අර්බුදවලට විසඳුම් දෙන්නැයි ‘ලිට්රෝ ගෑස්’ සේවකයින් ඉල්ලයි

අර්බුදවලට විසඳුම් දෙන්නැයි ‘ලිට්රෝ ගෑස්’ සේවකයින් ඉල්ලයි

*********************************************

අර්බුදවලට විසඳුම් දෙන්නැයි ‘ලිට්රෝ ගෑස්’ සේවකයින් ඉල්ලයි

(21.09.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ලාෆ්ස් ගෑස් මිල ඉහළ නැංවීමට අවසර ලබාදුන්න ද රජය සතු ලිට්රෝ ගෑස් පැරණි මිලට ම අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ලිට්රෝ සමාගම අර්බුදයකට මුහුණ දෙන බව වාර්තා වෙනවා.

මෙරට ගෑස් වෙළඳපොළෙන් 80% ක ප්‍රතිශතයක් හිමි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි කරනු ලබන්නේ රුපියල් 847 ක පාඩුවක් සහිතව යි.

ඒ අනුව දිනක (1) දී ගෑස් අලෙවියෙන් ලිට්රෝ සමාගමට රුපියල් මිලියන 80 ක පාඩුවක් සිදුවන අතර, මාසික පාඩුව රුපියල් බිලියන 2.2 ක් පමණ වනවා.

ලිට්රෝ සමාගම මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ, ගෝලීය වසංගතය හමුවේ වූව ද මහා භාණ්ඩාගාරයට හෝ එහි පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට බරක් නො වී සිටියදී යි.

ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 1,493 ක් ලෙස සටහන් වන නමුදු, ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල පසුගිය අගෝස්තු 13 වැනි දා සිට රුපියල් 363 කින් ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය හිමි වුණා.

ලිට්රෝ බංකරින් පහසුකම මඟින් මසකට එල්.පී. ගෑස් මෙට්‍රික් ටොන් 35,000 ක් හසුරුවන අතර, එහි ඍජු ව සේවයේ නිරත සංඛ්‍යාව 225 කට අධිකයි.

ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වලට අමතර ව රජය මඟින් ‘සියොලිට්’ නැමැති නව ගෑස් සමාගමක් පිහිටුවීම ද ප්‍රශ්නකාරී වී තිබෙනවා.

එමඟින් ලාෆ්ස් බංකරින් පහසුකම හරහා පමණක් එල්.පී. ගෑස් මිල දී ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එසේ වුවහොත් කෙරවලපිටියේ ලිට්රෝ ගෑස් සංචිතවල සිට හම්බන්තොට දක්වා මුහුදු මාර්ගයෙන් ගෑස් ප්‍රවාහනය කිරීමට සිදුවනු ඇති.

මෙම ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීම සඳහා ‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ නමින් සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබෙනවා.

ලිට්රෝ සමාගම අද මුහුණදෙන අර්බුදය පිළිබඳ පැහැදිලි කරමින් එම සංවිධානයේ සභාපති නලින් සමන්ත මහතා කියා සිටියේ මෙම ගැටලුවලට බලධාරීන් විසඳුම් ලබාදිය යුතු ව ඇති බවයි ෴

******************************************

අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගැන අවසන් තීන්දුව මේ සතියේ

(21.09.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි, තිරිඟු පිටි, සහල් සහ සිමෙන්ති මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මේ සතියේ දී අවසන් තීන්දුවකට එළැඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නව ‘කිව් ෂොප්’ අලෙවිසැලක් අද (21) විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

******************************************

රාජගිරියේ දී පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සොයා මෙහෙයුම්

(21.09.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සී.සී.ටී.වී. දත්ත සහ ඇසින් දුටු සාක්ෂි පදනම් කරගනිමින්.

එමෙන්ම, මත්කුඩු පාර්සලය රැගෙන ආ බව කියන ත්‍රීරෝද රථයේ රියදුරා සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.

හෙරොයින් පාර්සල් දෙකක් (2) රැගෙන යාමට මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊයේ (20) දහවල් රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මත්කුඩු පාර්සලය මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාට ලබාදීමට උත්සාහ කිරීමේ දී ත්‍රීරෝද රථයේ පැමිණි පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසු ව මෝටර් රථයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු වේගයෙන් පළා යෑමට උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේ එහි සිටි පොලිස් සැරයන්වරයෙකු මෝටර් රථයේ බොනට්ටුවට පැන පළායෑම වැළැක්වීමට උත්සාහ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ජාවාරම්කරු පොලිස් නිලධාරීයා බොනට්ටුව මත සිටිය දී මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කර පසු ව පොලිස් නිලධාරීයා බිම වැටීමට සලස්වා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මත්කුඩු ජාවාරම්කරු පිළිබඳ ව පොලිසියට බුද්ධි තොරතුරක් ලැබී ඇති අතර, ජාවාරම්කරුවන්ට ද ඇතැම් තොරතුරු සම්ප්‍රේෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළායෑමට උත්සාහ කිරීමේ දී ඔහුට වෙඩි නො තැබීම සම්බන්ධයෙන් ද ඇතැම් වාර්තාවල සැක මතුකර තිබුණා.

කෙසේ වෙතත්, නුගේගොඩ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් බුද්ධි කණ්ඩායම් 05 ක් යොදවා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රීයාත්මක කර තිබෙනවා.

******************************************

‘මැණිකේ මගේ හිතේ’ ඇමෙරිකාවෙත් නින්නාද දෙයි

(21.09.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි සමඟ සතීෂන් ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යූටියුබ් ගෝලීය සංගීත දර්ශකයේ (YouTube Global Top songs) මුල් ගීත 10 අතරට පිවිස තිබෙනවා.

එය මේ සතියේ 07 වන ස්ථානයේ පසු වෙන අතර, මේ වෙනවිට ගීතයේ නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 116 ඉක්මවා අවසන්.

ඉන්දියාවේ ද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය උන්මාදයක් බවට පත් වූයේ සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දීය සිනමාවේදීන් ද ඊට නර්තනාංග ඉදිරිපත් කිරීමත් සමඟයි.

ටයිගර් ෂෙරෝෆ්, මධුරි ඩික්සිත්, පරීනිති චොප්රා මෙන්ම සංගීතඥ සෝනු නිගම් ද සිය සමාජ මාධ්‍ය පිටුවල ගීතය පිළිබඳ සටහන් එක් කළා.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රූපවාහිණී නාලිකා මඟින් ද යොහානි සම්මුඛ සාකච්ඡා සඳහා එක්කර ගනු ලැබූ අතර, එන්.ඩී.ටී.වී. නාලිකාව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, සුප්‍රකට ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහුමාන් ඇතුළු සංගීතඥයින් සමඟ නිර්මාණ කිරීමට ඇය කැමැත්තෙන් පසු වෙන බවයි.

මේ අතර, අමෙරිකාවේ ජනාකීර්ණ වීථිවලට ද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පිවිසී ඇති බව වාර්තා වුණා.

ඇමෙරිකාවේ ජීවත්වන ප්‍රකට යුක්රේන යොවුන් වයලීන් වාදන ශිල්පිණී ‘කැරොලිනා පොටෂෙන්කෝ’ කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි වීථියක දී ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වාදනය කළේ විශාල පිරිසක් ආකර්ශනය කර ගනිමින්.

++++++++

******************************************

විදුලි පාරිභෝගිකයින්ට සහනයක්

(21.09.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල්පත් ගෙවීමට අපහසු පාරිභොගිකයින්ට විදුලි බිල මාස 24 ක් තුළ වාරික ලෙස ගෙවීමේ සහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

කෙසේ වෙතත් එහි දී පොලී මුදලක් ගෙවීමට ද පාරිභෝගිකයන්ට සිදු වෙන බවයි කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ෴

******************************************

ජගත් – සරත් – ලොකුගේ වාග් ගැටුම තවදුරටත්

(21.09.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ජගත් කුමාර මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරුන් වෙන සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ අතර මේ දිනවල පවතින වාග් ප්‍රහාර හේතුවෙන් දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

අද (21) පැවති වැඩසටහනකදී ද මේ පිළිබඳ ව අදහස් පළ වුණා.

******************************************

ප්‍රමිතියෙන් තොර කොම්පොස්ට් නිසා ගොවියන් අසීරුතාවට

(21.09.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

දහසකුත් එකක් බලාපොරොත්තු ඇති ව රට බත බුලතින් සරු කිරීමට වෙර දරන ගොවි ජනතාව පොහොර අර්බුදය සහ අස්වනු සඳහා නිසි මිලක් නො මැතිකම ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

ගිරිතලේ ව්‍යාපාරය යටතේ එළැඹෙන මහ කන්නය සඳහා සිදුකරන වගාවන් වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කරමින් තිබෙන කොම්පෝස්ට් පොහොර නිසි ප්‍රමිතියකින් තොර බවට ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මහ කන්නය සඳහා තවත් මාසයක කාලයක් පමණක ඉතිරි ව ඇති අවස්ථාවක මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත් වීමට ඉඩ ඇති බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

එන්නත් මධ්‍යස්ථාන සීමා විය හැකියි – සෞඛ්‍ය අමාත්‍යාංශය

(21.09.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී එන්නනත්කරණ මධ්‍යස්ථාන සීමා කිරීමට සිදු විය හැකි බැවින් හැකි ඉක්මනින් තමන්ට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ 03 වැනි මාත්‍රාවක් ලබා දීමේ කටයුතු ආරම්භ කළහොත් 01 වන සහ 02 වන මාත්‍රාව ලබාදීම සීමා වනු ඇති බවයි.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ (20) දී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 59,187 ක්.

ඒ අනුව පුද්ගලයින් 29,579 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 29,608 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

එසේම වතුකරයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන් සඳහා සයිනොෆාම් පළමු (1) මාත්‍රාව ලබාදීම ද අද (21) ඇරඹුණා.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ළඟ ම එන්නත් මධ්‍යස්ථානයෙන් හැකි ඉක්මනින් කොරෝනා මර්දන එන්න ලබා ගන්නා ලෙසයි.

රට විවෘත කළ පසු නිසි පරිදි සෞඛ්‍ය පුරුදු සහ මාර්ගෝපදේශ රකින ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර උසස් පෙළ සිසුන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර ඊට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා.

මේ අතර වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනී කුමාරි ධර්මදාස මහත්මිය කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරියක්.

එසේම බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික වැවේගෙදර මහතාට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා.

+++++++++++++++++

සංචාරක ණය පමා සහන කාලය දිගු කෙරේ

(21.09.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් පීඩාවට ලක් වූ මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ‘ණය පමා සහන කාලසීමාව’ තවත් මාස 09 කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදායින් ඉකුත්වීමට නියමිත ව තිබූ එම කාලසීමාව ලබන වසරේ (2022) ජුනි මාසය දක්වා ක්‍රියාත්මක වනු ඇති.

මීට පෙර ද සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය ආපසු ගෙවීමේ සහන කාලය මාස 06 කින් දීර්ඝ කරනු ලැබුවා.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් මුහුණදෙන අභියෝග සැලකිල්ලට ගෙන මෙලෙස ණය පමා සහන කාලය යළි දීර්ඝ කළ බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

මීට අදාළ නියෝග මහ බැංකුව විසින් සියලු ම බලපත්‍රලාභී වානිජ බැංකු වෙත පසුගිය සතියේ යවා තිබෙනවා ෴

++++++++++++++++

උසස් පෙළ විභාගය කල් දමන්නැ යි සිසුන්ගෙන් ඉල්ලීමක්

(21.09.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මෙරටට බලපෑ කොවිඩ් අවදානමත් සමඟ වසර එක හමාරක (1½) පමණ කාලයක් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුලුමනින්ම අඩාල වී තිබෙනවා.

එවන් පසුබිමක වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ගුරුවරුන් ද ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති අරගලයකට අවතීර්ණ වීමත් සමඟ දරුවන්ට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමට යි.

මේ හේතුවෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උසස්පෙළ විභාගය කල් දමන ලෙසයි.

මේ අතර 2020 උසස් පෙළ විභාගවල ප්‍රතිඵල අනුව 2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත අද ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ නමුත්, ඊට අදාළ ඉසෙඩ් ස්කෝර් අගයන් ලබන මාසයේ නිවේදනය කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුවකදී ලබාදුන් නියෝගයකට අනුව 2020 වසරේ උසස් පෙළ විභාගය සඳහා නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් වෙන්ව කාණ්ඩ දෙකක් වශයෙන් සැලකීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *