අන්තර්ජාලය හරහා මුදල් වංචාවකට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා මුදල් වංචාවකට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

අන්තර්ජාලය හරහා මුදල් වංචාවකට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.09.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ කොට්ඨාශය සිදු කළ විමර්ශනයකට අනුවයි සැකකරුවන් දෙදෙනා (2) දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා කාන්තාවකගේ WhatsApp ගිණුමකට පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඇයට ඉතා වටිනා ත්‍යාගයක් ලැබී ඇති අතර එය ලබාගැනීම සඳහා විශාල මුදලක් තම ගිණුමේ තැන්පත් කරන ලෙසටයි.

එමෙන්ම මෙම ත්‍යාගයේ ඡායාරූප ද අදාළ කාන්තාවට එවා ඇති අතර එය ඉතා වටිනා එකක් බව ඇඟවීම සඳහා සැකකරුවන් විවිධ උපක්‍රම ද අනුගමනය කර තිබූ බවයි පොලිසිය කියාසිටියේ.

මේ සමන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙවැනි විවිධ කෙටි පණිවුඩ හෝ ඊමේල් පණිවුඩවලට නොරැවටෙන ලෙසට සහ නොදන්නා පණිවුඩ වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම්දෙන්නේ.

******************************************

(19.09.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුලු 15 දෙනෙකු පොළොන්නරුව වනජීවී වැටලීම් ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික වනෝද්‍යානයේ ගල්රැන්ද ප්‍රදේශයේදී ඊයේ (18) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පෙරේදා (17) මෙම පිරිස සෝමාවතිය ජාතික වනෝද්‍යානයට ඇතුලුවී ඇති අතර, පසුව ඔවුන් එහි කූඩාරම් ගසා රාත්‍රිය ගතකර තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි යතුරුපැදි 8 ක්ද වනජීවී භාරයට ගෙන තිබෙනවා.

පසුව අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න ඇතුලු පිරිස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

+++++++

******************************************

(19.09.2021 – 09:05 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිරිපිටි ආනයනකරුවන් අතර පැවති සාකච්ඡාවේදී ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාව පළව තිබෙනවා.

ඊයේ (18) පැවති එම සාකච්ඡාවේදී කිරිපිටි ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් ඉහළ දැමිය යුතු බවටයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ ලබන සතියේ දී ජීවන වියදම් කමිටුව රැස්වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් වෙළඳපොල තත්වයන් සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවයි රුපියල් 200 ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇත්තේ.

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහල යාම යන හේතු මත කිරිපිටි මිල වැඩි කිරීමට ආනයනකරුවන් රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා.

එහෙත් මිල වැඩි කිරීමට රජය අවසර ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් පසුව ඔවුන් කිරිපිටි ආනයනය නතර කිරීමට පියවර ගනු ලැබුවේ ඔවුන්ට සිදුවන මූල්‍ය අලාභය සැළකිල්ලට ගනිමින්.

මේ වනවිට වෙළඳපල තුළ කිරිපිටි නොමැති තත්වයක්ද උද්ගතව ඇති අතර, එවන් පසුබිමක් තුළයි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර ඊයේ (18) සාකච්ඡාව පවත්වනු ලැබුවේ.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ත් 7,000 ත් අතර අගයක පවතින අතර දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 200 ක්.

කිරිපිටි කිලෝවක පැකට්ටුවක් මේ වනවිට රුපියල් 945 ක මිලකට අලෙවි වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල වන්නේ රුපියල් 380 ක්.

ඊයේ (18) පැවති සාකච්ඡාවේදී එකඟවූ පරිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමුවහොත් කිරිපිටි කිලෝවක පැකට්ටුවක නව මිල රුපියල් 1,145 ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර වෙළෙඳ පොළේ ‘ලාෆ් ගෑස්’ හිඟයක්ද උද්ගත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ, විකුණුම් මිලට වඩා ආනයනික පිරිවැය ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

******************************************

අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපතිට ඇප

(19.09.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) පහරදුන් බවට චෝදනා එල්ල වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, අද (19) පෙරවරුවේ ඔහු බම්බලපිටිය පොලීසිය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුවයි.

එලෙස භාර වූ නගරාධිපතිවරයාව පසුව අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත් බවයි බම්බලපිටිය පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

පසුගිය 14 වන දා රාත්‍රියේ මෝටර් රථයෙන් පැමිණි නගරාධිපතිවරයා තමන්ට පහර දුන් බව අදාළ ඉඩමේ ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ඔවුන් බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, පහර කෑ එක් (1) අයෙකුගේ දතකට ද හානි වූ අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

දින 5 ක් තිස්සේ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ අතර එවන් පසුබිමකයි නගරාධිපතිවරයා පොලීසිය වෙත පැමිණ භාරවූයේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී ගල්මුල් වලින් පහරදීම සහ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ඔහුට බරපතල වැඩ සහිත සිරදඬුවමක් ද නියම කෙරුණා.

ඒ, 2014 වසරේ අප්‍රේල් 17 වනදායි. පසුව ඔහු ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුව බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැරුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(19.09.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

පශ්චාත් කොවිඩ් තත්වයන් ළමයින් සහ තරුණ පිරිස් අතර බොහෝවිට වාර්තාවන බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මද රෝග ලක්ෂණ හෝ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ අයෙකුට සති හතරකට (4) පසුව හෝ ඊට වැඩි කාලයකට පසු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් එය, ‘පශ්චාත් කොවිඩ් තත්වය’ ලෙස සැළකෙන බවයි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදනය වූ පමණින් වෙනත් සංකූලතා නොමැති අයට දීර්ඝකාලීනව ඇස්ප්‍රින් භාවිතය අවශ්‍ය නොවන බවයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++

(19.09.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (18) පුද්ගලයින් 1,12,813 එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 22,430 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 41,619 කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 612 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව 90 දෙනෙකුටත් ලබාදී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 4210 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 460 දෙනෙකුටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 886 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 42,496 කට ලබා දී තිබෙනවා.

Progress Report of COVID-19 Immunization – 18-09-2021

+++++++++++++++++

(19.09.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් මිලියන 8000 ක ආදායමක් අහිමි වී තිබෙනවා.

ඒ, මෙම වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වන කාලසීමාවට අදාළවයි.

සංචරණ සීමා සහ කොරෝනා තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට සිය ජල බිල්පත් ගෙවා ගැනීමට නොහැකි වීම ඊට හේතු වී ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

(19.09.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ගෙවී ගිය මාසයේදී පමණක් කොරෝනා ආසාදනය වී කොළඹ ජාතික රෝහලේදී මියගිය පුද්ගලයින් 239 දෙනාගෙන් 220 දෙනෙකුම එන්නත් මාත්‍රා දෙකම (2) ලබා නොගත් බවට අනාවරණ වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කළේ කොරෝනා වයිරසයට ඇති එකම විසඳුම එන්නත්කරණය බවයි.

කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් අද (19) පෙරවරුවේ සියලු විද්‍යුත් නාලිකා හරහා සජීවීව විකාශය කෙරුණා.

‘වසංගතය නිමාවී, වසන්තය එනවා සත්තයි’ ලෙස නම් කර තිබූ මෙම වැඩසටහනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය, අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සහ මෙරට පළමුවරට කොරෝනා වැළදුණු වෛද්‍යවරයා වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ද එක්ව සිටියා.

එහිදී වැඩි වශයෙන් අවධානය යොමුවූයේ එන්නත්කරණය පිළිබඳවයි. ඊට එක්වෙමින් අදහස් දැක්වූ අයි.ඩී.එච්. රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ පසුගිය මාසයේදී පමණක් කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති පුද්ගලයින් 239 දෙනාගෙන් 220 දෙනෙකුම කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බවයි.

මේ අතර වව්නියාව – පොම්පෙමඩු ප්‍රදේශයේ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයක 54 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණේ එහි සිටි වැඩිහිටියන් තුන් දෙනෙකු (3) හදිසියේ මිය යෑමත් සමඟයි.

මේ අතර දින 41 කට පසු මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 100 ට පහළ බැස තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) දිනයේ තහවුරු කරන ලද එම සංඛ්‍යාව 84 ක්.

එමෙන්ම දින 51 කට පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 2000 ට වඩා අඩුවෙන් වාර්තා වීම විශේෂත්වයක්.

පසුගිය 17 වැනිදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 84 ට කාන්තාවන් 33 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 51 ක් අයත්.

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සියයට (100) අඩුවෙන් වාර්තා වූයේ දින 41 කට පසුවයි.

අවසන් වරට මෙරටින් 100 ට වඩා අඩුවෙන් එනම් කොවිඩ් මරණ 94 ක් වාර්තා වුණේ අගෝස්තු 08 වැනිදායි.

කෙසේ වෙතත් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ (18) 12,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 12,022 ක් ලෙසයි.

ගෙවුණු දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1986 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් අතරින් ආසාදිතයින් 1,983 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආශ්‍රිතයින් වන අතර පිටරට සිට පැමිණි තිදෙනෙකු (3) ද ඒ අතරට අයත්.

මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2000 ට අඩුවෙන් වාර්තා වූයේ දින 51 කට පසුවයි.

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 2000 ට වඩා අඩුවෙන් මීට පෙර අවසන් වරට වාර්තා වූයේ පසුගිය ජූලි මස 28 වැනිදායි.

මේ අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,700 ක්.

මේ වන විට පුද්ගලයින් 4,31,036 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පිරිස් සඳහා ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම පසුගිය දිනවල දැඩි ලෙස කතා බහට ලක් වූ කරුණක්.

එම ප්‍රමාදවීමට හේතු දක්වමින් සෞඛ්‍ය බලධාරීන් පවසා සිටියේ රුසියාව ස්පුට්නික්-වී එන්නත වෙනත් රටවල් සඳහා අපනයනය කිරීම යම් තරමකට සීමා කර ඇති බවයි.

කෙසේ වෙතත් රුසියානු රජය සමඟ රාජතාන්ත්‍රික මට්ටමින් කළ ඉල්ලීමකට අනුව ඔවුන් මෙරටට එම එන්නත් මාත්‍රා තොගය ලබාදීමට එකඟතාවය පළ කළා.

ඒ අනුව ඊට අදාළ ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රා 120,000 ක් අද (19) අළුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

එම ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රා අනිද්දා (21) සිට මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන අද (19) දිනයේත් ක්‍රියාත්මක වනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින් අතරින් ‘කළු දිලීර රෝගය’ වැළඳුණු රෝගීන් වාර්තා වන පසුබිමක ඊටත් වඩා අවදානම් සහගත ‘නියුමෝනියා හේතුකාරක දිලීර රෝගයක්’ පිළිබඳව දිලීරවේදය පිළිබඳ විශේෂඥ ප්‍රිමාලි ජයසේකර මහත්මිය අනතුරු අඟවනවා.

මේ අතර පශ්චාත් කොවිඩ් තත්ත්වයන් ළමුන් සහ තරුණ පිරිස් අතර බහුලව දක්නට ලැබෙන බවයි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසන්නේ.

මේ අතර තංගල්ල මූලික රෝහලේ සුව සේවකයින්ගේ මානසික මට්ටම වර්ධනය කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව සංගීත ප්‍රසංගයක් සංවිධාන කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *