‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ රුපියල් කෝටි 3 ක PCR ජාවාරම

‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ රුපියල් කෝටි 3 ක PCR ජාවාරම

*********************************************

‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ රුපියල් කෝටි 3 ක PCR ජාවාරම

(17.09.2021 – 19:20 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වසංගතය අතරේ ජීවිත අවදානමේ දමමින් පිටකොටුවේ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල අලෙවිකිරීමේ දැවැන්ත ජාවාරමක් අනාවරණය කරගන්නට ‘අද දෙරණ උකුස්සා’ පසුගියදා ක්‍රියා කළේය.

උකුස්සාගේ අද (17) සූදානම ලියාපදිංචි නොකළ PCR පරීක්ෂණ කට්ටල අලෙවි ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගත් ආකාරය ගැන අනාවරණය කිරීමටය.

කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීමට බහුලව භාවිත කෙරෙන ක්‍රමවේදය PCR පරීක්ෂණයි.

මෙරට තුළ ද එම පරීක්ෂණ සඳහා නිසි ප්‍රමිතියට නිෂ්පාදනය කෙරුණු PCR කට්ටල රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල යොදා ගැනේ.

එලෙස භාවිත කෙරෙන්නේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ අනුමැතිය මත රජයේ ලියාපදිංචි කළ PCR කට්ටල පමණි.

එවැනි තත්ත්වයක් තුළ ලියාපදිංචි නොකළ PCR කට්ටල භාවිත කරන තිඹිරිගස්යායේ රසායනාගාරයක් පිළිබඳව තොරතුරක් ‘අද දෙරණ උකුස්සා’ට ලැබිණි.

ඒ අනුව, උකුස්සා එහි යන්නේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ද සමගිනි.

එහිදී දැකගත හැකි වුයේ ලියාපදිංචි නොකළ PCR කට්ටල භාවිත කරමින් එහි කොවිඩ් පරීක්ෂණ සිදුකරන අකාරයයි.

එහි ගබඩා කර තිබූ ලියාපදිංචි නොකළ PCR කට්ටල තොගයක් නිලධාරින් සොයා ගත්තේය.

එම රසායනාගාරයේ සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම PCR කට්ටල තොග බෙදාහරින ප්‍රධාන ආයතනය ගැන තොරතුරු හෙළි වුණි.

ඒ අනුව උකුස්සා නිලධාරින් ද සමඟ එම තොග බෙදාහැරීමේ ආයතනයේ කොළඹ මෝදර පිහිටි ප්‍රධාන ගබඩාවට ළඟා වුණි.

එහි සිදුකළ සෝදිසියේදී දක්නට ලැබුණේ ප්‍රධාන ශිත ගබඩාවට පරිභාහිර ස්ථානයක අධිශිතකරණයක් තුළ PCR කට්ටල 6,000 ක් පමණ සඟවා ඇති ආකාරයයි.

එම පරීක්ෂණ කට්ටල රට තුළ ලියාපදිංචි කර නොමැති බව නිලධාරීන් කළ සොයාබැලීමේදී හෙළි විණි.

එම PCR කට්ටල තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයකට (3,60,00,000) අධික බව වාර්තා වේ.

අනුමැතිය ලබා දී ලියාපදිංචි කිරීමටත් පෙර එම PCR කට්ටල තොග ගණනින් මෙරටට ගෙන්වූයේ කෙසේද සහ වෙළෙඳපොළට නිකුත් කෙරුණේ කෙසේදැයි සෙවීමට අදාළ නිලධාරින් විමර්ශනයක් ද ආරම්භ කළේය.

අධි අවධානම් වසංගයක් තුළ මුදලට ගිජු වෙමින් ජනතා ජීවිත සෙල්ලමට ගෙන කරන මෙවැනි කූට වෙළෙඳාම් ඉදිරියේදිත් රට හමුවේ අනාවරණ කිරීමට ‘අද දෙරණ උකුස්සා’ නිරන්තර අවධානයෙනි.

++++++++++++++++

මේවා කියන අපිට පරීක්ෂණ දාල කට වහන්න හදන්නේ – මාෆියා කාරයන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න (17.09.2021)

++++++++++++++++++

(18.09.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ (17) ලක්ෂ පහේ (5) සීමාව ඉක්මවා ගියා.

ඒ, කොරෝනා ආසාදිතයින් 2078 දෙනෙකු ඊයේ (17) හඳුනාගැනීමත් සමඟයි.

ඊයේ (17) මෙරටින් හඳුනා ගත් නව ආසාදිතයින් 2078 දෙනාත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,00,772 ක් ලෙසයි.

නව ආසාදිතයින් ගෙන් 2070 දෙනකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 08 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 59,508 ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,29,776 ක්.

එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ (17) තහවුරු කරනු ලැබූ මරණ 121 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,938 ක් ලෙසයි.

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04 ක් අද (18) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒවා පෙට්ටි 41 ක අසුරා තිබූ බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

හදවත් රෝගීන් කඩිනමින් පූර්ණ එන්නත්කරණයට යොමුවීම අවශ්‍ය බව මීගමුව මූලික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මෙම මාධ්‍ය හමුවකදියි.

මේ අතර ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1391 දෙනෙකු ස්ථීර සේවයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ලක්ෂ එක හමාරකට (1,50,000) අධික සෞඛ්‍ය වෘත්තිකයින් සංඛ්‍යාවක් සිටින අතර ඉන් 22,000 කට ආසන්න සෞඛ්‍ය කාර්ය සහයකයින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අතර, දෛනික ව රිජ්වේ ළමා රෝහලට පැමිණෙන කොරෝනා ආසාදිත දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කළා.

ඇතැම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොරෝනා මර්දන කටයුතු පැහැර හැර කටයුතු කරද් දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු පිරිස් පවතින කොරෝනා තත්ත්වය අභියෝගයක් ලෙස භාරගෙන උපරිම කැප වීමෙන් ක්‍රියා කිරීම අගය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ජාතික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

දරුවන් සහ බිරිය බේරා ගන්න සැමියා අලියාගේ අඟට පනී

(18.09.2021 – 08:55 +0530 – lankadeepa.lk)

නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියා ගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් වාර්තා වීය.

කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී. අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

බිරිද වන 25 හැවිරිදි ඒ. නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය :

“අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ. පාන්දර 06:30 ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි (3) නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලි ගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.

කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා (3) අරන් ගෙයින් එළියට පැනලා දිව්වා. ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා. මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා. අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා. ජිවිතේටම අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.

අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් (3) එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා. අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි කැඩිලා. එයා දැන් රෝහලේ. අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ. අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ. එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.

මට අවුරුදු 10, 7, 4 හා අවුරුදු එක හමාරක (1½) දරුවෝ හතර දෙනෙක් (4) ඉන්නේ. එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක්.”

******************************************

(18.09.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයෙන් පිටත් ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි එක ම පවුලේ තිදෙනෙකුට (3) තියුණු ආයුධයකින් පහර දී ඇති බවත් ඔවුන් කඩිනමින් දිවයිනට රැගෙන එන ලෙසත් ඉල්ලමින් ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් කුඩාවැල්ල මංසන්දියේ දී උද්ඝෝෂණයක නිරත වුණා.

ඉකුත් 23 වැනි දා ‘දැහැමි දෙක’ නම් මෙම බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟ ධීවර කටයුතු සදහා පිටත් ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි සිටි එක් (1) ධීවරයෙකු ධීවර යාත්‍රාවේ ගිය තවත් තිදෙනෙකුට (3) තියුණු ආයුධවලින් පහර දී වෙනත් ධීවර යාත්‍රාවක නැග පලා ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් තුවාලකරුවන් ඉක්මනින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙසත් මෙතෙක් ඔවුන් ගොඩබිමට ගෙන්වා ගැනීම සඳහා බලධාරීන් කිසිවෙකුත් කටයුතු නො කළ බවත් පවසමිනු යි ඊයේ (17) රාත්‍රියේ තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කුඩාවැල්ල හන්දිය අවහිර කරමින් මෙලෙස ජනතාව විරෝධතාවේ නිරත වූයේ ෴

******************************************

(18.09.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත තවත් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට මේ දක්වා මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ යුද හමුදා සාමාජිකයින් 10 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඝාතනයට අනුබල දුන් බව කියන අදාළ හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය අගෝස්තු මස 20 වැනි දා මෝදර කාකදූපතට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා තිබූ අතර, ඝාතනයට ලක් වූ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය – සමිට් පුර ග්‍රාම නිලධාරිනිය ද ඒ වෙනවිට තම ස්වාමි පුරුෂයා අතුරුදන් ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබුණා.

පසු ව අනාවරණ වුණේ, හමු වූ මළ සිරුර මෙම කාන්තාවගේ සැමියා වෙන තොටළඟ – අරුණ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ බවට යි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ – උතුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකය විමර්ශනයක් ආරම්භ කළා.

පසුව හෙළි වුණේ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනුයුක්ත බුද්ධි නිලධාරියෙකු වෙන කෝප්‍රල්වරයෙකු සමඟ අනියම් සබදතාවක් පවත්වා ඇති බවයි.

ඒ අනුව අදාළ කාන්තාව මුලින් අත්අඩංගුවට ගැනුණු අතර එහි දී ඇය විසින්, අදාළ බුද්ධි නිලධාරියා ඇතුළු හමුදා සාමාජිකයින් පිරිසක් විසින් තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වැනි දා යුද හමුදා රථයකින් මෙලෙස පැහැර ගැනුණු මිය ගිය එල්ලේ ක්‍රීඩකයාගේ සිරුර කළු ගල් පිර වූ බෑගයක ගැට ගසා මෙම හමුදා සාමාජිකයින් පෑලියගොඩ – කළු පාලමෙන් කැලණි ගඟට දමා තිබෙනවා.

ඝාතනයට පෙර කාන්තාව සමඟ අනියම් සබදතා පැවැත් වූ යුද හමුදා බුද්ධි නිලධාරියා ඔහු සේවය කරන හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා දැනුවත් කර ඇත්තේ, මත්කුඩු ජාවාරම්කරුවෙකු හමුදා නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් සිටින බවට යි.

ඒ අනුව ඔහු ව ඝාතනය කිරීමට එම කදවුරේ අණ දෙන නිලධාරියා ද අනුබල දී ඇති බවට බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වුණා.

කෙසේ වෙතත්, කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි ෴

******************************************

(18.09.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට අය කරන දඩ මුදල රුපියල් ලක්ෂය (1,00,000) දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන ලබන බදාදා (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. ඒ, සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *