සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ

සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ

*********************************************

සුව සේවාවේ තවත් මගඩියක් ගැන හෙළිවේ

(16.09.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයට යොමු කිරීමේදී සිදුවූ මුදල් ගසා කෑමේ සිද්ධිය වැනි තවත් එවැනිම සුව සේවාවක ප්‍රතිලාභ මෙරටට ලැබීම, ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ මඩිය තර කර ගැනීමේ පටු අරමුණ ඇතිව යට ගැසීමේ සුදානමක් පිළිබඳව ද තොරතුරු වාර්තා වනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාවට කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීමේදී ඉහල පිරිවැයක් දැරීමට සිදුවීම මෙන්ම ප්‍රතිඵල ලබාගැනීමට වැඩි කාලයක් ගතවීම ගැටලු‍වක්.

ඉන්දියාවේ ටාටා සමාගම නවීන රසායනාගාර පහසුම් සහිතව වැඩි දියුණු කල බස් රථ සහිත ජංගම කොවිඩ් පරීක්ෂණ සේවාවක් මෙරටටද හඳුන්වා දුන්නේ ඊට පිළියමක් ලෙසයි.

ඉන්දියාව තුල කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම සදහා මේ වන විටත් මෙම ජංගම රථ සේවය සාර්ථකව ක්‍රියාත්මක වනවා.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නේපාලය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, මැලේසියාව සහ තායිවානය යන රටවල ද මෙම සේවය ක්‍රියාත්මකයි.

ඒ අනුව අදාළ සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කර ඇත්තේ මෙරට දෛනික කොවිඩ් පරීක්ෂණ ධාරිතාව 20,000 ක් දක්වා ඉහල දැමීමට හැකිවන පරිදි ජංගම රථ 5 ක් මෙරටට නොමිළේ ලබා දීමටයි. ඒ මාස 18 ක් තුල PCR පරීක්ෂණ ලක්ෂ 36 ක් සිදු කිරීමේ පදනමින්.

එම රථ කොළඹ, මීගමුව, වව්නියාව, මහනුවර සහ කල්මුනේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබෙනවා.

එහිදී එක් (1) PCR පරීක්ෂාවක් සිදුකිරීම සදහා වැය වන්නේ රුපියල් 2000 ක් තරම් අඩු අගයක්.

අදවන විට මෙරට PCR පරීක්ෂණයක් සදහා රුපියල් 6500 ක උපරිම මිලක් සහ ඇන්ටිජන් පරීක්ෂාවක් සදහා උපරිම මිල රුපියල් 2000 ක් නියම කර තිබෙනවා.

මෙම රසායනාගාර සහිත බස් රථ මෙරටට ලබා ගැනීම සදහා ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිව ඇති අතර එම අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ අදාළ ‘කොවිඩ් පරීක්ෂණ ජංගම රථ’ කොළඹ ජාතික රෝහල, කෑගල්ල දිස්ත්‍රික් රෝහල, ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පිඨය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ස්ථාපිත කරන ලෙසයි.

මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද මේ වන විටත් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙරට ජනතාවට කඩිනමින් සහ සහන මිලට කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ගත හැකි මේ සුව සේවා ව්‍යාපෘතිය යට ගැසීමේ සුදානමක් පවතින බවටයි චෝදනා එල්ල වන්නේ.

+++++++++++++++++

(16.09.2021 – 17:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1382 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,97,805ක් ලෙසටයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1366 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,28,590ක් දක්වා ඉහළ ගියා.

මේවන විට ආසාදිතයන් 56,134 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙරටින් කොරෝනා මරණ 11,699 ක් ද වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++++

(16.09.2021 – 18:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 118 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,817 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 57 ක් සහ පිරිමි පුද්ගලයන් 61 ක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 23 ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 12 ක් සහ කාන්තාවන් 11 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 95 ක් වනවා. ඒ කාන්තාවන් 46 ක් සහ පිරිමි 49 ක් වශයෙන් ෴

++++++++++++++++++

(16.09.2021 – 22:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට සිනොවැක් එන්නත් මාත්‍රා මිලිනයක් (1) ලබාදීමට චීනය තීරණය කර ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ඔවුන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණයට තවදුරටත් සහය දැක්වීමක් වශයෙන් මෙම එන්නත් ප්‍රදානය සිදුකරන බවයි.

සිනොවැක් එන්නත මේවන විට ලොව පුරා වැඩි වශයෙන් භාවිත කෙරෙන එන්නතක්.

අගෝස්තු මාසයේ අවසානය වන විට සිනොවැක් එන්නත් මාත්‍රා බිලියන 1.8 ක් චීනය විසින් සපයා තිබෙනවා.

එමෙන්ම අගෝස්තු මාසයේ අවසානය වන විට රටවල් 50 ක සිනොවැක් එන්නත් මාත්‍රා බිලියන 1.4 ක් භාවිතයට ගෙන ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් සටහන මගින් පෙන්වා දී ඇත්තේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(16.09.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි අලි ඇතුන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය වැරදි බවත් එය නොසලකා හැරිය යුතු බවත් සඳහන් කරමින් ජනාධිපති නීතිඥයින් ඇතුලු නීතිඥයින් කිහිප දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ විරොධතාව අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය 06 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් විසින් ලබාදුන් මෙම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන සහ නීතිඥ කණ්ඩායම් කිහිපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ පසුගිය 13 වැනිදා විරෝධතාවක් ගොනු කළා.

එම විරෝධතාව විභාගයට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ අදාළ නියෝගය ලබාදී ඇත්තේ තමන් නොවන බැවින් එම විරෝධතාව අදාළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව මෝසමක් මාර්ගයෙන් අදාළ විරෝධතාව අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් හමුවේ විභාගයට ගැනුනා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක ප්‍රමුඛ නීතිඥ කණ්ඩායම සඳහන් කළේ මෙම නියෝගය අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධානයන්ට අනුකූලව සිදු කළ නීත්‍යානුකූල නියෝගයක් බවයි.

තමන් අලි ඇතුන් මුදා හැරීමේ නියෝගය ලබාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ නඩුකරය තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ සිදුකළ ප්‍රකාශයත් සමග බව නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෙම කරුණු විමසීම පිළිගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ළඟ තබාගත් අලි ඇතුන් සහ පැටවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට වසර කිහිපයකට පෙර විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

එම විශේෂ විමර්ශනයට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බලපත්‍ර නොමැතිව නීත්‍යානුකූල නොවන ආකාරයට රඳවා තබා ගත් අලි ඇතුන් සහ පැටවුන් 34 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනුණා.

කතරගම දේවාලයට අයත් හස්තියෙකු, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයට අයත් අලි ඇතුන් දෙදෙනෙකු (2) සහ අලි පැටවුන් ජාවාරමේ යෙදුණු බවට චෝදනා ලද පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ‘අලි රොෂාන්’ නැමැත්තාට අයිති අලි පැටවකු (1) ද මේ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණා.

මෙලස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රඳවාගත් අලි ඇතුන් 14 කට අධික සංඛ්‍යාවක් මුදාහැරීමට පසුගියදා (06.09.2021) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබා දුන්නා.

සත්වයින් සුරැකීමේ සංවිධාන සහ නීතිඥ කණ්ඩායම් කිහිපයක් විරෝධතා ගොනු කළේ එම නියෝගයටයි ෴

******************************************

(16.09.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව තිබීම මෙම තීරණයට හේතුව බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගවයින්ට ප්‍රමාණවත් තණකොළ නොලැබීමෙන් කිරි නිෂ්පාදනය ද අඩු වී තිබෙනවා.

ඊට පිළියමක් ලෙස තණකොළ වගා කිරීමට කැමැත්තෙන් පසුවන පුද්ගලයින්ට රජයේ ඉඩම් ලබාදී එම වගාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අද (16) පැවැති සාකච්ඡාවකදී තීරණය වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා ෴

******************************************

(16.09.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව – ඕමන්ත නොච්චිකුලම වැව අසළ තිබී වෙඩි වැදී මිය ගිය බවට සැක කෙරෙන වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුවයි මෙම වන අලියාගේ සිරුර අද (16) දහවල් සොයාගෙන ඇත්තේ.

මේ වසරේ ගත වූ කාලය ඇතුළත උතුරු වනජීවි කලාපයෙන් මෙලෙස මිය ගොස් සිටි වන අලි 8 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

******************************************

(16.09.2021 – 17:26 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 06 වන සාමසාධක හමුදා බලඇණිය සදහා පදක්කම් ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා.

ඒ සඳහා වන පෙළපාලි උත්සවයක් පසුගිය 14 වනදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 6 වන සාමසාධක හමුදා අනුඛන්ඩ පරිශ්‍රයේදි කොවිඩ්-19 වැලැක්විමේ මාර්ගෝපදේශයන්ට අනූකූලව පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය බලසේනා අඥාපති මේජර් ජෙනරාල් පාවුලෝ පෙරෙයිරා සහභාගි වු අතර අනුඛන්ඩ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් ජීත් සමරසේකර විසින් ඔහු පිළිගෙන තිබෙනවා.

මෙම පදක්කම් පෙළපාලිය විංග් කමාන්ඩර් ඩබ්ලිව්.ජී.එන්.ඩී වෑකුඹුර විසින් අණදුන් අතර මෙහිදී නිලධාරින් 18 ක් සහ ගුවන් භටයින් 92 ක් හට පදක්කම් ප්‍රදානය කරනු ලැබුවා.

අන්තර් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ ප්‍රදේශීය නායකයින්ට ද මෙම අවස්ථාවට ආරාධනා කර තිබූ අතර පදක්කම් පිරිනැමීමේ පෙළපාලියෙන් පසු ශ්‍රී ලාංකික සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

එහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සඳහා පැමිණි දින සිට එය සංකේතවත් කරන ඡායාරූප සමුහයක් ද ප්‍රදර්ශනය කර තිබෙනවා.

[ Photos ]

******************************************

(16.09.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

සතොස වෙළදසැල් ජාලය වෙත වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද සුදුලූණු කිලෝ 54,860 ක් අන්තර්ගත වූ බහාලුම් දෙකක් (2) තෙවන පාර්ශවයක් වෙත අලෙවි කිරීමට අදාළව අත්අඩංගුවට ගත් සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරා මේ මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු අද (16) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

******************************************

(16.09.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය වැනි තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කළ ප්‍රකාශය පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය දා විකාශය වූ ‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම කරුණු අනාවරණ කළා.

ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික සිරිල් ගාමිණී පියතුමන් අද (16) මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර උන්වහන්සේ එහිදී මෙලෙස අදහස් දක්වා සිටියා.

මේ අතර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්, ‘සිනමන් ග්‍රෑන්ඩ්’ ස්වයං ඝාතක ‘ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්’ට අයත්ව තිබී රාජසන්තකවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව අද (16) නිරීක්ෂණයට ලක් කළා.

[ අදාල හිරු සළකුණ වැඩසටහන ]

******************************************

(16.09.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරක් හේතුවෙන් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කර තිබෙනවා.

ඊයේ (15) සිට මෙලෙස ගුවන් තොටුපළ තුළ සහ ඉන් පිටත ආරක්ෂාව ඉහළ දමා ඇති බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

******************************************

(16.09.2021 – 22:42 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටලුව විසඳාගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු- විදුහල්පති වෘත්තීය සංගම් අද (16) පස්වරුවේ අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවද අසාර්ථක වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළා.

මේ අතර මෙම සාකච්ඡාවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ රැස්වීම අතරතුර වර්ජනයේ නිරත ගුරු සංගම් අතර නොසන්සුන්තාවක් ඇති වූ බවයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීම ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (16) දින 67 ක්.

සිය ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා වර්ජනයේ නිරත ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හමුවූයේ අද (16) පස්වරුවේයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *