ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත අතර සියලුම ඖෂධ අලෙවිසැල්වල තොරතුරුත්

ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත අතර සියලුම ඖෂධ අලෙවිසැල්වල තොරතුරුත්

*********************************************

ඖෂධ අධිකාරියේ මැකී ගිය දත්ත අතර සියලුම ඖෂධ අලෙවිසැල්වල තොරතුරුත්

(14.09.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත අතර මෙරට සියළුම ඖෂධ අලෙවිසැල්වල දත්ත ද ඇති බවට වාර්තාවනවා.

මේ හේතුවෙන් සියලුම ඖෂධ අලෙවිසැල්වල දත්ත ඇතුළත් ලිපි ගොනු කඩිනමින් ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබාදෙන ලෙස එම අලෙවිසැල්වල හිමිකරුවන්ට දැනුම්දී ඇති බවද සඳහන්.

දිවයින පුරා ඇති ඖෂධ වෙළඳසැල් 4,500 කට වැඩි සංඛ්‍යාවක තොරතුරු මෙම දත්ත ගබඩාවේ තිබී මැකී ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අතර තහනම් කරන ලද ඖෂධ අලෙවි සැල් මෙන්ම ඖෂධ ආනයන සමාගම්ද ඇති බවයි එම අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඖෂධ නියාමන අධිකාරියේ මෙම මැකී ගිය දත්ත ගබඩාව යළි අලුතින් ස්ථාපනය කිරීමට දැනටමත් පියවර ගනිමින් පවතිනවා.

මේ අතර ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම, මෙරටට ඖෂධ ආනයනය කර නීතිවිරෝධී ලෙස මුදල් ඉපයීම සිදුකරන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බව නීතිපතිවරයා ප්‍රකාශ කළා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේයි ෴

******************************************

(14.09.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් මුහුදු වැලි අපනයන කර මාලදිවයිනේ දූපතක් සෑදීමට සූදානම් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මාලදිවයිනේ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගමක් සදහා අවශ්‍ය ඛණිජ වැලි ප්‍රමාණයක් අපනයනය කර ඇති බවයි.

එසේම අදාළ ඛනිජ වැලි මාලදිවයිනට අපනයනය කර ඇත්තේ ඉදිකිරීම්වලදී ජල තටාක සහ නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කාර්ය සදහා යොදා ගැනීමටයි.

ඒ අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළේ වැලි කියුබ් 8 ක් පමණ වරින් වර අපනයනය කර ඇති අතර එහිදී කියුබ් එකක් සඳහා රුපියල් 180,000 ක මුදලක් අය කරගෙන තිබූ බවයි.

මේ අතර, මෙරට පවතින ඛණිජ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාව තුළ දේශීය කර්මාන්ත සඳහා යොදා ගනු ලබන වැලි ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය සුවිශේෂී අවශ්‍යතාවක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතියකට යටත්ව පමණක් මිස අපනයනය කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

(14.09.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

අද (14) සිට නාඩු වී කිලෝවක් රුපියල් 55 බැගින් ගොවීන්ගෙන් මිල දී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සතු ව ඇති කුඹුරු ඉඩම් පිළිබඳ ඉදිරිපත් කළ දත්ත පදනම් කරගනිමින් සිදුකළ නියැදි පරීක්ෂණයේ දී එම දෙපාර්තමේන්තුවේ දත්ත සියයට 96 ක් ම වැරදි බවට අනාවරණ වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ගොවීන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55 ක මිලකට ගොවි බිම්වලට ම ගොස් මිල දී ගැනීමට තීරණය කර ඇති බවයි.

මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගනු ලැබුවේ රුපියල් 50 කට යි ෴

******************************************

(14.09.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ‘මිචෙල් බැචලේ’ ඉදිරිපත් කළ වාචික වාර්තාව සම්බන්ධයෙන් සාමාජික රටවල විවාදය අද (14) පැවැත්වෙනවා.

මේ වෙනවිට ඉතාලියේ සංචාරයක නිරත මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද අන්තර්ජාලය ඔස්සේ අද (14) මෙම විවාදයට එක්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ඊයේ (13) ජිනිවා නුවර දී ආරම්භ වුණා.

එහි දී සාමාජික රටවල් සම්බන්ධයෙන් සිය වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අදහස් දක්වනු ලැබුවා.

රජය විසින් මෑතක දී සම්මත කරන ලද හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම දැඩි විමසිල්ලෙන් පසුවෙන බවයි ඇය කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ලබන මස 08 වැනි දා දක්වා පැවැත්වෙනවා ෴

******************************************

(14.09.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ රජය පත් ව සිටින අපහසුතාව සලකා බලා ගුරු – විදුහල්පතිවරුන් නිහතමානී විය යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ඇඹිලිපිටිය ගුරු – විදුහල්පති එකමුතුව ඊයේ (13) දින උන්වහන්සේ හමු වී තම ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කරමින් සංදේශයක් භාරදුන්නා.

ඉන් අනතුරුව යි ඇඹිලිපිටිය – බෝධිරාජාරාම ධර්මායතනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියේ.

******************************************

(14.09.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

සතොස වෙළදසැල් ජාලය වෙත වරාය අධිකාරිය විසින් නිකුත් කරන ලද සුදුලූනු කිලෝ 54,860 ක් අන්තර්ගත වූ බහාලුම් දෙකක් (2) කිසිදු අවසරයකින් තොරව තෙවන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එහි නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මතයි.

ඉකුත් 10 වන දා අදාළ බහාලුම් දෙක (2) සතොස අලෙවිසැල් ජාලය වෙත නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් එය තෙවන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීම සදහා සතොස ආයතනයේ නිලධාරීන් කටයුතු කර ඇති බවට එහි සභාපතිවරයා විසින් පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබූ අතර ඊට අදාළවයි ඒ හා සම්බන්ධ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කොට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

එමෙන්ම, දැනට සිදුකරන ලද විමර්ශනවලදී සුදුලූනු අඩංගු බහාලුම් මාබෝල සහ වැලිසර යන ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා.

ඊට අදාළව බහාලුම් මිලදී ගත් සැපයුම්කරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩ තහනමට ලක්වූ නිලධාරීන් අතර, සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරා ද සිටින බවටයි වාර්තා වන්නේ.

අදාළ බහාලුම් දෙකෙහි (2) අඩංගු සුදුලූනු ප්‍රමාණය කිලෝ 54,860 ක්.

කෙසේ වෙතත්, සුදුලූනු කිලෝවක් රුපියල් 135 ක මුදලකට සතොස අලෙවිසැල් සදහා සැපයුම් කරන පිටකොටුව තොග සැපයුම්කරුවෙකුට අලෙවි කිරීමටයි අදාළ නිලධාරීන් පියවර ගෙන තිබුණේ.

එම තොගයෙහි සමස්ත විකුණුම් මිල රුපියල් හැත්තෑ හතර ලක්ෂ හයදහස් එකසියයක් (74,06,100).

කෙසේ වෙතත්, මෙහි වෙළදපොළ වටිනාකම රුපියල් මිලියන 70 ක් (7,00,00,000) බවත් මේ හරහා සතොසට රුපියල් මිලියන 63 ක (6,30,00,000) පාඩුවක් සිදුව ඇති බව ද වාර්තා වෙනවා ෴

******************************************

(14.09.2021 – 10:07 +0530 – hirunews.lk/sinhala)

තමන් අද (14) සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසනවා.

මීට දින තුනකට (3) පෙර එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

ඒ අනුව තමන් අද (14) සිය නිල නිවාසයෙන්ද ඉවත්වීමට කටයුතු කරන බව හිටපු මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (13) සඳහන් කළේ නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෙට (15) එම ධුරයේ වැඩ භාරගන්නා බවයි ෴

******************************************

(14.09.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල – මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුල්ල – නෙළුම්වැව ආශ්‍රිතව ඇවිදින මංතීරුවක ඉදිකිරීම් හේතුවෙන් වැව විනාශ වීමේ අවදානමක් පවතින බවට ප්‍රදේශයේ ගොවි සංවිධාන චෝදනා කරනවා.

වසර 60 කට වඩා ඉපැරණි මෙම වැවෙන් කුඹුරු අක්කර 800 කට ආසන්න ප්‍රමාණයක වගා කටයුතු සිදු කෙරෙන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

ඇවිදින මංතීරුවේ ඉදිකිරීම් හේතුවෙන් දැනටමත් වැවේ ආරක්ෂාවට පැවති සංවේදී පරිසර පද්ධති විනාශ වී ඇති අතර, වටිනා ශාඛ රැසක් කපා විනාශ කර ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(14.09.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුළ දින 4 ක් දිවයිනේ සියළු තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල මෙලෙස දිවයිනේ සියළු තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති ෴

++++++++++++++++

(14.09.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ පහේ (5) සීමාවට ආසන්න වී තිබෙනවා.

ඊයේ (13) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,560 දෙනෙකු හඳුනාගත් අතර, ඒ අනුව සමස්ත ආසාදිත‍යින් සංඛ්‍යාව 4,88,482 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (13) හඳුනාගත් නව ආසාදිත‍යින් 2,560 දෙනා ම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වෙන අතර, ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 62,756 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ (13) තහවුරු කළ නව මරණ 135 සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,431 ක් ලෙස යි.

මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,14,295 ක්.

මේ අතර අනුරාධපුරයේ දී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් මෙන්ම අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව මේ දිනවල පහත යමින් පවතින බවයි.

දිවයිනට පැමිණෙන සංචාරකයින් නියාමනයට ලක් නො වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා.

මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයින් සෞඛ්‍ය අංශ මඟින් නියාමනයකට ලක්නොවන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ එය ඉදිරියේ දී තවත් ව්‍යවසනයකට අත වැනීමක් බවයි.

කෙසේ වෙතත් සංචාරකයන් හරහා මෙරටට රෝග ව්‍යාප්තිය වැළැක්වීමටත්, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නිසි කළමනාකරණයකින් කටයුතු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අසත්‍ය ප්‍රචාර කොරෝනා පාලනයට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ ඊයේ (13) එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම තත්ත්වය රටවල් දෙකේ (2) ම දක්නට ලැබෙන බවයි ෴

කෑගල්ල නගර සභාවේ උප සභාපති ලලිත් ජයශාන්ත මහතා කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ (13) මියගියා. මියයන විට ඔහු 50 හැවිරිදි වියේ යි පසු වුණේ ෴

+++++++++++++++++

(14.09.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (13) පුද්ගලයින් 1,47,114 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 88,700 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 51,798 ක්.

එමෙන්ම ඊයේ (13) ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 353 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව 385 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 30 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව ද 1,815 දෙනෙකුටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (13) දිනයේ 3,194 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 839 දෙනෙකුට ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා දෙවන (2) මාත්‍රාව ද ලබා දී එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයන් සංඛ්‍යාව 16,72,627 ක් ෴

2021-09-13 – Progress Report of COVID-19 Immunization (pdf)

++++++++++++++++

(14.09.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණ පළඳින ලෙසට උපදෙස් ලබාදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට (2) පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නෙළුව ප්‍රදේශයේ ඊයේ (13) පැවති අවමංගල්‍ය උත්සවයකදි යි මොහු මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වැදී ඇත්තේ.

පසු ව සැකකරු නිළධාරීන්ට පොල්ලකින් ද පහරදීමට උත්සාහ කර ඇති අතර, එහි දී එම ස්ථානයේ සිටි පිරිස එය ව්‍යර්ථ කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴

+++++++++++++++++

(14.09.2021 – 11:08 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට (15) සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් මහතා ප්‍රකාශ කළා.

මන්නාරමේ ඊයේ (13) පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.

මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වී තිබෙනවා ෴

+++++++++++++++++

(14.09.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

සති 4 කට පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් වාර්තාවීම පහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සඳුදා (20) සිට රට ක්‍රමානුකූලව විවෘත කළ හැකි බවයි ඇය කියා සිටියේ.

සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද (14) පෙරවරුවේ පැමිණි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගෙන් මාධ්‍යවේදීන් රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදියි ඇය මේ බව කියා සිටියේ.

එසේම ඌව පළාත් සභාව මඟින් පාලනය වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් බලා ගන්නා කාන්තාවන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ළමා නිවාසයේ සියළුම දරුවන් අද (14) හදිසි කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.

වයස අවුරුදු 5 ට අඩු දරුවන් 35 දෙනෙකු එම ළමා නිවාසයේ සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කොළඹ අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින කොරෝනා රැල්ලේ අවධානම මෙතෙක් පහව ගොස් නොමැති බැවින් මෙම අවස්ථාවේ රට විවෘත කිරීම සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *