සුදු ලූනු වංචාවට සම්බන්ධ සතොසේ ලොක්කන් පිරිසක් නිදැල්ලේ

සුදු ලූනු වංචාවට සම්බන්ධ සතොසේ ලොක්කන් පිරිසක් නිදැල්ලේ

*********************************************

සුදු ලූනු වංචාවට සම්බන්ධ සතොසේ ලොක්කන් පිරිසක් නිදැල්ලේ

(17.09.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ වෙළඳසැල් ජාලය වෙත වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද සුදුලූනු කිලෝ 54,860 ක් අන්තර්ගත වූ බහාලුම් දෙකක් (2) තෙවන (3) පාර්ශවයකට විකිණීමේ ජාවාරමට ඍජු ව වගකිව යුතු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් තවමත් නිදැල්ලේ පසු වෙන බවට අනාවරණ වී තිබෙනවා.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් ‘ලංකා සතොස’ ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ‘සුසිරි පෙරේරා’ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, සුදුලූනු මිල දී ගත් ආයතනයේ හිමිකරු ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සුදු ලූනු කිලෝ 56,000 ක් අන්තර්ගත බහාලුම් දෙක (2) අවසරයකින් තොර ව තෙවන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘ලංකා සතොස’ ආයතනයේ සිව් (4) දෙනෙකු ද පසුගිය දා අත්අඩංගුවට ගැනුණු අතර. ඔවුන්ගේ වැඩ තහනම් කෙරුණේ පසුගිය 13 වනදා යි.

පෞද්ගලික සමාගමක් විසින් පසුගිය ජූලි 14 වැනි දා මෙම සුදු ලූනු මෙරටට ආනයනය කර තිබූ අතර, පෞද්ගලික බැංකුවක් හරහා ඊට අදාළ ණයවර ලිපි විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒවා ආනයනය කළ සමාගම ප්‍රකාශ කළේ, රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් අදාළ සුදු ලූනු අන්තර්ගත බහාලුම් 18 ක් වරායෙන් නිදහස් කරගත නො හැකි වූ බවයි.

සති දෙකක් (2) තුළ වරායෙන් නිදහස් කර නො ගන්නා ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රජය භාරයට ගත හැකිවෙන පරිදි නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව අදාළ සුදු ලූනු තොගයෙන් කොටසක් සිය භාරයට ගත් බවයි ‘ලංකා සතොස’ ආයතනය ප්‍රකාශ කළේ.

ඒ අනුව සුදු ලූනු බහාලුම් හයක් (6) ‘ලංකා සතොස’ භාරයට ගැනීමට සූදානම් කර තිබූ අතර, ඉන් බහාලුම් දෙකක් (2) සැප්තැම්බර් 08 වැනි දින ‘ලංකා සතොස’ භාරයට ගෙන තිබුණා.

කෙසේ වෙතත් එය, තමන්ට ද නොදන්වමින් නීති විරෝධී ආකාරයට සිදු වූ බවට ආනයනික සමාගම චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි සුදු ලූනු ආනයනය කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිෂාන් ගුණතිලක මහතා කියා සිටියේ.

‘ලංකා සතොස’ ආයතනය මගින් අදාළ සුදු ලූනු කිලෝ 56,000 ක් සිය භාරයට ගෙන තිබෙන්නේ කිලෝවක් රුපියල් 105 ක මිලකට යි.

අදාළ සුදුලූනු තොගය කිලෝවක් රුපියල් 135 බැගින් පෞද්ගලික ගැනුම්කරුවෙකුට අලෙවි කිරීමට ‘ලංකා සතොස’ ආයතනය පියවර ගෙන තිබෙනවා.

එම ආයතනයේ ඉහළ නිලධාරීන් රැසකගේ අනුදැනුම යටතේ එය සිදු වී ඇති බවට නිරීක්ෂණය වන්නේ ඊට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදි යි.

මෙලෙස ‘ලංකා සතොස’ ආයතනය භාරයට ගනු ලබන අත්‍යවශ්‍ය ආහාර වෙනත් පෞද්ගලික ගැනුම්කරුවෙකුට අලෙවි කිරීමට අවසර හිමිවෙන්නේ වෙළඳ අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ පමණයි.

අදාළ සුදුලූණු තොගය පසුගියදා අලෙවි කිරීමට ‘ලංකා සතොස’ ආයතන පියවර ගෙන ඇත්තේ එවන් පසුබිමක වීම විශේෂත්වයක්.

ඒ අනුව මෙම ගණුදෙනුවේ විනිවිදභාවයෙන් තොර සිදුවීම් කිහිපයක්ම දක්නට ලැබෙනවා.

ඉන් ප්‍රධාන කරුණක් වන්නේ ‘ලංකා සතොස’ ආයතනයේ ඉහළ පුටුවල සිටින නිලධාරීන්ගේ අනුදැනුම යටතේ මෙම සුදුලූනු තොගය පෞද්ගලික ගැනුම්කරුවෙකුට අලෙවි කර තිබියදීත් නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහි ව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි.

******************************************

(17.09.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

සිය නැගණිය සමග විවිධ ඇඳුම් හැඳ නිවසේ සෙල්ලම් කරමින් සිටි 11 හැවිරිදි දැරියක් චීත්ත රෙද්දකට ගෙල සිර වීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මිරිස්ස – හේන්වල ප්‍රදේශයේ පදිංචි දැරියක්.

පොලිසිය සඳහන් කළේ ඇය, නැගණිය සමඟ සිය මවගේ සාරි සහ චීත්තය ඇඳ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුරට ලක් ව ඇති බවයි ෴

******************************************

(17.09.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ‘ඉෂාලිනි ජූඩ්’ නමැති දැරිය පිලිස්සී මියයාමේ සිද්ධියේ පස්වන සැකකරු වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබන මස 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් දින 55 කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ මන්ත්‍රීවරයාගේ බිරිඳට සහ ඇයගේ පියාට ඇප නියම කිරීමටයි අධිකරණය නියම කළේ.

සැකකාර හිටපු අමාත්‍යවරයාගේ පූර්ව ක්‍රියා කලාපය සැලකිල්ලට භාජනය කිරීමෙන් අනතුරුව සහ ඔහුට අදාළ විමර්ශණ කටයුතු අවසන් වී නොමැති බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය කියා සිටියේ.

මෙම අපරාධය සිදු වූ බව කියන අවස්ථාවේදී තම සේවාදායකයා අදාළ නිවස තුළ නොසිටි අතර ඔහු එම කාලවකවානුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා හෙයින් ඇප මත මුදා හරින ලෙසත් රිෂාඩ් බදියුදින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මෙම සැකකරු බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කෙරෙන බවත් ඔහුගේ සිර කුටිය තුල ජංගම දුරකතනයක් තිබී සොයාගැනීම සම්බන්ධයෙන් විමර්ශණයක් පැවැත්වෙන බවත් දන්වා සිටියා.

කෙසේ වෙතත් දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ පියා සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීම පිලිබඳ තමන් විරුද්ධ නොවන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ.

මෙම සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ නම් දැඩි කොන්දේසි පනවන ලෙසත් අපරාධ සිදුවූ ස්ථානය වෙනස් කිරීම් නොකරන ලෙස ඔවුන්ට තරයේ අවවාද කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

සියලු සැකකරුවන්ට අදාල විමර්ශණ කටයුතු කඩිනමින් අවසන් කර ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේ.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ හා මාමණ්ඩිය රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළා.

එහිදී විනිසුරුවරිය කියා සිටියේ එක් (1) ඇපකරුවෙකු ඔවුන්ගේ ළඟම ඥාතියෙකු විය යුතු බවයි.

ඔවුන්ට විදෙස් ගමන් තහනම් කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළා.

මෙම නඩුවේ වින්දිත දැරියගේ ඥාතීන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරිමෙන් වළකින ලෙසත් තරයේ අවවාද කෙරුණා.

එමෙන්ම දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මියගිය දැරිය ලැගුම් ගෙන සිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේ කාමරය සීල් තබන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළා ෴

******************************************

(17.09.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

පවතින ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සහ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ඒ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අතරයි.

එහි දී වෘත්තිය සමිති නියෝජිතයින් අදහස් පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.

******************************************

(17.09.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) උදෑසන 07:30 තෙක් වලංගු වන ආකාරයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසිනුයි අද (17) පස්වරු 02:30 ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව උතුර, උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටයි ජනතාවට දැනුම්දෙන්නේ.

ඒ අනුව අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද උපදෙස් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුයි.

බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසට සහ තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දැනුම් දෙනවා.

හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

මේ අතර සබරගමුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(17.09.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට කොරෝනා එන්නත්කරණය සිදු කරන දින සහ කාල වකවානු පිළිබඳ ව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන 224 ක පුද්ගලයින් 19,869 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ඔහු ප්‍රකාශ කළා.

බණ්ඩාරවෙල නගර සභාව මඟින් පාලනය වන ළමා නිවාසයක අවුරුදු 5 ට අඩු කුඩා දරුවන් තුන්දෙනෙකු (3) කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරු ව ළමා නිවාසයේ අනෙක් දරුවන් කිහිප දෙනෙකුට ද රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් දරුවන් 35 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇති බවයි ‘හිරු’ වාර්තාකරු කියා සිටියේ.

කොළඹ වරාය නගරයේ යෝජිත ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වනු ඇති බව කොළඹ වරාය නගර මහජන සම්බන්ධතා ප්‍රධානී කාශ්‍යප සෙනරත් මහතා පවසනවා.

රට තුළ පවතින කොරෝනා වසංගතය ඇතුළු අනෙකුත් කරුණු මත සලකා බලා මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කර ඇති බවත් රට යථා තත්ත්වයට පත් වූ පසු එහි ඉදිකිරීම් කඩිනමින් සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ඉදි කිරීම් මුල් අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ආයෝජනයක් ද සිදු කර තිබෙනවා ෴

++++++++++++++++

(17.09.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 15 ත් 19 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ, කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමෙන් අනතුරුව අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+++++++++++++++++

(17.09.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පීඩාවට පත්වූ පෞද්ගලික බස් කර්මාන්තයට සහන සැළසීම සඳහා සැළසුම් රැසක් ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

එම වැඩසටහන ලබන සතියේ සිට ක්‍රියාවට නැංවෙන අතර, බස් රථ 17,000 ක් සඳහා අමතර කොටස් ඇතුලු දෑ මිලදී ගැනීමට වවුචර් ලබාදීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මහනුවර අද (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ෴

++++++++++++++++

(17.09.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සහ පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඊයේ (16) රාත්‍රියේ ‘හිරු ටී.වී’ ඔස්සේ විකාශය වූ ‘බලය’ වැඩසටහනේ දී අදහස් පළ වුණා.

එහි දී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත්, ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්වරු මෙලෙසින් අදහස් පළ කළා.

+++++++++++++++++

(17.09.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත්ත ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම නො කළහොත් ජීවිත අවධානම ඉහළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාවට ආසන්න වී තිබෙනවා.

පසුගිය 15 වැනි දා සිදු වූ කොවිඩ් මරණ 118 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) දිනයේ තහවුරු කරනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 57 දෙනෙකු සහ පිරිමින් 61 ක්.

මෙලෙස දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 120 ට අඩුවෙන් වාර්තා වූයේ දින 37 කට පසුවයි.

ගෙවුණු දින 5 ක් පුරා මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 150 ට වඩා අඩු අගයකින් වාර්තා වුණා.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 11,817 ක් වශයෙන්.

මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,271 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් සියලුදෙනා ‘අලුත් අවුරුදු පොකුරේ’ ආශ්‍රිතයින්.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 කට ආසන්න වෙමින් තිබෙනවා.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 4,98,694 ක් ලෙසයි,

තවදුරටත් සක්‍රීය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 58,287 ක් වන අතර, සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් ඇති සංඛ්‍යාව 4,28,590 ක්,

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *