නිරෝධායන මගඩියේ අලුත් කතාවක් – සෞඛ්‍ය ඇමැතිත් නොමඟ යවලා

නිරෝධායන මගඩියේ අලුත් කතාවක් – සෞඛ්‍ය ඇමැතිත් නොමඟ යවලා

*********************************************

නිරෝධායන මගඩියේ අලුත් කතාවක් – සෞඛ්‍ය ඇමැතිත් නොමඟ යවලා

(13.09.2021 – 20:26 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ව හෝටල් නිරෝධායනය සඳහා යොමු කරමින් ඔවුන් ගසාකෑමේ ක්‍රියාදාමය වහා නතර කළ යුතු බව ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

අදාළ සිදුවීම පිළිබඳව මේ වනවිට පාර්ශව රැසකගේ අවධානය යොමුව ඇත්තේ හිරු ප්‍රවෘත්ති හරහා අදාළ සිද්ධිය අනාවරණය කිරීමත් සමඟයි.

දිනකට දෙස් විදෙස් සංචාරකයින් 2,000 ක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මේ දිනවල මෙරටට පැමිණෙන්නේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේයි.

එලෙස පැමිණෙන සියලුදෙනාම මෙරටට ඇතුලුවීමට පෙර පැය 72 කට පෙර විදෙස් රටවලදී කොවිඩ් පරීක්ෂණයකට මුහුණදිය යුතු වනවා.

කටුනායක ගුවන් තොටුපල තුළදීම කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට හැකියාව තිබියදී මෙරටට බලධාරීන් විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හෝටල් නිරෝධායනයට යොමුකරමින් දැඩි අපහසුතාවට පත් කරන බවට චෝදනා එල්ලවනවා.

මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ හෝටල් නිරෝධායනය සඳහා යොමු කරන්නේ විදේශීකයන් පමණක් බවට අදාළ අංශ විසින් තමාට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රීලාංකිකයන් පිළිබඳව බලධාරීන් සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාව පවා නොමඟ යැවීමක් නොවේද?

ඒ අනුව කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන පැය 12 කටත් අඩු කාලසීමාවක් සඳහා හෝටල්වල නිරෝධායන කාලසීමාවකට යොමුකරමින් ජනතාවගෙන් අධික මුදලක් ගසාකෑමට ඉඩකඩ සළසා ඇති බවයි පිරිස් චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් කළ විමසීමකදී සඳහන් කළේ, සෞඛ්‍ය අංශ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නම් විදෙස්ගතව සිට පැමිණෙන අය සඳහාද ගුවන් තොටුපොළ තුළදී රැපිඩ් – පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට හැකියාවක් පවතින බවයි.

මේ පිළිබඳව පසුගියදා අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ එක් තරු පන්තියේ හෝටලයක් දිනක් සඳහා තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයකට ඩොලර් 170 ක් හෙවත් රුපියල් 34,000 ක පමණ මුදලක්ද, දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 210 ක් හෙවත් රුපියල් 42,000 ක පමණ මුදලක් අය කරනු බවයි.

ඊට අමතරව කොරෝනා පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55 ක් ද එම හෝටලය මගින් අයකර ගනු ලබනවා.

තවත් හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 231 ක් හෙවත් රුපියල් 46,000 ක පමණ මුදලක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 265 ක් හෙවත් රුපියල් 53,000 ක පමණ මුදලක් ද අයකර ගන්නා බවට තොරතුරු හෙළිවුණා.

ඊට අමතරව එම හෝටලය ද කෙරෝනා පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55 ක මුදලක් අය කරනු ලබනවා.

තවත් තරු පන්තියේ හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 235 ක් හෙවත් රුපියල් 47,000 ක පමණ මුදලක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 297 ක් හෙවත් රුපියල් 60,000 ක පමණ මුදලක් ද ඇතුළුව තවත් පහසුකම් සඳහා මෙලෙස අධික මුදලක් අයකර ගන්නා බවයි හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ අවසර ලබාදෙන්නේ නම් පැය තුනක් (3) වැනි කෙටි කාලයක් තුළදී අදාළ පරීක්ෂණ පැවැත්වීමට හැකියාව පවතින බවයි.

+++++++++++++++++++

(13.09.2021 – 20:59 +0530 – hirunews.lk/sinhala)

අද (13) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 805 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව අද (13) දිනට මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2560 ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද ඒ අනුව 4,88,482 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++++

(14.09.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම නිසා ගත වූ පැය විසි හතරක (24) කාලය තුළ පුද්ගලයින් 773 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ දක්වා අත් අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 71,467 ක්.

බස්නාහිර පළාත තුල ස්ථාපිත කොට ඇති මුළු මාර්ග බධක සංඛ්‍යාව 13 ක් වෙන අතර, ඊයේ (13) දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 1160 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව 775 ක් ලෙසට යි වාර්තා වෙන්නේ.

වලංගු අවසර පත්‍රයක් නොමැති ව මාර්ග බාධක හරහා පිටවීට උත්සාහ කළ වාහන 178 ක් ද නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇතුළත් ෴

+++++++++++++++++

(14.09.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාට (2) ද, කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බව ඇය ඊයේ (13) දහවල් කළ විමසුමකදී සඳහන් කළා.

වසර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකා මහත්මියට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණා.

ඇය දිනා ඇති ලෝක ශූරතා පදක්කම් ගණන 02 කි ෴

++++++++++++++++

චීන ප‍්‍රදර්ශනයට යන්න මැණික් ව්‍යාපාරිකයෝ බැහැ කියති

(14.09.2021 – divaina.lk)

චීනයේ ෂැන්හැයි නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් ප‍්‍රදර්ශනයට ව්‍යාපාරිකයන් සහභාගි කරවීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් එම ප‍්‍රදර්ශන කුටිවල වෙනුවෙන් තැන්පත් කරන ලද ඩොලර් 35,000 ක් (රුපියල් ලක්‍ෂ 70 කට අධික) මුදල ව්‍යාපාරිකයන් සහභාගි නොවීම නිසා අධිකාරියට අහිමිවීමේ තත්ත්වයක් මතුවී ඇත.

මෙම ප‍්‍රදර්ශනය නොවැම්බර් 05 සිට නොවැම්බර් 10 දක්වා පැවැත්වෙයි. ව්‍යාපාරිකයන් 24 දෙනකුට කුටි 12 ක් වෙන්කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මෙම මුදල තැන්පත් කර ඇත. ප‍්‍රකට මැණික් ව්‍යාපාරිකයන් 24 දෙනකු සම්මුඛ පරීක්‍ෂණයේදී ප‍්‍රදර්ශනයට සහභාගිවීමට කැමැත්ත පළ කළත් චීනයේ දින 21 ක නිරෝධායන කාලයක් ගතකළ යුතු බවට පසුව කොන්දේසි පැනවීම නිසා ප‍්‍රදර්ශනයට යෑමට නොහැකි බව ප‍්‍රකාශ කර තිබේ.

ප‍්‍රදර්ශනයට තෝරා ගැනීමට පෙර තමන්ට කොන්දේසි දැනුම් දුන්නා නම් එම අවස්ථාවේ ප‍්‍රදර්ශනයට සහභාගිවීම හෝ නොවීම තීරණය කළ හැකිව තිබූ බවත් පසුවට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් ගමනට වැයවන අමතර රුපියල් ලක්‍ෂ 08 ක පමණ මුදලක් වැයකිරීමට අපහසු නිසා ප‍්‍රදර්ශනයට නොයෑමට තීරණය කළ බවත් ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් පැවැසීය. ඊයේ (13 දා) වනවිට එම ව්‍යාපාරිකයන් 24 දෙනා අතරින් 20 දෙනකු ප‍්‍රදර්ශනයට සහභාගි විය නොහැකි බව අධිකාරියට දැනුම්දී ඇතැයි පැවසූ හෙතෙම යෑමට කැමැති අයද කුටිවලට ගෙවා නොමැති බවද කීය.

විශාල මුදලක් වැයකර ව්‍යාපාරිකයන් ප‍්‍රදර්ශනයට සහභාගි වූවත් එහි ප‍්‍රතිලාභ ලැබේද නොලැබේද යන්න තීරණය කළ නොහැකි නිසා ප‍්‍රදර්ශනයට සහභාගි විය නොහැකි බව ව්‍යාපාරිකයන්ගේ මතය වී ඇති බවද ඔහු පැවැසීය. මෙතෙක් කාලයක් මැණික් අපනයනයේදී මැණික්වල වටිනාකමින් සියයට පහක (5%) බදු මුදලක් අය කළත් මෑතකදී එය දෙකයි දශම පහට (2.5%) අඩුකර ඇති නිසා අධිකාරියට විශාල ආදායමක් අහිමිව ඇති මොහොතක රුපියල් ලක්‍ෂ 70 ක්ද අධිකාරියට අහිමි වී යෑමේ අවධානමක් පවතින බව එම අධිකාරියේ නිලධාරියෙක් පැවැසීය. මේ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ප‍්‍රදර්ශන කුටිවලට තැන්පත් කළ මුදල් ලබාගැනීම සඳහා එහි සංවිධායකයන් සමඟ සාකච්ඡා කරන බවය ෴

+++++++++++++++

= නිරෝධායන පවුල් 40,000 කට බස්නාහිර පළාත් ආයුර්වේද ඖෂධ ලබාදීම ඇරඹෙයි =

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෛද්‍ය නිලධාරින් විසින් නිරෝධායන පවුල්වලට ඖෂධ ලබාදීම හෙට (03) සිට අරඹයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව නිරෝගිකමට මුල්තැන යන තේමාව යටතේ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම ඖෂධ බෙදාදීම අද (02) සංකේතවත් ලෙස ආරම්භ කළා .

දේශීය ඖෂධ වර්ග 5 කින් යුක්ත ව ලබාදෙන මෙම බෙහෙත් ඇසුරුම එක් (1) පවුලකට දින පහකට (5) සෑහෙන ලෙසයි සකස් කර තිබෙන්නේ .

මෙම වැඩපිළිවෙල පිළිබඳව බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේ දී ඖෂධ ලබාදීම සංකේතවත් කිරීමෙන් අනතුරුව ආණ්ඩුකරතුමන් විසින් මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කළා.

බස්නාහිර පළාත තුළ නිරෝධායනය වී සිටින පවුල් සඳහා මුලින්ම මෙම බෙහෙත් ඖෂධ ලබාදීම සිදුකරන බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියේ .

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් G.M. මාලා පෙරේරා මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා .

බස්නාහිර පළාතතුළ නිරෝධායන ක්‍රියාවලියේ නිරත ව සිටින පවුල් සඳහා බෙහෙත් ලබාදීම ආරම්භ කරන බවත් මෙහිදී කියා සිටියා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් ගාමිණී ධර්මසේන මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.

-බස්නාහිර පළාත් මාධ්‍ය අංශය (02.09.2021)

++++++++

රජයේ ආයතන, හමුදාව සේරම බිව්වේ අපේ ආයුර්වේද බෙහෙත් – මෙන්න සාක්ෂි (09.09.2021)

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(13.09.2021 – 21:39 +0530 – hirunews.lk/sinhala)

අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

******************************************

(13.09.2021 – 23:04 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කිරීමේ කටයුතුවලින් තවදුරටත් ඉවත්වී සිටින බව ගුරු විදුහල්පති වෘත්තිය සංගම් පවසනවා.

අදාළ විභාග දෙක සඳහා අයදුම්පත් යොමුකිරීම ලබන 15 වැනිදාට පෙර සිදුකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙන්නේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (13) දින 64 ක්.

මේ අතර සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා විදුහල්පතිවරුන්ට පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය ලිපියක් යොමුකරමින් සඳහන් කළේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට පැවරෙන බවයි.

එහි වැඩිදුරටත් දක්වා තිබුණේ විභාග අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ප්‍රමාදයක් හෝ අතපසුවීම් සිදුවුවහොත් ඒ පිළිබඳ වගකීම විදුහල්පතිවරු භාර ගත යුතු බවයි.

******************************************

(14.09.2021 – 06:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (14) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ (13) එල්ලකල චෝදනාවලට එහිදී පිළීතුරු දෙනු ඇතැයි අපේක්ෂිතයි.

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම , සිවිල් ක්‍රියාකාරීන් මර්දනය ඇතුලු චෝදනා රැසක් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ (13) ඉදිරිපත් කර තිබුණා.

අදාළ වාර්තාව පිළිබඳ විවාදය අද (14) පැවැත්වෙන අතර සාමාජික රටවල් – සිවිල් සංවිධාන ඇතුලු පාර්ශව ගණනාවක් අද ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වනු ඇති ෴

******************************************

(13.09.2021 – 08:03 +0530 – lankadeepa.lk)

මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්‍රල්වරයකු සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියක කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙසේ සොයාගත් මළසිරුර සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනියගේ ස්වාමි පුරුෂයාගේ බවත්, ඔහු හතළිස් හැවිරිදි (40) එල්ලේ ක්‍රීඩකයකු වෙන බවත් මේ වන විට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව යුද හමුදා පොලිස් හේවා බළකාය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර කෝප්‍රල්වරයා ඇතුළු වූ යුද හමුදා බුද්ධි සාමාජිකයන් හය දෙනකු (6) පොලිසියට දී ඇති අතර යුදහමුදා සාමාජිකයින් පස් දෙනෙකු (5) ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි.

මෙම සිද්ධියට අදාළ සැකකාර ග්‍රාම නිලධාරිනිය සහ යුධ හමුදා කෝප්‍රල්වරයා ඊයේ (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක් (7) රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පොලීසියට අවසර ලබාගෙන ඇත.

වයස අවුරුදු හතළිහක (40) පමණ පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් මෝදර කාක දූපත ට ගොඩ ගසා තිබුණේ ඉකුත් අගෝස්තු මස 20 වැනිදාය. එම මළ සිරුර සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අදාල ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා එම ස්ථානයට ගොස් තිබුණාය.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති ෴

******************************************

(14.09.2021 – divaina.lk)

සතොස ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56,000 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට එම තනතුරෙන් ඉවත් වන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇත.

තමා මෙම තනතුරට පත්කළේ දූෂණය සහ නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව මත බවත්, තමා ඉවත් කරන තෙක් ඉවත්ව නොයන බවත් ඒ මහතා ‘දිවයින’ට ඊයේ (13 දා) පැවැසීය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සුදු ලූනු වංචාව හඳුනා ගැනීමේදී සතොස විසින් ඒවා ගෙන්වා ඇත්තේ සුදු ලූනු ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවට අනාවරණය වූ බවත් පෞද්ගලික ආයතනයකට ඒවා අලෙවි කර ඇත්තේ ලදුපතක් (ඉන්වොයිස්) හෝ ලබා ගැනීමකින් (?) තොරව බවත් හෙළිවී ඇතැයි ගුණවර්ධන මහතා කීය.

මේ ආකාරයෙන් උඳු ආනයනය කර තෙවැනි පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය ෴

******************************************

‘හිරු සලකුණ’ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සමඟින් (13.09.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *