නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ – ඔක්තෝම්බර් 01 වනදා සිකුරාදා අලුයම 4 දකවා

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ – ඔක්තෝම්බර් 01 වනදා සිකුරාදා අලුයම 4 දකවා

*********************************************

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ – ඔක්තෝම්බර් 01 වනදා සිකුරාදා අලුයම 4 දකවා

(17.09.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

රටපුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වයිරස පාලනය සඳහා මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කෙරෙන දැඩි සංචරණ සීමා සහිත නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස පළමුවනදා (01) සිකුරාදා අලුයම 4 දකවා තවදුරටත් දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

අද (17) උදෑසන පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකායේ විශේෂ කමිටු රැස්වීමේදී දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැඩිව කතාබහට ගැනුණු අතර වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබුනේ නිරෝධායන ඇඳිරි නීතිය හරහා ලබාගත් වාසියේ උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කළයුතු බවටයි.

සංචරණය සඳහා සීමා පැනවීම හේතුවෙන් රෝග ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක් සටහන් වී ඇති බවත් එය තවදුරටත් ඵලදායි කරගැනීම සඳහා ඉදිරි සති දෙකක (2) කාලය සඳහාත් නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවටයි සෞඛ්‍ය විශේෂඥයන් මෙහිදී පෙන්වා දී ඇත්තේ.

එමෙන් ම ඔක්තෝම්බර් දෙවන (02) දින රට විවෘත කිරීමෙන් අනතුරුව ද අවම තරමින් තවත් මාස තුනක (3) පමණ කාලයක් දැඩි නීති රීති යටතේ රටේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යා යුතු බවටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

++++++++++++++++

(17.09.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 816 දෙනෙකු අද (17) උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 73,894 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පොලිස් මාර්ග බාධක 13 ක දී ඒ හරහා ගමන් කිරීමට තැත්කළ පුද්ගලයින් 263 දෙනෙකු සහ වාහන 142 ක් නැවත හරවා යවා තිබෙනවා ෴

+++++++++++++++

(17.09.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (16) පුද්ගලයින් 94,651 කට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 37,623 දෙනෙකුට දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 53,017 කට ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 1049 දෙනෙකුට සහ එහි දෙවැනි (2) මාත්‍රාව 535 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 1675 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 95 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 604 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 50 ක්.

ඒ අනුව මේ දක්වා දෙවන (2) මාත්‍රාව ද ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 1,867,900 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Progress Report of COVID-19 Immunization – 16.09.2021

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(17.09.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

වෙබ් අඩවියක් මඟින් කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තවත් පුද්ගලයෙකු රත්නපුර – කලවාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (16) අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

15 හැවිරිදි දැරියක් වෙබ් අඩවියක් හරහා අලෙවි කිරීමේ සිද්ධියක් මීට පෙර වාර්තා වූ අතර, ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී යි මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගැනුණේ.

15 හැවිරිදි දැරියගේ සිද්ධියට අදාළ ව මේ වෙනවිට පුද්ගලයින් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

බැඳුම්කර වංචාවට අදාළ වෝහාරික විගණන ලිපි ගොනු භාරව සිටි ලේකම්වරිය හදිසියේ තනතුරෙන් පහ කෙරේ

(17.09.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු බැඳුම්කර චෝදනාවන්ට අදාළ ලිපිගොනු භාරව සිටි ශ්‍රී ලංකා මහා බැංකු මූල්‍ය මණ්ඩල ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහබැංකු අධිපති ලෙස ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් පත් වී දිනකට (1) පසු ව වීම විශේෂත්වයක්.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට මහ බැංකු බඳුම්කර වංචාව ඉදිරිපත් වූ මොහොතේ සිට ජනාධිපති කොමිෂන් සභාව, වෝහාරික විගණනය දක්වා සියලු ම පරීක්ෂණ කටයුතු සඳහා වෘත්තීයමය වගකීම රැදී තිබුණේ, කේ.එම්.ඒ.එන්.දවුලගල මහත්මිය යටතේ යි.

බැඳුම්කර වංචාවට අදාළ ලිපි ගොනුවල සටහන් වෙනස් කිරීමට එයට සම්බන්ධ පුද්ගලයන් උත්සහ දැරූ අවස්ථාවේ දී එය වලක්වනු ලැබූවේ ද ඇය යි.

එමෙන්ම ඊ.ඒ.පී. එදිරිසිංහ මුල්‍ය සමාගමට අදාළ විගණනයේ ද මුලිකත්වය දැරූ ඇය, එහි දී බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් නො තකා ක්‍රියා කළ සුපිළිපන් නිලධාරිනියක්.

අර්ජුන මහේන්ද්‍රන් හා අජිත් නිවාඩ් කබ්රාල්ට චෝදනා එල්ල වන අදාළ වෝහාරික විගනන වාර්තා පහක (5) සියලු ලේඛන භාරකාරීත්වය පැවතියේ කේ.එම්.ඒ.එන්.දවුලගල මහත්මිය භාරයේ වන අතර මෙම වංචාව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කළේ ද ඇයයි.

ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩල ලේකම් මෙලෙස හදිසියේ ම තනතුරෙන් පහකිරීම බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන්යෙන් සිදු කෙරෙන ඉදිරි පරීක්ෂණ කටයුතුවලට මහත් බලපෑමක් ඇතිකරනු ඇති බවට යි මැදහත් විශ්ලේෂකයින් අදහස් පළ කරන්නේ ෴

++++++++

කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වසර 26 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර බැංකු කටයුතු, ජාත්‍යන්තර මෙහෙයුම්, මූල්‍ය, බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ, මූල්‍ය ස්ථායීතා අධ්‍යයන, උතුරු මැද පළාත් හා වයඹ පළාත් දෙපාර්තමේන්තු මට්ටමේ ප්‍රාදේශීය කාර්යාල සහ ලේකම් යන දෙපාර්තමේන්තුවල සේවය කර ඇත. තව ද, ඇය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වෙත මුදා හැර තිබූ අතර එහි රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළා ය.

අමාත්‍යාංශයෙහි එම තනතුර දරන කාලය තුළ දවුලගල මහත්මිය ලංකා බැංකුවෙහි නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි සාමාජිකයකු ලෙසත් කටයුතු කළා ය. ඒ මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය පද්ධති ස්ථායීතා කමිටුව, අවදානම් කළමනාකරණ කමිටුව, විදේශ සංචිත කළමනාකරණ කමිටුව සහ විගණන කමිටුව ඇතුළු කමිටු රැසක සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

බැංකු නො වන මූල්‍ය ආයතනවල සමීපස්ථ සහ දුරස්ථ අධීක්ෂණ ක්‍රියාවලි සවිමත් කිරීම, මූල්‍ය ව්‍යාපාර පනත කෙටුම්පත් කිරීම, බැංකු නො වන මූල්‍ය ආයතනවල ප්‍රධාන කළමනාකරණ තනතුරු දැරීම සඳහා සුදුසු සහ යෝග්‍ය වීමට පුද්ගලයන් සතු විය යුතු අවශ්‍යතා හඳුන්වා දීම, ආපදාවට පත් සමාගම් කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට පූර්ණ අනුකූලතාව ලබා ගැනීම සඳහා දවුලගල මහත්මිය දායක විය. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ කාර්යයන් විධිමත් කිරීම සඳහා ද දවුලගල මහත්මිය විසින් විශේෂ දායකත්වයක් දක්වන ලදී.

දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් (University of Essex, UK) මූල්‍ය හා ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධියත් ලබා ඇත. දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකාවකි.

cbsl.gov.lk (September 15, 2017)

++++++++

කබ්‍රාල්ට එරෙහිව කීර්තිගේ නඩුව !

(16.09.2021 – newstube.lk)

හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල්, නැවත ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත් කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන ලෙස මැන්ඩා මුස් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කිර්ති තෙනන්කෝන් පසුගිය 14 වනදා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සම විමසීම එළඹෙන 22 දා සිදුකිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නියොජ්‍ය මහබැංකු අධිපති ටි.එම් ඒ .ජේ වයි. පි. ප්‍රනාන්දු, නීතිපතිවරයා හා පොලිස්පතිවරයායි.

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියල් බිලියන 10.4 ත්, 10.6 ත් අතර අලාභයක් සිදුකර ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කර ඇති, වෝහාරික විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසත් එම පෙත්සම හරහා ඉල්ලා තිබිණ.

එසේම ඉදිරිපත් වි ඇති සාක්ෂි අධ්‍යයනය කර ඔහුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරන ලෙස නීතිපතිට නියෝගයක් නිකුත් කරන ලෙසත් එමගින් ඉල්ලා ඇත.

පෙත්සම ගොනුකරමින් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කිරිමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කළ ත්‍රි පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කරන ලද වෝහාරික විගණන වාර්තාව අනුව අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

ඔහු නැවත මහබැංකු අධිපතිධුරයට පත් වුවහොත් ඔහුට එරෙහිව ඉදිරිපත් වි ඇති සාක්ෂි විනාශ කිරිමේ අවදානම පවතින බවත් පෙත්සම්කරු මෙමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ ෴

******************************************

(17.09.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ලංකා රෝහලේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල – මහව ප්‍රදේශයේදි යි.

පෙරේදා (15) අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම සැකකරු අද (16) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

අදාළ පුද්ගලයා සතුව තිබී ජීව උණ්ඩ 18 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බව යි.

අදාළ නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ගුවන් තොටුපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට හේතු වූයේ ගුවන් තොටුපොළ බලධාරීන්ට ලද ව්‍යාජ ඊමේල් පණිවුඩයක් බවයි.

රට තුළ පවතින සාමකාමී වාතාවරණයට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ නො තබන බවට ද ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

******************************************

(17.09.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු අධිපති ධූරය භාර ගැනීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවට පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට එවනු ලැබු ජයන්ත කැටගොඩ ගේ නමට එම කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අද (17) පෙරවරුවේ එම කොමිසමේ සාමාජිකයන් රැස් වූ අවස්ථාවේදී යි.

ඒ අනුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීම් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙනවා.

පසුගිය සතියේ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට (2) පමණක් සීමා වුණා ෴

(17.09.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිකුර කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් ඊට අත්සන් තබා ඇති අතර හිටපු පාර්ලිමේන්ත මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මීට පෙර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහායි ෴

******************************************

(17.09.2021 – 12:15 +0530 – hirunews.lk/sinhala)

ත්‍යාග ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (17) අලුයම එම සැකකරුවන් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේදි යි.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් සමඟ මිතුරු වී මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, ණය කාඩ්පත් විසි එකක් (21), බැංකු ගිණුම් පොත් හතක් (7) ද ඔවුන් භාරයේ තිබී සොයා ගැනුණා ෴

******************************************

(17.09.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

පණු උවදුරක් හේතුවෙන්, අනුරාධපුර සහ තිස්සමහාරාම ප්‍රදේශවල මුං ඇට වගාවන් විනාශ වී තිබෙනවා.

තිස්සමහාරාම – ලුණුගම්වෙහෙර – කිරිඳිඔය ප්‍රදේශයේ කුඹුරු අක්කර 9000 ක පමණ මුං ඇට වගාකර ඇත්තේ, අතිරේක බෝග වගාවක් ලෙසයි.

කිරිඳිඔය ප්‍රදේශයේ බෙරලිහෙල, රන්මිණිතැන්න, යෝධකණ්ඩිය – මාගම ගම්මානවල එලෙස වගා කර ඇති මුං ඇට වගාවන් හි මල්, පත්‍ර සහ කරල් හටගන්නා අවස්ථාවේ සළඹයෙකු මඟින් මෙම පණු විශේෂය බෝ කරන බවටයි ගොවීන් පෙන්වා දෙන්නේ.

කිසිදු පලිබෝධනාශකයක් මඟින් මෙම පණුවන් විනාශ කල නො හැකි බව ද ගොවීන් සඳහන් කළා.

මේ අතර අනුරාධපුර – රාජාංගනය ප්‍රදේශයේ මුං ඇට වගාවට ද මෙවැනි ම පණු උවදුරක් හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *