‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘මිදිගම ලසා’ අත්අඩංගුවට

‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘මිදිගම ලසා’ අත්අඩංගුවට

*********************************************

‘සන්ෂයින් සුද්දා’ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘මිදිගම ලසා’ අත්අඩංගුවට

(20.09.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala)

‘අමිල හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ලසන්ත වික්‍රමසේකර’ හෙවත් ‘මිදිගම ලසා’ නැමැත්තා කොග්ගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ඩුබායි හි සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘රුවන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ මෙරට ජාවාරම් මෙහෙයවන ප්‍රධානතම අනුගාමිකයා බවයි පොලිසිය පවසන්නේ.

‘මිදිගම ලසා’ සතු ව තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුගේ වත්කම් පිළිබඳ ව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණ අංශය වෙත භාර දී ඇති බව සඳහන්.

මීට පෙර ද ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් ‘ගනේෂ්’ නැමැත්තෙකු මාතර දී අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

(20.09.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විහාරස්ථාන සංවර්ධනය කිරීමට කොතෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද, ඓතිහාසික වටිනාකමකින් යුත් ඇතැම් විහාරස්ථාන වෙත බලධාරීන්ගේ නෙත නොගැටීම කණගාටුවට කරුණක්.

එවැනි ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විහාරස්ථානයක් පිළිබඳ අපට වාර්තාවුණේ බද්දේගම ප්‍රදේශයෙන්.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම, වදුරඹ ගම්මානයේ පිහිටි ඉහළ කීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාමය පුරාණ විහාරස්ථානය. පුරාණ රේඛා සිතුවම් කලාවෙන් හැඩ වූ විහාරස්ථානයේ බුද්ධ මන්දිරය ඓතිහාසික සාධක රැසකට උරුමකම් කියන බැවින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසද නම්කර තිබෙනවා.

මහනුවර යුගයට අයත් දැව සහ මූර්ති නිර්මාණ වලින් සමන්විත මෙම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා මෙන්ම දේව ප්‍රතිමාද අද වන විට විනාශ වෙමින් පවතින ආකාරය දැකගත හැකියි.

ගම්මානයේ පවුල් රැසක දරුවන් බොහෝ පිරිසකට දහම් දැනුම ලබා දෙමින්, විහාරස්ථානයේ දියුණුව සඳහාද විහාරාධිපති පූජ්‍ය වලහන්දුවේ මහින්දරතන ස්වාමීන්වහන්සේ සිදුකරන මෙහෙය සුළුපටු නැහැ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ වැසි සහිත කාලගුණික තත්ත්වයන් හමුවේ විහාරස්ථාන පරිශ්‍රය නායයෑමේ තර්ජනයටද මුහුණ පා සිටින බවයි.

අතීතයේ සිට පැවත එන ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සංකල්පය මත පදනම්ව විවිධ අවස්ථාවලදී ක්‍රියාත්මක වූ බොහෝ ව්‍යාපෘති අතර විහාරස්ථාන ගොඩනැඟීම සහ සංවර්ධනය කිරීම ප්‍රධාන තැනක් ගෙන තිබුණා.

එවන් පසුබිමක ඓතිහාසික වටිනාමකින් යුත් පුරාණ විහාරස්ථානයක් දිනෙන් දින විනාශ වන ආකාරය වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට යොමු නොවීමද විමතියට කරුණක්.

******************************************

(20.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක (5000) අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල අදාළ මුදල ලබාදෙනු ඇති.

මේ අතර උසස්පෙළ විභාග අයදුම්පත්‍ර යොමු කිරීමට තීරණය කළ බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය සඳහන් කළා.

මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් හෙට (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමුකිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩව 70 වැනි දිනටත් ක්‍රියාත්මක බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කළා.

******************************************

(20.09.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන ගුවන් සමාගම් සඳහා, විශේෂ සහන පැකේජයක් ලබාදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මත්තල ගුවන් තොටුපොළ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීම එහි අරමුණයි.

ඒ අනුව මෙතෙක් මත්තල ගුවන් තොටුපොළට මෙහෙයුම් සිදු නො කළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපොළේ මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර දෙකක (2) කාලයක් සඳහා ඩොලර් හැටක (60) ගුවන් තොටුපොළ විගමන බද්ද අය නො කිරීමට යි යෝජනා වී ඇත්තේ.

මීට අමතර ව ගුවන් යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සඳහා ද සහන ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මත්තල ගුවන් තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් (4) දක්වා එම ගාස්තු සඳහා වට්ටම් ලබාදීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

******************************************

(20.09.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදුකරන ලෙසට අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සිදුකළ ප්‍රකාශයට ජගත් කුමාර මහතා අද (20) පිළිතුරු ලබාදුන්නා.

******************************************

(20.09.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් වැඩිදුරටත් පළකළ අදහස් කිහිපයක් පහතින්.

******************************************

(20.09.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් එරට ජාතික බුද්ධි ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ මොවුන් අත්අඩංගුවට ගැනුණේ, දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මැංගලෝර් නුවරදී යි.

ඔවුන් තමිල්නාඩුව හරහා ඉන්දියාවට ඇතුළු වූ බවට යි අනාවරණ වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සියතට ගත් ඉන්දීය ජාතික බුද්ධි ආයතනය රාමේෂ්වරමේ වෙරළාසන්න ගම්මාන 03 කට ගොස් ඊයේ (19) ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලාංකිකයින්ට රැකවරණ ලබාදුන් රාමේෂ්වරමේ ධීවර ගම්මානවලට මෙලෙස ජාතික බුද්ධි ආයතනයේ නිලධාරීන් පැමිණ ඇති බවයි.

ඔවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ වී ඇත් ද යන්න ද මෙහි දී අවධානය යොමු වී ඇති කරුණක්.

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පසුගිය මාර්තු 17 වැනි දා දිවයිනෙන් නික්මී ඇති බව අනාවරණ වී තිබෙනවා.

කැනඩාවේ රැකියා ලබාදෙන බවට ඔවුන්ට පොරොන්දු වූ කණ්ඩායමක් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හයත්, දහයත් (6-10) අතර මුදලක් අයකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ෴

******************************************

(20.09.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ඩුබායිහි දී මියගිය ‘රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන්’ හෙවත්, ‘කෙසෙල්වත්ත දිනුක’ සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත පමුණුගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වහා ම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී සඳහන් කළේ.

කොටහේන පොලිසියේ නිලධාරීන් පිරිසක් ‘දිනුක’ගේ කෙසෙල්වත්තේ පිහිටි නිවස හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එහි දී මෙම පොලිස් පරීක්ෂකවරයා එම නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඔහු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ මොහු කෙසෙල්වත්ත පොලිසියේ සේවය කළ සමයේ ‘කෙසෙල්වත්තේ දිනුක’ සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවයි.

එමෙන්ම, ‘දිනුක’ගේ මත්කුඩු ප්‍රවාහනය කිරීම සඳහා මොහු සිය රාජකාරී බලය යොදා ගනිමින් සහයෝගය දක්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.

බොහෝ අවස්ථාවල ‘කෙසෙල්වත්තේ දිනුක’ගේ මත්කුඩු ප්‍රවාහනය කරන වාහන පරීක්ෂාවකින් තොර ව ගමන් කිරීම සඳහා මොහු ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇති බවට යි අනාවරණ වී ඇත්තේ.

මෙරට සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ‘කෙසෙල්වත්තේ දිනුක’ පසුගිය මාර්තු 18 වැනි දා ඩුබායිහි දී ජීවිතක්ෂයට පත් වුණා ෴

******************************************

(20.09.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව මැදිහත් ව පහත දැමූ දියර කිරි මිල යළි ඉහළ නංවා කිරි ගොවියා ශක්තිමත් කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටිනවා.

කිරි ගවයින්ට ලබාදෙන ආහාර සහ ඖෂධ මිල ඉහළ යාම සහ කිරි ලීටරයක මිල පහළ යාම හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශවල වෙසෙන කිරි ගොවීන් ජයගම ප්‍රදේශයේ දී නිහඬ විරෝධතාවක නිරත වුණා.

එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද එක් ව සිටියා.

******************************************

(20.09.2021 – 15:23 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වන අතරතුර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා, තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ හමුවී තිබෙනවා.

විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ, විශේෂයෙන් ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා අන්තර් ක්‍රියාකාරකම් තුළින් සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට මෙය සුදුසු අවස්ථාවක් බව විදේශ අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී අවධාරණය කළ බවයි.

ශ්‍රී ලංකාවේ දෙවන (2) විශාලතම තේ ගැනුම්කරු වන තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික වෙළඳාම මේ වසර තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 200 කරා ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි ෴

******************************************

(20.09.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

රට තුල සංචරණ සිමා ඇදිරි නීති සිමා කාලයතුල තීරුබදු නෙගෙවා මෙරටට ආනයනය කර වැඩි මිලට අලවිකල විදේශිය දුමිවැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තීරුබදු නෙගෙවා මෙරටට ගෙන්වන ලද නීති විරෝධී විදේශිය දුමිවැටි 9400 ක්.

මේ සම්බන්දයෙන් වයස අවුරුදු 29 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම දුම්වැටි තොගය සහ සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

(20.09.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

ගිණි ගැනීමට ලක්ව මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඉවත් කිරීමට පෙර එහි පැවති ඉන්ධන සම්පූර්ණයෙන් ඉවත්වී ඇති බවට තහවුරු කරගත යුතු බව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම නැව් සමාගමට දන්වා තිබෙනවා.

යම් හෙයකින් නෞකාවේ ඉන්ධන ඉතිරි වී ඇත්නම් ඒවා සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමෙන් පසු නෞකාව සහ බහාලුම් ඉවතට ගත හැකි බවයි එහි සභාපතිනී දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ.

මේ වන විටත් අදාළ සමාගම නෞකාවේ තත්ත්වය සම්බන්ධයෙන් යාන්ත්‍රික නිරීක්ෂණ හරහා තොරතුරු ලබා ගනිමින් සිටිනවා ෴

******************************************

(20.09.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයක නිරත ව සිටිනවා.

මෙම විරෝධතාවය සඳහා සිරකරුවන් දස දෙනෙකු (10) එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමිනුයි එම පිරිස මෙලෙස විරෝධතාවක් ආරම්භ කර ඇත්තේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(20.09.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,055 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,33,093 දක්වා ඉහළ ගියා.

තවදුරටත් පුද්ගලයින් 59,273 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

(20.09.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනයව සිටින පුද්ගලයෙක්, කොවිඩ් ආසදිතව සිට සුව වූ පුද්ගලයෙක් හෝ කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයෙකුට දින කිහිපයක් ගතවන තුරු ස්නානය කිරීම සුදුසු ද යන්න මේ වනවිට සමාජයේ මතුව ඇති ප්‍රශ්නයක්.

මේ සම්බන්ධයෙන් අද (20) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ඉන්දික කරුණාරත්න මහතා අදහස් දක්වා සිටියා.

+++++++++++++++++

(20.09.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 836 ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,05,327 ක් දක්වා ඉහළ යනු ඇති ෴

++++++++++++++++++

(20.09.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේ දී වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (19) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 93 ක් වාර්තා වනවා.

මෙම මරණ 93 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 12,218 ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

අද (20) දිනයේ වාර්තා වූ මරණ අතර කාන්තාවන් 48 ක් සහ පිරිමි පුද්ගලයින් 45 ක් වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *