රාජගිරියේ චිකාගෝ රංගනයේ පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

රාජගිරියේ චිකාගෝ රංගනයේ පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

රාජගිරියේ චිකාගෝ රංගනයේ පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(22.09.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 20 වනදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළාගිය මෝටර් රථය සැකකරුවන් දෙදෙනෙකු (2) සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව මොවුන් තලංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ප්‍රධාන සැකකරු මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔහු මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෝටර් රථය වෙනත් කාන්තාවකගෙන් ලබා ගෙන ඇති බවටයි හෙලි වී ඇත්තේ.

මොහු පොලියට මුදල් ලබාදෙන මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර, කලකට ඉහතදී ගිණි අවියක් සමග පොලිස් අත්අඩංගුවට ගත් අයෙක්.

එමෙන්ම ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මොහුට අයත් මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඉදි කෙරෙමින් පවතින තෙමහල් සුඛෝපභෝගි නිවස පරීක්ෂා කර ඇති අතර සැකකරු එහි රැඳී සිට නැහැ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේවන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

******************************************

පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

(22.09.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (22) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් පත්‍රයක් පනවා මිල පාලනයක් කල විට ඊට එරෙහිව කටයුතු කරන තනි පුද්ගල ව්‍යාපාර හා සමාගම් වෙත පැනවෙන දඩ මුදල ඉහල යනු ඇති.

මේ යටතේ තනි පුද්ගල ව්‍යාපාරවලට අදාළව රුපියල් දහසක්ව පැවති දඩ මුදල රුපියල් දස දහස (10,000) දක්වා ඉහළ යනවා.

රුපියල් ලක්ෂයේ දඩ මුදල, ලක්ෂ 5 දක්වා වැඩි වන අතර ඔවුන් 2 වන වරට අදාළ වරදට හසු වුවහොත් රුපියල් දෙදහසේ දඩ මුදල රුපියල් විසි දහස (20,000) දක්වාත් රුපියල් ලක්ෂ 2 දඩ මුදල ලක්ෂ 10 දක්වා ඉහළ යනු ඇති.

සමාගමක් විසින් අදාළ වරදට හසු වුවහොත් රුපියල් දහසේ දඩ මුදල ලක්ෂය (1) දක්වාත්, ලක්ෂ 5 ක්ව පැවති දඩ මුදල රුපියල් ලක්ෂ 50 දක්වාත් ඉහළ යනවා.

මීට අමතරව යම් සමාගමක් එම වරදට යළිත් වරක් හසු වුවහොත් රුපියල් විසි දහසක් ලෙස පැවති දඩ මුදල ලක්ෂ 2 දක්වාත්, ලක්ෂ දහයේ දඩ මුදල ලක්ෂ 100 දක්වාත් ඉහළ යනවා.

මෙය නීතියක් බවට පත්වන්නේ කතානායකවරයාගේ සහතිකය ලබා දීමෙන් අනතුරුවයි ෴

******************************************

වීරකැටියේ 14 හැවිරිදි දරුවා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

(22.09.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් අද (22) වලස්මුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘සුද්දා’ නම් අයෙක් සහ තවත් පුද්ගලයෙක්.

ඔවුන් වීරකැටිය ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියදී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු (3) ඊයේ (21) අලුයම වීරකැටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ද ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය 19 වනදා වීරකැටිය ගජනායකගමදී ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාමෙන් එක් පාර්ශවයක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් 14 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට පත්වුණා.

******************************************

අලි පනත ගෙනාවේ හොර අලි නීති ගත කරන්නයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන්

(22.09.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකද දී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් අලි ඇතුන් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම සඳහා පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ඊට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා කියා සිටියේ මේ ආණ්ඩුව කෙටි කාලයක් තුල විවිධ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අතර අද (22) දිනයෙත් එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එය තුරු හා වෘක්ෂ ලතා පනතේ වගන්ති උල්ලංඝනය කිරීමක් බවත් එම පනතට අනුව වන අලින් යනු පොදු දේපලක් බවත් ඒ අනුව බලපත්‍ර නොමැති අලියෙකු හෝ ඇතකු ළඟ තබා තබා ගැනීම නීත්‍යානුකූල නොවන බවත් එම පනතේ සඳහන්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කලා.

රටතුළ අලි පොතක් තිබෙනවා, එම පොතේ නීත්‍යානුකූල අලි ගැන සදහන් වෙනවා, එය විහාරස්ථාන තුල හා හාම්පුතුන් ලඟ සිටින අලි ගැන සටහන් වෙනවා.

එවැනි පොත් 7 ක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබුණා එයින් එක පොතක් අතුරුදන් වෙනවා. අදටත් එය හොයාගන්න බැරි වෙලා එය සොයන්නේ නැතුව 1992 හා 1994 කාලයේ මේ රටේ කිසිම හාම්පුතුන් ළඟ ඉන්න අලියෙක්ටවත් කිසිම විහාරස්ථානයක අලියෙක්ට වත් පැටවෙක් ලැබුණේ නැහැ.

වනජීවී අලි පොතේ සටහන් වෙනවා දෙන්නෙක් (2) ළඟ සිටි ඇතින්නන්ට විතරක් පැටව් දෙන්නෙක් (2) බිහි වුණා කියලා, ඒ කෑගල්ලේ සන්දිත් සමරසිංහ සතු ඇතින්නිටත් කොට්ටාවේ කමල් කිත්සිරි සතු ඇතින්නිටත් පමණයි පැටව් බිහි වෙලා තිබෙන්නේ.

ඒ ඇරුනම රටේ කිසිම තැනක හීලෑ අලින්ට පැටවෙක් බිහිවෙලා නැහැ.

2012 දී රජය විසින් පනතක් සම්මත කරගන්නවා රටේ ඉන්න හාම්පුතුන්ට, නැත්නම් විහාරස්ථානවල අලි පැටව් සිටිනවා නම් ඒ අලි පැටවු ලියා පදිංචි කිරීමට පහසුකම් සැපයෙන.

අංක 22 47/1 ගැසට් එකේ තියෙන ඉල්ලුම් පත්‍රයේ කිසිම තැනක නැහැ ලියාපදිංචි කරන අලියා කොහෙන්ද, කාගෙන්ද ලැබුණේ ගෙනාවේ කියලා.

මොන අම්මගෙන් ද බිහි වුණේ කිසිම දෙයක් නැහැ.

ගෙදර හුරතලේට ඇති කරන්න බලු පැටියෙක් ගන්නවා නම් ඔහුගේ පැටිකිරියත් හොයන රටක මේ ඉල්ලුම් පත්‍රයේ එවැනි දෙයක් නැහැ.

හීලෑ අලි ඇතුන් නිදහස් කිරීමේදී රජය කිව්වා ඔවුන්ට විශාල වියදමක් දරන්න සිදු වූ බව. නමුත් ඒක පිළිගන්න බැහැ, පින්නවල, උඩවලවේ අලි අනාථාගාරයක් තිබෙනවා මේවා රජය විසින් අපේ රටේ ඉදිකළේ අනාථ වූ අලි රඳවාගන්න.

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීමේදී සංඝ භේදයක් ඇති වෙලා, ගොවි සංවිධාන අතර බේද ඇති වෙලා, මේවාට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා වගකිව යුතුයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගොවිසංවිධාන මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කළේ නැහැ. නින්දෙන් ඇහැරුණා වගේ මේවා ක්‍රියාත්මක කරන්න ගියපු නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවුණේ.

පොලොන්නරුව සංවර්ධනය වෙනවට අපේ ගොවීන් මහා සංඝරත්නය විරුද්ධ නැහැ. නමුත් ක්‍රමවේදයක් තිබිය යුතුයි.

මේ වන විට රල පනාවේ ගල් ඉවත් කරලා එහිදී වැව් බැම්මට ඉදිරියේදී හානි සිදුවිය හැකියි.

මෙම ඉදි කිරීම සිදුකරනවා නම් රලපනාව ශක්තිමත් කළ යුතුයි. මෙම රලපනාව ට වසර හතළිස් දෙකක් (42) වෙනවා. එවැනි ඉතිහාසයක් තිබෙන රලපනාවක් තමයි විනාශ කරන්න හදන්නේ.

මෙහි ජනතාවට නාන්න රළපනාව තැනින් තැන කඩල පඩිපෙළවල් දැම්මා අද එක පඩිපෙළ වත් නැහැ එම පඩිපෙළ සියල්ල පහළට බැහැලා එයින් ඔප්පු වෙනවා වසර හතළිස් දෙකක් (42) පැරණි ගල් ටික පහලට බැහැපු බව ෴

******************************************

අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර හමුව හෙට (23) ට කල් දැමේ

(22.09.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් හෙට (23) සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ, පසුගිය දිනවල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

අද (22) දිනයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණත්, එය හෙට (23) පස්වරුව දක්වා කල් දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව හෙට (23) පස්වරු 04:30 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ පක්ෂ නායකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ස්වභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ට ලබා දීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් සමගයි.

මෙම අනාවරණයත් සමග අදාල ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් පසුගිය සඳුදා (20) ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වී සාකච්ඡාවක නිරත වුණා.

මීට අමතරව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ (21) පැවැත්වුණා.

මෙම සාකච්ඡා වලින් අනතුරුව තීරණය කෙරුණේ ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ස්ථාවරය ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමටයි.

මේ අතර, කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව අමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි.

ඒ අනුව ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’, ‘වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ්’ හි 40% ක කොටස් අත්පත් කර ගන්නා අතර, කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම්ද සිදුකිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ වෘත්තිකයින් අද (22) මාධ්‍ය හමු කැඳවා තිබුණා.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රංජන් ජයලාල් මහතා ද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ඉදිරියේදී මෙයට විරෝධය පළ කරමින් ඒකාබද්ධ වැඩවර්ජනයකට යෑමට කටයුතු කරන බවයි.

මේ අතර, උද්ගතව ඇති ගැටළුව සම්බන්ධයෙන් අද (22) පැවති කැබිනටි තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගෙන් මාධ්‍යවේදීන් මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම ආයෝජනය සම්බන්ධයෙන් රජය ඉදිරියේදී ප්‍රකාශයක් සිදුකරන බවයි.

විෂය භාර අමාත්‍යවරයා විසින් එය සිදුකරනු ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා මරණ 92 ක්

(22.09.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 92 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,376 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 41 ක් සහ පිරිමින් 51 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමියෙකු (1) සහ එක් (1) කාන්තාවක් මෙම මරණවලට අයත්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 11 ක් සහ කාන්තාවන් 8 ක් මෙම මරණ 92 ට අයත් වනවා.

අවුරුදු 60 ට සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 71 ක් වන අතර ඒ පිරිමි 39 ක් සහ කාන්තාවන් 32 ක් වශයෙන්.

ගත වූ දින 5 ක් ඇතුලත කොරෝනා මරණ සියයට (100) අඩුවෙන් වාර්තාවූ හතරවන (4) දිනය අදයි.

එමෙන්ම අඛණ්ඩව මරණ 100 ට අඩුවෙන් වාර්තා වූ තුන්වන (3) දිනය අදයි.

පසුගිය සෙනසුරාදා (18) මරණ 84 ක් වාර්තා වූ අතර ඉරිදා දිනයේ මරණ 103 ක් වාර්තා කර තිබුණා.

එමෙන්ම පසුගිය සඳුදා (20) මරණ 93 ක් වාර්තා වූ අතර ඊයේ (21) අගහරුවාදා දිනයේ වාර්තා වූයේ මරණ 66 ක් පමණයි ෴

++++++++++++++++++

තවත් කොරොනා ආසාදිතයින් 878 ක්

(22.09.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරොනා ආසාදිතයින් 878 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 5,07,805 ක් ලෙසයි ෴

++++++++++++++++++

පොත් සාප්පු අරින්න පොලීසිය නිර්දේශ ඉල්ලයි

(22.09.2021 – 18:57 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීති සමයේ වසා දමා ඇති පොත් අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව යළි විවෘත කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ වසර එකහමාරක් රට වරින්වර වසා තැබීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.

එමෙන්ම, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමේදී අවශ්‍ය පොත් මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව එම ලිපියේ සඳහන්.

ඒ අනුවයි පොත් අලෙවිසැල් විවෘත කර තැබීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ස්පුට්නික්-වි දෙවැනි (2) මාත්‍රාව ලබාදීම අද (22) දෙවැනි (2) දිනටත් සිදු වුණා. එම එන්නත්කරණ වැඩසටහන යටතේ වසය අවුරුදු 105 ක, 94 ක හා 92 ක එකම පවුලක ඥාතී කාන්තාවන් තිදෙනෙකු (3) පේරාදෙණිය මහානාම විදයාලයේදී එන්නත් ලබා ගත්තා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වැඩිම ප්‍රමාණයක් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නත වන අතර එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 80 ක්. ඊට අමතරව ඇස්ට්‍රාසෙනෙකා – සියයට 10 ක්, මොඩර්නා – සියයට 6 ක්, ෆයිසර් – සියයට 3 සහ ස්පුට්නික්-වී – සියයට 1 ලෙස එන්නත් ලබා දී තිබෙනවා.

මේ අතර, හදිසි අසනිප තත්ත්වයක් නිසා ජිවිතක්ෂයට පත් වු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසුවියකට සිදු කළ කොරෝනා පරික්ෂාවකින් ඇයට වයිරසය අසාදනය වි ඇති බව තහවුරු වි තිබෙනවා.

දාහතර හැවිරිදි (14) මෙම දැරිය අද (22) අළුයම නිවසේ සිටිය දි ඇති වු හුස්ම ගැනිමේ අපහසුතාවයක් හේතුවෙන් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා. එම අවස්ථාව වනවිටත් ඇය ජිවිතක්ෂයට පත් ව සිටි බවයි රෝහල් ප්‍රකාශයෙකු කියා සිටියේ.

එමෙන්ම, රුපියල් 7,500 ක කොවිඩ් විශේෂ දීමනාව යළි ලබා ගැනීම ඇතුළු ඉල්ලිම් 05 ක් මුල් කරගනිමින් එකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද (22) දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.

එහි ප්‍රධාන විරෝධතාව පැවැත්වුණේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදීයි.

මේ අතර, ඊයේ (21) සිදු වු කොරෝනා මරණ 92 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණබ සංඛ්‍යාව 12,376 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද (22) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 878 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *