එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක්

එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක්

*********************************************

එන්නත්කරණය ලැබුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි ඉල්ලීමක්

(23.09.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් මාත්‍රා දෙක (2) ම ලබාගෙන තිබුණත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයින්ට, වයිරසය ආසාදනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා.

මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරන්නේ, නව අධ්‍යයනයන්ට අනුව සම්ප්‍රේෂණය වැළැක්වීමේ මූලික පුරුදු නොපිළිපදින පූර්ණ එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ද කොරෝනා වයිරසය ආසාදනය වීමේ 65% ත්, 70% ත් අතර ඉහළ අවස්ථාවක් පවතින බවයි.

එන්නත්කරණය මඟින් රෝගී තත්ත්වය බරපතළ වීම සහ මරණය වැළැක්වූව ද ප්‍රචාරණය වළකන්නේ නැහැ.

මේ අතර, වසය අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම හෙට (24) ආරම්භ වනවා.

ඒ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අනුරාධපුර සහ කුරුණෑගල රෝහල් වලදී යි.

වසය අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ පළමු (1) අදියර ලෙස තැලිසීමීයා රෝගයෙන් පෙළෙන දරුවන් එන්නත් කෙරෙනවා.

මේ අතර, පුද්ගලයින් විදෙස්ගත වීමේ දී යම් සුවිශේෂී වූ එන්නනක් ලබාගෙන සිටීම අනිවාර්ය යැයි කිසිදු රටක් දැනුම් දී නො මැති බව විදේශ අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබෙනවා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ (22) දී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 2,28,645 ක්.

ඒ අනුව පුද්ගලයින් 1,25,709 ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 1,02,936 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා ෴

++++++++++++++++++

ඊයේ (22) 2,28,000 කට කොරෝනා එන්නත්

(23.09.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (22) දිනයේ දී පුද්ගලයින් 228,645 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,22,165 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 31,931 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 33,462 දෙදෙනෙකුටත්, එහි පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 777 දෙනෙකුටත් ඊයේ (22) ලබා දී තිබෙනවා.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,11,82,365 ක් වන අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 91,22,271 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 14,49,899 දෙනෙකුටත්, මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 7,86,600 කටත් ලබා දී තිබෙනවා.

Progress Report of COVID-19 Immunization – 22.09.2021 (pdf)

++++++++++++++++

හිරු පුවත ඵල දරයි – ගුවන්තොටුපොළ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත වෙයි

(23.09.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති අවස්ථා ගණනාවක දී අනාවරණ කළ ගුවන් මගීන්ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කිරීමේ ජාවාරමට තිත තබමින් කටුනායක දී අද (23) පී.සී.ආර්. පරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කෙරුණා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ, ලබන සෙනසුරාදා (25) සිට එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවයි.

ඒ අනුව විදේශගත ව සිට පැමිණෙන ගුවන් මගීන්ට පැය 03 ක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ප්‍රතිඵල ලබාගෙන පිට ව යා හැකියි.

ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදුකළ මුදල් ගසා කෑමේ ජාවාරම පිළිබඳ ව හිරු ප්‍රවෘත්ති ඔස්සේ දින ගණනාවක් අඛණ්ඩ ව තොරතුරු අනාවරණ කළා.

ගුවන් මගීන් නිරන්තරයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අමතා ඊට අදාළ තොරතුරු දැනුම් දුන්නේ ඔවුන්ට මෙම ජාවාරමෙන් මිදීමට සහ මුහුණදෙන අපහසුතා හෙළි කිරීමට ඇති එක ම මඟ හිරු ප්‍රවෘත්ති වීම හේතුවෙන්.

හිරු ප්‍රවෘත්ති අනාවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගැටලුවට මැදිහත් වූ අතර, ඒ අනුව ගුවන් මගීන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරු ව පැය කිහිපයක් තුළ මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුවයි, විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන්ට කටුනායකදී පැය 3 ක කාලයක් තුළ කොරෝනා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ පහසුකම් අද (23) ස්ථාපිත කෙරුණේ.

එහි දී පැයකට පී.සී.ආර්. පරීක්ෂණ 500 ක් සිදුකෙරෙන අතර, එකවර මගීන් 500 දෙනෙකුට අදාළ මධ්‍යස්ථානයේ රැඳී සිටිය හැකියි.

පරීක්ෂණයක් සඳහා අය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් 40 ක් හෙවත් රුපියල් 8000 කට ආසන්න මුදලක්.

ඒ අනුව හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය හේතුවෙන් විදේශගත ව සිට එන මගීන්ට අනිවාර්ය වූ ‘හෝටල් නිරෝධායන ජාවාරම’ අවසන් වනු ඇති.

+++++++++++++++++

තවත් විකෘති කොරෝනා ප්‍රභේදයක් ඇමෙරිකාවෙන්

(23.09.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 65 ඉක්මවූවන්ට දෙවන (2) මාත්‍රාව ලබා, මාස 06 ක් ගත වූ පසු ෆයිසර් එන්නතේ 03 වන වර්ධක මාත්‍රාවක් ලබාදීම එෆ්.ඩී.ඒ. හෙවත් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අනුමත කර තිබෙනවා.

එහි දී දැඩි රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින්ට මෙන්ම නිරන්තරයෙන් වෛරසයට නිරාවරණය වන පුද්ගලයින්ට ද මෙලෙස 03 වන මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු එෆ්.ඩී.ඒ. ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තීරණයත් සමඟ මීට මාස 06 කට පෙර කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලැබූ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ට ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූ සියල්ලන්ට ෆයිසර් එන්නතේ 03 වන හෙවත් වර්ධක මාත්‍රාවක් ලබාදීම අනුමත කරන ලෙස ෆයිසර් සමාගම, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මේ අතර, ෆයිසර් හෝ මොඩර්නා යන එම්.ආර්.එන්.ඒ. වර්ගයේ කොරෝනා එන්නත් ලබන ගර්භනී මව්වරුන් බිහිකරන දරුවන්ට කොරෝනා වෛරසයට එරෙහි ඉහළ මට්ටමේ ප්‍රතිදේහ ගොඩනැගෙන බව අනාවරණ වී තිබෙනවා.

ඇමෙරිකානු ප්‍රසව සහ නාරිවේද වෛද්‍ය සඟරාවක ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවකට අනුව, එලෙස එම්.ආර්.එන්.ඒ. කොරෝනා එන්නත් ලබාදුන් මව්වරුන් 36 දෙනෙකු බිහිකළ දරුවන් තුල ඉහළ මට්ටමේ ප්‍රතිදේහ දක්නට ලැබුණු බව සඳහන්.

ගර්භනී මවරුවන් කොරෝනා එන්නත් ලබාගැනීමේ වැදගත්කම එයින් තහවුරු වන්නේ යැයි අධ්‍යයනය සිදු කළ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ මහාචාර්ය ලින්ඩා එකර්ට් ප්‍රකාශ කළා.

ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, ලැම්ඩා සහ මියු යන ප්‍රමුඛ කොරෝනා වයිරස් ප්‍රභේදයන්ට අමතර ව, තවත් විකෘති ප්‍රභේද කිහිපයක් ලොව පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

ඒ අතර, ඇමෙරිකානු සහ ජපාන සම්බන්ධතාවක් සහිත නව කොරෝනා විකෘති ප්‍රභේදයත්, ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රදේශයේ සාත්තු නිවාසයකින් සොයා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එහි නිවැසියන් සහ සෞඛ්‍ය සේවකයන් ඇතුළු 45 දෙනෙකුට එම වයිරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ජපානයේ මුල් වරට බිහි වී ඇති ‘ආර් වන්’ ලෙස හඳුන්වන එම නව විකෘති ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්විය හැකි ලක්ෂණ පවතින බව සඳහන් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඡන්ද ක්‍රම සංශෝධන කාරක සභාවට තවත් සාමාජිකයින් දෙදෙනෙක් (2)

(23.09.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් අලුතින් පත්කර තිබෙනවා.

ඒ අනුව එහි සාමාජිකයින් සංඛ්‍යාව 17 ක් බවට පත්වන බවයි සභානායක කාර්යාලය නිවේදනය කළේ.

මෙම විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ද රැස් වී තිබෙනවා.

‘සමගි ජන බලවේගය’ සහ ‘අපේ ජනබල පක්ෂය’ එහි දී ඡන්ද ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ බවයි සභානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

(23.09.2021 – 11:16 +0530 – hirunews.lk/sinhala)

නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානය ඉදිරිපිට ඊයේ (22) ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

මෙම විරෝධතාවයේ නිරත පිරිසගේ මූලික ඉල්ලීම වූයේ, 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කරන ලෙසයි.

ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් මෙම ප්‍රහාරය සම්බන්ධව වඩාත් විධිමත් විශ්වසනීය පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියා.

මෙම විරෝධතාවට එක් වූ පිරිස කියා සිටියේ, ඔවුන් එක් වූයේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා සිටිමේ අරමුණෙන් මිස වෙනත් කිසිදු දේශපාලනික හෝ ආගමික ළබැඳියාවක් ඇති ව නො වන බවයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට වේලාවෙන් ඊයේ (22) රාත්‍රී 09:30 ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අතර, එහි දී Covid-19 එන්නත්කරණය සම්බන්ධයෙන් සිය රට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය දැනුවත් කළා.

එමෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව වසර දහස් ගණනක අතීතයේ සිට පරිසරය සමඟ ඉතා තදින් බැඳී සිටින රටක් සහ ජාතියක් බවයි.

******************************************

නීති විරෝධී වැලි ජාවාරමක් හෙළි වෙයි

(23.09.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) වැනි දින අග්බෝපුර පොලිස් වසමේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී පරිසර හානි සිදු කරමින් බලපත්‍ර නොමැති ව වැලි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හා බලපත්‍ර නොමැති ව වැලි ප්‍රවාහනය කල ට්‍රැක්ටර් රථ හතරක් (4) හා පුද්ගලයින් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 24, 30, 35 සහ 36 යන වයසේ පසු වෙන්නන් වෙන අතර, අත්අඩංගුවට ගත් වැලිවල දල වටිනාකම රුපියල් ලක්ෂ දහයකට (10) අධිකයි.

වැඩිදුර විමර්ශන කටයුතු අග්බෝපුර පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

ගම්මන්පිල ගෑස්ටෙක් සමුළුවට සමගාමීව පැවති කථිකාවට එක්වෙයි

(23.09.2021 – 11:38 +0530 – hirunews.lk/sinhala)

ලොව බොහෝ රටවල බලශක්ති අමාත්‍යවරුන් මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් සහභාගි වෙන ‘ගෑස් ටෙක්’ (Gastech Conference) සමුළුවට සමගාමී ව පැවති අමාත්‍යවරුන්ගේ කථිකාවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද එක් ව තිබෙනවා.

අදාළ කථිකාව සඳහා බංග්ලාදේශය, පෘතුගාලය, අසර්බයිජානය හා නයිජිරියාව ඇතුළු රටවල බලශක්ති අමාත්‍යවරුන් සහභාගි වී ඇති බව සඳහන්.

ගෑස්ටෙක් 2021 සමුළුව මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දී පැවැත්වෙනවා.

ගෑස්, එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු, හයිඩ්‍රජන් ඇතුළු බලශක්ති කර්මාන්තය සඳහා සහාය වෙන ලොව විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය මෙය යි ෴

******************************************

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රිමතාණන්ගේ පනස් දෙවැනි (52) ගුණ සමරුව අද (23)

(23.09.2021 – 12:08 +0530 – hirunews.lk/sinhala)

නිදහස් අධ්‍යාපනයේ පීතෘවර හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (23) වසර 52 ක්.

එය සමරනුවස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වූවා.

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රිමතාණෝ

******************************************

කල්පිටියේ බීට් ගොවීන්ගෙන් මැසිවිලි

(23.09.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය අර්ධද්වීපයේ වගා කර ඇති බීට් වගා අතර, මේ දිනවල දරුණු ලෙස පණු උවදුරක් පැතිර යමින් පවතින බව ගොවීන් පවසනවා.

රසායනික පොහොර හා කෘමිනාශක ප්‍රමාණවත් පරිදි නො ලැබීම හේතුවෙන් ඔවුන් මෙවර විශාල ලෙස යොමු වී ඇත්තේ බීට් වගා කිරීමට යි.

නමුත්, අස්වැන්න නෙලීමට ආසන්න බීට් වගාවන් අතර, පැතිර යන මෙම පණු රෝගය නිසා අස්වැන්න නෙලා ගැනීමට නො හැකි බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

සමනල විශේෂයක් මුලින්ම බීට් ගසට පැමිණෙන අතර, පසු ව වගාවන් අතර, පණු රෝගය පැතිර යන බව ද ගොවීන් පෙන්වා දුන්නා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *