පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් ඉල්ලා අස් වූ ජගත් කුමාර හිරුට කතා කරයි

පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් ඉල්ලා අස් වූ ජගත් කුමාර හිරුට කතා කරයි

*********************************************

පාදුක්ක සංවර්ධන කමිටු සභාපතිකමින් ඉල්ලා අස් වූ ජගත් කුමාර හිරුට කතා කරයි

(22.09.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පාදුක්ක සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් සමඟ පසුගිය දිනවල ඇතිකරගත් මත ගැටුම් සමඟ දේශපාලන වේදිකාව උණුසුම් වුණා.

අද (22) ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ එම මත ගැටුමේ එක් පාර්ශ්වකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ජගත් කුමාර මහතා ගෙන්.

******************************************

නූල්පොටක තරමේ රජයේ දේපළක් සොරකම් කර ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සදහටම ඉවත් වෙනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(22.09.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

තමන් නූල්පොටක තරමේ රජයේ දේපළක් සොරකම් කර ඇති බව කවුරුන් හෝ ඔප්පු කළහොත් දේශපාලනයෙන් සදහටම ඉවත් වෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) දින පාරිභෝගික සේවා අධිකාරී පනතේ සංශෝධන පිළිබඳව පැවති විවාදයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පලකල පුවත්පතක් උපුටා දක්වමින් අමාත්‍යවරයා වඩිදුරටත් ප්‍රකාශ කළේ සිය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු සිදු කිරීමේදී තමා හෝ තම පවුලේ සාමාජිකයින් හෝ කාර්ය මණ්ඩලයේ කිසියම් අයෙකු විසින් වංචා දූෂණ වලට සම්බන්ධ බවට, කිනම් හෝ පාර්ශ්වයක් විසින් ඔප්පු කළහොත් තමා සිය අමාත්‍යධූරයෙන් පමණක් නොව දේශපාලනයෙන් ඉවත් වන බවයි.

එමෙන්ම හිටපු වෙළෙඳ අමාත්‍යවරයා විසින් වසර තුනක (3) කාල සීමාවක් සඳහා පත් කර ඇති මෙම අධ්‍යක්ෂකවරයා සිදුකර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා කියා සිටියේ තමන් කිසිදු අවස්තාවක පාරිභෝගික සේවා අධිකාරියේ රාජකාරී සඳහා මැදිහත් වී නොමැති බවයි.

උක්ත අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයාට අවම තරමින් දුරකථන ඇමතුමකින් හෝ බලපෑමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ මෙම නිලධාරියා විසින් සිදු කරනු ලැබ ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, අවධාරණය කලේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සතොස ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කර ඇති සුදුළූණු තොගයක් වෙනත් පාර්ශ්වයක් වෙත අළෙවි කිරීම පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රාජසන්තක කරනු ලැබූ භාණ්ඩ වෙන්දේසි කරනු ලබන අවස්ථා වලදී ජාවාරම්කරුවන් විසින් එම තොග ලබා ගෙන වැඩි මිළට අළෙවි කිරීම සිදු කරනු ලබන බැවින් එම භාණ්ඩ සතොසට ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ඇතිව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ ඒකාබද්ධ වෙමින් සතොස වෙත භාණ්ඩ ලබා ගැනීමට කටයුතු කළ බවයි.

එමෙන්ම මෙම භාණ්ඩ වෙනත් පාර්ශ්වයන් අතට පත් වීම වළක්වාලීමට වරායෙන් සතොසට ලබා දෙනු ලබන භාණ්ඩ භාර ගැනීම සඳහා සභාපති හෝ ප්‍රධාන විධායක නිලධාරීවරයා පමණක් කටයුතු කරනු ලැබූ නමුත් මෙම සුදුළූණු තොගය වරායෙන් නිකුත් කරනු ලැබූ දිනයේ දී සතොස සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා මඩකලපුව, පොළොන්නරුව ප්‍රදේශවල වී හා සහල් තොග පවරා ගැනීමේ කටයුතු වල නිරතව සිටි හෙයින්, එම ආයතනයේ වෙනත් නිලධාරීන් පිරිසක් විසින් මෙම සුදුළූණු තොගය භාර ගැනීම සඳහා ගිය බවයි.

අදාල සුදුළූණු තොගය බාර ගනු ලැබීමෙන් පසු වැලිසර තොග ගබඩාවට රැගෙන ගොස් මෙම සුදුළූණු භාවිතයට නුසුදුසු බව පවසමින් වෙනත් පාර්ශ්වයකට අළෙවි කිරීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

******************************************

උණුසුම් වූ මැති සබය

(22.09.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් සහ ඖෂධ මිල ගණන් සම්බන්ධයෙන් ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන රාජිත සේනාරත්න අතර, පාර්ලිමේන්තුවේදී අද (22) උණුසුම් සංවාදයක් ඇතිවුණා.

මේ අතර, අධිකරණ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ අනුරාධපුර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

******************************************

සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා පහසුකම් සැලසිය යුතු බව ජනපති ජගත් සමුළුව අමතමින් කියයි

(22.09.2021 – 22:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුලුව අද (22) අමතනු ලැබුවා.

සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්ය භාර්යයක් බවයි ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ.

ඔවුන්ගේ යාන්ත්‍රණයන් සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බව ද ඔහු සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ කථාව

******************************************

කිරිපිටි මිල තීරණයට ජීවන වියදම් කමිටුවේ රැස්වීමක් හෙට (24)

(23.09.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ජීවන වියදම් කමිටුව හෙට (24) පෙරවරු 10 ට රැස්වීමට නියමිත ව තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී යි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, කිරිපිටි මිල වැඩි කිරිමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරිමට නියමිත බවයි.

ඒ අනුව කිරිපිටි මිල සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එම සාකච්ඡාවේ දී එළැඹෙනු ඇති.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂ ව ඩොලරයේ අගය ඉහළ යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගට ම ඉල්ලීම් කළා.

එහෙත් මිල වැඩි කිරීමට රජය ඊට අවසර ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් පසු ව ඔවුන් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදු වන මූල්‍ය අලාභය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මේ වනවිට වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති අතර, ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර පසුගිය 19 වන දා සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එහි දී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා සිටියේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමිය යුතු බවට යි.

කෙසේ වෙතත්, පසු ව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් වෙළඳපොළ තත්ත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ව රුපියල් 200 ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වුණා.

එවන් පසුබිමක දේශීය කිරිපිටි සමාගම් ද ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, දේශීය කිරි ගොවීන්ට මුහුණ දීමට සිදු වන අර්බුද වළක්වා ගනිමින් දේශීය කිරිපිටි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට සමගාමී ව දේශීය කිරිපිටි මිලද ඉහළ නැංවිය යුතු බවට යි.

එසේම, සහල් පාලන මිල වැඩි කරන ලෙස සහල් නිෂ්පාදකයින් ද රජයෙන් ඉල්ලා ඇති අතර ගෑස් මිල සම්බන්ධයෙන් ද පසුගිය දිනවල විවිධ අදහස් පළ වුණා ෴

******************************************

එල්.එන්.ජී. බලාගාරය ගැන සාකච්ඡාවකට අගමැති අද (23) හවුල් පක්ෂ හමුවෙයි

(23.09.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදුන් බව කියන සිද්ධිය පිළිබඳ ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අද (23) සාකච්ඡා කිරීමට නියමිත යි.

ඒ, පසුගිය දිනවල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ඊයේ (22) දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත ව තිබුණත්, එය අද (23) පස්වරුව දක්වා කල් දැමීමට යි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අද (23) පස්වරු 04:30 ට අරලියගහ මන්දිරයේ දී ආණ්ඩුවේ පක්ෂ නායකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත යි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ස්වාභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොර ව අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් ඇති ව තිබෙනවා.

මෙම අනාවරණයත් සමඟ අදාළ ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් පසුගිය සඳුදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස්වී සාකච්ඡාවක නිරත වුණා.

මීට අමතර ව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ද පෙරේදා (21) පැවැත්වුණා.

මෙම සාකච්ඡාවලින් අනතුරු ව තීරණය කෙරුණේ, ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ස්ථාවරය ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට යි.

මේ අතර, කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වුණේ, කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි ෴

******************************************

අගෝස්තුවේ අපනයනවල වර්ධනයක්

(23.09.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට අපනයනයන් සියයට 12.13 කින් වර්ධනය වී තිබෙනවා.

අගෝස්තුවේ මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1083 ක්.

මෙලෙස මාසික අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්ම වීම කැපී පෙනෙන වර්ධනයක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ ෴

******************************************

රජයේ ඉඩම් අක්කරය රුපියලට දෙන LRC ඉඩම් කොල්ලය – මුන් එකෙකුට වත් මේව ගැන කිසිම ගාණක් නෑ (22.09.2021)

මල්දෙණිය වතු හිමිකරු ධම්මික එළියපුර, චමුදිත සමරවික්‍රම සමග

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 443 ක්

(22.09.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 443 ක් මෙරටින් වාර්තා වනවා. එම ආසාදිතයින් 443 ත් සමඟ මෙරට අද (22) දිනයේ හමු වූ ආසාදිතයින් ගණන 1321 ක් වනු ඇති. මෙරට මෙතෙක් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 5,07,651 ක් වනවා ෴

++++++++++++++++

කොවිඩ් ආසාදිතව සිටි ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

(22.09.2021 – 22:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ‘වෛද්‍යවරයා’ ලෙසට සේවය කළ ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

කොවිඩ් තත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක සිටි ඔහු පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ද යොමු කර තිබුනේ එහි ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක ප්‍රතිකාර ලබාදීම සඳහායි.

අනතුරුව ඊයේ (21) පස්වරුවේ ඔහු යළිත් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන විත් තිබුණා ෴

++++++++++++++++++

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට බලපෑම් කළොත් නීතිය තදින්

(23.09.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යස්ථ විසඳුමකට පැමිණ ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය අවසන් කරගැනීම රජයේ අපේක්ෂාව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට කොළඹ දී ඊයේ (22) එක් වෙමින්.

කෙසේ වෙතත්, මේ වනවිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් නිරත ගුරුවරුන්ට වර්ජනයේ නිරත ගුරුවරුන් තර්ජනය කරන බවට මෙන්ම, වර්ජනයේ නිරත ගුරුවරුන්ට අනෙකුත් කණ්ඩායම් බලපෑම් කරන බවට ගුරු සංගම් එකිනෙකාට චෝදනා එල්ල කර ගනිමින් සිටිනවා.

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකරන ගුරුවරුන් කිහිප දෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනෙකු (2) ගෙන් පෙරේදා (21) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, මීට අදාළ පැමිණිල්ල පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබී තිබුණු බවයි ෴

+++++++++++++++++++

ඇමෙරිකාවේ 65 ට වැඩි පුද්ගලයින්ට ෆයිසර් තුන්වන (3) මාත්‍රාවට අවසර

(23.09.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 65 ඉක්ම වූවන්ට දෙවන මාත්‍රාව ලබා, මාස 06 ක් ගත වූ පසු ෆයිසර් එන්නතේ 03 වන වර්ධක මාත්‍රාවක් ලබාදීම එෆ්.ඩී.ඒ. හෙවත් අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය අනුමත කර තිබෙනවා.

එහිදී දැඩි රෝගී තත්ත්වයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින්ට මෙන්ම නිරන්තරයෙන් වෛරසයට නිරාවරණය වන පුද්ගලයින්ටද මෙලෙස 03 වන මාත්‍රාවක් ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු එෆ්.ඩී.ඒ. ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තීරණයත් සමඟ මීට මාස 06 කට පෙර කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලැබූ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ට ෆයිසර් එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, වයස අවුරුදු 16 ඉක්ම වූ සියල්ලන්ට ෆයිසර් එන්නතේ 03 වන හෙවත් වර්ධක මාත්‍රාවක් ලබාදීම අනුමත කරන ලෙස ෆයිසර් සමාගම, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *