විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

*********************************************

විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

(18.09.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම (2) ලබා දී විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17) ප්‍රකාශයක් කරමින්.

සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

විශ්වවිද්‍යාලවල වයස අවුරුදු 30 ට අඩු කාර්ය මණ්ඩල සහ ශිෂ්‍යයින් සඳහා ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධ සුපරීක්ෂණ ක්‍රමවේදයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කර සිටියා.

එම ප්‍රගතිය ද සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය අංශ, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා සෙසු අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල විවෘත කිරීමට අපේක්ෂිත බවයි මහාචාර්යවරයා පවසා සිටියේ ෴

++++++++++++++++

(18.09.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1260 දෙනෙකු සුවය ලබා පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 4,31,036 දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 1530 ක් අද (18) මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,02,302 දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++

(18.09.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස ඇති අවස්ථාවක ඉහළ මිල ගණන් යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ එළවළු අලෙවි කරන ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

පාරිභෝගිකයින්ගෙන් අධික මිල ගණන් යටතේ එළවළු අලෙවි කරන බවට ලද පැමිණිලිවලට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

එවැනි වෙළඳුන් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා දුරකථන අංකයක්ද හඳුන්වාදී ඇති අතර, ඒ අනුව 011 236 9139 දරණ අංකයට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා ෴

++++++++++++++++++++

(18.09.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වයිරසයට එරෙහිව ‘සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තීකරණයක්’ මේ වනවිට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව ඇමරිකානු පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇමරිකාවේ රොකෆෙලර් සරසවිය කොරෝනා වයිරසය වැළදී පසුව සුවය ලබා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත් පුද්ගලයන් යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

මෙම සුපිරි ප්‍රතිදේහය පරිණාමනය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වයිරසය ද සාමාන්‍ය උණ, සෙම්ප්‍රතිශ්‍යාව මට්ටමට පත් වනු ඇති බවයි එම සරසවියේ වයිරසයවේදී පොල් බිනියාස් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(18.09.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 84 ක් වාර්තාවී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදිත මරණ සියයට අඩුවෙන් වාර්තා වූයේ දිගු කාලයකට පසුව වීම විශේෂත්වයක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 84 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,022 ක් ලෙසටයි.

මෙම මරණ 84 අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි මරණ 2 ක් සහ එක් කාන්තා මරණයක් වාර්තා වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 23 ක් තහවුරු වී ඇති අතර පිරිමි 15 ක් සහ කාන්තාවන් 08 ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 58 ක් ඊයේ (17) තහවුරු කළ මරණ 84 අතර වනවා.

ඒ කාන්තාවන් 34 ක් සහ පිරිමි 24 ක් වශයෙන් ෴

++++++++++++++++

(18.09.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද 12,000 සීමාව ඉක්මවා ගියා. ඒ, ඊයේ (17) සිදු වූ බවට අද (18) තහවුරු කරනු ලැබූ මරණ 84 ත් සමඟයි.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් 5 න් එකක් (1) හෙවත් ආසාදිතයන් ලක්ෂයක් (1,00,000) ගෙවුණු දින 22 තුළ වාර්තාවී තිබෙනවා.

අප්‍රේල් 15 වන දා ආරම්භ වූ ‘අලුත් අවුරුදු පොකුර’ට පෙර මෙරට සමස්ත කොවිඩි ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 95,949 ක් ලෙසයි.

මෙරට ආසාදිතයින් ලක්ෂ 4 සීමාව ඉක්මවා ගියේ පසුගිය අගෝස්තු 25 වන දා වන අතර එදින සිට සැප්තැම්බර් 16 දක්වා දින 22 ක් තුළ ආසාදිතයින් ලක්ෂයක් වාර්තා වී තිබෙනවා.

එය මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් පහෙන් එකක් (1/5) වීම විශේෂත්වයක්.

අද (18) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයන් 1,530 ක් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (17) සිදු වූ බවට අද (18) තහවුරු කරනු ලැබූ මරණ 84 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,022 ක් ලෙසයි.

මියගිය 84 දෙනාගෙන් 58 දෙනෙකු අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල පසුවූ 23 දෙනෙකුද මියගිය අය අතර වනවා. අවුරුදු 30 ට අඩු තුන්දෙනෙකු (3) ද මියගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදිතව කුරුණෑගල පළාත් රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍යවරයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස කොරෝනා ආසාදිතව මිය ගොස් ඇත්තේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු සහ ගත් කතුවරයෙකු ලෙස ප්‍රකටව සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා යි.

මේ දක්වා කොරෝනා ආසාදිතව සෞඛ්‍ය සේවකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා ආසාදිත කාන්තාවක් පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් අසල්වැසි කාන්තාවකට වයිරසය බෝ කිරීමේ අරමුණින් මුහුණට කෙල ගැසීමේ පුවතක් ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (18) දිනයේ මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයන් 453 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති මුලු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,02,755 ක්. අද (18) දිනයේ හමුවූ මුළු ආසාදිතයන් ගණන 1983 ක් වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(18.09.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – වෙල්ලාවලි ප්‍රදේශයේ දී වනඅලි පහරදීමකින් 75 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.

අද (18) අලුයම නිවස ඉදිරිපිට දී මෙම පහර දීම සිදු ව ඇති අතර, සිද්ධියෙන් කාන්තාවගේ පුතා ද තුවාල ලබා ගොනාගොල්ල – සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අම්පාර මූලික රෝහල වෙත මාරු කර යැවුණා ෴

******************************************

(18.09.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කළේ අදාළ පාර්සල් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ඇසුරුමක්, ජංගම දුරකථන දෙකක් (2), සිම්පතක් (1), මත්පෙති බවට සැක කෙරෙන පෙති 35 ක් සහ ජංගම දුරකථන බැට්රියක් (1) සොයා ගැනුණු බවයි.

බන්ධනාගාරය තුළට එම ද්‍රව්‍ය අඩංගු පාර්සල වනාතමුල්ල ප්‍රදේශයේ සීමා තාප්පයට ඉහළින් විසි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන සදහා එම පාර්සල බොරැල්ල පොලීසියට භාර දී තිබෙනවා ෴

******************************************

(18.09.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සහ අන්සතු ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් සමඟ ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) අලුයම එම තරුණයා මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් ඉතාලියට යාමට තැත් කළ අවස්ථාවේ ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසිනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මාරවිල පදිංචි 24 හැවිරිදි අයෙක්.

මොහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ඒ තුළ තිබී ඔහුගේ සැබෑ ගුවන් බලපත්‍රය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ඇතුළු වීම සඳහා වන වීසා බලපත්‍රයක් ද සොයාගෙන තිබෙනවා ෴

******************************************

(18.09.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් ඊයේ (17) එල්ල කළ චෝදනාවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (18) ප්‍රතිචාර දක්වනු ලැබුවා.

කෙළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා කියා සිටියේ පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයාට සරත් වීරසේකර සහ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කර ඇති බවයි.

මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඔහු, පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙන්ම මහා සංඝ රත්නයද විවිධ අදහස් පළ කරනවා.

මෙරට ඉදිරි ආර්ථීක සැළැස්ම ඔක්තෝම්බර් 01 වනදා ප්‍රකාශයට පත් කරන බව නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මාස හය (6) ඉලක්ක කරගනිමින් ආර්ථික සැළැස්ම සැළසුම් කර ඇති බවයි ෴

******************************************

(18.09.2021 – 20:15 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සහ වැළිකඩ බන්ධනාගාරවලට ගිය ගමන සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

සමගි ජන බලවේගය පක්ෂයේ මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියේ අද (18) පෙරවරුවේ.

ඒ, පසුගියදා එම බන්ධනාගාරය තුළදී සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් තොරතුරු විමසීම සඳහායි.

කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය තුලට පිවිසීමට ඉඩ ලැබුණේ නැහැ.

අනතුරුව ඔවුන් මේ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දුරකථනය ඔස්සේ දැනුම් දුන්නා.

ඔවුන්ට බන්ධනාගාරය තුලට ගොස් අදාල රැඳවියන් මුණගැසීමට අවස්ථාව ලැබුණේ ඉන් පසුවයි.

******************************************

(18.09.2021 – 23:03 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගැටලුවට අදාළව වර්ජනයේ නිරත ගුරුවරුන් ඊට සහභාගීවන්නේ ඇතැමුන්ගේ බලපෑම මත බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (17) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගුරු සංගම් අද (18) ප්‍රතිචාර දැක්වූවා.

ඔවුන් චෝදනා කළේ සිය ඉල්ලීම්වලට කැබිනට් අනු කමිටුවද යහපත් ප්‍රතිචාර දක්වා තිබියදී සරත් වීරසේකර අමාත්‍යවරයා අනවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවටයි.

******************************************

(18.09.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මේ ගීතය වඩාත් කතාබහට ලක්වෙන්නේ බොලිවුඩයේ දැවැන්තයෙකු වන, අමිතාබ් බච්චන් මේ ගීතය ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබුණු නිසයි.

අනතුරුව ‘ටයිගර්’ වගේ කවුරුත් ආදරේ කරන සුපිරි තරුත් මේ ගීතයට අපූරූ නර්තන ඉදිරිපත් කරලා තිබුණා.

මේ විදිහට ජාත්‍යන්තරයටත් ගිය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අනතුරුව මලයාලම්, දමිළ ඇතුළු භාෂා ගණනාවකින් ද ගැයුණා.

ඔන්න පසුගිය දවසක යොහානි, ඉන්දියාවේ ජනප්‍රිය නාලිකාවක් වන NDTV නාලිකාවේ වැඩසටහනකට සූම් මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී තිබුණා.

Over 11,38,48,489 views

+++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *