සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

*********************************************

සහල් මෝල් හිමියන් සහල් සිල්ලර මිල නිවේදනය කරයි

(28.09.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් මින් ඉදිරියට වෙළදපළේ සහල් අලෙවි කරන මිල ගණන් අද (28) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 115 කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 140 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 165 කටත් අලෙවි කරනු බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

මීට පෙර රජය විසින් කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 95 කටත්, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත්, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 103 කටත් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 125 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

සහල් වර්ගයපෙර මිල කිලෝවක් රු.පසු මිල කිලෝවක් රු.
නාඩු98115
සම්බා103140
කීරි සම්බා125165
කැකුළු95

කෙසේ වෙතත් ඊයේ (27) රැස්වූ අමාත්‍ය මණ්ඩල අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කළ අතර සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1,00,000) වහාම ආනයනය කිරීමටයි තීරණය කළේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ එම තීරණවලින් අනතුරුවයි මහා පරිමාණ වී මෝල් හිමියන් පොළොන්නරුවේදී අද (28) මාධ්‍ය හමුවක් කැදවමින් නව සහල් මිල ගණන් ප්‍රකාශයට පත් කළේ.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කියා සිටියේ ඉදිරියේදී ගොවීන්ගෙන් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 62.50 කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 70 කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 80 කටත් මිලදී ගන්නා බවයි.

කෙසේ වෙතත්, සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ද අද (28) පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියා සිටියේ සහල් සඳහා කඩිනමින් උපරිම සිල්ලර මිලක් යළි පැනවීමට කටයුතු නොකළහොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

සහල් ආනයනය කිරීමට ගත් තීරණය අත්හිටුවන ලෙස මාධ්‍ය හමුවට එක්වෙමින් ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, අද (28) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් පාරිභෝගික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ ප්‍රධාන පෙළේ මෝල් හිමියන් ප්‍රකාශයට පත් කළ මිල ගණන් සාධාරණ නොමැති බවයි.

******************************************

පිටි හිඟයෙන් බේකරි හිමියන් අසීරුතාවක

(28.09.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් සිය නිෂ්පාදන සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පිටි මිල ඉහළ යන බවට වාර්තා වීමත් සමග ඇතැම් සමාගම් පිටි සඟවා ඇති බවත්, රජයේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ වන විට වෙළඳපළේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87 කට අලෙවි වන අතර, ඇතැම් පිටි සමාගම් එය රුපියල් 107 දක්වා ඉහළ දමා ඇති බව ද එම සංගමය සඳහන් කළා.

මෙලෙස පිටි හිඟවීමත් සමඟ ඇතැම් ප්‍රදේශවල බේකරිවල නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බවට ද වාර්තා වනවා.

කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබූ නමුත් ඊයේ (28) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල අද (28) දිනයේදීත් කිරිපිටි මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

******************************************

සී.අයි.ඩී.ය ලංකාදීපයට එයි

(28.09.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරින් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) උදේ පැමිණි තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන කතුවරයා දැනුම් දීම නිසා, එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේ ම පිටව ගිය බවයි වාර්තා වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිට ව ගියේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමින්.

ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර තිබුණේ, පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ තුෂාන් ගුණවර්ධන මහතා විසින් පළ කරන ලද අදහසක්.

සතොස සුදුලූනු වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීම විහිළු සහගත මෙන් ම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ තර්ජනයක් බවයි මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ.

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද මෙම සිද්ධිය සම්බන්ධ ව අදහස් පළ කළා.

******************************************

යොහානි ද සිල්වාගේ අලුත් ගීතය

(28.09.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයට ද පිවිසී තිබෙනවා.

මේ වන විටත් ඉන්දියානු ශ්‍රාවකයින්ගේ අවධානය දිනාගත් යොහානි, ‘Shiddat’ බොලිවුඩ් චිත්‍රපටයේ තේමා ගීතයේ ස්ත්‍රී අනුවාදය මේ වන විට නිකුත් කර තිබෙනවා.

Yohani – Shiddat Title Track (Official Female Version) | Manan Bhardwaj

++++++++

Shiddat Title Track (Video) Sunny Kaushal, Radhika Madan, Mohit Raina, Diana Penty | Manan Bhardwaj

******************************************

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්දියට පුද්ගලයෙකු අත්අඩංගුවට

(28.09.2021 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අධිකාරියේ දත්ත ගබඩාව පවත්වාගෙන යනු ලැබූ පෞද්ගලික සමාගමේ දත්ත ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු හෙට (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මීට පෙර දත්ත ගබඩාව නඩත්තු කළ අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාව අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇප මත මුදා හැරුණා ෴

******************************************

කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආධාර රැසක්

(28.09.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (28) දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබාදීමට එකඟතාව පළ වී තිබෙනවා.

ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, ගණිත සහ භාෂා සංවර්ධනය, තාක්ෂණික සංවර්ධනය සහ මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා රජයට ආධාර ලබාදීමට එකඟත්වය පළකර තිබෙන්නේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා ‘ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම’ මැයෙන් වන ව්‍යාපෘතිය යටතේ ගුරු පුහුණුව සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04 ක් ක්‍රියාවට නැංවීම,‍ පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම් , පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම සහ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ආදී ක්‍රියාකාරකම් ගණනාවක් එම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිත බව අවධාරණය වී තිබෙනවා ෴

******************************************

ඇවිදින මංතීරුවේ කටයුතු නතර කරන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් සංදේශයක්

(28.09.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කර ඇති ඇවිදින මංතීරුවේ කටයුතු නතර කරන ලෙස ඉල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ සහ ඒකාබද්ධ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (28) උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයාට, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයාට සංදේශයක් භාරදුන්නා.

පොළොන්නරුව නව නගරයේ ධර්මපාල පිළිරුව අසළ සිට ඔවුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරය වෙත මෙලෙස පා ගමනින් පැමිණියේ මෙම මංතීරුව සඳහා අනුමැතිය ලබාදීමට පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වන බවට වාර්තා වීමත් සමඟයි.

අදාළ පිරිස එම ස්ථානයට පැමිණීමේදී උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත්, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ශ්‍රවණාගාරය තුළ රැදී සිටියා.

කෙසේ වෙතත්, භික්ෂූන් වහන්සේ සහ ගොවි සංවිධාන නියෝජිතයින් සංදේශය භාරදීමට ගිය අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවුණේ වගකිව යුතු නිලධාරියෙකු නොවන අයෙකු සංදේශය භාර ගැනීම සදහා පැමිණ සිටීම හේතුවෙන්.

අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල එම ස්ථානයට පැමිණ සංදේශය භාරගත් අතර, පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් හමුවී ඔහුට ද සංදේශය භාරදීමටයි අදාළ පිරිස කටයුතු කළේ.

******************************************

සුදුලූණු වංචාවට අත්අඩංගුවට ගත් දෙදෙනා (2) යළි රිමාන්ඩ්

(28.09.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස ආයතනයේ සිදුව ඇති සුදු ලූණු වංචාවට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා (2) ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තැරැව්කරුවන් දෙදෙනෙක් (2).

මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි ලංකා සතොස ආයතනයේ මූල්‍ය අංශයේ සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරා මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.

සුදු ලූණු කිලෝග්‍රෑම් 56,000 ක් සහිත බහලුම් දෙකක් (2) අවසරයකින් තොරව තුන්වන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 17 වනදා හිරු ප්‍රවෘත්ති අනාවරණ කළා.

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එවකට විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද ‘හිරු හාඩ් ටෝක්’ සමඟ අදහස් දක්වමින් මේ පිළිබඳ අනාවරණයක් කළේ එවන් පසුබිමකයි.

මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම අනුමත නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා. ඒ, අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේදි මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (28) අදාළ පුවත්පත් ආයතනය වෙත පැමිණියා.

ඒ, එම පුවත්පතේ ප්‍රධාන කතුවරයාගෙන් සහ ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට පුවත්පත් ප්‍රධාන කතුවරයා දැනුම්දීම නිසා එම විමර්ශන නිලධාරීන් අදාළ පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ, ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා වෙනත් දිනයක නැවත පැමිණෙන බවට දැනුම් දෙමින්.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මාධ්‍ය නිදහසට එරෙහි තර්ජන පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාධ්‍යවේදීන් කැඳවීම, මාධ්‍ය භූමිකාවට කළ අනිසි තර්ජනයක් ලෙස සළකන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ෴

******************************************

දයාසිරි, යළි මහඇමති වීමට කැමැත්තෙන්

(28.09.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

පක්ෂය විසින් දැනුම්දීමක් කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තමන් වයඹ මහ ඇමති ධුරය සදහා යළි තරඟ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

කුරුණෑගල – සමූපකාර ශ්‍රවණාගාරයේ අද (28) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

++++++

කොළඹ 10, ඩාලි පාරේ පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා පුද්ගලික සමාගමකට පවරා දීමෙන් පසු එම සමාගම විසින් නීතිවිරෝධී ලෙසට තවත් පුද්ගලික සමාගමකට එම ඉඩම පවරා දී තිබියදී නිවාස සංවර්ධන අධිකාරිය පසුගියදා සිය භාරයට ගත් අතර ඒ සම්බන්ධයෙන් අදාල පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණා.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ අද (28) එම පෙත්සම සලකා බැලුනු අතර එය ඔක්තෝබර් 15 වෙනිදා නැවත පෙත්සම සලකා බැලීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *