ජගත් මහා මණ්ඩල සමුළුව අද (21) ඇරඹේ – ජනපති ද්විපාර්ශවික සාකච්ඡාවල

ජගත් මහා මණ්ඩල සමුළුව අද (21) ඇරඹේ – ජනපති ද්විපාර්ශවික සාකච්ඡාවල

*********************************************

ජගත් මහා මණ්ඩල සමුළුව අද (21) ඇරඹේ – ජනපති ද්විපාර්ශවික සාකච්ඡාවල

(21.09.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්හි දී අද (21) ආරම්භ වීමට නියමිත යි.

ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන්.

කොවිඩ්-19 වයිරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම මෙවර සමුළුවේ තේමාව යි.

නිව්යෝක් වේලාවෙන් අද (21) පෙරවරු 9 ට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ ආරම්භක දේශකයා වන්නේ බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සෙනාරෝ වන අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉන් අනතුරු ව සමුළුව අමතනවා.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් සොලී 3 වන දේශකයා ලෙසයි ජගත් සංවිධාන මහා මණ්ඩල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලබන්නේ හෙට (22) නිව්යෝක් වේලාවෙන් පෙරවරු 11 ට ආරම්භ වන සැසියේදි යි.

මෙම සමුළුව ඇමතීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා දිවයිනෙන් පිටත් ව ගියා.

ජනාධිපතිවරයා හෙට (22) දිනයේ දී සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත් වීමට ද නියමිත අතර, පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ද හමු වී තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා අතර හමුවක් ද නිව්යෝක්හි දී සිදු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කුවේටයේ වැඩි රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහි දී කුවේට් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

කොළඹ වරාය නගරය, සූර්‍ය හා සුළං බලශක්ති මෙන්ම පිරිපහදු ක්ෂේත්‍රයන්හි කුවේටයට ශ්‍රී ලංකාවේ සිදු කළ හැකි ආයෝජන පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.

******************************************

ලංකාතිලක විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්

(21.09.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

අකුණු සැර වැදීමෙන් හානියට පත් වූ පොළොන්නරුව ඉපැරණි ලංකාතිලක විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද දායකත්වය ඇති ව ආදාළ කටයුතු සිදු කරන බවයි.

වර්ෂාවත් සමඟ පසුගිය දා හටගත් අකුණු අනතුරකින් ඉපැරණි ලංකාතිලක විහාරයේ බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකට හානි සිදු ව තිබුණා.

කෙසේ වෙතත්, ලංකාතිලක පිළිම ගෙයි තැන්පත් කර ඇති ඉපැරණි බුද්ධ ප්‍රතිමාවට අකුණු සැර හේතුවෙන් හානි සිදු ව නො මැති බව සඳහන්.

******************************************

ගුරු වෘත්තීය සමිති අතර ගැටුම්

(21.09.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් බවට ඇතැම් විදුහල්පති සංගම් කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ගුරු විදුහල්පතිවරුන් එක් ව සිදු කරන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරිම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරන බවයි.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලු‍ම්පත්‍ර පමණක් හෙට (22) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලු‍ම්පත්‍ර යොමු කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නො මැති බවයි එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව ප්‍රකාශ කළේ.‍

එමෙන්ම, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කළා.

ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කළ ‘ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය’ අද (21) 72 වන දිනටත් ක්‍රියාත්මක යි ෴

******************************************

වැලිකඩ රැඳවියන් තවමත් වහළ උඩ

(21.09.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මක යි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බන්ධනාගාරයේ පිහිටි ගොඩනැගිල්ලක වහළයක් මත නැගී ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවයි.

දීර්ඝකාලීන සිර දඬුවම්වලට නියම වූ දස දෙනෙකු (10) පමණ තමන් නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවට එක් ව සිටින බව ද අදාළ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (20) පස්වරුවේ මොවුන් මෙම විරෝධතාව ආරම්භ කළා.

******************************************

ඛනිජ තෙල් සොයන ගුවන් සමීක්ෂණවල නවතම තත්ත්වය

(21.09.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ බෙල් ජියෝ-ස්පේස් ආයතනය මඟින් මන්නාරම සහ කාවේරි බොක්කේ සිදු කළ ගුවන් ඛනිජ තෙල් සමීක්ෂණ මේ වනවිට 60% ක් අවසන් වී ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා.

එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු තෙල් ගවේෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙත ඉදිරිපත් කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම මහතා ප්‍රකාශ කළේ.

වයඹ දිග සහ උතුරු මුහුදේ තෙල් ගවේෂණවලට අදාළ භූ විද්‍යා සමීක්ෂණ පසුගිය දශක කිහිපය තිස්සේ සිදු කෙරුණේ නෞකා මඟින්.

ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුද සඳහා එය යෝග්‍ය වූව ද උතුරු මුහුදේ සහ කාවේරි බොක්කේ නොගැඹුරු මුහුද සඳහා ගුවන් සමීක්ෂණ ඉහළ යෝග්‍යතාවකින් යුක්ත බවයි ඛනිජ තෙල් සම්පත් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව ගුවනින් සිදු කරන ගුරුත්ව චුම්භක ගවේෂණ ඉහළ ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව ඔහු අවධාරණය කළා ෴

******************************************

කැටගොඩ දෙවන (2) වරටත් පාර්ලිමේන්තුවට

(21.09.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ ජයන්ත කැටගොඩ මහතා අද (21) දිවුරුම් දුන්නා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී මෙලෙස ජයන්ත කැටගොඩ මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙසින්.

මීට පෙර ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා කටයුතු කළ අතර, ඔහු ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබුවා.

ජයන්ත කැටගොඩ මහතා මෙලෙස අද (21) 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දෙවන (2) වරටත් දිවුරුම් දීම විශේෂත්වයක්.

මීට අමතර ව පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එළැඹෙන අයවැයෙන් පසු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව වාර්තා වනවා.

ඔහු ඉන් අනතුරු ව ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලබා පිට ව යාමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

******************************************

ඉන්දියාවේ සිට මුහුදු ජීවින් ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට

(21.09.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ මනෝලී දූපතේ සිට මන්නාරම දක්වා බෝට්ටුවකින් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 1500 ක් මුහුදු අශ්වයින් කිලෝ ග්‍රෑම් 200 ක් හා තවත් මුහුදු ජීවීන් කිලෝ ග්‍රෑම් 800ක් සමඟ සැකකරුවෙක් ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය විසින් 20 දා දේවීපට්ටනම් ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

වෙරළාරක්ෂක පොලිස් නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත මේ බෝට්ටුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී එහි සිටි සැකකරුවන් හතර දෙනා (4) මුහුදට පැන වෙනත් බෝට්ටුවක ආධාරයෙන් පලා යෑමට උත්සාහ කරද් දී එක් (1) සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අත්අඩංගුවට පත් ව ඇත්තේ මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් යසාර් අලි නමැති මුස්ලිම් ජාතික ධීවරයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු හා මුහුදු ජීවීන් ඉන්දියාවේ දේවීපට්ටන ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය පියවර ගෙන තිබේ ෴

******************************************

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රතිශත නිකුත් කෙරේ

(21.09.2021 – 12:23 +0530 – hirunews.lk/sinhala)

2020 උසස් පෙළ විභාගවල ප්‍රතිඵල අනුව 2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කෙසේ නමුත්, ඊට අදාළ ‘ඉසෙඩ් ස්කෝර්’ අගයන් ලබන මාසයේ නිවේදනය කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුවක දී ලබාදුන් නියෝගයකට අනුව 2020 වසරේ උසස් පෙළ විභාගය සඳහා නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් වෙන් ව කාණ්ඩ දෙකක් (2) වශයෙන් සැලකීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කරනු ලැබුවා.

ඒ අනුවයි අදාළ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කර ඇත්තේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (20) පුද්ගලයින් 59,000 කට කොරෝනා එන්නත්

(21.09.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (20) දිනයේ දී පුද්ගලයින් 59,187 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

Progress Report of COVID-19 Immunization 20-09-2021 (pdf)

++++++++++++++++

නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියක් කොරෝනාවෙන් මිය යයි

(21.09.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි පී. ධර්මදාස පුංචි කුමාරි මහත්මිය ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

55 හැවිරිදි ඇය වවුනියාව මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇය වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරියක ලෙස නගර සභාවට තේරී පත් වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *