වර්ජනය මැද ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් දැනුම්දීමක්

වර්ජනය මැද ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් දැනුම්දීමක්

*********************************************

වර්ජනය මැද ‘ඔන්ලයින්’ උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් දැනුම්දීමක්

(17.09.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම එම ගුරුවරුන්ට අවශ්‍යනම් 119 හදිසි ඇමතුම් අංකයටද ඒ පිළිබඳව දැනුම්දිය හැකි බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් :

+++++++++++++++++

(17.09.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින් පසු ඉවත් කරන්නේ ද නැද් ද යන්න අද (17) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ දී තීරණය කිරීමට නියමිත යි.

අවසන් වරට ඉකුත් සතියේ දී පැවති කොවිඩ් කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී රට විවෘත කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉල්ලා තිබූ අතර, අදාළ අංශ විසින් එම නිර්දේශ අද ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කරන නිර්දේශ සලකා බලා රට ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ විවිධ මාර්ගෝපදේශ සේවා සීමාවන් සම්බන්ධයෙන් කොවිඩ් කමිටු රැස්වීමේ දී අවධානය යොමු කරනු ඇති.

කොරෝනා ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ නිරෝධායන ඇඳිරි නීතිය ඉකුත් අගෝස්තු 18 වනි දා රාත්‍රී 10 සිට දිවයිනට ම බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ අතර, එය අවස්ථා කිහිපයක දී දීර්ඝ කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ, දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස පළමු සතිය දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසයි.

වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් අට (8) දෙනෙකු සඳහා සිදු කරන ලද කොරෝනා පරීක්ෂාවේ දී ඔවුන් අසාදිතයින් ලෙස තහවුරු කරගෙන තිබුණා.

මේ අතර වයස අවුරුදු 12 ට වැඩි දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන ළමයින් එන්නත්කරණයට ලක් කිරීමට නිර්දේශ ලබාදුන් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ශාමන් රාජින්ද්‍රජිත් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්වල දී එම එන්නත්කරණය සිදු කළ යුතු බවයි ෴

+++++++++++++++++

(17.09.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44 ක් හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවයි ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති අතර, එලෙස බිල්පත් නො ගෙවූවන්ගේ විදුලි කප්පාදුවට මෙතෙක් රජය කටයුතු කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් එය තවදුරටත් සිදු කළ නො හැකි බවට යි අමාත්‍යවරයා අනතුරු අඟවා සිටින්නේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(17.09.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී සොයාගත් අත්බෝම්බය තමා රැගෙන එනු ලැබුවේ කොළඹ 7 – විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයෙකුගේ නිල නිවසකින් බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ මොහුගේ මෙම ප්‍රකාශය තහවුරු වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ ප්‍රභූ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේ දී මෙම අත්බෝම්බය තමා විසින් ලබාගෙන ඇති බවයි.

එමෙන්ම මෙම අත්බෝම්බය රෝහල් වැසිකිලිය තුළ තැබුවේ ඒ සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට ද අත්අඩංගුවේ පසු වෙන සැකකරු පාපොච්චාරණය කර තිබුණා.

ත්‍රිකුණාමලය – උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (15) දිනයේ යි ෴

******************************************

(17.09.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

මෙවර නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි ජගත් සංවිධාන මහාමණ්ඩල සැසි වාරයට සහභාගි වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් ඊයේ (16) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පැවැත්වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ජනාධිපතිවරයා ලබන 21 වැනි දා ජගත් සංවිධාන මූලස්ථානයේ දී මහා මණ්ඩලය ඇමතීමට නියමිත අතර, බලශක්තිය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබද ඉහළ පෙළේ සමුළුවකට ද ජනාධිපතිවරයා එක් වීමට නියමිත යි.

මෙවර සැසි වාරය අමතන රාජ්‍ය නායකයින් කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද ව වැඩි වශයෙන් අදහස් පළ කරනු ඇති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සදහන් කළා ෴

******************************************

(17.09.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව ‘කාති ක්‍රමය’ සහ ‘බහු විවාහය අහෝසි කිරීම’ට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් ව ඇති යෝජනාවලට ‘සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය’ විරෝධතාව පළ කර තිබෙනවා.

ඒ, යෝජිත සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී යි.

විවාහ වන වයස 18 විය යුතු වීම, විවාහ ලියාපදිංචිය අනිවාර්ය කිරීම සහ ඊට කාන්තාවගේ ද අත්සන ලබා ගැනීම, කාති ක්‍රමය අහෝසි කිරීම, බහු විවාහය අහෝසි කිරීම සහ කාතිවරුන් ලෙස කාන්තාවන්ට ද පත්වීමට අවස්ථාව සැලසීම යන යෝජනා මේ වෙනවිට මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් ව තිබෙනවා.

මෙම යෝජිත කරුණු සම්බන්ධයෙන් ‘සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය’ සමග පැවති සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු බවයි එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

විවාහ විය යුතු වයස අවුරුදු 18 ලෙස වෙන යෝජනාවට විවාහ අපේක්ෂිත තරුණියගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය මත වයස අවුරුදු 16 ත්, 18 ත් අතර ලෙස එය සංශෝධනය කරන ලෙස ‘ජමෙයිතුල් උලමා සංවිධානය’ ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම විවාහ ලියාපදිංචියේ දී තරුණියට අත්සන් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇතත් ඇයගේ භාරකරුගේ අත්සන අනිවාර්ය කිරීමට ද යෝජනා ඉදිරිපත් ව ඇති බව සදහන්.

කෙසේ වෙතත් ‘කාති ක්‍රමය’ අහෝසි කිරීමට සහ ‘බහු විවාහය’ අහෝසි කිරීමට එරෙහි ව අදාළ සාකච්ඡාවේ දී ‘ජමෙයිතුල් උලමා සංවිධානය’ සිය විරෝධය පළ කර තිබෙනවා.

එමෙන්ම කාතිවරුන් පත් කිරීමේ දී කාන්තාවට ද ඊට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාවේ දී නිශ්චිත එකඟතාවක් පළ කර නැහැ.

මේ අතර මුස්ලිම් විවාහ දික්කසාද නීතිය තුළ සංශෝධනය විය යුතු කරුණු සම්බන්ධයෙන් ‘මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ’ සම නිර්මාතෘ ‘ශ්‍රීන් අබ්දුල් සරූර්’ හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

ඇය කියා සිටියේ බහුවිවාහය අහෝසි කිරීම නොව දැඩි කොන්දේසි සහිත ව එය පවත්වාගෙන යාමට මුස්ලිම් කාන්තා සංවිධාන අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

එමෙන්ම කාතිවරුන් පත් කිරීමේ දී කාන්තාවන්ට ද ඊට අවස්ථාව සළසා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සංශෝධන සිදු කිරීමට පෙර ඒ පිළිබඳව මුස්ලිම් කාන්තාවන් නිසි පරිදි දැනුවත් කිරීමෙන් නව සංශෝධන පිළිබඳ ව අනවබෝධයක් ඇති වීම වළක්වා ගත හැකි බවයි ‘මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී ජාලයේ’ සම නිර්මාතෘ ‘ශ්‍රීන් අබ්දුල් සරූර්’ පෙන්වා දෙන්නේ.

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර, 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිත කිරීමක් සිදුවෙන්නේ නැහැ.

ඉංග්‍රීසි විවාහ නීතිය වසර සිය ගණනක් පුරා මෙරට තුළ ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන් ජනතාවට විවිධ අපහසුතාවන්ට පත් වීමට සිදු වෙන අවස්ථා වාර්තා වෙනවා.

යෝජිත සංශෝධන යටතේ වෛවාහක නීතියට අදාළ වූ කරුණු සහ දික්කසාද ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනස් කිරීමට නියමිත යි.

ඒ අනුවයි මෙරට මුස්ලිම් විවාහ නීතිය ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ ෴

******************************************

(17.09.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

මලයාසියාවේ ගෘහ සේවයට ගොස් එහි දී සියදිවි හානි කරගත් බවට පැවසෙන කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඔවුන්ගේ ඥාතීන් සිදු කරන පැමිණිල්ලත් සමඟ ඒ පිළිබද ව විමර්ශනයක් සිදු කරන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටට දැනුම් දී තිබෙනවා.

එම විමර්ශනවලින් අනතුරු ව ඇයගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.

බේරුවල – ගල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක් වෙන ඇය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස 30 වැනි දා මලයාසියාවේ ගෘහ සේවයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මස 24 වැනි දා එරටින් අදාළ කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ, ඇය නිවස තුළ දී සියදිවි හානි කරගෙන ඇති බවට යි.

කෙසේ වෙතත්, ඇයට සියදිවි හානි කර ගැනීමට තරම් ගැටලුවක් නො තිබූ බවත් එබැවින් තම වැඩිමල් සොහොයුරියගේ මරණය සැක සහිත බවට යි ඇගේ නැගණිය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මීට පෙර ප්‍රකාශ කළේ ෴

******************************************

(17.09.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

තේ, පොල් සහ රබර් ඇතුළු අනෙකුත් භෝග සඳහා ද කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකට (2) ලබා දී තිබෙනවා.

මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට යි රජය අවසර ලබා දී තිබුණේ.

කෙසේ වෙතත් පවතින අවශ්‍යතා මත අනෙකුත් භෝග සදහා ද කාබනික පොහොර ආනයනය කිරීමට පොහොර සමාගම් දෙකට (2) ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ.

මේ අතර, ඔක්තෝම්බර් මාසය වන විට සියලු ම භෝග වගාවන් සඳහා හිඟයකින් තොර ව වෙළදපොළෙන් පොහොර මිල දී ගත හැකි වෙන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමට ද පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙරට ප්‍රථම වරට කාබනික පොහොර භාවිතයෙන් වී ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙරටට දීමට නිෂ්පාදනය කරමින් පවතිනවා.

කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් අවශ්‍ය තරම් ආනයනය කර ඇති බව ද හෙක්ටයාර එකකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 300 ක් හා පොටෑසියම් කිලෝග්‍රෑම් 45 ක් බැගින් ගොවියාට නොමිලේ ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

******************************************

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දිනය අදයි

(17.09.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරුම අදට (සැප්තැම්බර් 17) යෙදී තිබෙනවා.

බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමිකයෙකු වන එතුමන් බුද්ධ ශාසනය රැකගැනීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ උතුමෙකු ලෙසයි සැළකෙන්නේ.

බුද්ධගයාව බෞද්ධයන්ට වැඳපුදාගැනීමට පුරෝගාමී වූ අනගාරික ධර්මපාලතුමන් නොවන්නට බුදු දහම ලොවෙන් සඳහටම තුරන්වන්නට ඉඩ තිබූ අතර, එතුමන් සිහිපත් කරමින් ඉන්දියාව, තායිලන්තය, නේපාලය, ජපානය, ඇමරිකාව සහ එංගලන්තය ඇතුලු රටවල් ගණනාවක සෑම වසරකම ගුණ සමරු වැඩසටහන් පවත්වනු ලබනවා.

මේ අතර මරදාන ආනන්ද බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමට මුල්වූ අනගාරික ධර්මපාලතුමන්ගේ ගුණ සිහිපත් කරමින් ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන්ගේ සහ ගුරුවර-ගුරුවරියන්ගේ සහභාගිත්වයෙන් ‘ඔන්ලයින්’ ඔස්සේ ගුණසමරු වැඩසටහනක් අද (17) පැවැත්වෙනවා.

ඊයේ (16) දිනයේ අනගාරික ධර්මපාලතුමන් සිහිපත් කරමින් මරදාන විද්‍යෝද්‍ය පිරිවෙණට වියලි සලාක පිරිනැමීමද සිදු කෙරුණු අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානයක්ද සිදුකළ බවයි විදුහල්පතිනි ගංඟා කුමුදුනි මහත්මිය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *