යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන

යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන

*********************************************

යාල ජාතික වනෝද්‍යානයට යාබද අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි කිරීම සම්බන්ධ විමර්ශන

(28.09.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයට යාබද වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 30 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙකු හෝටලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දැනට මාසයක පමණ කාලයක සිට මෙම ප්‍රදේශය හෙළි පෙහෙළි කිරීම් සිදු කෙරෙන බවයි.

අදාළ වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ කපා දමන ලද ගස් යොදාගනිමින් හෝටලයේ ඉදිකිරිම් සිදුකර ඇති ආකාරය ද එහි ගිය හිරු වාර්තාකරුට නිරීක්ෂණය වුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වසරකට මාස 3 ක කාලයක් මෙම භූමි ප්‍රදේශවල හේන් ගොවිතැනේ යෙදෙන පුද්ගලයින්ට වන සංරක්ෂණ නිලධාරීන් දැඩි නීති පනවා ඇති බවයි.

ඒ අනුව අඩි පහකට වඩා උස කිසිදු ගසක් කැපීමට බලධාරීන්ගෙන් අවසර හිමි නො වන බවයි ඔවුන් කියා සිටියේ.

එවන් පසුබිමක අදාළ වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ දැවැන්ත ගස් කපා දමා ඇති අතර, කුඹුරු අක්කර 50 කට ආසන්න ප්‍රමාණයකට ජලය සැපයෙන සියඹලාගස් වැවට ජලය සැපයෙන ඇළ මාර්ගය ද හරස් කරමින් නීති විරෝධී ලෙස වැවක් ඉදි කිරීමට ද කටයුතු කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා ෴

******************************************

ආනයන සීමා ගැන කර්මාන්ත අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර සාකච්ඡාවක්

(28.09.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමා පනවා තිබීම හේතුවෙන් කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමට ඇති ගැටලුව පිළිබඳ ව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මහබැංකු අධිපතිවරයා අතර ඊයේ (27) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජූනි මාසයේ ආනයන සීමා ඉවත් කර කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වාගැනීමේ දී එම කර්මාන්තකරුවන්ට ණයවර ලිපි විවෘත කරගැනීමේ දී මතුවන ගැටලු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් ව ඇති බවයි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම ලෝහ ආශ්‍රිත කර්මාන්ත ඇතුළු තවත් කර්මාන්ත කිහිපයකට පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයේ එම සාකච්ඡාවේ දී ඉල්ලීමක් සිදු කර ඇති අතර, ඒ පිළිබඳ ව සමාලෝචනයක් සිදු කර අනුමැතිය ලබාදීමට ද එකඟතාව පළ ව තිබෙනවා ෴

******************************************

කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

(28.09.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

වී හැර අනෙකුත් බෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කර ලබාදීමට රජයේ පොහොර සමාගම් දෙකට (2) අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

පසුගිය මැයි මස තීරණය කෙරුණේ, වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක (2) විසින් ද අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර බලපත්‍රලාභී පොහොර සමාගම් හරහා ආනයනය කිරීමටයි.

කෙසේ වෙතත් අනෙකුත් බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොර ව තරගකාරී මිල ගණන් යටතේ සැපයීම සඳහා යි ඒවා ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට (2) ද අවසර ලබාදීමට කටයුතු කර ඇත්තේ ෴

******************************************

අන්තරායකර රැකියා පිළිබඳ පනත සංශෝදනය කෙරෙයි

(28.09.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීම නියාමනය කිරීමට සහ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වෙනවිට ක්‍රියාත්මක වෙන්නේ 1956 අංක 47 දරන පනතයි.

එහි ඇතැම් වගන්තිවල සංශෝදන කිහිපයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තීරණය වී තිබෙනවා.

ඒ අනුව 2021 ජනවාරි මාසයේ සිට ළමයින් සේවයේ යෙදවීමේ අවම වයස සීමාව අවුරුදු 16 දක්වා ඉහළ යනු ඇති.

මේ වෙනවිට වයස අවුරුදු 16 ත් 18 ත් අතර තරුණ අයට අන්තරායකර යැයි නම් කෙරුණු රැකියා 51 ක් පවතින අතර, නව සංශෝදනය යටතේ එය 71 ක් දක්වා පුළුල් වී තිබෙනවා.

එයට රූපලාවන්‍ය, පරිගණක, ඉලෙක්ට්‍රෝනික හා ගෘහ සේවය යන ක්ෂේත්‍රවලට අයත් කාලීන වශයෙන් අන්තරායකර නව රැකියා විස්සක් (20) ඇතුළත් ෴

******************************************

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි රජයෙන් ප්‍රකාශයක්

(28.09.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැති වීම බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද චෝදනා කළා.

එලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනු යි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ ෴

******************************************

මත්තල ගුවන්තොටුපොළ ගුවන් ගමන් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙළක්

(28.09.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් මෙම ගුවන්තොටුපොළ වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන දින සිට ගුවන්තොටුපොළ විගමන බද්ද වසර දෙකක (2) කාලයක් සඳහා සම්පූර්ණයෙන් ම නිදහස් කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

තව ද වසර හතරක (4) කාලයක් සඳහා ගුවන් යානා ගොඩ බැස්සීම හා නැවතුම් ගාස්තු සඳහා වට්ටම් ප්‍රදානය කිරීමටත් මේ යටතේ තීරණය වී ඇති බව වාර්තා වෙනවා ෴

******************************************

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පිළිබඳ චිත්‍රාසුමන මෝටර්ස් වෙතින් නිවේදනයක්

(28.09.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, චිත්‍රාසුමන මෝටර්ස් ආයතනයෙන් ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ මෝටර් රථයක් මිල දී ගැනීමක් සම්බන්ධ පුවතක් මේ දිනවල පැතිර යනවා.

ඒ සම්බන්ධ ව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටින්නේ, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිඳු විටක තම ආයතනයෙන් වාහනයක් මිල දී ගෙන නො මැති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ කෙදිනක හෝ තම ආයතනයට පැමිණී බවක් ගැන නො දන්නා බව මෝටර් ආයතනය නිවේදනය කරනවා.

එසේ ම රාජ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ බිරිඳ තම ආයතනයට පැමිණි දිනයක සී.සී.ටී.වී. සටහන් පවතින බවට සිදු කරන ප්‍රකාශය ද අසත්‍යයක් බව යි ඔවුන් දන්වන්නේ.

තම ආයතනයේ නම අවභාවිත කරමින් වෙබ් අඩවිවල පුවතක් පලවීම හා එම පුවත අලලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බව ද ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාවල පැවසූ පරිදි සිය ආයතනයේ කිසිඳු ශාඛාවක් තලවතුගොඩ ප්‍රදේශයේ නො මැති බව සඳහන් කරන චිත්‍රාසුමන මෝටර්ස් ආයතනය, වාහන අලෙවි ක්ෂේත්‍රයේ කීර්තියක් දිනාගනිමින් ඉතා සාර්ථක ව ව්‍යාපාර කටයුතුවල නියැලෙන තම ආයතනයේ නාමය පටු දේශපාලන භාවිතාවන්ට යොදාගැනීම පිළිබඳ ව කනගාටුව පළ කරනවා.

ඉකුත් දිනයක දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම කාරණය සම්බන්ධ ව අදහස් කිහිපයක් ම පළ කළේ, මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා චිත්‍රාසුමන මෝටර්ස් ආයතනයෙන් ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ වාහනයක් මිල දී ගත් බව සඳහන් ලියකියවිලි කිහිපයක් ද පෙන්වමින්.

******************************************

සහල් ගැසට්ටුව ඉවත් කිරීමෙන් මෝල් හිමියන් අර්බුදයක

(28.09.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමත් සමඟ ගොවීන් සහ අතරමැදි රැස් කරන්නන් මෝල් හිමියන් වෙත වී ලබාදීම ප්‍රතික්ෂේප කරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඩී.කේ. රංජිත් ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ඉදිරියේ දී සහල් මිල ඉහළ යා හැකි බවයි.

කෙසේ වෙතත් වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කළ බවට ප්‍රකාශ කළ ද ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනතෙක් රජයේ මුද්‍රණාලයට ලැබී නො මැති බවයි මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ.

මේ අතර, වරායේ සිර වී ඇති භාණ්ඩ ඇතුළත් බහාලුම් මුදා ගැනීම සඳහා ආනයනකරුවන් වෙත ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (28) එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

******************************************

ශ්‍රී ලංකාව උදාහරණයකට ගෙන ඕස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්

(28.09.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ වියදම් අවම කර නො ගතහොත් ශ්‍රී ලංකාව සහ ආජන්ටිනාව මුහුණ දී ඇති තත්වයට ඕස්ට්‍රේලියාව ද පත්වනු ඇති බව එරට ධනවත්ම කාන්තාව වන ‘ගිනා රයින්හාට්’ ප්‍රකාශ කර තිබෙනවා.

කෘතියක් රචනා කරමින් ඇය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සහ ආජන්ටිනාව ගමන් කළ මාර්ගයේ බවයි.

පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ අයවැය හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 167 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත වැඩිවීමක්.

මේ හේතුවෙන් ධනය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බව ඕස්ට්‍රේලියාවේ ධනවත් ම කාන්තාව වන ‘ගිනා රයින්හාට්’ සඳහන් කළා.

මේ වනවිට 67 වන වියේ පසුවන ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31 ක් ෴

******************************************

සුදුලූනු වංචාව ගැන හෙළි කළ මාධ්‍යවේදීන් සී.අයි.ඩී.යට ගෙන්වීම නවතියි

(28.09.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනයේ සිදු වූ සුදුලූනු වංචාව පිළිබදව කරුණු වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නො කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු කියා සිටියේ තමා මෙම සිද්ධිය පිළිබඳව කණගාටු වන බවයි.

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

එම සිද්ධියට අදාළව යි මෙලෙස මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්ණ කිරීම සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ.

******************************************

මහ බැංකු අධිපතිගෙන් නව ආර්ථික වැඩපිළිවෙළක්

(28.09.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බලපෑමට ලක් ව ඇති මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ සැලසුම ලබන පළමුවැනි දා ප්‍රකාශයට පත්කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, දැනට ක්‍රියාත්මක ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමුකර ඇති බවයි.

******************************************

ගලෙන්බිඳුණුවැව ලොකු ලූනු ගැටලු

(28.09.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ලබා දූන් ලොකු ලූනු බීජ වගා කිරීම හේතුවෙන් මෙවර සිය අස්වැන්න අපේක්ෂිත අයුරින් නො ලැබුණු බවට ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරනවා.

ඔවුන් චෝදනා කරන්නේ එලෙස වගා කළ ලුනු සඳහා වෙළඳපොල තුළ නිසි මිලක් ද නො මැති බවයි ෴

******************************************

පොළොන්නරුවේ ගම්මාන කිහිපයක පානීය ජලය හිඟයක්

(28.09.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක ජනතාව උග්‍ර පානීය ජල‍ය ගැටලුවකට මුහුණ පා සිටිනවා.

ඒ ජනතා මුදලින් ආරම්භ කළ ජලය ව්‍යාපෘති කිහිපයක් අතරමඟ නවතා දැමීම හේතුවෙන්.

******************************************

රට පුරා කිරිපිටි හිඟයක්

(28.09.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්ත්වය හමුවේ වෙළඳසැල්වල කිරිපිටිවල හිඟයක් දක්නට ලැබෙනවා.

ඇතැම් වෙලඳසැල්වල කිරිපිටි විකිණීම සම්බන්ධ ව අවිධිමත් ක්‍රමවේද ද අනුගමනය කරන ආකාරයක් වාර්තා වෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *