ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පිටුපස ඹෟෂධ මාෆියාවක් – මහ මොළකරු සැඟවීමටත් සූදානම් ?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පිටුපස ඹෟෂධ මාෆියාවක් – මහ මොළකරු සැඟවීමටත් සූදානම් ?

*********************************************

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම පිටුපස ඹෟෂධ මාෆියාවක් – මහ මොළකරු සැඟවීමටත් සූදානම් ?

(17.09.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීම සම්බන්ධයෙන් වගකීම පටවන ඉංජිනේරුවා කවුරුන්දැයි හෙළිදරව් නොකරන්නේ දත්ත පද්ධතිය මකා දැමීම පිටුපස සිටින ඖෂධ ජාවාරම්කරුවන් හා මහ මොළකරු සැඟවීමේ උවමනාව නිසාදැයි සමගි ජන බලවේගයේ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රශ්ණ කරනවා.

අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ ගැන අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියා පවා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටට නීති විරෝධි ආකාරයට ගෙන්වා මුදල් උපයන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක් විය හැකි බවට පවසා ඇති බවටයි.

මේ දත්ත මැකී ගියේ එක ඉංජිනේරුවෙකුගේ අතින් කියලා සමාගම කියනවා. ඒ ඉංජිනේරුවා කවුද කියලා තවම හෙලිදරව් කර නැහැ. එහෙනම් මේ ඉංජිනේරුවා ජාවාරකම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වුනාද, නැතිනම් ජවාරම්කරුවන් විසින් ඉංජිනේරුවා මෙහෙයවනු ලැබුවාද කියන එක ගැන සැකයක් මතුවෙනවා, මන්ත්‍රී මනුෂ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියා.

“දැන් මේ දත්ත වැරදීමකින් මැකී ගිය බවනේ කියන්නේ. වැරදීමකින් ඒ වගේ මකා දමන්න කියන බොත්තම එබුවොත් මේක කරන්න ඕනැද කියලා අහනවා, එහෙම අත්වැරදීමකින් ලේසියෙන් මකා දමන්න බෑ. ඒ වගේම මේ දත්ත පද්ධතියේ මුර පදය හතර (4) දෙනෙකුගේ අතේ තිබිලා තියෙනවා. එතකොට එහෙම එක පුද්ගලයෙක්ට තනියම ඒ දත්ත මකා දමන්න පුලුවන්ද? එහෙම එක පුද්ගලයෙක් මකා දමනවානම් ඉහළ නියෝගයක් නැතිව එම දත්ත මකන්න පුලුවන්ද? මේ ඉංජිනේරුවා කවුද, කවුරු වෙනුවෙන් වැඩ කළ අයෙක්ද, යන කාරණා සොයා බැලිය යුතුයි.

ඒ වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට චෝදනා එල්ලවෙනවා සිරකරුවන්ට වද හිංසා පැමිණවීම, පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගැන. එහෙම තියෙද්දී ඇමැතිවරු පිස්සු නටන්න පටන් අරගෙන තියෙනවා. පසුගිය ආණ්ඩුවල මේ වගේ දේවල් වුනාම ක්‍රියාත්මක වුනේ නෑ, ඒත් අපි ක්‍රියත්මක වෙනවා කියලා වියත්මගේ ඇමැතිවරයෙක් කියලා තිබුණා. හැබැයි එයාට අමතකයි ඒ අයගේ ආණ්ඩු තියෙද්දීම තමයි රූපවාහිනියට පැනලා පිස්සු නැටුවේ කියන එක. මෙහෙම කරපු ඇමැතිවරු එක අමාත්‍යාංශයකින් විතරක් ඉල්ලා අස්වෙනවා. අනික් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙන්න නම් මැණික් හා ස්වර්ණාභරණ එකේ මංකොල්ලයක් වෙන්න ඕනෙ කියලා තවත් ඇමතියෙක් කියනවා. ඒ කියන්නේ බන්ධනාගාරයේ වරදක් සිදුවෙලා තියෙනවා. මේ වගේ දේවල් කරන අයෙක් ඇමැතිවරයෙක් වීමට නුසුදුසුයි. මෙහෙම වැරදි වුනොත් පාරට බහිනවා කියපු අය දැන් කෝ? මේ වගේ වැරදි කරන ඇමැතිවරු කනෙන් ඇදලා එළියට දාන්න කොන්දක් මේ ආණ්ඩුවට නෑ. ඇමැතිවරයා නිර්දෝශී නම් මාධ්‍ය වල පළවූ වාර්තා බොරු වෙන්න ඕන. රැඳවියන් කියන කතා බොරු වෙන්න ඕන. අනුරාධපුරයට මහ රෑ ගියේ නැද්ද? ගිහින් සිර කුටිය ඇරියේ නැද්ද? සිර කුටි වලින් එල්.ටී.ටී.ඊ. සැකරුවන් එලියට ගත්තේ නැද්ද? බන්ධනාගාර නිලධාරීනුත් තමන්ගේ රස්සාව ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා මොනවත් කියන්නේ නෑ. දැන් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා බන්ධනාගාරයට යනවා. ඔහු හරිනම් තමන්ගේ සහෝදර ඇමැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උදව් කරන්න ඕන. කවුරුන් හෝ තුවක්කුවක් භාවිතා කළා කියලා පැමිණිල්ලක් ලැබුණ විට තුවක්කු ආඥා පනත යටතේ අත්අඩංගුවට ගත්තම ඇප දෙන්නේත් නෑ.”

“ඒත් පොලීසිය භාර ඇමැතිවරයා හරියට පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයාගත්තා වගේ ඇමැතිවරයාගේ තුවක්කුවට බලපත්‍රයක් තියෙනවා කියලා කියනවා. තුවක්කුව දකින්නේවත් නැතිව තමයි ඒකට ලයිසන් තියෙනවා කියලා කියන්නේ. ලයිසන් තුවක්කුවක් අරගෙන හිරේට ගිහින් මිනිහෙකුගේ ඔලුවට තියපු එක හරිද? බීලා තියෙන්නේ ලයිසන් අරක්කු නම්, ගිහින් තියෙන්නේ ලයිසන් තියෙන පොලීසියත් එක්ක නම් මේ වැඩෙත් ලයිසන් තියෙන වැඩක්ද? මේ කරපු වැඩේ එතකොට හරිද? වියත්මග ලයිසන් දීලා තියෙන්නේ මේකටද? දැන් තේ පොල් රබර් වලට කාබනික පොහොර ගෙන්වීමේ ප්‍රථිඵල අපිට දැකගැනීමට ලැබේවි. ක්‍රමානුකූලව කාබනික වගාවට ගියත් අත්‍යවශ්‍ය රසායනික පොහොර ගෙන්විය යුතුයි. වගාවට අවශ්‍ය රසායනකින ද්‍රව්‍ය ආනයනය කිරිමට සදහා කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට (2) කලින් අනුමැතිය දීලා තිබුණා. ඒ ගැන ආණ්ඩුවට ස්තුතිවන්ත විය යුතුයි. හැබැයි එක සමාගමකට මේ ආනයනය සදහා අවසර දුන්න බව තමයි පැවසෙන්නේ. මේක නැවත වරක් ගජ මිතුරන්ට සැලකීමක් නොවී, ගොවියා ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ යුතු වෙනවා. ඒ වගේම උද්දච්චකම පැත්තක තියා තේ ගොවියා ගැන, වී ගොවියා ගැන, එළවළු ගොවියා ගැන කල්පනා කරලා යම් ප්‍රමාණයකට හෝ රසායනික පොහොර ගෙන්වීමට කටයුතු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා.”

******************************************

(17.09.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

ලෝක රෝගී ආරක්ෂක දිනය සැමරීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ සියලු සෞඛ්‍ය අංශවලට උපහාරයක් ලෙසට කොළඹ නෙලුම් කුළුණ අද (17) රාත්‍රී 7 සිට 9 දක්වා ආලෝකමත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

******************************************

(17.09.2021 – 18:53 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 55 ක් වැයකර නවීකරණය කළ ගෝමරන්කඩවල සති පොල භූමිය අද (17) ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව වෙත නිළ වශයෙන් භාර දුන් බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පවසනවා.

සියලු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම සති පොල නාගරික සංවර්ධන අධිකාරිය විසින් මාස 6 ක් ඇතුලත සම්පූර්ණයෙන් තනා නිමකළා.

මෙම නව සති පොළ භූමිය තුළ වෙළෙඳුන්ට සියලු පහසුකම් සපයා ඇති අතර ගොවි නිෂ්පාදන ගොඩබෑමට සහ පැටවීම් සිදු කිරීමටත් අවශ්‍ය කරන සියලු පහසුකම් ද සකසා තිබෙනවා.

වාහන නැවැත්වීම සඳහා විශාල වාහන අංගනයක් ද මෙහි ඉදිකර ඇති අතර ලබන මාසයේදී මෙය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

[ සේයාරූ ]

******************************************

(17.09.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ සැරයන්වරයෙකු එම බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුවයි.

29 හැවිරිදි, බොරැල්ල කාසල්වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 7 කට අධික ප්‍රමාණයක් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් පමණ සොයාගැනුණා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී 29 හැවිරිදි සැකකරු තමාට මත්කුඩු දුන් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයාව මත්කුඩු මිලදී ගැනීම සඳහා 29 හැවිරිදි සැකකරු මාර්ගයෙන් රාජගිරිය ප්‍රදේශයට ගෙන්වා ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, එසේ පැමිණි සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය දැක පළා ගොස් ඇති අතර වැටලීමට එක්වූ නිලධාරීන් පළා ගිය සැකකරු ද පොලිස් විශේෂ කාර්ය බලකායේම සේවය කරන අයෙකු බවට හදුනා ගැනුණා.

ඒ අනුව එහි අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඔහු අත්අඩංගුවට ගත් අතර මේ වන විට අනාවරණ වී ඇත්තේ එම පොලිස් සැරයන්වරයා රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ සේවය කරන උපේක්ෂ වික්‍රමසිංහ නැමති බුද්ධි නිලධාරියා බවයි.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පැවැත්වීමේ චෝදනාව මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අත්අඩංගුවට ගැණුනා.

ඊයේ (16) අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයා මීට පෙර අත්අඩංගුවට ගැනුණු උප පොලිස් පරීක්ෂකවරයාගේ කණ්ඩායමේ සේවය කළ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ඔහුගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(17.09.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

සම්බා වී කිලෝවක් රුපියල් 60 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 70 කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට තමන් ජනපතිවරයාට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (17) ප්‍රකාශ කළා.

ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර සියලු භෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අදහස් පළ කළා.

******************************************

(17.09.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ‘ලංකා රෝහලේ’ වැසිකිලියක තිබී හමුවූ අත් බෝම්බය සහ කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ උණ්ඩ තොගය සැකකරුවන් ලබාගෙන ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු රැදී සිටි කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසකින් බවට හෙළි වී තිබෙනවා.

අදාළ නිවසට එම අත්බෝම්බය සහ උන්ඩ තොගය පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

නාරාහේන්පිට ‘ලංකා රෝහලේ’ තිබී පසුගිය 14 වනදා අත් බෝම්බයක් සොයාගැනීමත් සමඟ එය රැගෙන ආ පුද්ගලයා පෙරේදා අත්අඩංගුවට ගැනුනා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබුණේ කුරුණෑගල – මහව ප්‍රදේශයේදියි.

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා තිබියදී උණ්ඩ 18 ක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම (2) පාපොච්චාරණය කර ඇත්තේ ඒවා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු රැදී සිටි විජේරාමේ පිහිටි ඇමති නිළ නිවසක තිබී රැගෙන ආ බවයි.

හිටපු අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව නිවස අලුත්වැඩියා කිරීමට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එහි සේවයේ යෙදී සිට තිබෙනවා.

ඒ අනුව අදාළ නිවසේ භාණ්ඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේ එම නිවසේ තිබී මෙම ජීව අත්බෝම්බය සහ උණ්ඩ 18 සොරා ගත් බවයි ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට පාපොච්චාරණය කර ඇත්තේ.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි.

මේ අතර ‘බොදුබල සේනා සංවිධානයේ’ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය දා ‘හිරු ටී.වී. සලකුණ’ වැඩසටහනට එක්වෙමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

++++++++

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

PCR වාර්තා පරස්පර වීමක් නිසා ගැටලුවක්

(17.09.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතවීම සදහා පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගත් ව්‍යාපාරිකයෙකු මුහුණ දුන් විරල ගණයේ අත්දැකීමක් පිළිබද පුවතක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

අදාළ ව්‍යාපාරිකයා පසුගිය 08 වන දා ඩුබායි රාජ්‍යයට පිටත්ව යාමට නියමිතව තිබූ බැවින් පසුගිය 06 වන දා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගෙන තිබෙනවා.

එහිදී තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බවයි.

ඒ අනුව විදෙස් ගමන සැලසුම් කර ගත් ව්‍යාපාරිකයා, පසුදින එනම් 07 වන දා උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොස් තිබුණේ ගුවන් ගමනට පැය 12 ක් ඉතිරිව තිබියදියි.

එහෙත් එහිදී ඔහු ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයා තවත් පී.සී.ආර්. පරීක්ෂාවක් සදහා අවසර ඉල්ලා ඇතත් බලධාරීන්ගෙන් ඊට අවසර හිමිව නැහැ.

පසුව ඔහු පසුගිය 06 වන දා පී.සී.ආර්. පරීක්ෂණය සිදුකළ රෝහලට මේ පිළිබදව දැනුම් දී තිබෙනවා.

එහිදී එම රෝහල මගින් ඔහුට ඊට පසුදිනම, එනම් 08 වන දා පෙරවරුවේ තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට එකඟ වී ඇති අතර එම පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බවටයි යළි තහවුරු වී ඇත්තේ.

මෙම ව්‍යාකූලත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත් එම ව්‍යාපාරිකයා පසුව, ගුවන් තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණය සිදුකළ රෝහල් ජාලයට අයත් වෙනත් පරීක්ෂණාගාරයකින් 09 වන දා තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගෙන තිබෙනවා.

එහිදී ද වාර්තා වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගත් බවයි.

මේ අතර, ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යට සහභාගී වන කලාකරුවන්ගේ සහ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට සිදු කළ කොරෝනා පරීක්ෂණ වාර්තාවල ද පරස්පරතා මතුව තිබෙනවා.

++++++++++++++++++

(17.09.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (17) ලක්ෂ 5 ඉක්මවා ගියා.

ඒ අද (17) තවත් ආසාදිතයන් 800 ක් හඳුනා ගැනීමත් සමගයි.

අද (17) දිනයේ පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයන් 2078 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,00,772 ක් ලෙසටයි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 121 ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,938 ක් ලෙස ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 121 අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 28 ක් තහවුරු වී ඇති අතර පිරිමි 16 ක් සහ කාන්තාවන් 12 ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 92 ක් ඊයේ (16) තහවුරු කළ මරණ 121 අතර වනවා. ඒ කාන්තාවන් 47 ක් සහ පිරිමි 45 ක් වශයෙන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *