දින 6 ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි

දින 6 ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි

*********************************************

දින 6 ක බිළිඳෙකුත් කොරෝනා ආසාදිතව මිය යයි

(13.09.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

දින 6 ක බිළිඳෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලන්ගොඩ මූලික රෝහලේ දී පසුගිය 5 වන දා උපත ලැබූ බිළිඳාට හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන ඇති අතර අනතුරුව ඔහුව රෝහලේ නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, ඊයේ (12) දිනයේදී බිළිඳා ජීවිතක්ෂයට පත්වී ඇති අතර පසුව සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

නමුත් දරුවා බිහි කිරීම සදහා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මවට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයකදී අනාරණ වී ඇත්තේ ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

කෙසේ වෙතත් දරුවාගේ මව යළි කොරෝනා පරීක්ෂණයකකට භාජනය කර ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ ෴

++++++++++++++++

(13.09.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

අද (13) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,755 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,87,677 ක් දක්වා ඉහලගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම මේ වනවිට නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62,086 ක් ෴

ඊයේ (12) දිනයේ සිදුවූ, අද (13) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 135 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,431 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++++

සන්තුෂ් ට හා උමාරියාටත් කොවිඩ්

(12.09.2021 – 19:05 +0530 – sinhala.adaderana.lk)

‘බී ඇන් එස්’ සංගීත කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වන, ජනප්‍රිය ගායන ශිල්පී සන්තුෂ් වීරමන් මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මියට සහ ඇයගේ සැමියාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව ‘අද දෙරණ’ට තහවුරු විය.

ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

+++++++++++++++++++

නිරෝධායනය අස්සේ ජයටම කෙරෙන අමුතු සෙල්ලම

(13.09.2021 – 18:05 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට පැමිණීමේදී සිදුකරන කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායනය සඳහා රඳවා තැබෙන හෝටල් විසින් එම කාලසීමාව සඳහා සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් ගසාකෑමේ ක්‍රියාදාමයක නිරතවන බවට සංචාරකයින් චෝදනා කරනවා.

සංචාරකයින්ට මෙලෙස හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැපිඩ් – පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම්ද සම්පාදනය කර ඇති පසුබිමකයි.

​පවතින සිමාවන්ට යටත්ව දෙස් විදෙස් සංචාරකයින් 2000 ක් පමණ දිනකට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් මේ දිනවල මෙරටට පැමිණෙනවා.

එසේ පැමිණෙන ශ්‍රි ලාංකිකයින්වූවද පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්ව ඇතත් කොවිඩ් පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැණෙන්නේ.

කෙසේවෙතත් එලෙස නිරෝධායනයට යොමු කෙරෙන පිරිස් චෝදනා කරන්නේ කොවිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටින පැය 12 කටත් නොවැඩි කාල සීමාව සඳහා අදාළ හෝටල් තමන්ගෙන් අධික මුදලක් ගසා කන බවයි.

මෙලෙස හෝටල් නිරෝධායනයේදී ගසා කෑමට ලක්වූ පිරිස්, ඒ පිළිබඳව තොරතුරු ‘හිරු CIA’ වෙත ලබා දෙන ලෙස අප හිරු TV ප්‍රවෘත්ති විකාශයේදී කළ දැනුම්දීමට අනුව ‘හිරු CIA’ කණ්ඩායමට ඇමතුම් ගලා ආවේ සිදුවූ අසාධාරණය හෙළි කිරීමට ඇති එකම හා හොඳම වේදිකාව හිරු ප්‍රවෘත්ති බව පවසමින්.

= උපුටා ගැනීම =

“උදේ හතර (4) වෙද්දී එයාපෝර්ට් එකට ආවා. පහමාර (5½) වෙනකන් ලැගේජ් එකේ හිටියා. උදේ හයට (6) විතර අපිව බස් වලට දැම්මා. ඒ අතර අපේ ලැගේජ් වෙන ලොරියකට පැටෙව්වා. ඒ බස් පහට (5) දාලා අපිව එක්කන් ආවා බේරුවලට. උදේ අට (8) වගේ වෙද්දී එහෙට ගියාට අපිට බස් එකෙන් බහින්න වුනේ උදේ නමය හමාරට (9½) විතර. හොටෙල් එකේ සින්ගල් රූම් එකක් ඒගොල්ලෝ විකුණන්නේ 12,500 කට. ඩබල් එකක් 14,000 ක් හරි 15,000 ක් හරි කියලා කිව්වා.

ඒ හොටෙල් එකේ රූම් එක ඇතුලට ගියාම රූම් එක 3000 ක් 4000 ක් වටිනවා කියලා වත් කියන්න බෑ. කිසිම ‘ෆැසිලිටි’ එකක් නෑ ඒ ‘රූම්’ එකේ. අපිට ‘බ්‍රෙක්ෆස්ට්’ එකක් ගන්න ලැබුනේ නැති නිසා 10 ට වගේ මම කතා කරලා කිව්වහම කිව්වා අපිට ‘ඉන්ෆෝම්’ කරලා නෑ කියලා ‘බ්‍රෙක්ෆස්ට්’ එක ගැන. මම කිව්වා 12:30 වෙද්දී දවල් කෑම එක එවන්න කියලා.

දවල් කෑම එක ලැබුනෙත් දෙක (2) විතර වෙලා. හවස 3 ට තමයි PCR සාම්පල් ගන්න ආවේ. ඊට පස්සේ PCR එක කරන්න තවත් 7500 ක් අපිට දෙන්න වෙනවා. පහුවෙනිදා උදේ 10 ට විතර තමයි ‘රිසල්ට්’ එක ආවේ. මම හිතන්නේ නෑ සාධාරණයක් වෙනවා කියලා පිට රට ඉඳලා එන මිනිස්සුන්ට.”

මෙලෙස කොවිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් නිරෝධායනයේ රැඳී සිටීමෙන් මෙලෙස අධික මුදල් ගසා කෑමකට ලක්වීමට සංචාරකයින්ට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ‘රැපිඩ් – පී.සී.ආර්.’ පරීක්ෂණ පහසුකම්ද සම්පාදනය කර ඇති පසුබිමකයි.

කටුනායක ගුවන් තොටුපොළෙන් කළ විමසීමකදී සඳහන් කළේ සෞඛ්‍ය අංශ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නම් විදෙස්ගතව සිට පැමිණෙන අය සඳහාද ගුවන් තොටුපොළ තුළදී ‘රැපිඩ් – PCR’ පරීක්ෂණ සිදුකිරීමට හැකියාවක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පලකළ අදහස් පහතින් :

= උපුටා ගැනීම =

“ගුවන් තොටුපොළ ඇතුලේ තියෙනවා රසායනාගාර දෙකක් (2). මේ රසායනාගාර දෙකම (2) ලංකාවේ තියෙන විශාලතම රසායනාගාර. ඒ වගේම ඒ හැම රසායනාගාරයකින් ම අපිට පැය තුනකින් (3) PCR වාර්තා ලබාදීමේ හැකියාව තිබෙනවා. එතකොට මේ PCR පරීක්ෂණ හැකියාව ලංකාවේ ඉතාම හොඳින් තිබියදී ලංකාවට එන ගුවන් මගීන් ගසාකන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ.

ඔවුන්ව හෝටල් වල නවත්වලා. එක එක හෝටල් වල එක එක ගණන් අයකරමින් මේ අයව ගසා කෑමකට ලක්වනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මේ ‘ගයිඩ් ලයින්’ හදන්න වෘත්තියේ අදාළ සියලු පාර්ශවයන් කැඳවීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවන්නේ නෑ. හැම ‘ගයිඩ් ලයින්’ එකකම පරීක්ෂණ කරන ක්‍රියාවලිය නතර කරලා තියෙනවා.

ගුවන් තොටුපොල පරීක්ෂණයේ තියෙන්නේ වෙනම කාක්කෝ රංචුවක තැරව්කරණයක්. ඔවුන් මේ හැම එක්කෙනාම එක්කගෙන යනවා හෝටල් වලට. දින දෙක තුන (2-3) තියනවා. පරීක්ෂණය එන්න පරක්කු වෙන්න – පරක්කු වෙන්න ඔවුන් ගෙවන්න ඕන. ඔවුන් නිරෝධායනයේ දින දෙක තුන (2-3) රඳවා ගන්න PCR පරීක්ෂණයේ නාමයෙන් කාටවත් අයිතියක් නෑ.”

++++++++++++++++

(13.09.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පවතින ඉදිරි සතිය තුළ දිවයිනේ සියලු තැපැල් කාර්යාල සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා විවෘතව තැබෙන බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(13.09.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ මහතා නම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (13) මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා.

ඒ අනුව කොමිසම් සභාව රැස්වී ලබන සිකුරාදා (17) එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ෴

******************************************

(13.09.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට මුහුණලා ඇති බේස්ලයින් මාවතේ පදික වේදිකාවෙහි සැක කටයුතු අන්දමින් රැදී සිටි පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ සිරකරුවෙකු හට මත්ද්‍රව්‍ය ලබාදීමේ අරමුණෙන් මොහු එහි රැදී සිට ඇති බවයි.

එහෙත් ඔහු සතුව මත්ද්‍රව්‍ය නොතිබී ඇති අතර ජංගම දුරකථනයක් පමණක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලීසිය වෙත භාර දෙනු ලැබුවා ෴

******************************************

ලෙඩ රෝග වලින් තොරව බෝහෝ කල් ජීවත්වීම සඳහා මස් – මාලු – බිත්තර කෑමෙන් වැළකෙමු !

නිහාල් නෙල්සන්
සුනිල් එදිරිසිංහ
මිල්ටන් පෙරේරා

******************************************

(13.09.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ශාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් එම ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ඔහුට විරුද්ධව එල්ලවී තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ෴

******************************************

(13.09.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත් හෝටලයක් වැටලීමට තලංගම පොලීසිය දුෂණ මර්දන ඒකකය අද (13) පස්වරුවේ සමත් වුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම හෝටලයේ සිටි කාන්තාවන් හයක් (6) සහ පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් ‘අයිස්’ නැමති මත්ද්‍රව්‍ය පානය කර සිටි බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවන් අතරින් දෙදෙනෙකු (2) ගර්භණී කාන්තාවන් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර එම කාන්තාවන්ගෙන් දෙදෙනෙකු (2) ‘අක්කා සහ නංගී’ වන අතර ඔවුන් ද මෙම ගණිකා වෘත්තියේ යෙදී තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.

එසේම අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් හත් (7) දෙනාගෙන් දෙදෙනෙකු (2) ‘අයියා මල්ලි’ බවද විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් දහතුන් දෙනා (13) හෙට (14) කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තලංගම පොලිසිය පැවසුවේ ෴

******************************************

(13.09.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

හෙට (14) සිට නාඩු වී කිලෝ එකක් (1) රුපියල් 55 කට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

******************************************

(13.09.2021 – 20:21 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභි පුහුණුවට අනුයුක්ත කර ඇති උපාධිධාරීන්ගේ සහ ඩිප්ලෝමාධාරීන්ගේ පුහුණුව තවත් මාස හයකින් (6) දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට සංවර්ධන නිලධාරී සේවා සංගමය විරෝධය පළ කරනවා.

පසුගිය වසරේ මාර්තු මස දෙවනදා (02) ඔවුන්ව මෙලෙස පුහුණුවට අනුයුක්ත කෙරුණු අතර, ඒ අනුව අභ්‍යාසලාභීන් පනස් හතරදහස් පන්සීයයක් (54,500) පුහුණුවීමේ යෙදී සිටිනවා.

ඔවුන්ට මාසිකව රුපියල් විසි දහසක් (20,000) ලබාදීමටයි රජය කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, රට තුළ පවතින ආර්ථික පසුබෑමත් සමඟ තවදුරටත් මොවුන්ගේ පුහුණුව දීර්ඝ කිරීම සුදුසු නොවන බව සංවර්ධන සේවා නිලධාරී සංගමය, විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබෙනවා.

******************************************

(13.09.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 15 වනදා වැඩ භාර ගැනීමට නියමිතයි.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරය හොබවා තිබෙනවා ෴

******************************************

(13.09.2021 – 20:39 +0530 – hirunews.lk/sinhala)

පරිප්පු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා.

මේ වන විට වෙළදපළේ පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

දැනට මෙරටට පරිප්පු ආනයනය කෙරෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් වන අතර කැනඩාව තුළ පරිප්පු අස්වනු අඩුවීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

මේ අතර, අද (13) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අනාවරණ කළේ කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් පහක් මිලදී ගැනීම ඇතැම් වෙළදුන් විසින් අනිවාර්ය කර ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *