රාජ්‍ය ඇමති ලොහාන් හා රූපරාජිනිය ඇති කළ බන්ධනාගාර කලබල ‘ද මෝර්නිං‘ හෙළිදරව් කරයි

රාජ්‍ය ඇමති ලොහාන් හා රූපරාජිනිය ඇති කළ බන්ධනාගාර කලබල ‘ද මෝර්නිං‘ හෙළිදරව් කරයි

*********************************************

රාජ්‍ය ඇමති ලොහාන් හා රූපරාජිනිය ඇති කළ බන්ධනාගාර කලබල ‘ද මෝර්නිං‘ හෙළිදරව් කරයි

(15.09.2021 – gossiplankanews.com)

බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට බීමත්ව පැමිණ කලබලකාරී හැසිරීමක නිරත වූනේ යයි අද (15) ‘දෙරණ මාධ්‍ය ජාලය’ට අයත් ‘ද මෝර්නිං‘ ඉංග්‍රීසි පුවත්පත විශේෂ හෙළිදරව්වක් කර තිබෙයි. මෙම සංසිද්ධිය අනෙක් ජාතික පුවත්පත්වල ද අද (15) වාර්තා කර ඇති නමුත් රාජ්‍ය ඇමතිවරයා කවුදැයි එකී වාර්තාවල පළවී නැත. දිනිත රත්නායක ලියූ වාර්තාවේ පරිවර්තනය පහත පරිදිය :

‘බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සිය මිතුරන් කණ්ඩායමක් සමඟ බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට 13 වනදා සඳුදා ඇතුළු වූ බව පැවසෙන අතර, මත්පැන් පානය කර ඒ ආකාරයටම අනුරාධපුර බන්ධනාගාරයට ද ඉරිදා (12) සවස ඇතුළු වූ බව කියැවේ.

ආරංචි මාර්ග වලට අනුව, බලවත් දේශපාලන පවුලකින් පැවත එන රාජ්‍ය ඇමතිවරයා, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සැකකරුවන්ට ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණින් වැටී පහත් වන්නැයි නියෝග කර දඩුවම් කිරීමට උත්සාහ කර තිබේ. මේ කාලය තුළ ඔහු බීමතින් සිටි බවත්, ඔහු හෙලිකොප්ටරයකින් අනුරාධපුර බන්ධනාගාර භූමියට ඇතුළු වී ඇති බවත් ආරංචි මාර්ග වලින් දැන ගන්නට ඇත.

ඊයේ (14) දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ටීඑන්පීඑෆ්) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් සිය නිල ට්විටර් ගිණුමේ මේ ගැන සටහනක් පළ කළේය.

රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ බව ඔහුගේ පක්ෂයට තහවුරු කළ හැකි බව ඔහු පවසා ඇත.දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙකු (2) කැඳවා, ඔවුන් දෙදෙනාම (2) එම ස්ථානයේම මරා දමන බවට තර්ජනය කරමින් තුවක්කු පෙන්වා ඔහු ඉදිරියේ දණ ගැස්වූවේ යයි එහි සඳහන්කර තිබේ.

ටීඑන්පීඑෆ් වෙනුවෙන් ගජේන්ද්‍ර පොන්නම්බලම් ඉල්ලා සිටියේ රත්වත්තේ වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහුගේ සියලු තනතුරු අහෝසි කලයුතු බවත් ය. අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි කියන රත්වත්තේ වහාම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින දෙමළ ජාතික සන්ධානය, ඉරිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළ සිද්ධියට වහාම ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරන ලෙසද ඉල්ලා ඇත.

මේ අතර, පසුගිය සතියේ බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වූ බව කියන එම රාජ්‍ය ඇමතිවරයා, ඔහුගේ මිතුරන් පිරිසකට බන්ධනාගාරයේ එල්ලුම් ගස බැලීමට ඉඩ ලබා දුන් බවත්, මෙම කණ්ඩායම අතර මාස කිහිපයකට පෙර ජාතික මාතෘකාවක් සැපයූ රූපලාවන්‍ය තරඟ ජයග්‍රාහිකාවක වූ බවත් දැනගන්නට ඇත.

ආරංචි මාර්ග වලට අනුව, ඉහත කී රූ රැජිණිය, රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම පැමිණි වාහනය පදවාගෙන ගොස් ඇති අතර, කණ්ඩායම එල්ලුම් ගස බැලීමට යාමට උත්සාහ කළ විට බන්ධනාගාර නිලධාරින් ඇයට නොයන ලෙස ඉල්ලා ඇත. ඇය ගැහැනියක වීම හේතුවෙන් පිරිමි සිරකරුවන් රඳවා සිටි සිර මැදිරිවලින් ඔබ්බට යාමට අවසර නොවීය.

කෙසේ වෙතත්, එල්ලුම් ගහ වෙත යාමට ඇති එකම මාර්ගය පිරිමි සිරකරුවන් රඳවා සිටින සිර මැදිරි පසු කර බැවින් මේ අවස්ථාවේදී රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ අධික ලෙස මත්පැන් පානය කර සිටි මිතුරන් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් කියා සිටියේ ඇය ඇතුළු වීම නැවැත්විය යුතු නැති බවයි.

ආරංචි මාර්ග වලට අනුව, රාජ්‍ය ඇමතිවරයාගේ මිතුරන් ද අධික ලෙස මත්ව සිට ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කොට කලිසම් වලින් සැරසී සිටියහ.

ඔවුන් කෙතරම් බීමත්ව සිටියේ ද යත්, සමහර අයට කෙලින් සිටගෙන සිටීමට පවා නොහැකිව බිම වැටී ඇති බව ආරංචි මාර්ග කියා සිටියේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා ගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි.

ඒ හා සමානව, ‘ද මෝර්නින්’ සමඟ සම්බන්ධ වූ විට රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේගේ මාධ්‍ය ලේකම්වරයා පැවසුවේ, පුවත්පත විසින් කියා ඇති එවැනි සිද්ධීන් කිසිවක් සිදු වී නැති හෙයින් මෙම සිද්ධීන් පිළිබඳව අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.’

(Courtesy : The Morning – Dinitha Rathnayake)

******************************************

(15.09.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේදී ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ නෞකාවේ සුළු වශයෙන් තවදුරටත් ඉන්ධන කාන්දුව සිදුවන බවයි ෴

******************************************

(15.09.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හා නඩත්තු අධීක්ෂණය සඳහා ස්වාධීන ඉංජිනේරුවෙකු (?) වශයෙන් උපදේශක ආයතනයක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය – අන්තර් හුවමාරුව දක්වා වූ කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන්.

ඒ සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහායි මහාමාර්ග අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

වසර 3 ක් ඇතුළත අදාළ අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිත යි.

ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු අධීක්ෂණය සඳහා උපදේශක සේවාවන් ලබා ගැනීම මෙහි අරමුණ යි ෴

******************************************

(15.09.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ දේශගුණික විපර්යාස හේතුවෙන් විනාශ වෙන වනාන්තර, ජලය සහ අනෙකුත් ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අරගල කළ ලොව පුරා පුද්ගලයින් 227 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවකින් පෙන්වා දෙනවා.

එම වාර්තාවට අනුව පරිසර හිතකාමීන් සඳහා 2020 වසර මාරක වසරක් වී ඇති බව සඳහන්.

ග්ලෝබල් විට්නස් වාර්තාවලට අනුව වැඩි ම පිරිසක් ඝාතනයට ලක්ව ඇත්තේ ලතින් ඇමරිකාවේයි.

දරුණු ලෙස පීඩාවට පත් වූ රට ලෙස කොළොම්බියාව දැක්වෙන අතර, ස්වදේශික ඉඩම් සහ වනාන්තර ආරක්ෂා කරගැනීමට ගොස් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙක්සිකෝව දෙවන (2) ස්ථානයට පත්වෙමින් තිස් දෙනෙකු (30) ඝාතනයට ලක්ව ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴

******************************************

(15.09.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – පොලිස් බංගලාවකදී ඌරුමස් ව්‍යාංජනයක් සම්බන්ධයෙන් ඇති ආරවුලක් මත පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදුන් බව කියන සිද්ධියකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මීට වසර 2 කට පමණ ඉහත දී අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කරමින් සිටියදියි මෙම සිද්ධිය සිදුව ඇත්තේ.

සිය පවුලේ සාමාජිකයින් සමග නුවරඑළියේ පොලිස් බංගලාවක නිවාඩුවක් ගත කරමින් සිට ඇති මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට වල් ඌරු මස් අනුභව කිරීමට අවශ්‍ය බව බංගලාව භාර පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුව කොස්තාපල්වරයා අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගෙන් මුදල් ලබාගෙන ඌරු මස් මිලදී ගෙන අදාළ ව්‍යාංජනය සකස් කර ඇත්තේ.

කෙසේ වෙතත් එහි මස් ප්‍රමාණය අඩු බවට තර්ක කරමින් පොලිස් නිලධාරියා අදාළ කොස්තාපල්වරයාට පහර දී තිබුණා.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා නුවරඑළිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා ෴

******************************************

(15.09.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මලයාසියාවේ ගෘහ සේවයට ගොස් එහිදී සිය දිවි හානි කර ගත් බවට පැවසෙන කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බේරුවල – ගල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්.

ඇය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස 30 වන දා ගෘහ සේවයට ගොස් ඇති අතර පසුගිය අගෝස්තු මස 24 වන දා එරටින් දැනුම් දී ඇත්තේ මෙම කාන්තාව සිය නිවස තුළදී ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි.

කෙසේ වෙතත්, තම වැඩිමහල් සොහොයුරියගේ මරණය සැක සහිත බැවින් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇයගේ නැගණිය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා ෴

******************************************

ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට, තුන්දෙනෙකු ගැන සැක

(15.09.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 3 දෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නාරාහේන්පිට පොලිස් ස්ථානය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළව රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට අමතරව රෝහලේ සී.සී.ටී.වී. දර්ශණද පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මදුරු දඟරයක ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙම අත්බෝම්බය රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බදුනක තිබී ඊයේ (14) දහවල් සොයා ගනු ලැබුවේ රෝහල් ආරක්ෂක අංශ විසින් කළ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත්, එය කවුරුන් විසින් එම ස්ථානයට රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සක්‍රීය මට්ටමේ නොතිබුණු මෙම අත්බෝම්බය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත භාර දී තිබෙනවා.

******************************************

(15.09.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 79 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) රාත්‍රියේ තලෙයිමන්නාරම – ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් එහි දී පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි ඇසුරුම් 10 ක තිබී මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 9 යි ග්‍රෑම් 914 ක් ෴

******************************************

(15.09.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව හොරහේන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගංජා වගාවක් කළ පුද්ගලයෙකු ඊයේ (14) කොට්ටාව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කෙසෙල් වගාවක් කරන මුවාවෙන් මෙම ගංජා වගාව සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වැටලීමේ දී ඉතා සූක්ෂමව වගා කර තිබූ අඩි හතරක් (4) සහ අඩි දෙකහමාරක් (2½) උස ගන්ජා පැල හතරක් (4) පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු ක්‍රීඩා අමාත්‍යාංශයේ විශ්‍රාමික ලිපිකරුවකු වෙන 67 හැවිරිදි හොරහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද (15) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(15.09.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් තීරණය කෙරෙන සාකච්ඡාවක් අද (15) පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ පාසල් විවෘත කිරීම කේන්ද්‍ර කර ගනිමින් අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ අතර, කඩිනමින් පාසල් විවෘත කිරීමේ අවශ්‍යතාව පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව කරුණු සලකා බලා ළමයින් සදහා එන්නත ලබාදීමට කටයුතු කරන බවයි ඇය සදහන් කළේ.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ එන්නත්කරණය පාසල් විවෘත කිරීමට ප්‍රධානම සාධකය නොවන බවයි.

මේ අතර, ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීමෙන් අර්බුදයකට පත්ව ඇති මහනුවර ප්‍රදේශයේ ජනතාවට කඩිනමින් අදාළ එන්නත හෝ එසේ නොමැති නම් වෙනත් එන්නත් වර්ගයක් ලබාදීමට ඇති හැකියාව ගැන සොයා බලා අදාළ කටයුතු සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.

++++++++++++++++

(15.09.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 2475 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 4,90,957 ක් ලෙසයි.

ඊයේ (14) මෙරටින් හඳුනාගැනුණු නව ආසාදිතයින්ගෙන් 2473 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන අතර, දෙදෙනෙකු (2) විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

ඒ අනුව මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,741 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,15,649 ක්.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා (13) සිදු වූ බවට ඊයේ (14) තහවුරු කරනු ලැබූ කොරෝනා මරණ 136 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගියා.

රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ ආහාර නොමැතිව පීඩාවට පත්ව අසරණ වී සිටින යාචකයින් වෙත පිසූ ආහාර ලබා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ මැදිහත් වීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය, පුරහල අවට සහ බොරැල්ල ප්‍රදේශයේ සිටින යාචකයින් 100 දෙනෙකුට පමණ දෛනිකව මෙලෙස ආහාර බෙදා දෙන බවත්, ඒ අතර 40 දෙනෙකු පමණ පුරහල ප්‍රදේශය ආශ්‍රිතව අහාර ලබා ගැනීමට පැමිණෙන්නන් බවත් ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ කොළඹ පිහිටි ප්‍රධාන මූලස්ථානය සඳහන් කළා.

මේ අතර, කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සීමා කෙරුණු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල සාමාන්‍ය සේවා යටතේ අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙනු ඇති ෴

+++++++++++++++++

(15.09.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

වතුකරයේ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ පළමු (1) සහ දෙවන (2) මාත්‍රාව ලබා නො ගත් වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ වැඩසටහනක් ප්‍රදේශ 5 ක දී ආරම්භ කර තිබෙනවා.

බගවන්තලාව, දික්ඔය, හොන්සි නගරය, ඇන්ෆීල්ඩ් වතුයාය සහ නෝර්වුඩ් සෙන්ජෝන් ටිලරි යන ප්‍රදේශවල පාසල් හා පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් සියයට 95 කට වැඩි පිරිසක් දැනටමත් එන්නත්කරණයට ලක් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *