කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර අවසන් ගිවිසුමට එළැඹුණු බව අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ කියයි

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර අවසන් ගිවිසුමට එළැඹුණු බව අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ කියයි

*********************************************

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර අවසන් ගිවිසුමට එළැඹුණු බව අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ කියයි

(22.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි.

එහි දී මෙගාවොට් 310 ක යුගදනවි බලාගාරයේ හිමිකරු වන ‘වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ් සමාගමේ’, අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ ආයෝජනය කරන අතර එහි නව එල්.එන්.ජී. අංගනයක්ද ඉදිකිරීමට නියමිතයි.

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර සංකීර්ණයේ ධාරිතාව තවත් මෙගාවොට් 700 කින් ඉහළ නැංවීමට නියමිත වන අතර, බලාගාර සංකීර්ණයට ම ගෑස් සැපයීමේ අයිතිය ද ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ට හිමිවනු ඇති.

එමෙන්ම, මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් නව එල්.එන්.ජී. බලාගාරයක් ද එම සමාගම මඟින් කෙරවලපිටියේ ඉදිකරනු ලබනවා.

එහි මෙහෙයුම් කටයුතු 2023 වසර වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි සමාගමේ වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’, ‘වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ්’හි 40% ක කොටස් අත්පත් කර ගන්නා අතර, කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ද සිදු කිරීමට නියමිත යි.

‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ දෛනික ව ද්‍රව ස්වභාවික වායු ගැලුම් දොළොස් ලක්ෂයක් (12,00,000) මෙරට එල්.එන්.ජී. බලාගාර සඳහා සැපයීමට කටයුතු කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ආයෝජනය ශ්‍රී ලංකාව සුපිරිසිදු ඉන්ධන සහ දැරිය හැකි මිලකට බලශක්තිය ලබාගැනීම සඳහා පරිවර්තනය කරන කැපී පෙනෙන සංධිස්ථානයක් බවයි ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමේ’ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ‘වෙස් ඊඩ්න්ස්’ සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට නූතන බලශක්ති යටිතල පහසුකම් ලබා ගැනීම සඳහා ආයෝජනය කරමින් මෙරට තිරසර ආර්ථික සංවර්ධනයට සහාය වීමට හැකිවීම සතුටට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද (22) සඳහන් කළේ මෙම ආයෝජනය සම්බන්ධයෙන් රජය ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකරන බවයි.

විෂය භාර අමාත්‍යවරයා විසින් එය සිදුකරනු ඇති බව ද ඔහු එහි දී ප්‍රකාශ කළා.

******************************************

දේශීය කිරිපිටිවල මිල ඉහළ නැංවීමට ඉල්ලීමක්

(22.09.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටිවල මිල ඉහළ නැංවීමට සමගාමී ව දේශීය කිරිපිටිවල මිල ද ඉහළ නැංවීමට රජය විසින් පියවර ගත යුතු බව දේශීය කිරි නිෂ්පාදන සමාගම් පවසනවා.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කිරි තේ සාදා ගැනීම සඳහා කිරිපිටි වෙනුවට දියර කිරි භාවිතයට යොමු වීම පාරිභෝගිකයන්ට වඩා ලාභදායී බවයි.

එමෙන්ම එලෙස දියර කිරි භාවිතයට යොමු වීම, පවතින කිරිපිටි හිඟය තුලින් මතු ව ඇති ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුමක් වන බව ද ඔහු පෙන්වා දෙනවා.

වෙළඳපොළේ තවදුරටත් කිරිපිටි හිඟයක් පවතින අතර, පාරිභෝගිකයින් සඳහන් කරන්නේ රට තුල පවතින තත්ත්වය තුළ කිරිපිටි මිල ද ඉහළ දැමීම තුළින් තමන් දැඩි අපහසුතාවට පත්වෙන බවයි.

******************************************

යොහානිට ඉන්දියාවේ සජීවි ප්‍රසංග දෙකක් (2)

(22.09.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිට ඉන්දියාවේ සජීවි ප්‍රසංග දෙකක් (2) සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.

‘සුපිරි සඳ’ නැතිනම් ‘සුපර් මූන්’ ලෙස නම් කර ඇති එම ප්‍රසංගය ඉන්දීය ‘සී මාධ්‍ය නාලිකාව’ මඟින් සංවිධාන කර ඇති අතර, ගුරුග්‍රාම් සහ හයිද්‍රාබාද්හි දී එම ප්‍රසංග පැවැත්වෙනු ඇති.

සැප්තැම්බර් 30 වැනි දා පළමු (1) ප්‍රසංගය පැවැත්වෙන අතර, දෙවන (2) ප්‍රසංගය ඔක්තෝම්බර් 03 වැනි දා පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

යොහානි, සතීෂන් සමඟ ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වෙනවිට යූටියුබ් සමාජ මාධ්‍යයේ මිලියන 120 වාරයකට වඩා නරඹා ඇති අතර, බොලිවුඩ් පුරයේ මෙන්ම ලොව පුරා උන්මාදයක් බවට පත් ව තිබෙනවා ෴

+ https://www.youtube.com/watch?v=PgCliOxl41o

******************************************

මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ කසළ බඳුනකින් ජීව අත්බෝම්බ 02 ක්

(22.09.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ කසළ බඳුනක තිබී ජීව අත්බෝම්බ 02 ක් හමු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ (21) පස්වරුවේ කසළ ඉවත් කිරීමට පැමිණි නගර සභා සේවකයෙකු විසින් අදාළ ජීව අත්බෝම්බ 02 දැක පොලීසියට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව මේ වනවිට ඒවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එලෙස අත්බෝම්බ 02 ක් පොලිස් අධිකාරී කාර්යාලයේ කසළ බඳුනකට පිවිසි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

******************************************

රුපියල් මිලියන 68 ක කේරල ගංජා තොගයක් හමුදා භාරයට

(22.09.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – නරිවිල්කුලම් වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 228 ක් නාවික හමුදාව අද (22) පෙරවරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී සොයා ගනු ලැබුවා.

පාර්සල් 103 ක අසුරා තිබූ මෙම කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 68 කට අධිකයි.

සිය භාරයට ගත් මෙම කේරල ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා ෴

******************************************

රජයේ ණය සීමාව රුපියල් බිලියන 400 කින් ඉහළට

(22.09.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මේ වසර සඳහා රජයේ අනුමත ණය සීමාව තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ අනුව පසුගිය වසරේ විසර්ජන පනත මඟින් අනුමත වූ රුපියල් බිලියන 2,997 ක රජයට ණය ලබාගත හැකි සීමාව රුපියල් බිලියන 3397 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ ආදායම අවම වීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් අධික ලෙස ඉහළ යෑම, සමාජයේ ඇතැම් ස්ථරවල ආදායම් අහිමි වූවන්ගේ සමාජ ආරක්ෂණය සඳහා පියවර ගැනීම මෙන්ම ආදායම් අහිමි වූ ආයතනවල වැටුප් හා අනෙකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීමට සිදු වීම මෙලෙස ණය සීමාව ඉහළ නැංවීමට හේතු සාධක ලෙස මුදල් අමාත්‍යවරයා විසින් කරුණු දක්වා තිබෙනවා.

එමෙන්ම, කොවිඩ් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව මඟින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණය මුදලක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිලදී ගැනීමට සහ එන්නත් ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අනෙකුත් මූල්‍ය කටයුතු සඳහා මෙම මුදල යොදා ගැනීමට අපේක්ෂිත බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙන්නේ.

මේ අතර, අනුරාධපුර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ බව කියන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ නම සඳහන් වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු යටතේ විමර්ශනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ඊයේ (21) අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (22) පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

******************************************

පොහොර හිඟය නිසා ලූණු ගොවියෝ අසීරුතාවට

(22.09.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලොකු ලූණු වගාවට අවශ්‍ය පොහොර නො ලැබීමෙන් සහ අස්වනු සඳහා නිසි මිලක් නො මැති වීමෙන් ගොවීන් දැඩි අසීරුතාවට පත් ව සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, තම අස්වනු සඳහා නිසි මිලක් ලබා දෙන ලෙසයි.

******************************************

වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(22.09.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළකළ අදහස් කිහිපයක් :

******************************************

සහරාන් හෂීම්ගේ බිරිඳ සහ තවත් 06 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(22.09.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හඩියා සහ තවත් 06 දෙනෙකු ලබන ඔක්තෝබර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා ෴

******************************************

කාළගුණ වෙනසට මුහුණ දෙන්න ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 92 ක්

(22.09.2021 – 16:01 +0530 – hirunews.lk/sinhala)

කාළගුණ වෙනසට මුහුණ දීම සඳහා වන අදියර කිහිපයකින් යුත් ව්‍යාපෘතියක මුල් අදියර සඳහා ඩොලර් මිලියන 92 ක මූල්‍යාධාර ලබා දීමට ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹී තිබෙනවා.

එම අදියර යටතේ කාලගුණය, ජල ගැලීම්, නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ පද්ධති නවීකරණය කෙරෙන අතර එමගින් මිලියන 11.2 ක් පමණ වන ජනතාවට ප්‍රතිලාභ සැලසෙනු ඇති.

අදාළ ගිවිසුමට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අත්සන් තබා තිබෙනවා.

ලෝක කාළගුණ වෙනසේ දැඩි බලපෑමට හසුවන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන අතර වසර 2050 වන වට ඒ නිසා මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2 ක් පමණ අහිමි වනු ඇති ෴

******************************************

ගාලු වරාය සංවර්ධනයට ආයෝජකයන් කැඳවයි

(22.09.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ඵෙතිහාසික ගාලු වරාය කලාපීය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයන් වෙතින් අභිලාෂයන් කැඳවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ, දැනට මීටර 10 ක් පමණ ගැඹුරැති වරාය මීටර 18 ත් 20 ත් අතර ප්‍රමාණයකට ගැඹුරු කිරීම මෙන්ම නව දියකඩනයක් ඉදිකිරීම ව්‍යාපෘතියට ඇතුලත් වන බවයි.

ඩොලර් මිලියන 175 ක් පමණ වැය වන ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක් යන තේමාව යටතේ ගාලු වරාය සංවර්ධනය කිරීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ වරාය හා නාවික අමාත්‍යවරයා විසින්.

ලෝක උරුමයක් වන ගාලු කොටුවට ඔබ්බෙන් වූ ගාලු වරාය සංවර්ධනය සඳහා මේ වන විට යුනෙස්කෝ සංවිධානයේද අනුමැතිය ලබා ගෙන ඇති බව සඳහන් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දරුවන්ට එන්නත් ලබාදීම පිළිබඳ විශේෂඥ මතය

(22.09.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට එන්නත් ලබාදීමට තීරණය කළේ ඒ පිළිබඳ විශේෂඥ මතය විමසීමෙන් පසු ව බව රාජ්‍ය ඖෂධ නීති ගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනවිට සූදානම් බවයි.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු (1) සහ දෙවන (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 1,83,278 ක්.

ඒ අනුව පුද්ගලයින් 1,03,698 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 79,580 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

පසුගිය 20 වැනි දා සිදු වූ කොරෝනා මරණ 66 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (21) තහවුරු කළා.

වාර්තා වූ මරණ අතරින් 53 ක් ම අවුරුදු 60 ඉක්මවූවන්.

මේ වෙනවිට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,284 ක් ලෙසයි.

ඊයේ (21) කොවිඩ් ආසාදිතයින් 1321 දෙනෙකු වාර්තා වූ අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,07,330 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, ආසාදිත සංඛ්‍යාව අඩු වීමට මහජන එක් රැස්වීම් අවම වීම බලපා ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *