ, අදාළ වැඩපිළිවෙල ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙක (2) තුළ අද (28) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවයි.

මෙරට තුළ සංචාරයේ නියැලීමට බලාපොරොත්තු වන විදෙස් සංචාරකයින් දිරිමත් කිරීම සඳහා අදාළ පියවර ගත් බවටයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++

කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා වැළඳීමෙන් ජිවිතක්ෂයට

(28.09.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ජීව ජයසිංහ මහතා කොරෝනා වැළඳීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදරු පියෙක් වන මොහු මිය යන විට 55 වන වියේ පසු වුවා.

කොරෝනා වැළඳී සුවවී නිවසට පැමිණ නිවසේ සිටියදී නැවත මොහුට අසාධ්‍ය වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

++++++++++++++++++

පොදු ප්‍රවාහනය සිදුකරන්නේ කෙසේ ද?

(28.09.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රට යළි විවෘත කිරීමෙන් පසු පොදු ප්‍රවාහනය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදුන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඔක්තෝම්බර් 01 වන දා සිට රාජ්‍ය සේවකයින් සියළු දෙනා සේවයට කැදවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි රජය ප්‍රකාශ කළේ.

මේ අතර, අද (28) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 642 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

එසේම ඊයේ (27) දිනයට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) නව මරණ 55 ක් තහවුරු කළ අතර, ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 12,786 ක් ලෙසයි.

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 290 ක්

(28.09.2021 – 21:03 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 290 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,15,524 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *