බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක්

බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක්

*********************************************

බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක්

(19.09.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

පසුගිය සතිවලට සාපේක්ෂව මේ සතිය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ අඩුවක් පවතින බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව අද (19) සංවිධාන කළ ‘වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි’ ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර, පාසල් ළමයින් එන්නත්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කළ වහාම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.

වයස අවුරුදු 15 සිට ඉන් ඉහළ වයස්වල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති අතර ඊට අවශ්‍ය ප්‍රමාණවත් එන්නත් තොග මෙරටට ලැබීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

ඒ, අනුරාධපුරය – එප්පාවල ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්.

මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පැනවූ සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි ඔහු මේ බව අවධාරණය කළේ.

+++++++++++++++++++

(19.09.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 436 ක් වාර්තා වනවා. අද (19) දිනයේ මෙතෙක් මෙරට තුල හමු වූ මුළු ආසාදිතයින් ගණන 1733 ක් දක්වා ගියා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,04,491 ක් වනවා ෴

+++++++++++++++++++

(20.09.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

තවත් ඇමෙරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 73,000 ක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද (20) අලුයම මෙම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කළේ.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට, කිලෝග්‍රෑම් 445 ක් බරැති මෙම එන්නත් තොගය කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනඒමෙන් අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයකින් දිවයිනට ගෙනඑනු ලැබුවා.

මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩබෑමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කර ඉන්පසුව අධිශීතකරණ ලොරි රථ මගින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ ෴

Vaccination Centres Open Today (20.09.2021)

+++++++++++++++

(20.09.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ජනගහනයෙන් 50% කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබාදීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක නියමිත කාල විරාමයට පෙර ළඟා කරගෙන ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළා.

සැප්තැම්බර් මාසය අවසන් වනවිට අවම වශයෙන් සිය ජනගහනයෙන් 10% කට කොරෝනා එන්නත් ලබාදිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම, වසර අවසන් වනවිට ජනගහනයෙන් 40% ක්වත් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය යි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාව අදාළ ඉලක්ක නියමිත කාලයට පෙර ළඟා කරගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කළේ.

මෙරට එන්නත්කරණ වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනේ සහාය ද හිමි වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තු සහගත එන්නත්කරණ වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක අභිබවා ගොස් ඇති අතර, මේ වසර නිමා වීමට පෙර ජනගහනයෙන් 60% කට වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණය ලබාදීමේ මෙරට ඉලක්කය ද අභිබවා යනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මෙරට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 73,000 ක තවත් තොගයක් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

නෙදර්ලන්තයේ – ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය දෝහා කටාර්වලට රැගෙනවිත් තිබූ අතර, එතැන් සිට කටුනායක වෙත රැගෙන එනු ලැබූයේ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. 668 දරන යානයෙන්.

එසේම, ඊයේ (19) දිවයිනට ලැබුණු ස්පුට්නික්-වී එන්නත් එක්ලක්ෂ විසි දහස (1,20,000) ද හෙට (21) සිට මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ට දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත යි.

මේ අතර, ඊයේ (19) දිනයේ කොරෝනා ආසාදිතයින් 1,733 ක් වාර්තා වූ අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 54,491 ලෙසට යි.

රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාවද ඊයේ 60,000 ඉක්මවා ගිය අතර, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එම සංඛ්‍යාව 60,328 ක් බවයි.

ඊයේ (19) දිනයේ කොරෝනා මරණ 103 ක් වාර්තා වූ අතර, ඉන් පුද්ගලයින් 77 දෙනෙකු ම වයස අවුරුදු 60 ට වැඩි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන් බහුතරයක් එනම් 44 ක් ම පිරිමින් වෙනවා.

වයස 30 ත් 59 ත් අතර පුද්ගලයින් 24 දෙනෙකු ද මියගොස් ඇති අතර, වයස 30 ට අඩු කාන්තාවක් (1) සහ පිරිමියෙකු (1) ද මියගිය පිරිස අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 12,125 ක් ලෙසට යි.

මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයකට (6) ජපානයට ඇතුළු වීමට පනවා තිබූ සීමා අද සිට ඉවත් කෙරෙනවා.

සෙසු රටවල් වන්නේ ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යි.

මේ අතර කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන හෝටලයක නාන තටාකයේ තිබූ මළ සිරුර පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා විසින්.

මෙලෙස මියගොස් තිබුණේ, හෝටලයේ සේවය කළ මීගමුව ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

උතුම් බිනර පෝය දිනය අදයි (20)

(20.09.2021 – 06:04 +0530 – hirunews.lk/sinhala)

භික්ෂුණී සසුන ඇරඹුණු උතුම් බිනර පෝය දිනය අදට (20) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය, රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත්පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.

අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ. අනඳ හිමි බුදුරජාණන් වහන්සේට මේ බව සැල කළ ද, උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත වීය.

පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

අෂ්ට ගරු ධර්ම :

01 උපසම්පත්තියෙන් වස් සියයක් වූ මෙහෙණක විසින් වුව ද එදින ම උපසපන් වූ භික්ෂූහු දැකත් වැඳීම් ආදී ගෞරව දැක්විය යුතු ය.

02 භික්ෂූන් නොමැති ප්‍රදේශයෙක් හි මෙහෙණක විසින් වස් නො වැසිය යුතු ය.

03 අඩ මසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයා ගෙන් පොහොය විචාළ යුතු යි. අවවාද දීමට පැමිණීම ද බලාපොරොත්තු විය යුතුයි.

04 වස් අවසානයෙහි දී භික්‍ෂු භික්‍ෂුණී යන උභතො සංඝයා ඉදිරියේ පවාරණය කටයුතු යි.

05 ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උභතො සංඝයා කෙරෙහි අඩ මසක් මානත පිරිය යුතු යි.

06 අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂමානාවක් ව සිට පසුව උභතො සංඝයා ගෙන් උපසම්පදාව ලැබිය යුතු යි.

07 කවර කාරණයක් නිසා හෝ මෙහෙණක විසින් භික්‍ෂු කෙනෙකු හට ආක්‍රොෂ පරිභව නො කටයුතු යි.

08 මෙහෙණියන් විසින් භික්‍ෂුන් හට අවවාද නො කටයුතු ය. භික්‍ෂුන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කටයුතු ය.

ආනන්ද ස්වාමීන්වහන්සේ මේ ගරු ධර්ම අට (8), බුදුරජාණන් වහන්සේගෙන් උගෙන, මහා ප්‍රජාපතී ගෝතමිය වෙත එළඹ ගරු ධර්මයන් විස්තරකොට, ‘ඔබ ගරු ධර්මයන් පිළිගන්නෙහි නම් එය ම ඔබට පැවිදි උපසම්පදාව වන්නේ යැ’යි ප්‍රකාශ කළ බව බොදු ඉතිහාසය පැහදිලි කරයි.

එහිදී මහා ප්‍රජාපතී ගෝතමිය විසින් ‘ඒ ධර්මයන් අට පිළිගනිමි’ යි තුන්වරක් ප්‍රකාශ කොට මහනකම ලබා උපසම්පදා ශීලයේ හිද පිහිටුවීය. බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි පන්සියයක් ක්‍ෂත්‍රිය කුමාරිකාවෝ ද භික්ෂු සංඝයාගෙන් උපසම්පදාව ලැබූහ.

මෙසේ මෙහෙණ සස්නේ ආරම්භය බිනර පුන් පොහෝදා සිදු විය.

වස්සාන සමයෙහි බිනර පෝය ද ශාසනික අංශයෙන් හා සාහිත්‍ය අතින් වැදගත් පෝය දිනයකි. අවුරුද්දේ එළඹෙන වැසි සාර මාසය ශාන්ත ස්වරූපයක් උසුලන සමයක් වශයෙන් ප්‍රකට ය.

භික්‍ෂූන් වහන්සේ බුද්ධ නියමය අනුව විහාරාරාමයන්හි නිබඳ ව වැඩ වෙසෙමින් බණ භාවනා කර්මයන් හි යෙදෙමින් ස්වකීය ශාසන පරමාර්ථ ඉටු කරගන්නා කාල පරිච්ඡේදයක් බව බෞද්ධ සාහිත්‍යය දෙස විමසන විට මැනැවින් පැහැදිලි වෙයි ෴

******************************************

(19.09.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

වීරකැටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් වෑකඳවල ප්‍රදේශයේ පදිංචි 14 වියේ පසුවන දරුවෙකු මියගොස් තිබෙනවා.

එම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේවෙතත් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (19) රාත්‍රි 10:30 ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

වීරකැටිය – වෑකඳවල ප්‍රදේශයේ දී මෙලෙස පියාට තැබූ වෙඩි පහරක් වැදීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පවුලේ ඥාතියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට යි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සැකකරු සොයා මේ වනවිට පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

******************************************

අමෙරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ අත්සන් කළ ගිවිසුම

(19.09.2021 – 19:31 +0530 – sinhala.adaderana.lk)

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා (17) මධ්‍යම රාත්‍රියේ අත්සන් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක :

“කෙරවලපිටිය බලාගාරය ගෑස් බලාගාරයක් දක්වා වෙනස් කිරීමට නළ පද්ධතියක් අපි එලන්න ඕනකම තියෙනවා. ගබඩා පද්ධතියක් අපි ඉදිකරන්න ඕනේකම තියෙනවා. ඒ සඳහා ඛනිජ තෙල් අමාත්‍යාංශය ලංසු කැඳවා තිබෙනවා. 2021 පෙබරවාරි 18 පුවත්පත් දැන්වීමක් මඟින්. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම්, මෙම ටෙන්ඩරයට කිසිසේත් ම සම්බන්ධ නොවු අමෙරිකානු සමාගමකට පවරා තිබෙනවා.

නිව් ෆෝට්රස් එනර්ජි කියන සමාගමට පවරනවා. ගනුදෙනුවක් ලෙස මේක පිරිසිදු ගනුදෙනුවක් නෙමෙයි. පිරිසිදු ගනුදෙනුවක් නම්, අමෙරිකානු සමාගමට අර ලංසු ඉදිරිපත් කරන වෙලාවේ දී ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කරලා, එම ඉදිකිරීම ගත හැකිව තිබුණා. දැන් ආරම්භයේ දීම මොකද කරලා තියෙන්නේ මෙම ඉදිකිරීම ලංසුකරුවෙක් නොවුණු අමෙරිකානු සමාගමට දෙන්න කැබිනට් තීන්දුවක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ගෑස් අවුරුදු 05 යනතුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම ලබාදීලා. ඒ විතරක් නෙමෙයි වසර 05 ක් තුළ කෙරවලපිටියේ ඉදිවන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් සැපයීමේ අයිතිය නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබාදෙනවා.

අම්මාගේ අප්පාගේ දේපල ද මේ. මොකද කරලා තියෙන්නේ මේ කෙරවලපිටියේ බලාගාරයේ කොටස්වලින් 40% ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීමේ ගිවිසුම පසුගිය සිකුරාදා අත්සන් කළා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ළඟ කැබිනට් පත්‍රිකාව නැහැ. මේ කොටස් විකිණීමේ හා මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කළ පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 වනදා රාත්‍රී 12:06 ට. අත්සන් කරන්න ආව සුද්දා පාන්දර අමෙරිකාවට යනවා. රෑ 12:06 ට ගිවිසුම් අත්සන් කරන්න බකමූණෝද මේ ගොල්ලෝ.”

******************************************

දැවිතෙල් ටොන් 20,000 ක් පරිසරයට මුදාහැරෙන බවට අනාවරණයක්

(19.09.2021 – 18:03 +0530 – sinhala.adaderana.lk)

වාර්ෂිකව මෙරට වරායන්ට පැමිණෙන නැව්වලින් බැහැර කෙරෙන දැවිතෙල් ටොන් 20,000 ක් පරිසරයට මුදාහැරෙන බවට අනාවරණය වී තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වූ බව එම අමාත්‍යාංශය පැවසුවේය.

දැවිතෙල් අපහරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආයතන 27 කට බලපත්‍ර ලබා දී ඇති නමුත් දැවිතෙල් පිරිපහදු පහසුකම් පවතින්නේ ඉන් ආයතන 4 කට පමණක් වන අතර එමගින් පිරිපහදු කළ හැක්කේ ටොන් 4800 ක් බව සඳහන් වේ.

පිරිපහදු පහසුකම් නොමැති ආයතන විසින් ලබාගන්නා දැවිතෙල් රාත්‍රී කාලයේ බවුසර් මඟින් ගෙන ගොස් ගංඟා හෝ ඇළ දොළ ට බැහැර කරන බවට තොරතුරු ලැබී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදි සඳහන් කර ඇත.

ඒ අනුව දැවිතෙල් බලපත්‍ර නිකුත් කිරීමේ දී පිරිපහදු පහසුකම් ඇති ආයතන වෙත පමණක් බලපත්‍ර නිකුත් කිරීම සහ දැවිතෙල් පරිසරයට බැහැර කෙරෙන ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම යනාදී තීන්දු තීරණ රැසක් අදාළ සාකච්ඡාවේ දී ගත් බව පරිසර අමාත්‍යාංශය පැවසීය ෴

******************************************

(20.09.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජෛව විවිධත්වයට හා පසට අහිතකර කිසිදු කාබනික පොහොර වර්ගයක් ආනයනය කිරීමට කටයුතු නො කරන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසනවා.

ක්‍ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර තොගයක් මෙරටට රැගෙනවිත් ඇති බවට පසුගිය දා පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

මහනුවර ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසුවේ ක්‍ෂුද්‍ර ජීවීන් සහ ව්‍යාධිජනක දෑ මෙරටට ගෙන්වීමට නො හැකිවන සේ අණපනත් ද පවතින බවයි ෴

******************************************

(20.09.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පතිවරුන්ට මසකට රුපියල් පන්දහසක (5000) අමතර දීමනාවක් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවල අදාළ මුදල ලබාදෙනු ඇති.

එසේම, මෙවර උසස් පෙළ විභාගයේ ඉල්ලුම්පත්‍ර පමණක් හෙට (21) වනවිට යොමුකර අවසන් කිරීමට දැනට ඔන්ලයින් වර්ජනයේ නිරත විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහෙත්, ශිෂ්‍යත්ව ඉල්ලුම්පත්‍ර යොමු කිරීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නො මැති බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

එමෙන්ම, තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛන්ඩ ව ක්‍රියාත්මක කරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අවධාරණය කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *