නැගෙනහිර ජැටිය වගේ කෙරවලපිටියත් බේරා ගන්නවා – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ

නැගෙනහිර ජැටිය වගේ කෙරවලපිටියත් බේරා ගන්නවා – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ

*********************************************

නැගෙනහිර ජැටිය වගේ කෙරවලපිටියත් බේරා ගන්නවා – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ

(20.09.2021 – 19:33 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගත් ආකාරයෙන් කෙරවලපිටිය තාප බලාගාරයද රැක ගන්නා බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් අද (20) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින් සහ නියෝජිතයින් අද (20) පස්වරුවේ බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට රැස්වී කෙරවලපිටිය තාප බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණිම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මාධ්‍යවේදියා – ඇමතිතුමා සාකච්ඡාව ගැන පොඩ්ඩක් ?

“පක්ෂ 11 ක් සාකච්ඡා කළා රටේ තියෙන තත්ත්වය ගැන. විශේෂයෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර මැතිතුමත් පැමිණියා.”

මාධ්‍යවේදියා – LNG බලාගාරය ඇමරිකාවට විකිණිම සම්බන්ධයෙන් සාකච්ඡා කළාද?

“පක්ෂවල නායකයින් තීරණය කළා ජනාධිපතිතුමා පැමිණි විගසම සාකච්ඡාවක් ලබාගෙන මේ ගැන කතා කරන්න. ඒ වගේම අගමැතිතුමා සමඟත් තවත් පක්ෂ නායකයින් සමඟත් මේ ගැන අදහස් හුවමාරු කර ගන්න අපි තීරණය කළා.”

මාධ්‍යවේදියා – රාත්‍රී 12:06 ට අත්සන් කරලා ගිහිල්ලත් ඉවරයි. දැන් තේරුමක් වෙයිද ඔබතුමන්ලා සාකච්ඡා කරලා?

“එහෙම අසුභවාදි වෙන්න එපා”

මාධ්‍යවේදියා – ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුවක් මොකද මේ කරන්නේ ඇමතිතුමා?

“අපි ගන්න පියවර ඉදිරියේ දී කියන්නම්”

මාධ්‍යවේදියා – ආණ්ඩුවෙන් යන්න වගේද?

මාධ්‍යවේදියා – ගිවිසුම අත්සන් කරලා රටෙන් ගිහිල්ලත් ඉවරයි කියලා ජ.වි.පෙ. චෝදනා කළා ?

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසා සිටියේ, “දේශපාලන තීන්දුවක් ගන්නකොට ඔය කොළ කෑලිවල අත්සන් කරපුවා ඒකට වලංගු වෙන්නේ නෑ. අපි උත්සහ කරමු දේශාපාලන තීන්දුවක් ගන්න.” යනුවෙනි.

මාධ්‍යවේදියා – දැන් කැබිනට් එකට දැම්මාද?

“කැබිනට් එකේ සාකච්ඡා වුණේ අල්ප වශයෙන්”

මාධ්‍යවේදියා – ඔබතුමාලා කියන දේ ආණ්ඩුව අහන්නේ නැහැනේ?

“නැගෙනහිර ජැටිය ආණ්ඩුව අහන තැනට ගෙනාවානේ. වෙනස් මත තිබුනට එක තැනකට එනවා. නැගෙනහිර ජැටිය වගේමයි”

මාධ්‍යවේදියා – උදය ගම්මන්පිල මහත්මා දැනුවත් වෙලාද මේක අත්සන් කරලා තියෙන්නේ?

“උදය ගම්මන්පිලගෙන් අහන්න”

මාධ්‍යවේදියා – එතුමා ආවේ නැද්ද අද රැස්වීමට ?

“එතුමා ඩුබායි ගිහින්”

මාධ්‍යවේදියා – දැන් ඔබතුමන්ලා වගේ ප්‍රගතිශිලි පුද්ගලයෝ ඉද්දිත් ඇයි මේ වගේ දේවල් වෙන්නේ?

“ඒක තමයි අපිත් අහන්න ඕන ප්‍රශ්නය.”

++++++++++++

කෙරවලපිටියේ ඇමරිකානු ගිවිසුම ගැන ආණ්ඩුවේ පක්ෂ කිහිපයක් වෙනම සාකච්ඡාවක

(20.09.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල විශේෂ හමුවක් අද (20) පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදීයී.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ ගිවිසුම ඔස්සේ මතුව ඇති තත්ත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අද (20) සාකච්ඡාවේදී පක්ෂ නායකයන් තීරණය කල බවයි.

මේ අතර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ පෙරේදා (18) දිනයේ මුදල් අමාත්‍යවරයා හමුවී අත්සන් කර ඇති මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් එක්ව තිබෙනවා.

එහිදී මෙම පක්ෂ විසින් සිය ස්ථාවරය සඳහන් යෝජනාවලියක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එහි ඇතැම් කරුණු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා එකඟතාවය පළ කර ඇති අතර, අනෙකුත් කාරණා සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක් බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශව ඒකාබද්ධ කරගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙරට විශාලතම බලාගාරය වන කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩර් පටිපාටියකින් තොරව අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ මතභේදාත්මක තත්ත්වයක්.

කෙසේ නමුත් ඇමරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාරය තුලින් ශ්‍රී ලංකාවට පිරිසිදු බල ශක්තිය අඩු වියදමකින් ලබා ගත හැකි වනු ඇති බවයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු භාවිතය මෙන්ම නූතන බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනය තවත් අදියරකට පිවිසෙනු ඇති බව එම සමාගමේ සභාපති වෙස් ඊඩ්න්ස් කියා සිටියා.

මෙගාවොට් 350 ක නව එල්.එන්.ජී. බලාගාරයක් ඉඳිකිරීම සඳහා ලක්ධනවි සමාගම සමග ඒකාබද්ධව කටයුතු කරන අතර දැනට කෙරවලපිටියේ ක්‍රියාත්මක මෙගා වොට් 300 ක එල්.එන්.ජී. බලාගාරය සඳහා ගෑස් සැපයීමටද ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ ගිවිසුම් ගත වී සිටිනවා.

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර සංකීර්ණයේ වාර්තාව වසර 2025 වන විට මෙගා වොට් දහස (1000) දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

බලාගාර සමාගමේ රජය සතු සියයට 40 ක කොටස් ලබා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බව ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම වැඩිදුරටත් කියා සිටියා.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඊට අදාළ අවබෝධතා ගිවිසුම් වලට එළඹුනු අතර වාණිජමය ගිවිසුම් තවදුරටත් සකස් කරමින් පවතින බවයි සමාගමේ වෙබ් අඩවි සඳහන් කළේ. එමෙන්ම පසුගිය 17 වනදා එවැනි ගිවිසුමකට අත්සන් තැබූ බවක් සමාගමේ වෙබ් අඩවියේ යාවත්කාලීන කර නැහැ.

ඒ සම්බන්ධයෙන් විමසීමට අප බලචශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හා එම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය ඇමතීමට උත්සාහ කළා. එහෙත් ඔවුන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෙට (21) ආරම්භ වීමට නියමිත ‘ගෑස් ටෙක්’ සමුලුවට සහභාගී වීම සඳහා ගොස් ඇති බැවින් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ.

එමෙන්ම, සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ මෙම ගිවිසුමට විරෝධය පළ කළ අතර, ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ අතර මෙම සංවාදය පවතින්නේ එවන් පසුබිමකදීයි.

පසුගිය 17 වැනිදා මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර, ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ චෝදනා කරන්නේ එහි අඩංගු කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකළ බවයි.

දළ සැකැස්මක් මත පදනම්ව එය අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති අතර, පසුව එය මෙලෙස අත්සන් තබා ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

මේ අතර, ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළේ ගිවිසුමේ අන්තර්ගතය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය හෝ බලශක්ති අමාත්‍යාංශය ඉදිරි දින කිහිපය තුළ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි.

******************************************

(20.09.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

වැරදි කළ පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවිය යුතු නමුත් මේ වන විට ඇත්ත කතා කරන පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම ගැන අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට අද (20) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත්, ඔහු සිය නීතීඥයින් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් භාර දෙනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නේ කුමන නීතිමය ප්‍රතිපාදනයක් යටතේද යන්නත්, එසේ කැදවන්නේ කුමන පරීක්ෂණක් සඳහා ද යන්නත් පැහැදිළිව දක්වන ලෙස නීතීඥයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ ලිපියේ දැක්වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු ලබන නිශ්චිත විමර්ෂණය කුමක්ද යන්නත්, එම පරීක්ෂණය පවත්වනු ලබන්නේ කුමන නීතිමය ප්‍රතිපාදන යටතේද යන්න ගැනත් මන්ත්‍රීවරයාට නිෂ්චිතව දැනුම් දිය යුතු බවත් එම ලිපියේ සදහන් වනවා ෴

******************************************

(20.09.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

පියාගේ දඬුවම් වලට බියෙන් ගෙල වැළලාගෙන දිවි නසා ගැනීමට තැත් කළ 10 හැවිරිදි දරුවෙකු පිළිබඳ පුවතක් ආරච්චිකට්ටුව ප්‍රදේශයෙන් අද (20) වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් දරුවාගේ පියා ඔක්තෝබර් 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අප සමාජයේ බොහෝ දෙනෙකු දෙමව්පියන්ගෙන් දඬුවම් විඳ ජීවිතය යහමගට ගත් අය බව අමුතුවෙන් පැවසිය යුත්තක් නොවේ. එහෙත් ජීවිතය එපාවන තරමට කරන දඬුවම් දරුවන්ට දරාගත හැකිවේද ?

අසනීප තත්වයෙන් පසුවන මෙම සැකකාර පියා බීමතින් දරුවන්ට දැඩි දඬුවම් සිදුකරන බව පවුලේ සාමාජිකයන්ම පොලීසියට පවසා තිබුණා.

දස (10) හැවිරිදි මෙම දරුවාට අමතරව තවත් දරුවන් 3 දෙනෙකු ඔහුට සිටින අතර ඔවුන්ද නිරන්තරයෙන් පියාගේ දඬුවම් වලින් පීඩා විඳ තිබෙනවා.

හිසේ සහ උදරයේ ශල්‍යකර්ම 2 ක්ද සිදු කිරීමට පියාට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති පසුබිමක, නිවසේ සුරතලයට ඇති කරන හාවන්ට ආහාරය සඳහා උඳුපියලිය නොදුන් බවට පෙරේදා පියා චෝදනා කර ඇති අතර අනතුරුව දඬුවම් කරාවි යැයි බියවී දරුවා ගෙල වැළලාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

බාලම සොහොයුරාගේ කෑගැසීමෙන් පසු දරුවාගේ සොහොයුරිය සිහිසුන්ව සිටි ඔහු මුදාගෙන ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දරුවාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.

දරුවන් දඬුවමට බියවීම පුදුමයක් නොවේ.

එසේම බොහෝ දෙමව්පියන් දරුවන්ට දඬුවම් කරන්නේද ඔවුන්ගේ යහපත පිණිස බවද රහසක් නොවේ. එහෙත් දරුවන්ට ජීවීතය එපාවන තරමට දෙමව්පියන්ගේ දඬුවම් බරපතල වන්නේ නම් එය බරපතල ගැටලුවක්.

එසේම දෙයම්වපියන්ද තම ශාරීරික සහ මානසික පීඩා දරුවන් මතින් පිට නොකිරීමට වග බලා ගත යුතුයි.

ඒ අනුව මෙවැනි තත්වයන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව අප රාගම ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටයේ දරුවන්ට දඬුවම් කිරීම අනුමත කල නොහැකි බවයි.

එමගින් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට මෙන්ම මානසික වර්ධනයටද දැඩි බලපෑම් සිදුවන බව වෛද්‍ය මියුරු මියුරු චන්ද්‍රදාස මහතා ගෙන් වැඩිදුරටත් පැවසුවා.

දරුවන් යහපත් දෙයක් සිදු කල විට ඔවුන් දිරිමත් කිරීම සඳහා වරප්‍රසාද ලබා දීම මෙන්ම ඔවුන් වරදක් කල විට ඒවා ලබා නොදීම වැනි අනුමත ක්‍රියාවලී තුලින් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කල යුතු බව ඔහුගේ අදහසයි.

ඒ සඳහා දරුවන්ගේ සංවර්ධන අවධීන් පිළිබඳව දෙමව්පියන් දැනුවත්වීමද අතිශය වැදගත් ෴

******************************************

(20.09.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පසුගියදා සිදුකළ ප්‍රකාශයට ජගත් කුමාර මන්ත්‍රීවරයා අද (20) පිළිතුරු ලබාදුන්නා.

පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයාට සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් විසින් ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කර ඇති බවයි පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කළේ.

අනතුරුව ඔහු පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමටද පියවර ගත් අතර පසුව එම චෝදනාවට අදාළ අමාත්‍යවරුන් ප්‍රතිචාර දැක්වූවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(20.09.2021 – 18:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත වයස අවුරුදු 05 ත්, 11 ත් අතර වයස් කාණ්ඩයේ ළමයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තියක් ගොඩනගන බව ‘ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම’ ප්‍රකාශ කරනවා.

දෙවන (2) සහ තුන්වන (3) අදියරේ සායනික පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී තිබෙනවා.

වයස අවුරුදු 16 ත්, 25 ත් අතර වයස් කාණ්ඩයට සමාන ප්‍රතිශක්තියක් අවුරුදු 05 ත්, 11 ත් අතර වයස් කාණ්ඩයේ ළමයින් අතරද ගොඩනැගෙන බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

මේ නිසා ෆයිසර් එන්නත වයස අවුරුදු පහෙන් (5) ඉහළ ළමයින්ගේ භාවිතය සඳහා අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු සෑම රටකම අනුමැතියට යොමු කරන බවයි ‘ෆයිසර් බයෝඑන්ටෙක් සමාගම’ නිවේදනය කළේ.

(20.09.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව දිය නෑමෙන් හෝ ඇඟපත සේදීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ අනෙකුත් වෙළඳසැල් විවෘත කිරීමට තරම් තත්ත්වයක් රට තුල නොමැති බවයි.

කොරෝනා ව්‍යාප්තියේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවියට අවසර ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය ද සිය අවධානය යොමු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය සම්මේලනය සඳහන් කළේ එම පියවර කොරෝනා වසංගතයෙන් වෙහෙසකාරී වී සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයට අතිරේක බරක් පටවා ඇති බවයි.

මත්පැන් අලෙවිසැල් අසල එක්රැස් වන ජනතාව මගින් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යන අතරම මත්පැන් භාවිතයෙන් සිදුවන සෞඛ්‍යමය සහ සමාජමය හානි පිළිබඳවද ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය බලධාරීන්ගේ අවධානය යොමු කරනවා.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මත්පැන් අලෙවිය වහාම නතර කරන ලෙස මෙන්ම අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවියට අවසර ලබා නොදෙන ලෙසද ඔවුන් ඉල්ලීමක් කරනවා.

අද (20) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 836 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,05,327 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, ඊයේ (19) සිදුවූ තවත් කොරෝනා මරණ 93 ක් අද (20) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

ඒ අතර වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 68 දෙනෙකු වන අතර, අවුරුදු 30 ත්, 59 ත් අතර පුද්ගලයින් 24 දෙනෙකු වනවා.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 ට අඩු එක් (1) පුද්ගලයෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ වනවිට මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,218 ක් ෴

++++++++++++++++++

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි මුදල් ඇමතිගෙන් ඉල්ලයි

(20.09.2021 – 18:46 +0530 – sinhala.adaderana.lk)

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මැත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණය ගැටලු රැසකට මුල්වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ කොවිඩ්-19 වයිරස ව්‍යාප්තිය ඉහළ යාම මෙන්ම, ගෘහස්ථ හිංසන, මාර්ග අනතුරු ඉහළ යාම ආදී ගැටලු රැසක් ඒ හරහා නිර්මාණය වනු ඇති බවය.

මේ හේතුවෙන් මත්පැන් අලෙවිය නතර කිරීමට සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස වෛද්‍ය සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවියට අවස්ථාව ලබා නොදිය යුතු බව ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා ඇත.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ කිසිදු ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරිමට සුදුසු වාතාවරණයක් මෙතෙක් උදාවී නොමැති බවයි .

මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයින් අඩුවීමේ පදනම විද්‍යාත්මකව පැහැදිලි කිරිමේ හැකියාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බව රාසයානාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

රට වසා තබමින් වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් පියවර සාර්ථක බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

++++++++++++++++++

(20.09.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 673 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව අද (20) දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1,509 ක්. එම ආසාදිතයින් 1,509 ත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 5,06,009 ක් දක්වා ඉහල යනු ඇති ෴

++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *