දෛනික කොරෝනා ආසාදිතයින් 1,300 සීමාවට

දෛනික කොරෝනා ආසාදිතයින් 1,300 සීමාවට

*********************************************

දෛනික කොරෝනා ආසාදිතයින් 1,300 සීමාවට

(22.09.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 1,321 දෙනෙකු ඊයේ (21) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,07,330 දක්වා ඉහළ ගියා.

පසුගිය 20 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 66 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කළා.

ඊට පිරිමින් 30 ක් සහ කාන්තාවන් 3 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 53 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමින් 23 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, එහි කාන්තාවන් 05 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදනය වී සිදු වූ අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ දෙකක් ඊයේ (21) වාර්තා කළ මරණ අතර වෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,284 ක් ලෙසින්.

ඉල්ලිම් 05ක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය දිවයින පුරා රෝහල් ඉදිරිපිට අද (22) විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරිමට තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළා.

රුපියල් 7500 ක කොවිඩ් විශේෂ දීමනාව යළි ලබා ගැනීම මෙම විරෝධතාවයේ මූලික අරමුණ බවයි උන්වහන්සේ කියා සිටියේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

විවෘත කිරිමේ උත්සවයට තමන්ට ආරාධනා නොලැබීම නිසා ප්‍රාදේශිය සභාවේ සභාපති බල්ලා රෝහලේ ජල සැපයුම කපා දමයි.. ප්‍රතිකාර කිරිම් නතර වේ…

(22.09.2021 – 08:02 +0530 – lankacnews.com)

= රෝහලේ ජල සැපයුම කපා දමයි.. ප්‍රතිකාර කිරිම් අත්හිටුවයි… =

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන නානුඔය නගරයේ අලුතින් ඉදි කරන ලද ප්‍රාථමික වෛද්‍ය ඒකකය වෙත නුවරඑලිය ප්‍රාදේශිය සභාව විසින් ලබා දි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කිරිම නිසා එම ප්‍රාථමික ඒකකයෙන් ඉකුත් (19) දින සිට රෝගින්ට ප්‍රතිකාර කිරිම තාවකාලිකව අත්හිටුවා තිබිම හේතුවෙන් නානුඔය ප්‍රදේශයේ රෝගින් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතියට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ රු. මිලියන 37 ක ණය ආධාර යටතේ ඉදි කරන ලද නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය මේ මස 18 වන දින ජනතා අයිතියට පත් කෙරිණ.

18 වන දින රෝහලේ ප්‍රථමික වෛද්‍ය ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ආරාධනා නොකිරීම ගැන උරන වූ එම සභාපතිවරයා විසින් මෙතෙක් කල් එම ප්‍රාථමික වෛද්‍ය ඒකකයට ලබා දි තිබු ජල සම්බන්ධතාවය එදිනම විසන්ධි කරවනු ලැබ ඇති බවත්, රෝහල් පරිශ්‍රයේ කැලි කසල බැහැර කිරිමද ප්‍රාදේශිය සභාවේ කම්කරුවන්ට එම සභාපතිවරයා විසින් තහනම් කරනු ලැබ ඇති බවත් එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටී.

දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහ අමාත්‍ය සි.බි. රත්නායක මහතාට පමණක් විවෘත කිරිමේ අවස්ථාවට එම රෝහලේ සංවර්ධන කමිටුව විසින් ආරාධනා කරනු ලැබ තිබිණි. එම අවස්ථාවට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම අවස්ථාවට ආරාධනා නොකිරිම නිසා රෝහල විවෘත නොකර (රාජ්‍ය අමාත්‍යයවරයා) රෝහල් පරිශ්‍රයෙන් ඉවත්ව යැමෙන් අනතුරුව අමාත්‍ය සි.බි. රත්නායක මහතා වෙනුවෙන් පැමිණි ඔහුගේ සහෝදරයා වන එස්.බි. රත්නායක මහතා රෝහල් පරිශ්‍රය විවෘත කර ඇත.

දන්ත සෞඛ්‍ය ඒකකයක්, බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය රසායනාගාරයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය නිල නිවාස, විවේකාගාර දෙකකින් (2) සහ තවත් පහසුකම් ගණනාවකින් නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ ඉදි කර ඇත.

නානුඔය ප්‍රදේශයේ වතු පහක (5) සහ ගම්මාන තුනක (3) පදිංචි දහ නව දහසක් (19,000) පමණ ජනතාවට ප්‍රතිකාර ලබා ගැනිමට ඇති ළඟම රෝහල වන්නේද මෙම නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකයි.

රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගින්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව දෑත් සේදිමට සහ රෝහලේ දෛනික කටයුතු වලට අවශ්‍ය ජල පහසුකම් නොමැති නිසා යලිත් ජල සම්බන්ධතාවය ලබාදෙන තෙක් රෝහලේ ප්‍රතිකාර කිරිමේ කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි එම රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අප නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාජ් ගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රෝහල විවෘත කිරිමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකිරිම නිසා එම රෝහල වෙත ලබාදි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි නොකල බවත්, එම රෝහල ප්‍රතිසංස්කරණය කිරිමට ප්‍රථම තම ප්‍රාදේශිය සභාව වෙත ජල ගාස්තු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රු. පනස් හතර දහස් හත්සිය හැත්තැ අටයි සත හැත්තැවක් (54,778.70) සභාව වෙත ගෙවිම ඇති නිසා රෝහල වෙත ලබා දි තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කල බවයි.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාගේ ඉල්ලිම මත යලිත් කඩිනමින් එම රෝහලට ජල සම්බන්ධතාවය ලබා දිමට කටයුතු කරන බවද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

******************************************

පාරිභෝගික පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(22.09.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම අද (22) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙනවා.

ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

පාලන මිලට වඩා වැඩියෙන් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ අලෙවි කරන්නේ නම්, ඒ සඳහා පවතින දඩ මුදල් රුපියල් ලක්ෂය (1,00,000) දක්වා ඉහළ නැංවිම මෙ මඟින් සිදු වෙනවා.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ, අදාළ පනත් කෙටුම්පත විවාද කර සම්මත කර ගැනිමට නියමිත බවයි.

එමෙන්ම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සමාජිකයෙකු ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පිළිගෙන ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

පසුගිය දිනවල දී ඔහු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳවත් සඳහන් කළ තොරතුරු වැරදි සහගත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම සියලු කරුණු ප්‍රතික්ෂේප කරන අතර, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් අද (22) පාර්ලිමේන්තු විවාදයේ දී කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවත්, අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් අප තුෂාන් ගුණවර්ධන මහතා ගෙන් විමසිමක් කළා. එහි දී ඔහු කියා සිටියේ, තමා සම්බන්ධයෙන් විවිධ පාර්ශව පළ කරන අදහස් පිළිබඳ ව ඉදිරියේ දී ප්‍රකාශයක් සිදු කරන බවයි.

මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කොප් කමිටුවේ විශේෂ රැස්වීමක් එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

කාරක සභාවේ ඉදිරි කටයුතු සහ කැඳවිමට නියමිත ආයතන ඇතුළු කරුණු ගණනාවක් මෙහි දී සාකච්ඡා වු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවන (2) කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සම්බන්ධ වාර්තාව මත පදනම් වූ පාර්ලිමේන්තු විවාදයක් කඩිනමින් පැවැත්විය යුතු බවයි සාමාජික මන්ත්‍රිවරුන් පෙන්වා දි ඇත්තේ.

මීළඟ කෝප් කාරක සභාවට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරිමට ද මෙහි දී තීරණය කර තිබෙනවා.

මේ අතර, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඊයේ (21) සිය යෝජනා ඉදිරිපත් කළා.

ඒ, එම කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී යි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කරුණු ඉදිරිපත් කළ අතර, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ මූලිකත්වයෙන් කරුණු ඉදිරිපත් කෙරුණා.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කරුණු දක්වනු ලැබුවා.

මෙම විශේෂ කාරක සභාව අද (22) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී යලි රැස්වීමට නියමිත බව, කාරක සභා ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවා.

එහි දී සමඟි ජන බලවේගය, අපේ ජන බල පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ජනපති අද (22) ජගත් සමුළුව අමතයි

(22.09.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව මේ වෙනවිට පැවැත්වෙනවා.

එය මෙවර පැවැත්වෙන්නේ 76 වැනි වතාවට යි.

සමුළුව අමතමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ, “කොවිඩ් පරාජය කර, ලෝකය හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක් වන්න” යනුවෙන්.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් හා මහ මණ්ඩල සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් සමුළුවේ පළමු සැසියේ දේශන සිදු කළා.

සමුළුවේ දෙවන දිනය වන අද (22) මෙරට වේලාවෙන් රාත්‍රී 09:30 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීමට නියමිත‍යි.

******************************************

වනජීවි නිලධාරින් අලි පලවා හැරීමෙන් ඉවත් වෙයි

(22.09.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – ඉඹුලන්දණ්ඩ – වාවන්නාවත්ත සහ දුන්කල වත්ත යන ප්‍රදේශවල වන අලි පලවා හැරිමේ මෙහෙයුම්වලින් තාවකාලි ව ඉවත් වීමට වනජීවි නිලධාරින් තීරණය කර තිබෙනවා.

මාතලේ – ඉඹුලන්දණ්ඩ ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයක් පිළිබඳ ව ඊයේ (21) ලැබුණු දුරකතන ඇමතුමක් අනුව එම ස්ථානයට පැමිණි වනජීවි නිලධාරින්ට එහි සිටි පිරිසක් පහරදීමට තැත්කර තිබෙනවා.

මාතලේ – රජ්ගම්මන වනජීවි කාර්යාලය අඩවි ආරක්ෂක නිලධාරියෙකු සඳහන් කළේ, තම පිරිසට පහරදීමට තැත් කළ පිරිස අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ද සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රජ්ගම්මන වනජීවි කාර්යාලයේ නිලධාරින් මාතලේ පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ ක්‍රියාත්මක බවයි අප කළ විමසිමක දී පොලිසිය සඳහන් කළේ ෴

******************************************

සහනාධාර ලෙස පොහොර ලබා දී නැහැ – කෘෂිකර්ම ඇමති

(22.09.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

සහනාධාර පොහොර ලෙස පොහොර බෙදා දීමක් රජය විසින් සිදු කර නො මැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්නද අලුත්ගමගේ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිම සහ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ද මෙහි දී සංවාදයට ලක් වුණා ෴

******************************************

අලි නිදහස් කිරීමට එරෙහිව පෙත්සමක්

(22.09.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

හීලෑ අලි ඇතුන් 14 දෙනෙකු මුදා හරින ලෙසට නිකුත් කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඊයේ (21) රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ , ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ සහ ‘සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයේ’ ක්‍රියාකාරීන් පිරිසක් විසින්.

ඔවුන් පෙත්සමෙන් පෙන්වා දෙන්නේ, එලෙස අලි ඇතුන් මුදා හරින ලෙසට නිකුත් කළ නියෝගය, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතටත්, පොදු දේපල පනතට මෙන්ම අපරාධ නීතියට ද පටහැනි බවට යි.

නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අදාළ අලි ඇතුන් යළි මුල් අයිතිකරුවන් වෙත ලබාදෙන ලෙසට වනජීවී අමාත්‍ය විමලවීර දිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එම ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා.

පෙත්සමේ වග උත්තරකරුවන් වන්නේ වනජීවි අමාත්‍යවරයා, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ පොලිස්පතිවරයා, ඇතුළු පිරිසක් ෴

******************************************

රාජගිරියේ සිද්ධිය ගැන කණ්ඩායම් 06 ක් සීරුවෙන්

(22.09.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 6 ක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඊට පොලිස් කණ්ඩායම් 4 ක් සහ බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත කණ්ඩායම් 2 ක් ඇතුළත්.

එමෙන්ම, මත්කුඩු පාර්සලය රැගෙන ආ බව කියන ත්‍රීරෝද රථයේ රියදුරා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

හෙරොයින් පාර්සල් දෙකක් (2) රැගෙන යාමට මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පෙරේදා දහවල් රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මත්කුඩු පාර්සලය මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාට ලබාදීමට උත්සාහ කිරීමේ දී ත්‍රීරෝද රථයේ පැමිණි පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුව මෝටර් රථයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු වේගයෙන් පළා යෑමට උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේ එහි සිටි පොලිස් සැරයන්වරයෙකු මෝටර් රථයේ බොනට්ටුවට පැන පළායෑම වැළැක්වීමට උත්සාහ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ජාවාරම්කරු පොලිස් නිලධාරියා බොනට්ටුව මත සිටිය දී මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කර පසු ව පොලිස් නිලධාරීයා බිම වැටීමට සලස්වා පළාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

******************************************

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ට අගමැතිගෙන් කැඳවීමක්

(22.09.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (22) ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් කැඳවා තිබෙනවා.

ඒ, පසුගිය දිනවල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

එම සාකච්ඡාව අද (22) පෙරවරු 10:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, හවුල්කාර පක්ෂ නායකයින් ඊයේ (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමු වී තිබුණා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගිය සඳුඳා (20) කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී සාකච්ඡා කළ අතර, නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් ඊට එක් ව සිටියා.

එහි දී තීරණය කෙරුණේ, අදාළ ගිවිසුම ඔස්සේ මතු ව ඇති තත්ත්වයන් පිළිබඳ ව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට යි.

ඒ අනුව අද (22) දිනයේ දී ඔවුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *