මාදිවෙල අක්කර 38 ක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ පෞද්ගලික සමාගමට

මාදිවෙල අක්කර 38 ක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ පෞද්ගලික සමාගමට

*********************************************

මාදිවෙල අක්කර 38 ක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ පෞද්ගලික සමාගමට

(22.09.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37 යි, රූඩ් 1 යි පර්චස් 20.44 ක ඉඩම් කොටසක් ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ (Colombo Bird Park) පෞද්ගලික සමාගමට ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම ඉඩම් කොටස තුළ සැලසුම් කිරීම, මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ ‘කුරුලු උද්‍යාන ව්‍යාපෘතියක්’ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය වසර 30 ක කාලයකින් පසු ව නැවත රජයට භාර දෙන (B.O.T) ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳ ව අද (22) නිකුත් කළ කැබිනට් නිවේදන පත්‍රිකාවේ පැහැදිලි ව සඳහන් ව නැහැ.

මේ සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවා තිබුණු අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් එම ටෙන්ඩරය ‘කලම්බූ බර්ඩ් පාර්ක්’ (Colombo Bird Park) පෞද්ගලික සමාගමට ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ ඉඩම් කොටස වසර 30 ක කාල සීමාවක් සඳහා අදාළ සමාගමට බදු පදනම මත ලබා දෙනු ඇති ෴

******************************************

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නව ලේකම්වරයෙක්

(22.09.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නව ලේකම්වරයෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව සහකාර අධිපතිවරයෙකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පසුගිය 15 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි මූල්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.

මූල්‍ය මණ්ඩල ලේකම් ලෙස වසර 03 කට ආසන්න කාලයක් කටයුතු කළ සහකාර අධිපතිනියක වන කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වෙනුවටයි නව ලේකම්වරයා පත්කර ඇත්තේ ෴

******************************************

14 හැවිරිදි දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ

(22.09.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 19 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වූ 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිත කැලෑබද ප්‍රදේශයක දී තවත් සැකකරුවෙකු සමඟ සැඟ වී සිටිය දී ඊයේ (21) රාත්‍රියේ, වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහු ව අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් වෙනවිට ඝාතනයට යොදාගත් ගිනි අවිය ද සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරු සමඟ සිටි අනෙත් පුද්ගලයා සතුව ද දේශිය ව නිෂ්පාදනය කළ ගිනි අවියක් තිබී ඇති අතර, එය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (22) දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වීරකැටිය පොලිසිය මඟින් සිදු කෙරෙනු ඇති.

******************************************

දියවන්නා ඔයට ඉන්ධන බැහැර කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක්

(22.09.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

දියවන්නා ඔයට ඉන්ධන බැහැර කිරීමක් සම්බන්ධ ව වහා ම සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැ යි පරිසර අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පා වීමේ සිද්ධියක් සම්බන්ධ ව තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධ ව වහා ම සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසට යි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබෙන්නේ.

******************************************

නිදහස් උළෙල සංවිධානයට දොළොස් දෙනකු (12) ගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

(22.09.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 74 වැනි නිදහස් සමරු උලෙළ සංවිධානය සහ අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් මෙම අනුකමිටුවට පැවරී ඇත්තේ, 2022 පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙන 74 වැනි නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීමට යි.

මෙම අනු කමිටුවට ජනාධිපතිවරයාට අමතර ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී එල් පීරිස්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එමෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ද ඇතුළත්.

කෙසේ වෙතත් දොළොස් දෙනකු (12) ගෙන් සමන්විත මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට එකදු අමාත්‍යවරියක හෝ ඇතුළත් නො වීම විශේෂ කාරණයක් ෴

******************************************

අනුරාධපුර බන්ධනාගාර සිදුවීම විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරයෙක්

(22.09.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරයන්හි මෑතකාලීන ව උද්ගත වූ සිදුවීම් පිළිබඳ ව පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කිරීමට රජය කටයුතු කරන බව, අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

සැප්තැම්බර් 12 වැනි දා බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට (2) ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට මෑතක දී චෝදනා එල්ල වුණා.

අද (22) පාර්ලිමේන්තුවේ දී මෙම සිදුවීම පිළිබඳ ව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලි සබ්රි අමාත්‍යවරයා කියා සිටියේ, මෙම සිද්ධීන් කොන්දේසි විරහිත ව හෙළා දකින අතර එය කිසිසේත් සිදු නො විය යුත්තක් ලෙස තමන් සලකන බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මානව හිමිකම් කොමිසම ස්වාධීන පරීක්ෂණ දෙකක් (2) සිදු කරන බවත් එම පරීක්ෂණයන්ට අමතර ව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු යටතේ නව වාර්තාවක් කැඳවීමට සිය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් තර්ජනය කළ බව කියන දෙමළ සිරකරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හට සිය කනගාටුව ප්‍රකාශ කළ අතර, අදාළ සිදුවීමට ලක් වූ සිරකරුවන්ගෙන් සමාව ද අයැද සිටියා.

මෙම සිද්ධියෙන් පසු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිද්ධීන් දෙකෙහි (2) වගකීම භාරගෙන තමන් දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පමණක් ඉල්ලා අස් වුණා ෴

******************************************

වැලි ජාවාරමක් පිළිබඳ චෝදනාවට මහින්ද අමරවීර ගෙන් පිළිතුරු

(22.09.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීමට නැගෙනහිර ප්‍රදේශයෙන් හොර රහසේ වැලි රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳ ව නැගෙනහිර පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ක්‍යන් රාසමනික්කම් සිදු කළ චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

පාර්ලිමේන්තුව තුළ යම්කිසි අමාත්‍යාංශයකට හෝ අමාත්‍යවරයෙකුට චෝදනාවක් ඉදිරිපත් කරන විට නිවැරදි තොරතුරු සහිත ව එය ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා රාසමනික්කම් මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

අද (22) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් සිදු කළ අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ චෝදනාව සම්බන්ධයෙන් තමන් නො දැන හෝ යම් කිසකිසි වරදක් සිදු වී ඇතැයි යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවයි.

ඒ අනුව මෙම චෝදනාවට අදාළ ආයතන සමඟ සිදු කළ විමසීමක දී හෙළි වූයේ අපේ රටේ කිසි ම ස්ථානයකින් වැලි හෝ වෙනත් කිසිදු ඛනිජ සම්පතක් එලෙස නීති විරෝධී ලෙස අපනයනය කර නො මැති බවයි.

එමෙන්ම 2021 වසරේ සිට 2025 වසර දක්වා මෙරට වැලි අවශ්‍යතාව ඝන මීටර් මිලියන 55 ක් බවත් නමුත් එම අවශ්‍යතාවයෙන් අපේ සියලු මාර්ග හරහා අපට සපයා ගත් හැක්කේ වැලි ඝන මීටර් හතළිස් එකක් (41) පමණක් බවත් මෙහි දී අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ අනුව ජාතික අවශ්‍යතාවයෙන් වැලි ඝන මීටර මිලියන දාහතරක (14) හිඟයක් පවතින බවටත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.

මීට අමතර ව පෞද්ගලික සමාගමක් විසින් ජල පෙරහන් සඳහා භාවිත කරන වැලි කියුබ් 8 ක ප්‍රමාණයක් පසුගිය කාලසීමාව තුළ දී මාලදිවයිනට අපනයනය කර ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය කරන වැලි ලබා ගෙන ඇත්තේ ද නැගෙනහිර පළාතේ නො වන බවට යි අමාත්‍යවරයා අවධාරණය කළේ ෴

******************************************

කේරල ගංජා ප්‍රවාහනය කළ යුවළක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

(22.09.2021 – 12:35 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව බුද්ධි කොට්ඨාශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (21) වැනි දින වත්තල පොලිස් වසමේ හේකිත්ත මාර්ගයේ, ශාන්ත ලාසරස් කතෝලික දේවස්ථානය ඉදිරිපිට දී වැටලීමක් සිදු කළා.

එහි දී රාත්‍රී 08:20 ට පමණ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 161 ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 34 හා 40 වයසේ මට්ටක්කුලිය, වත්තල ප්‍රදේශවල යුවළක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දුන්නා.

මෙහි දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතු ව තිබූ ජංගම දුරකතන තුනක් (3) ද පොලිස් භාරයට ගැනුණු අතර, වැටලීමේ දී අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල දල වටිනාකම රුපියල් හය ලක්ෂ පනස්දාහකට (6,50,000) අධික‍යි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිල දී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක ණයක්

(22.09.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ්-19 උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙරටට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක ණයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබෙනවා.

ඒ කොවිඩ්-19 සඳහා වූ ජාතික එන්නත් කරන සැලැස්මේ දක්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60% ක් එන්නත් කිරීමේ මූලික ඉලක්කය සපුරා ගැනීම සඳහා‍යි.

අදාල මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14 ක් මිල දී ගැනීමට සහ එන්නත් ලබාදීමේ කාර්යයන්ට අදාළ අනෙකුත් පිරිවැය ප්‍රතිපාදනය කර ගැනීම සඳහා යොදා ගැනීමට යි සැලසුම් කර ඇත්තේ.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අතිරේක මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *