යෝෂිත රාජපක්ෂට ඇප – රට ගමන් තහනම්

යෝෂිත රාජපක්ෂට ඇප – රට ගමන් තහනම්


යෝෂිත රාජපක්ෂට ඇප – රට ගමන් තහනම්

(17.06.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (17) නියෝග කළා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයට නියම කළා.

අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් කෙරුණා.

ඉකුත් 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය හට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රමවේදයට පරිභාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගිවීමට අවස්ථාව සලසා ගැනීම තුළින් ‘දූෂණය’ වරදට ආධාර අනුබල දීම යන චෝදනාව මත නාවික හමුදාවේ හිටපු නාවික හමුදා නිලධාරියෙකු වූ යෝෂිත කණිෂ්ක රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

එවකට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනා විසින් කරන ලද කුමන්ත්‍රණයක් මත සති 2 ක් ඇතුළත රජයට රු. හැට දෙලක්ෂ අසුහතරදාහස් දෙසිය දහඅටක පාඩුවක් කරමින් බ්‍රිතාන්‍ය රාජකිය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවට සුදුසුකම් නොමැතිව මෙම සැකකරු සහභාගී වී ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ ෴

+++

+++

+


අත්අඩංගුවට ගන්නැතැයි පොරොන්දු වෙන්න බෑ.. විනිසුරුවෙක් ඉවත් වේ.. ගෝටාගේ බලාපොරොත්තුව කල් යයි..

(17.06.2026 – lankacnews.com)

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම හෙට (18) දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) තීරණය කළේය.

මෙම පෙත්සම අද (17) පස්වරු 01:30 ට සලකා බැලීමට නියමිතව තිබුණද, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නිසි පරිදි සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් එය හෙට (18) දින දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකරුවන්ගේ උපදෙස්වලින් තොරව පොරොන්දුවක් දිය නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අද (17) අධිකරණයට දැනුම් දුන්නාය.

පාස්කු ප්‍රහාර විමර්ශන හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් ඊයේ (16) ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියාය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී දැනුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් වහාම අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අදාළ නඩු ලේඛන තමන් වෙත ලැබුණේ අද (17) උදෑසන බැවින් වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව සඳහන් කළාය.

වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් නොලැබුණද, පෙත්සම්කරුව අත්අඩංගුවට නොගන්නා බවට ස්ථාවර ප්‍රකාශයක් (ප්‍රතිඥාවක්) දීමට නීතිපතිවරයාට බලය ඇති බව රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. එහෙත්, නිසි උපදෙස් ලබා ගැනීමකින් තොරව එවැනි වගකීමක් අධිකරණය හමුවේ බාරගත නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැවතත් අවධාරණය කළාය ෴


බලශක්ති අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙක් (3) ලෙස පෙනී සිටි සැකකරුට ඇප

(17.06.2026 – newstube.lk)

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙකු (3) ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘සුදේශ් නලින්ද අල්විස්’ නැමැති සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේය.

නඩු දෙකකට (2) අදාළව ඇප මත මුදා හරින ලද සැකකරු රුපියල් ලක්ෂ 50 මුදල් ඇපයක් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරිණි.

සැකකරු මාස තුනකට (3) අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම ඇතුළු සුවිශේෂී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝග නිකුත් කළේ ය.

ආයතන ගණනාවකින් අවස්ථා 21 දී රුපියල් ලක්ෂ 22 අධික මුදලක් බැර වී ඇති බවත් ATM යන්ත්‍ර මගින් බැර කර ඇති මුදල් සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිමිවරුන් දෙනම (2) ඇප මත මුදා හැර ඇත ෴


පොලිසියට පහර දෙයි.. අමතර බල ඇණි කැදවයි..

(17.06.2026 – lankacnews.com)

හැටන් කොටගල නගරයේ විවාහ උත්සව ශාලාවකදී (17) දින පස්වරුවේ දෙපිරිසක් ඇති වූ ගැටුමක් වැලැක්වීමට ගිය දිඹුල පතන පොලිසියේ පොලිස් නිළධාරින් පිරිකට පහර දී තුවාල සිදු කර ඇත.

තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කොටගල නගරයේ පිහිටි උත්සව ශාලාවක (17) දින විවාහ උත්සවයක් පවත්වා ඇති අතර, එහිදි එම විවාහ උත්සවයට පැමිණි බීමත්ව සිටි දෙපිරිසක් අතර පස්වරු ගැටුමක් අති වී ඇත.

එම ගැටුම සමතයකට පත් කිරිමට ගිය පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරින් දෙදෙනාට (2) එම දෙපිරිසම එකතු වී පහර දී තුවාල සිදු කර ඇත.

එම පොලිස් නිළධාරින් බේරා ගැනීමට දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිළධාරින් පිරිසක් පැමිණ ඇති අතර, එම නිළධාරින්ටද පහර දී ඇති බවත්, එහිදි පහරදීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (3) දැඩි පරිශ්‍රමයක් දරා දිඹුල පතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දිඹුල පතන පොලිසියේ නිළධාරින්ට පහර දෙන බව දුටු කොටගල නගරයේ ප්‍රදේශවාසීන් එම පහර දීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අල්ලා දිඹුල පතන පොලිසිය වෙත භාර දී ඇත.

ගැටුමට සම්බන්ධ සහ තිදෙනෙකු (3) සහ පහර කෑමට ලක් වූ පොලිස් නිළධාරින් දෙනෙකු (2) කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.

කොටගල නගරයේ ඇති වූ ගැටුමත් සමග කොටගල නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවති අතර, කොටගල නගරයේ ආරක්ෂාව උදෙසා තලවකැලේ ලිදුල සහ නානුඔය යන පොලිස් ස්ථාන මගින් කොටගල නගරයට අමතර පොලිස් බලඇණි කැදවා ඇත.

රංජිත් රාජපක්ෂ

+++

+


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ශ්‍රී මහා බෝධිය හදිසියේම පරීක්ෂා කරයි (17.06.2026)

+


සිංහල බෞද්ධයා අනතුරක – බලංගොඩ කස්සප හිමි (17.06.2026)

+


ඩෙංගු මරණ 27 දක්වා ඉහළට – සෞඛ්‍ය අංශවලින් රතු එළි

(17.06.2026 – hirunews.lk)

ඩෙංගු වෛරසය වසංගතයක් බවට පත්වෙමින් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක කියා සිටියේ, පසුගිය වසරටම වාර්තා වූ ඩෙංගු රෝගීන් හා මරණ ප්‍රමාණය මේ වනවිට වාර්තා වී ඇති බවයි.

ඒ අනුව, 2026 වසරේ මේ දක්වා ඩෙංගු මරණ 27 ක් සිදුව තිබෙනවා. ගෙවුණු සති කිහිපය පුරා රෝගයේ සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඊයේ (16) වනවිට දිවයිනෙන්ම වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,807 ක්.

ඉන් සියයට 51 ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

එම සංඛ්‍යාව 22,002 ක්.

මේ වනවිට ක්‍රියාත්මක ඩෙංගු සතියේ තුන්වන (3) දිනය අදයි.

ඒ අනුව අදත් නාගරික ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු සහ පරීක්ෂා කිරීම සිදු වනවා.

ලබන 20 වැනිදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක අතර හෙට (18) දිනයේ පාසැල්, පෙර පාසැල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලු‍ම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමට නියමිතයි.

ලබන 19 වැනිදා පිරිසිදු කිරීමට නියමිතව ඇත්තේ සියලු‍ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍රයි.

ජුනි 20 වැනිදා පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍ර පිරිසිදු කිරීමට වෙන් කර තිබෙනවා.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *