රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමා ගැන පූර්ණ සැලැස්මක් සකස් කිරීමට තීරණය කෙරේ

රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමා ගැන පූර්ණ සැලැස්මක් සකස් කිරීමට තීරණය කෙරේ

*********************************************

රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමා ගැන පූර්ණ සැලැස්මක් සකස් කිරීමට තීරණය කෙරේ

(24.09.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

ක්ෂේත්‍ර 03ක් යටතේ මම සැලැස්ම සකස් කෙරෙන අතර රාජ්‍ය අංශයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ පෞද්ගලික අංශයේ සේවාවන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය විශේෂඥ කමිටු හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නිර්දේශ නිකුත් කරනු ඇති.

අද (24) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මෙම තීරණයන්ට එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ග්‍රාමීය සංවර්ධන කමිටු සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පූර්ණ සහාය ලබාගත යුතු බව බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

කොවිඩ් අභියෝගය හමුවේ නව සාමාන්‍යකරණය යටතේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සියලු අංශ එක්ව කටයුතු කළයුතු බව පෙන්වා දෙමින් බැසිල් රාජපක්ෂ කියාසිටියේ 2021 දෙවන කාර්තුවේ 12.3% ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකි වූ බවයි.

කෙසේවෙතත් රට වසා තැබීම හේතුවෙන් 3 වන කාර්තුවේ දී එය 1% දක්වා පහත වැටුණ ද 4 වන කාර්තුවේ දී රටේ ආර්ථික වර්ධන වේගය 3% මට්ටමක පවත්වාගෙන යාමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍ය වන බවයි.

ඒ තුළින් මේ වසරේදී රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස 5% ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළා.

පාසල් විවෘත කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර ඊට අදාළ නිර්දේශ සෞඛ්‍ය විශේෂඥ කමිටුව විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.

ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට එම නිර්දේශ ඝෘජුවම යොමු කරන ලෙසයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

යුනිසෙෆ් ඇතුළු ළමුන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන් ද පෙන්වා දී ඇත්තේ පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වන තුරු සිටීම අවශ්‍ය නොවන බවයි.

දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු අතර ඒ සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කළ යුතු බවත් දෙමාපියන්ගේ කැපවීම සහ සැලකිළිමත් බව එහිදී ඉතා වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.

පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේ දී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමට ද තීරණය මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා.

ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමයේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් සංචාරක කලාප ආශ්‍රිතව නව ආයුර්වේද පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම පිළිබඳව සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොවිඩ් වසංගතය හමුවේ දේශීය ඖෂධ සඳහා ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් පවතිනවා.

එබැවින් ඖෂධ අපනයනයේදී මේ වන විට තිබෙන බාධා ඉවත් කිරීම සඳහා සෘජු සැලැස්මක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු ව තිබෙනවා.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව නිවෙස් වෙත නොමිලේ බෙදාදීමට සැලසුම් කර ඇති දේශීය ප්‍රතිශක්ති වර්ධක ඇතුළත් ඖෂධ මංජුසාව ලබා දීමට සියලු සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියාසිටියේ ඒ සඳහා රුපියල් මිලියන 6,000 ක් වෙන් කර ඇති බවයි.

.
ගුවන්තොටුපොළෙන් මෙරටට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රමාදයක් ඇති බවට කෙරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බව මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දුන්නා.

ආරම්භ කර ඇති නව පරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් හෙට (25) ආරම්භවීමත් සමග එම කටයුතු තවත් කාර්යක්ෂම වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

විදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිඳු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරෙනවා.

ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03 කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරුණා.

මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරුණු අතර වයස අවුරුදු 12-19 අතර සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල මහ රෝහල්වලදී අද ආරම්භ කෙරුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියා.

එන්නත්කරණය සඳහා සමස්ථයක් ලෙස ජනතාව තුළ දැඩි උනන්දුවක් නැවතත් දක්නට ලැබෙන අතර වයස අවුරුදු 20-29 අතර වයස් කණ්ඩායේ තරුණ පිරිස් ද ස්ව කැමැත්තෙන්ම ඒ සඳහා යොමුව තිබීම සාධනීය තත්ත්වයක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ ෴

++++++++++++++++++

තවත් කොරෝනා මරණ 82 ක්

(24.09.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණ 82 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,530 ක් ලෙසටයි. මෙම මරණ අතරට කාන්තාවන් 31 ක් සහ පිරිමින් 51 ක් අයත්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) තහවුරු කළ මෙම මරණ අතර වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 21 ක් වනවා.

ඒ පිරිමි 16 ක් සහ කාන්තාවන් 5 ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 26 ක් සහ පිරිමින් 35 ක් වශයෙන් මරණ 61 ක් සිදුව තිබෙනවා.

ඊයේ (23) තහවුරු කළ මරණ අතර අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

ගත වූ දින 7 ක් ඇතුලත කොරෝනා මරණ සියයට (100) අඩුවෙන් වාර්තාවූ 6 වන දිනය අදයි.

එමෙන්ම අඛණ්ඩව මරණ 100 ට අඩුවෙන් වාර්තා වූ පස්වන (5) දිනය අදයි.

පසුගිය සෙනසුරාදා (18) මරණ 84 ක් වාර්තා වූ අතර ඉරිදා දිනයේ මරණ 103 ක් වාර්තා කර තිබුණා.

එමෙන්ම පසුගිය සඳුදා (20) මරණ 93 ක් වාර්තා වූ අතර අඟහරුවාදා දිනයේ වාර්තා වූයේ මරණ 66 ක් පමණයි.

බදාදා (22) දිනයේ කොරෝනා ආසාදිත මරණ 92 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කර තිබූ අතර ඊයේ (23) මරණ 72 ක් වාර්තා කර තිබුණා ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 923 ක් හමුවෙයි

(24.09.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 923 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,10,963 ක් ලෙසටයි.

මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 950 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,52,692 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 44,900 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

රාජගිරිය මත්ද්‍රව්‍ය වැටලීම් සිද්ධියේ ප්‍රධාන සැකකරු අධිකරණයට භාරවෙයි

(24.09.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය – ඔබේසේකරපුරදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

එහිදී අධිකරණය නියෝග කළේ ඔහු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර සැකකරුවන් පිරිසක් මෝටර් රථයකින් පලායාමේ සිදුවීමක් පසුගිය 20 වැනිදා වාර්තා වුණා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගිය මෝටර් රථය විමර්ශන නිලධාරීන් විසින් තලංගම දේවාල පාරේ නිවසක සඟවා තිබියදී සොයාගනු ලැබුවා.

20 වැනිදා සිට සැඟව සිටි මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි අංශ කණ්ඩායම් දෙකක් (2) සහ පොලිස් කණ්ඩායම් 6 ක් විමර්ශන ආරම්භ කර තිබූ අතර, පසුව කොළඹ අපරාධ කොට්ඨාසයද එම විමර්ශනවලට එකවුණා.

කෙසේ වෙතත් සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් අද (24) පස්වරුවේ කොළඹ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබුණා.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ සැකකරු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මේ අතර, පොලිස් නිලධාරියා අනතුරට ලක්කර පලාගිය මෝටර් රථය තලංගම දේවාල පාරේ නිවසට පැමිණීමෙන් අනතුරුව සැකකරුවන් විසින් තවත් මෝටර් රථයක් ගෙන්වාගෙන තිබෙනවා.

ඒ අනුව නුගේගොඩ – උඩගහමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෝටර් රථයකින් පැමිණ සැකකරුවන් එම මෝටර් රථයේ නංවාගෙන පිටත්ව ගොස් තිබුණා.

මෙම සැකකරුවන් දින දෙකක් (2) පමණ කොළඹ අවට විවිධ ප්‍රදේශවල සැරිසරා ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, පසුව එම මෝටර් රථයේ රියදුරුද අද (24) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරවුණා.

එහිදී සැකකරුවන්ට සැඟවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සැකකරුවන් විසින් මෝටර් රථය ඔවුන් සන්තකයේ තබා පිටව යන ලෙස ඔහුට කළ බලපෑම් හේතුවෙන් නිවසට පැමිණ සිටි බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, මේවන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පොලිස් නිලධාරියා මේවන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

තිදරු පියෙකු වන ඔහු හොරණ – මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වසන්ත පුෂ්පකුමාර නම් මෙම පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහුගේ නිවසට පැමිණියා.

******************************************

ඉන්ධන මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහය ඉල්ලයි

(24.09.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් හමුවූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය කැපවීම අමාත්‍යවරු දෙදෙනාම යළි තහවුරු කළ බවයි විදේශ අමාත්‍යාංශය කියාසිටියේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍ය පීරිස් මහතා, ඉක්මනින් ඔහු ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංසද තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාර්ථක හා ඵලදායී සහයෝගීතාවයක් පවතිනවා.

විවිධ කොන්දේසි සහ න්‍යාය පත්‍ර රටවල් මත පැනවීම පිළිගත නොහැකි බවටත්, සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන බවටයි අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වී ඇත්තේ.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය අදාළ නොවන බවත්, ඔවුන්ගේ ආර්ථිකයන්ට බලපෑම් නොකර දේශගුණික විපර්යාසයන් සඳහා අනුවර්තනය වීමට සහ ලිහිල් කිරීමට ඉඩ සලසන යාන්ත්‍රණයන් නිර්වචනය කළ යුතු බවත් අමාත්‍ය අල් ජාබර් ප්‍රකාශ කර තිබෙනවා.

2023 දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියට (COP 28) සත්කාරකත්වය ලබා දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නාමයෝජනා ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 3,00,000 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙමින් සේවය කරනවා.

විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජය අගය කරන බවයි විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ.

සේවකයින්ගේ සුභසාධනය සම්බන්ධව ඵලදායි නීති සම්පාදනය කිරීම පිළිබඳ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට ස්තූති කර තිබෙනවා.

අමාත්‍ය පීරිස් මැතිතුමා අල් ජාබර් අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විස්තර කළ අතර, වීසා බලපත්‍ර ලිහිල් කිරීම අගය කරමින්, එය තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව අපේක්ෂාව පළ ළා.

විශේෂයෙන් ගල්ෆ් කලාපයෙන් පැමිණෙන අමුත්තන්ගේ නිශ්චිත ප්‍රමුඛතා හා අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඉස්මතු කරමින්, සංචාරක අංශය නැවත ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති පියවර ද ඔහු විස්තර කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් පැහැදිළි කළ බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

විශේෂයෙන් රටේ තෙල් අවශ්‍යතාවය කෙරෙහි එහිදී අවධානය යොමු කළ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා තිබෙනවා.

ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බව පැවසූ අල් ජාබර් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළා.

ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟ වූ බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබා ගැනිමට ශ්‍රී ලංකාව ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මෙරටට බොරතෙල් ආනයන සිදු කරනු ලබන්නේ මැදපෙරදිගින් වන අතර පිරිපහදු තෙල් ආනයනය කරනු ලබන්නේ සිංගප්පුරුවෙන්.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ උද්ගත වි ඇති තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට ණය මුදලක් ලබා ගැනිම සඳහා රජය පැතිකඩ කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරිමෙන් අනතුරුවයි ඉන්දිය රජය මගින් මෙම ණය මුදල ගැනිමට තිරණය කර සාකච්ඡා සිදු කරනු ලබන්නේ.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව රජයේ බැංකු දෙකකට ඩොලර් බිලියන 3.3 ක ණය මුදලක් ද ගෙවීමට ද තිබෙනවා.

මේ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද් විනායි හමුවී සාකච්ඡාවක නිරතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙම හමුව පවත්වා ඇති අතර එහි ථෙරවාදි බුදුදහම අනුගමනය කරන රටවල් දෙකක් ලෙස ශක්තිමත් හා ඓතිහාසික ද්වීපාර්ශවික සබඳතා පවතින බවයි පෙන්වා දී ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *