නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් සොයා ගත් අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකායට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් සොයා ගත් අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකායට

*********************************************

නාරාහේන්පිට පෞද්ගලික රෝහලෙන් සොයා ගත් අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකායට

(14.09.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක පළමු (1) මහලේ තිබී සොයා ගත් අත්බෝම්බය මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත යොමු කර තිබෙනවා.

අදාළ අත්බෝම්බය රෝහලේ පළමු (1) මහලේ වැසිකිලියක කසල බදුනක තිබී අද (14) දවහල් සොයා ගත්තේ ආරක්ෂක අංශ විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත්, එය කවුරුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ආවේ ද යන්න සෙවීම සඳහා රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීම පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා ෴

නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු (1) මහලේ තිබී සොයා ගත් අත්බෝම්බය, මදුරු දඟරයක ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙය අදාළ මහලේ වැසිකිලියක කසල බදුනක තිබී අද (14) දහවල් සොයා ගනු ලැබුවේ රෝහල් ආරක්ෂක අංශ විසින් කළ දැනුම්දීමකට අනුවයි.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය නිලධාරීන් විසින් අදාළ අත්බෝම්බය ආරක්ෂිතව රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, එය කවුරුන් විසින් එම ස්ථානයට රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේ.

නමුත් එය රැගෙන ආ පුද්ගලයා සෙවීම සඳහා පොලීසිය මේ වන විට රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කරමින් සිටින බවයි වාර්තා වන්නේ ෴

++++++++++

++++++++++

පෞද්ගලික රෝහලෙන් හමු වූ අත් බෝම්බය ගැන අලුත් හෝඩුවාවක්

(14.09.2021 – 20:23 +0530 – lankadeepa.lk)

නාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍ර යේ තිබී අද (14) දහවල් මෙම අත්බෝම්බයක් සොයා ගෙන තිබුණි.

එම රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයකු වන හිටපු ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයා විසින් මේ දැනුම් දෙනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.

රෝහලේ පළමු මහලේ වැසිකිළියක් තුළ හොඳින් පෙනෙන පරිදි තබා තිබී ඇති මෙම අත් බෝම්බය සම්බන්ධයෙන් ලද තොරතුරට අනුව එහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා එය රෝහලේ පිටත පිහිටි ගරාජයකට ගෙනගොස් වෙන්ව තබා තිබූ බවද පොලිසිය පවසයි.

එම ස්ථානයට ගිය නාරාහේන්පිට පොලීසිය අදාළ අත්බෝම්බය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය කැඳවා තිබුණි .

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය, මෙම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන බවට හඳුනාගෙන ඇත .

සිද්ධිය සැලවීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කර ඇත.

මෙම සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන පුද්ගලයකු, සිදුවීම ඇසින් දුටුවකු සහ තවත් අයකුගෙන් ප්‍රශ්න කළ බවද පොලීසිය පවසයි.

මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය නාරාහේන්පිට පොලීසිය සමග එක්ව සීසීටීවී කැමරා දර්ශන ආශ්‍රයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

******************************************

(14.09.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ආනයනය කරන කාබනික නයිට්‍රජන් පොහොරවල සත්ව, ශාඛ සහ මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සහතික ලත් සමාගම්වලින් පමණක් අදාළ ආනයන කටයුතු සිදු කරන බැවින් ඒවා කිසිවිටකත් ජනතාවට අහිතකර නොවන බවයි.

ඒ හේතුවෙන් ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

******************************************

(14.09.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට වන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් අධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් මෙම ඇප ඉල්ලීම කර තිබූ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසිනුයි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ෴

******************************************

(14.09.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, කුරුණෑගල හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාල හෙට (15) සිට විවෘත කෙරෙනවා. ඒ අනුව එම කාර්යාල සාමාන්‍ය සේවා යටතේ සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් විවෘත වනු ඇති ෴

******************************************

(14.09.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සඳහන් කරමින් බාහිර ක්‍රියාමාර්ග සඳහා වන 46/1 යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසි වාරය අමතමින් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කරනු ලැබුවා ෴

******************************************

(14.09.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායමට මුදල් ගනුදෙනු සිදුකිරීම සදහා උපකාර කළ පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිදට නවසීලන්තය සරණාගතභාවය පිරිනමා තිබෙනවා.

විදේශීය තැරැව්කරුවෙකුගේ සහ විදෙස්ගත වී සිටින ඥාතියෙකුගේ මාර්ගයෙන් මොහු මුදල් හුවමාරු ක්‍රමවේදයක් යටතේ ගනුදෙනු සිදුකර තිබූ අතර එම මුදල්, ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට ලබාදී ඇති බවට වන සැකයක් මත ඔහුගේ බිරිද මෙරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව ඇයව නිදහස් කර ඇති අතර සැගවී සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කර නවසීලන්තයට පළා ගොස් තිබූ අතර, සරණාගතභාවය සදහා පසුගිය ජුනි මාසයේදී අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා.

එමගින් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකික බලධාරීන් තමා දේශද්‍රෝහී ක්‍රියාවක නිරත වූවෙකු ලෙස සලකා කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හෝ මතවාදවලට මොවුන් සහය නොදැක්වීම පිළිබදව ඔවුන්ගේ සාක්ෂි විශ්වාසනීය, ස්ථායී සහ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ඒවා බැවින් එම යුවළට සරණාගතභාවය පිරිනැමීමටයි නවසීලන්ත බලධාරීන් කටයුතු කර ඇත්තේ ෴

******************************************

(14.09.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂයකට (1,00,000) වැඩි වැටුපක් ලබන තැනැත්තන්ගෙන් සියයට පහක (5%) බදු මුදලක් අය කළ යුතු බවට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කර ඇති අදහස් දැක්වීම රජයේ ස්ථාවරය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

එය අමාත්‍ය මණ්ඩලයේදී හෝ සංවාදයට නොගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴

******************************************

(14.09.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීමේ චෝදනාවට වරදකරු වූ මොණරාගල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී තරංග දිසානායකගේ ධුරය අහෝසි කරන ලෙස මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක නියෝග කළා.

ඒ, ඔහු සමග මධුරකැටිය කොට්ඨාශයට තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සුනිල් ශාන්ත ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

2018 වසරේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා ඡන්දදායකයින්ට විදුලිය සහ ජලය අල්ලස් ලෙස ලබාදීම හරහා තමන්ට අසාධාරණයක් වූ බව පවසමිනුයි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා මෙම පෙත්සම ගොනු කර තිබුණේ.

ඊයේ (13) තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු රංග දිසානායක, අදාළ මන්ත්‍රීවරයා මන්ත්‍රී ධුරය සඳහා නුසුදුස්සෙකු ලෙස නම් කෙරුණු අතර මීළඟට වැඩිම ඡන්ද ලබා ගත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා මන්ත්‍රී ධුරයට පත් කරන ලෙස නියෝග කරනු ලැබුවා.

ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම හේතුවෙන් මන්ත්‍රීවරයෙකුගේ ධුරය අධිකරණය විසින් අහිමි කළ පළමු (1) අවස්ථාව මෙය වීම විශේෂත්වයක් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(14.09.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1354 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,15,649 ක්.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ තවදුරටත් පුද්ගලයින් 61,402 නෙකු රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි ෴

++++++++++++++++

(14.09.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනයට යොමු කිරීම හරහා මේ වනවිට ජාවාරමක් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

හෝටල් නිරෝධායනය හරහා සිදුවන ජනතා මුදල් ගසාකෑම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය පිළිබද අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළා.

මේ අතර අදාළ ගැටලුව අද (14) රජයේ බලධාරීන්ගේ අවධානයට යොමුකරවන බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුළින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරන බව පවසමින් ජනතා මුදල් ගසාකෑම පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති හරහා පසුගිය දින කිහිපයේදීම අනාවරණය කළා.

විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට පැය 72 කට පෙර විදෙස් රටවලදී කොවිඩ් පරීක්ෂණවලට මුහුණ දී කොවිඩ් නොමැති බවට තහවුරු කර ගැනීම අනිවාර්ය කරුණක්.

තත්ත්වය එසේ තිබියදී මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ මුදල් ගසාකෑම සදහා ඔවුන් හෝටල් නිරෝධායනයට යොමු කෙරෙන්නේ ඔවුන්ව දැඩි අපහසුතාවට පත් කරමින්.

මේ හෝටල් නිරෝධායනයේදී කොවිඩ් පරීක්ෂණවලට, මෙන්ම නවාතැන් ගාස්තු සදහා වෙන වෙනම ගාස්තු අයකරමින් අධික මුදලක් ගසා කන ආකාරයයි.

කෙටි කාලයක් ඇතුලත කටුනායක ගුවන්තොටුපල තුලදීම ජනතාව කිසිදු අපහසුතාවකට ලක් නොකොට රැපිඩ්, පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සියළු පහසුකම් පවතින පසුබිමක් තුල ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මෙරට බලධාරීන් මෙලෙස අධික ලෙස ජනතා මුදල් ගසාකෑමට ඉඩදී තවදුරටත් බලා සිටීම විමතියට කරුණක්.

මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ හෝටල් නිරෝධායනය සදහා යොමු කරන්නේ විදේශිකයන් පමණක් බවට අදාළ අංශ විසින් තමාට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පෙනී යන්නේ විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන් විෂය භාර අමාත්‍යවරයාව පවා නොමඟ යවා මෙම ජනතා මුදල් ගසාකෑමට ඉඩ විවර කරදී ඇති නොවේද ?

අප මේ පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන්ද විමසීමක් කළා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් :

“මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක කොටසක් පමණයි. ඒ නිසා හිතනවා මේ මොහොතේ එතුමාට කෙළින්ම අවධානය යොමුවෙලා නැතිකම මම හිතන්නේ තියෙන්නේ. ඒක මේ දක්වා කරගෙන ගිය දෙයක්. ශ්‍රී ලංකාවට පැමිණෙනකොට නිරෝධායනය වීමේ තමන් කැමති හෝටලයකට යන අවස්ථාවේ දී ප්‍රවාහන පහසුකම් සපයන්න සිදුවන්නෙත් එම හෝටලයමයි. ඒ නිසා ප්‍රවාහනය සඳහා යම් ආකාරයක අය කිරීමක් කරනවා. මේ සියල්ල ඒ හෝටලය සමඟ සාකච්ඡා කරලා ඒ ගෙවීම් කටයුතු පිළිබඳව ස්ථිර තත්වයකට ආවට පස්සේ තමයි ඒ හෝටල්වලට ඇවිල්ලා ඒ කටයුතු කරන්නේ.”

සමන් රත්නප්‍රිය මහතා – සභාපති – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය :

“ඇත්තටම ඒක බිස්නස් එකක්, මේක ජාවාරමක්, ලාංකිකයෝ එනකොට කටුනායකදීම ඒ අය දවසකට හෝටලයකට දානවා. PCR කරනවා. PCR එකට රුපියල් 12,500 ක් වගේ මුදලක්. දවසක හෝටලයේ වියදම රුපියල් 12,500 ක් වගේ මුදලක් එකතු කරලා එක දවසට රුපියල් 25,000 ක් ගසාකන තත්වයකට පත්වෙලා තියෙනවා.”

පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි – සභාපති – සිංහලේ අපි ජාතික සංවිධානය :

“අපි විශේෂයෙන් ම දැක්කා හිරු මාධ්‍ය තුලින් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට පැමිණීමේදී හෝටල්වලට සහ නිරෝධායනයට කියමින්, PCR වලට කියමින්, කෑම පැකට් එකට කියමින්, ඔවුන්ව ගසාකමින්, ඔවුන්ගේ මුදල් සූරාකමින් සිද්දකරන බරපතළ ව්‍යවසනයක් පිළිබඳව. රටට විදේශ විනිමය එවන විදේශගත ශ්‍රමිකයෝ පිළිබඳව මේ රජය දක්වන ආකල්පය ඉතාම තුච්ච, නින්දිත, නිහීන ප්‍රතිපත්තියක්. ඒක අපි මේ වෙලාවේ කියන්න ඕන.”

මේ අතර අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගෙන් ද විදෙස් ශ්‍රමිකයන් හෝටල් සඳහා යොමුකිරීම සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය :

ප්‍රශ්නය – “මේ පරීක්ෂණ සඳහා ගුවන්තොටුපොළේ පහසුකම් තියෙද්දී ඒවා පාවිච්චි කරන්නේ නැතුව පැය හතරේ පහේ වැඩේට යොමුකරනවා නිරෝධායන මධ්‍යස්ථාන වෙත.”

පිළිතුර – “ඇත්ත වශයෙන්ම ඔබ මෙය පෙන්වා දීම පිළිබඳව ස්තූතියි. අපි ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ මේ සියලු පහසුකම් නිර්මාණය කළා. ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා ගුවන්තොටුපොළ අධිකාරිය අදාළ අමාත්‍යංශය සියලු දෙනාම. එසේ තිබියදී ඔබ සඳහන් කරන ආකාරයේ යම් අකටයුත්තක් වෙනවා නම් ඒක ප්‍රශ්නකාරීයි, ගැටළුසහගතයි. මේ මොහොත වෙනකම් ඉතාම අවංකයෙන් මම ඔබට කියන්නේ මේ පිළිබඳව අවබෝධයක් තිබුනේ නෑ. මතුකරපු ප්‍රශ්නය අපි අද (14) දවස තුළදීම යොමුකරනවා.”

විදේශයන්හි සිට පැමිණි ඔබත් හෝටල් නිරෝධායනය සඳහා යොමු කිරීම හරහා මුදල් ගසාකෑමට ලක් වූ අයෙකු නම් ඔබ පත්වු අපහසුතාවයන් අපගේ ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු ලබාදීමේ අංකය වන 077 032 2821 වෙත දැනුම්දිය හැකියි.

හිරු පුවත් ඔස්සේ අනාවරණය කළ විදේශ ශ්‍රමිකයන් හෝටල් නිරෝධායන ජාවාරම පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා ෴

++++++++++++++++++

(14.09.2021 – 18:20 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනයේ මේ වනවිට තවත් කොරෝනා ආසාදිතයන් 1,628 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,90,110 ක් දක්වා ඉහලගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 63,030 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයන් 845 ක් වාර්තා වීමත් සමඟ අද (14) දිනට මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,473 ක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,90,955 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 63,875 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++

(14.09.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) දින සිදුවූ අද (14) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ තවත් කොරෝනා මරණ 136 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,567ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++

(14.09.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 50 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කළ රටවල් අතරට ශ්‍රී ලංකාව ද අද (14) දිනයේදී එක්වුණා.

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ඊයේ (13) දිනය වනවිට මෙරට එන්නත්කරණය සම්පූර්ණ කළ මුළු පුද්ගලයන් සංඛ්‍යාව 1,06,72,627 ක්.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ දෙවන (2) මාත්‍රාවද ලබාදී ජනගහණයෙන් හරි අඩකට එන්නත්කරණය සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි.

මේ අතර, එන්නත්කරණයට ලක් කරන ළමයින්ගේ වයස් සීමාවන් සම්බන්ධයෙන් තීරණය කෙරෙන සාකච්ඡාවක් හෙට (15) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද (14) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියා සිටියේ ළමයින් සහ තරුණයන් එන්නත්කරණයට ලක් කිරීම අවශ්‍ය නොවන බවයි ෴

+++++++++++++++++

(14.09.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අද (14) පැවති සභා වාරයට කළුපටි පැළඳ පැමිණ සිටියා.

ඒ, සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව ඇල්පිටිය ප්‍රදේශයේ එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන බවට සහ ඒ පිළිබඳව සොයාබැලීමට ගිය මහජන නියෝජිතයින්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා බාධා කළ බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින්.

මේ අතර, දියතලාව මූලික රෝහල අවට ඇති සියලු ප්‍රාදේශීය රෝහල්වල සිදුවන කොරෝනා ආසාදිත සහ සෙසු මරණ සඳහා මරණ පරීක්ෂණ කටයුතු දියතලාව මූලික රෝහලේදී සිදුකිරීම හේතුවෙන් එම රෝහලේ මෘත ශරීරාගාරයේ යම් තදබදයක් ඇතිව තිබෙනවා.

ඒ හේතුවෙන් දේහයන් එම රෝහලේ මෘත ශරීරාගාරයේ කොරිඩෝවේ තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *