රාජගිරියේ මත්ද්‍රව්‍ය වැටලීමක දී පලාගිය මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව අත්අඩංගුවට

රාජගිරියේ මත්ද්‍රව්‍ය වැටලීමක දී පලාගිය මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව අත්අඩංගුවට

*********************************************

රාජගිරියේ මත්ද්‍රව්‍ය වැටලීමක දී පලාගිය මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව අත්අඩංගුවට

(23.09.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය – ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය වැටලීමක දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක්කර පලා ගිය මෝටර් රථය සඟවා තිබූ තලංගම ප්‍රදේශයේ නිවසේ සිටි කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6.5 ක් සොයා ගත් බවයි.

එමෙන්ම, වාහනයේ ඇති ඇඟිලි සලකුණු උපයෝගි කර ගනිමින් සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

මේ අතර, සිද්ධියට අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) එම මෝටර් රථය ද සමඟ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත්, ප්‍රධාන සැකකරු මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

ඔහු මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෝටර් රථය වෙනත් කාන්තාවකගෙන් ලබා ගෙන ඇති බවටයි හෙළි වී ඇත්තේ.

++++++++

රාජගිරිය-ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධිය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට

(23.09.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය – ඔබේසේකරපුර මත්ද්‍රව්‍ය වැටලීමේදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය යටතට පත් කර තිබෙනවා.

ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අද (23) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධියට සම්බන්ධ මෝටර් රථය සඟවා තිබූ නිවසේ කාන්තාව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රාජගිරිය ඔබේසේකරපුරදී මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ද අනතුරට පත් කරමින් මෝටර් රථයක් පලායාමේ සිද්ධිය වාර්තා වූයේ මීට දින දෙකකට ඉහතදීයි.

සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඔහු මිරිහාන – උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීට පෙර ද අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හරින ලද අයෙකු බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

******************************************

දුරකතන සංඥා පහසුකම් නොමැතිව පීඩා විඳින ගම් දෙකක්

(23.09.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කළුතර – වලල්ලාවිට – යගිරල සහ ඉහළ කන්ද ප්‍රදේශවලට දුරකතන සංඥා පහසුකම් නො මැති වීමෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ, ඒ හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදුකරන සිසුන්ට මෙන්ම, නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට රාජකාරී සිදු කරන ජනතාවට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවයි.

පවුල් 600 ක් පමණ ජීවත් වන මෙම ගම්මාන කඳු පද්ධතියකින් වට වී පිහිටා ඇති අතර ඒ හේතුවෙන් ඊට පිටතින් පිහිටි දුරකතන සංඥා කුලුණු මඟින් සංඥා ආවරණයක් සිදු නො වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සංඥා ගැටලුවට විසදුමක් ලබා දෙන ලෙස යි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 800 ක් කොළඹ වරායේ සිර වෙයි

(23.09.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 800 ක් පමණ මේ වනවිට නිශ්කාශනය කර ගැනීමට නො හැකිව කොළඹ වරාය තුළ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩ නිදහස් කර ගැනීමට නො හැකි වී ඇති බවයි.

බැංකු මඟින් ඩොලර් නො මැති බවට පැවසීම හේතුවෙන් සිය ආනයනකරුවන් මෙම ගැටලුවට මුහුණ දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

පරිප්පු, සුදුලූනු, සැමන්, කිරිවර්ග, සූදුරු, මහදුරු, ඇතුළු ද්‍රව්‍ය රැසක් මෙම කන්ටේනර් තුළ පවතින බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, රජය මඟින් මෙම ඩොලර් හිඟයට කඩිනම් විසඳුමක් ලබාදෙනු ඇතැ යි තම සංගමය අපේක්ෂා කරන බව ද එම සංගමයේ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, ජීවන වියදම් කමිටුව හෙට (24) පෙරවරු 10 ට අරලියගහ මන්දිරයේ දී රැස්වීමට නියමිත ව තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, කිරිපිටි මිල වැඩි කිරිමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරිමට නියමිත බවයි.

ඒ අනුව කිරිපිටි මිල සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එම සාකච්ඡාවේ දී එළැඹෙනු ඇති.

එසේම සහල් පාලන මිල වැඩි කරන ලෙස සහල් නිෂ්පාදකයන්ද රජයෙන් ඉල්ලා ඇති අතර, ගෑස් මිල සම්බන්ධයෙන් ද පසුගිය දිනවල විවිධ අදහස් පල වුණා ෴

******************************************

වර්ජනයේ නිරත ගුරුවරුන් තවත් පියවරක් ගන්නා බව කියයි

(23.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

තම සංගමයේ ගුරුවරුන්ට තර්ජනය කරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළ හඬපටය ව්‍යාජ හඬ පටයක් බව ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් අද (23) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ ඊට එරෙහිව පියවර ගන්නා බවයි.

******************************************

පොහොර හිඟයෙන් තේ කර්මාන්තය අනතුරක

(23.09.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයන තහනම හේතුවෙන් මෙරට තේ අපනයන ආදායමේ ඉලක්ක ළඟා කර ගැනීම දුෂ්කර වනු ඇති බව ලංකා වතු හාම්පුතුන්ගේ සම්මේලනය පවසනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය වසර මුල දී ප්‍රකාශ කළේ, තේ අපනයනයෙන් මේ වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.47 ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි.

එහෙත්, වතු හාම්පුතුන්ගේ සම්මේලනය පෙන්වා දෙන පරිදි රසායනික පොහොර නො යෙදීම හේතුවෙන් ඉදිරි මාස 6 තුළ මෙරට තේ නිෂ්පාදනය 25% කින් පමණ පහත වැටිය හැකියි.

එමෙන්ම, ඉන් අනතුරු ව එම නිෂ්පාදන හානිය 40% ත් 50 ත් දක්වා ඉහළ යා හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.

වසර 25 ක පමණ දිගු කාලීන බෝගයක් වන තේ ගසට පෝෂණ ඌණතා අහිතකර ලෙස බලපාන බවයි වතු හාම්පුතුන්ගේ සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ.

තේ වගාවට රසායනික පොහොර මෙන්ම, වල්නාශක යෙදීම ද අවශ්‍ය වනවා.

පොහොර සහ කෘෂි රසායනික සිලෝන් සන්නාමයේ තේ නිෂ්පාදනයේ මූලිකාංගයක් වන අතර එය එහි රසය සහ සුවඳට ද බලපානවා.

මේ නිසා ශ්‍රී ලංකාවට දැනටමත් ඉහළ වාසිදායක තත්ත්වයක් පැවති ජපාන තේ වෙළඳපොළ ද අහිම්වි ඇති බවයි වතු හාම්පුතුන්ගේ සම්මේලනය පෙන්වා දෙන්නේ ෴

******************************************

චීනයේ මෝටර් වාහන නිෂ්පාදන සමාගමක් හම්බන්තොටට

(23.09.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

චීනයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන ආයතනයක් වන ‘ෂියමෙන් කින් ලෝන්’ සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමග අවබෝධතා ගිවිසුමකට එළඹී තිබෙනවා.

ඒ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රවර්ධන කණ්ඩායම – ෆූජියෑන්ග් ප්‍රාන්තයේ සිදු කළ ප්‍රවර්ධනයකින් අනතුරුව යි.

1988 වසරේ ස්ථාපිත කෙරුණු ‘කින් ලෝන්’ මෝටර් වාහන නිෂ්පාදන සමාගම විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බස් රථ, ලොරි රථ සහ වෑන් නිෂ්පාදනය කරන අතර චීනයේ නිෂ්පාදනාගාර 3 කින් සමන්විත යි.

එහි නිෂ්පාදනය කෙරෙන වාහන ලොව රටවල් 140 කට අපනයනය කෙරෙනවා.

‘කින් ලොන්’ මෝටර් වාහන සමූහයේ උප සභාපති ෂෑන් මින් ප්‍රකාශ කළේ, අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ කාර්මික ජනපදයේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳව සලකා බලන බවයි.

ක්‍රමෝපාය අතින් වැදගත් ස්ථානයක පිහිටි හම්බන්තොට වරායේ සිට අග්නිදිග ආසියාවේ නව වෙළඳපොළ වෙත පිවිසීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළා ෴

******************************************

කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැ යි අභියාචනාධිකරණයට පෙත්සම් 2 ක්

(23.09.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ලෙස කටයුතු කිරීම වළක්වන රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් (2) ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් ෴

******************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පොලිස් අත්අඩංගුවට

(23.09.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ නල්ලූර් කෝවිල් ඉදිරිපිටදී හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන ‘තිලීපන්’ සැමරීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජේන්ද්‍රන් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නිරෝධායන නීති රීති කඩ කිරීමේ චෝදනා යටතේ යි.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

‘රාසයියා පාර්තිපන්’ හෙවත් ‘තිලීපන්’ එල් ටී ටී ඊ සංවිධානයේ යාපනය අර්ධද්වීපයේ දේශපාලන නායකයා ලෙස කටයුතු කළ අතර එල්ටීටීඊ සංවිධානය 1987 දී ඉන්දීය මහා කොමසාරිස් වරයාට ඉල්ලීම් පහක් (5) ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමට යහපත්ව ප්‍රතිචාරයක් නොලැබීමත් හේතුවෙන් 1987 සැප්තැම්බර් 15 වන දින යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට දී උපවාසයක් ආරම්භ කළා.

දින 12 ජලය සහ ආහාර ප්‍රතික්ෂේප කරමින් අඛණ්ඩව උපවාස කළ ඔහු අධික විජළනය හේතුවෙන් සැප්තැම්බර් 26 වන දා මරණයට පත්වු වුණා.

තිලිපන් උපවාස කළ මෙම කාල සීමාව තුළ යුද ගැටුම් නිමා වීමෙන් අනතුරුව ද අවස්ථා ගණනාවක දී ඔහු සැමරීමට උත්සාහ කළ අතර මෙවර මෙම සැමරීමට එරෙහිව යාපනය අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තිලීපන් සැමරීමට එක් වූයේ එම උසාවි නියෝගය සහ පවත්නා නිරෝධායන නීතිරීතිද උල්ලංඝනය කරමින්.

අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් හට ඇප ලබා දී තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනුනේ නිරෝධායන නීති කඩකරමින් හිටපු එල් ටී ටී ඊ ක්‍රියාකාරිකයෙකු වූ දිලීපන් සැමරීම සඳහා සහභාගී වීමේ චෝදනාව යටතේයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 16,720 දෙනෙකු සුවය ලබයි

(23.09.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 16,720 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ගණන 4,51,742 ක් වනු ඇති ෴

++++++++++++++++++

දරුවන් එන්නත්කරණය කිරීම සඳහා නොපැකිළිව යොමුවන්නැයි දෙමව්පියන් ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලයි

(23.09.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය කිරීම සඳහා නොපැකිළිව යොමුවන ලෙස දෙමව්පියන් සහ වැඩිහිටියන්ගෙන් විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරනවා.

ලෝකයේ සහ මෙරට විශේෂඥ කමිටුවල නිර්දේශ සහිතව එන්නත්කරණය සිදුකෙරෙන අතර ඒ පිළිබඳව අනියත බියකින් තොරව නිවැරදි අවබෝධය සහ උනන්දුව තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද (23) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර ඊට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහභාගී එක්වූ අතර ‘දරුවන් එන්නත්කරණය’ අද සාකච්ඡාවේ තේමාව වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී හෙට (24) සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ කෙරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදී දන්දහන් කළා.

ඒ අනුව දියවැඩියාව, ස්නායු රෝග, වකුගඩු රෝගය, හෘද රෝග, තැලසීමියාව, මුත්‍රා සහ ආහාර මාර්ගයේ රෝග ඇතුළු නිදන්ගත රෝග වලින් පෙළෙන දරුවන් ඒ සඳහා යොමු කරන ලෙසයි ඔහු දෙමාපියන්ට දැනුම් දුන්නේ.

ඔවුන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණිමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ සහිතව දෙමාපියන්ගේ ද අවසරය ඇතිව එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළා.

මීට සමගාමීව ඉදිරි දිනවලදී සියලුම පළාත්, දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව සකස් කොට අවසන් බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කියාසිටියේ.

දරුවන් එන්නත්කරණය වයස් කාණ්ඩ තුනක් (3) යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 12-19 අතර සංජනනීය දරුවන් සඳහා පළමුව (1) එන්නත්කරණය සිදුකෙරෙනවා.

වයස අවුරුදු 15–19 කාණ්ඩයේ නිරෝගී දරුවන් සඳහා ඉදිරියේ දී එන්නත්කරණය සිදු කෙරෙන අතර වයස අවුරුදු 12–15 දරුවන් එන්නත්කරණයට විශේෂඥ නිර්දේශ ලැබුණු වහාම කටයුතු කරන බවයි ද වෛද්‍යවරු කියා සිටියේ.

එන්නත්කරණයෙන් පසුවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ වෛද්‍ය කණ්ඩායමක් විසින් දරුවන්ගේ සංකූලතා පිළිබඳව විමසිලිමත් වන බවත්, නිවෙස්වලදී යම් සංකූලතාවක් ඇති වුවහොත් උපදෙස් ලබාගැනීම සඳහා සෘජු දුරකථන අංකයක් හඳුන්වාදෙන බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළා.

එන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරුණා.

එන්නත්කරණය පිළිබඳව විශේෂඥයන් නොවන පිරිස් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ පිළිබඳ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කණගාටුව පළ කළා.

වෛරසයට වඩා වේගයෙන් මිත්‍යා මත පැතිර යාම බරපතළ හානියක් බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දරුවන් එන්නත්කරණය අපේ සමාජයේ ඉතා සංවේදී කරුණක් බැවින් එහිදී වෛද්‍යවරුන් සේම මාධ්‍ය ද වගකීමෙන් කටයුතු කළ යුතු බවයි කියාසිටියේ.

මාර්ගගත අධ්‍යාපනය තුළින් දරුවාගේ බාහිර කුසලතා වර්ධනයට බරපතළ බාධාවක් සිදුවෙන බව පෙන්වා දුන් ළමා රෝග විශේෂඥ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පාසල් ආරම්භ කළ ද සංජනනීය දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වන බවත්, ඉන් දරුවන්ට අධ්‍යාපනයට ඇති සම අවස්ථා අහිමි වීම එන්නත්කරණය තුළින් වළක්වා ගත හැකි බවත් කියා සිටියා.

දරුවන් එන්නත්කරණය පිළිබඳව ලෝකයේ අනිකුත් රටවල ආදර්ශයන් ඇත්දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍යවරු කියා සිටියේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, නොර්වේ, එංගලන්තය වැනි රටවල් මේ වනවිටත් මෙම වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ලක්කර ඇති බවයි.

දකුණු ආසියාවේ දියුණු සෞඛ්‍ය පද්ධතියක් සහිත ශ්‍රී ලංකාව එන්නත්කරණයෙහි විශේෂ පළපුරුද්දක් ඇති බැවින්, බියකින් සහ සැකයකින් තොරව එන්නත්කරණයට යොමුවන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවන්ගේ එන්නත්කරණ කටයුතු සිදුකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

කෙසේ වෙතත්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයූර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා දරුවන් එන්නත්කරණය සම්බන්ධයෙන් දක්වන්නේ වෙනස් මතයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *