පාලන මිල නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වී ගොවීන් ගෙන් චෝදනා

පාලන මිල නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වී ගොවීන් ගෙන් චෝදනා

*********************************************

පාලන මිල නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බවට වී ගොවීන් ගෙන් චෝදනා

(19.09.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව විසින් වී සඳහා පැන වූ පාලන මිල හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

ගොවීන් සඳහන් කරන්නේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය යටතේ තමන්ට ජීවත් විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

කණ්ඩලම – මඩාටුගම ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ රට තුළ පවතින වෙනත් භාණ්ඩ මිල ගණන් හා සැසඳීමේදී වී සඳහා ආණ්ඩුව විසින් පනවා ඇති පාලන මිල ප්‍රමාණවත් නොවන බවයි.

මහවැලි සී කලාපයේ ගොවීන් ද රජය විසින් වී සඳහා පනවා ඇති පාලන මිලට විරෝධය පළ කළා.

******************************************

(19.09.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සැසි වාරය හෙට (20) ආරම්භ වනවා.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්වනු ඇති.

මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) එරටට ළගා වූ අතර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරය ඇමතීමට නියමිතව ඇත්තේ ලබන 22 වන දායි.

මෙවර 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව එළඹෙන 21 වනදා නිව්යෝක් හිදී ආරම්භවීමට නියමිතයි.

21 වනදා සමුළුව ප්‍රථමයෙන් ඇමතීමට නියමිතව ඇත්තේ බ්‍රසීලය වන අතර, දෙවන කථිකයා වන්නේ එක්සත් ජනපදයයි.

ඇෆ්ගනිස්ථාන නියෝජිතයා මහා මණ්ඩල සැසියේ අවසාන දිනයේ අවසාන කථිකයා ලෙස ලැයිස්තුගත කර තිබෙනවා. අදාළ නියෝජිතයා මීට පෙර පැවති ඇෆ්ගන් පාලනය විසින් පත් කළ අයෙකු වන අතර, තලේබාන් පාලනය විසින් ඔහුගේ ධුරය සම්බන්ධව මෙතෙක් විරෝධය පළ කර නැහැ.

මෙවර සැසිවාරයේදී කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇතැම් රාජ්‍ය නායකයින්ට වීඩියෝ තාක්ෂණය මගින් සමුළුව ඇමතීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නායකයින් 60 දෙනෙකු වීඩියෝ තාක්ෂණය මගින් සමුළුව ඇමතීමට නියමිතයි ෴

******************************************

(19.09.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින වර්ෂාව හේතුවෙන් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සඳහා ගල් ඉවත් කරනු ලැබූ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවට අයත් ස්ථාන කිහිපයක් ඛාදනය වී තිබෙනවා.

අප වාර්තාකරු කියා සිටියේ පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්ව අසළ මෙලෙස වැඩි වශයෙන් ඛාදනය වී ඇති බවයි.

ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා පරාක්‍රම සමුද්‍රයේ රළපනාවට අයත් විශාල ගල් ස්ථාන කිහිපයකින් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙහි ඉදිකිරීම් මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර, මෙම මංතීරුව ඉදිකිරීම සඳහා පක්ෂ, විපක්ෂ කණ්ඩායම් දෙකක් (2) අද (19) උදෑසන ගල් ඉවත් කළ ස්ථානය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, අද (19) දිනයේත් උතුරුමැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

එසේම සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

******************************************

(19.09.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – පේරකැටිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් අක්කර 25 ක භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවයි වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලය සඳහන් කළේ.

ඊයේ (18) සවස 6 ට පමණ හටගෙන ඇති මෙම ගින්න පවතින වියළි කාළගුණ තත්වය හේතුවෙන් වැඩි ප්‍රදේශයකට පැතිරගොස් තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇත් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ වන නිලධාරී ජී. පී. චානක මහතා සඳහන් කළේ.

මේ අතර අනුරාධපුර – ගලෙන්බිදුණුවැව – යක්කල – උඩකල්ලාගම රජයේ රක්ෂිතයේ ද ගින්නක් ඇතිව තිබෙනවා.

ඊයේ (18) උදෑසන හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මේ හේතුවෙන් අක්කර 15 ක් පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා ෴

******************************************

(19.09.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ රැසක සහ බණ්ඩාරවෙල අඹේගොඩ ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව ජලය නොමැති වීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි.

බණ්ඩාරවෙල අඹේගොඩල ගිනිගත්හේනපතන, දිගනතැන්නල මාතැටිල්ල, උඩඅරාව සහ කිතුල්දෝව ආදී ගම්මාන රැසක පවුල් 3000 ක් පමණ උඝ්‍ර ජල හිඟය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවටයි.

මාසයකට දින දෙකක් (2) පමණක් මෙම ගම්මාන වලට ජලය බෙදාහැරීම සිදු කරන නමුත් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි ගම්වාසීන් පවසන්නේ.

වසර 25 ක් පමණ තිස්සේ මෙම ගම්මානවලට සාර්ථකව ජලය සැපයූ ගුරුත්ව බලයෙන් ක්‍රියාකරන දිගනතැන්න ජල යෝජනා ක්‍රමයද 2010 වසරෙන් පසුව අත්හැර දමා තිබෙනවා.

මේ අතර, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආරච්චිකන්දල සිංහරූපාගම, බෝධිමලුවල කඩියන්ගොඩ ආදී ප්‍රදේශ වල පානීය ජල සැපයුම නිසි පරිදි සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් පානීය ජලය සොයා කිලෝමීටර් ගණනක දුර ගෙවා දැමීමටයි ජනතාවට සිදුව ඇත්තේ.

වසර 20 කට පමණ පෙර සිට කලුතර පොම්පාගාරයෙන් නල ජලය මෙම ප්‍රදේශ වලට බෙදාහැරියද එය මේ වනවිට නිසි පරිදී සිදු වන්නේ නැහැ.

මේ අතර, හොරණ කෝරල ඉම සොයිසා පාර ප්‍රදේශයේ නිවාස 10 ක පිහිටි ළිං වලින් ගිනිගන්නා සුළු තෙල් වර්ගයක් මතුව තිබෙනවා.

දින කිහිපයක සිට ළිං ජලය පානය කිරීමේදි අමිහිරි රසයක් දැනීම නිසා නිවෙස් හිමියන් ඒ පිළිබඳව කළ පරීක්ෂාවකදීයී මේ බව හෙළිව තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ආරම්භ කළා.

නිලධාරීන් කණ්ඩායම ළිං ආශ්‍රිත ප්‍රදේශයේ කළ සෝදිසියකදී ඒ අසල පවත්වාගෙන ගිය අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයක් පරීක්ෂා කළ අතර ඊට පසුපසින් යම් තෙල් වර්ගයක් පරිසරයට මුදාහැර ඇති ආකාරයද දක්නට ලැබුණා.

බාහිර පරිසරයට හානිදායක තෙල් වර්ග මුදාහැර තිබීම සම්බන්ධයෙන් අදාල අබලි ද්‍රව්‍ය රැස් කරන ආයතනයේ හිමිකරු පොලිසිය අත්අඩංගුවට ගත් අතර සැකකරු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

******************************************

(19.09.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සුළු කර්මාන්ත බොහෝමයක නිරත ජනතාවට එල්ල කර ඇති බලපෑම අති විශාලයි.

මැටි කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම – මිහිවැල්ලෑව ගම්වාසීන්ගේ දෛනික ජීවිතය ගෙවීයන්නේ පවතින කොවිඩ් අභියෝග හමුවේ දෙපයින් නැගීසිටිමට වෙර දරමින්.

මේ ජනතාවගේ දහඩිය කදුළු කොතරම් කැප කළත් ඔවුන්ගේ හෙට දවස පමණක් නොව අද දවස පවා පවතින්නේ අවිනිශ්චිත තත්වයකයි.

වීරකැටිය උඩුකිරිවිල හා හිගුරන්මුලන යන ගම්මානවල ගම්වාසීන්ද මැටි කර්මාන්තය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ පිරිසක්.

දුෂ්කරතා කොතෙකුත් මැද සිය ජීවන වෘත්තිය පවත්වාගෙන යන නමුත් මැටි භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමද ඔවුනට දැඩි ගැටළුවක් වී තිබෙනවා.

දුෂ්කරතා කොතෙකුත් මැද සිය ජීවන වෘත්තිය පවත්වාගෙන යන ඔවුන් රට තුළ මේ වන විට පවතින තත්වය මෙන්ම වෙළඳපොළේ වෙනස්කම් හේතුවෙන් ද තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

කිසිවෙකුගේ පිළිකරණක් අපේක්ෂා නොකොට මෙබඳු සුළු කර්මාන්තයකින් හෝ දිවි ගැට ගසා ගනිමින් රටට බරක් නොවී ජීවත් වන ජනතාවට ශක්තියක් වීම බලධාරීන්ගේ යුතුකම නොවේද ?

එමෙන්ම භාණ්ඩ මිළදී ගැනීමේදී පාරිභෝගික ජනතාවත් මෙබඳු දිරිය මිනිසුන් පිළිබඳවද සිතා බලන්නේනම් එය ඔවුන්ටද ශක්තියක් වනු නොඅනුමානයි.

******************************************

(19.09.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා උඩු ගුවන්ගතවූ සංචාරකයින් සිව් (4) දෙනා අද (19) අලුයම සිය තුන්දින (3) සංචාරය නිමා කළා.

ඔවුන් ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුව ආසන්නයේ අත්ලන්තික් සාගරයට පැරෂුට් මඟින් ගොඩබැස්සේ අද (19) අලුයමයි.

‘ස්පේස් එක්ස්’ අභ්‍යාවකාශ ව්‍යාපෘතියේ පළමු (1) පූර්ණ සංචාරක අභ්‍යාවකාශ චාරිකාව ලෙස ඉතිහාසයට එක්වෙමින් අමෙරිකානුවන් සිව්දෙනෙක් (4) බ්‍රහස්පතින්දා අලුයම ගුවන්ගත වුණා.

පෘතුවියට කිලෝ මීටර් 575 ක් ඉහළින් සෑම විනාඩි 90 කටම වරක් ඔවුන් පෘතුවිය වටා ගමන් කළා.

මෙම සංචාරකයින් සිව් (4) දෙනා අමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු, වෛද්‍ය වෘත්තිකයෙකු ඇතුළු විවිධ වෘත්තින්ට අයත් වන නමුත් ඔවුන් අතරින් කිසිවෙකු වෘත්තිය ගගනගාමීන් නොවේ.

සංචාරයට එක්ව සිටි අමෙරිකාවේ ශාන්ත ජූඩ් පිළිකා රෝහලේ වෛද්‍ය සහයකයෙකු උඩු ගුවනේ සිට එම රෝහලේ රෝගීන් සමඟ සංවාදයකටද එක්වුණා.

අභ්‍යාවකාශගත වූ ලාබාලතම අමෙරිකානුවා ලෙස සැලකෙන 29 හැවිරිදි හේලි ආසෙනොක්ස් පිළිකා රෝගයක් හේතුවෙන් ශාන්ත ජූඩ් රෝහලේ කලක් ප්‍රතිකාර ලැබීමත් විශේෂත්වයක්.

සිය තුන්දින (3) සංචාරය නිමාකරමින් ඔවුන් අද (19) පෙරවරුවේ අත්ලන්තික් සාගරය වෙත ගොඩබසිනු ලැබුවා.

******************************************

(19.09.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මල්ලවපිටිය ප්‍රදේශයේ විශාල පිරිසක් සිය ජල අවශ්‍යතාවය සපුරාගන්නා වැවක් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අභාවයට යමින් තිබෙන බවට වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වැව සංවර්ධනයට රජයෙන් මුදල් ලබාදී ඇතත් කිසිදු සංවර්ධන කටයුත්තක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

අක්කර 350 කින් පමණ සමන්විත කුරුණෑගල තෙලියාගොන්න වෙන්නරු වැව කුරුණෑගල නගරයට සමීපව පිහිටි අතර මේ වන කැලෑ වැදී විනාශ වෙමින් පවතිනවා.

මල්ලවපිටිය, දොරටියාව, කොලපැලිකන්ද, වෙන්නනරුවැව යන ප්‍රදේශවල විශාල පිරිසක් මෙම වැවේ ජලය බීමට මෙන්ම එදිනෙදා ජල අවශ්‍යතා සඳහා භාවිතා කලද අද වන විට වල්බිහිවීමත් සමග වැව භාවිතය සත්වයින්ට පමණක් සීමා වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වැව සංරක්ෂණය කිරිමට රජයෙන් මුදල් ලබා දී තිබුනත් සංවර්ධන කටයුතු කිසිවක් මෙතෙක් සිදු නොවුනු බවටයි.

මීට පෙර වැවේ ධීවර කර්මාන්තයේ යෙදීමෙන් පවුල් 250 ක් පමන ජිවත් වු අතර අද වන විට එය පවුල් 30 පමනක් සීමා වී තිබෙනවා.

ධීවරයින් පවසන්නේ වැවේ අධිකව වර්ධනය වී ඇති ජලජ පැලෑටි නිසා වැවට බෝට්ටු පවා දැමීම අසීරු වී ඇති බවයි.

වැවේ ජල ධාරිතාව අඩු වීමත් සමග එම ජලයෙන් වගා කරන කුඹුරු අක්කර 400 කට පමණ ජලය ලබා ගැනීමත්මේ වන විට ගැටලුවක් වී තිබෙනවා.

මෙම චෝදනාව පිළිබඳව කුරුණෑගල ජල සම්පාදන අධිකාරියෙන්ද අප විමසීමක් කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(19.09.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 1002 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,32,038 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වයිරස් ආසාදිතයන් 5,02,758 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 58,698 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් කොරෝනා මරණ 12,022 ක් ද වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *