තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්

තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්

*********************************************

තරුණයින් කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක්

(13.09.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

තරුණයින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඔහු කියා සිටියේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා (ප්‍රජනන හැකියාව) ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව ඇති සැකයක් ඊට හේතු වී ඇති බවයි.

තඹුත්තේගම ඊයේ (12) පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, ලොව කිසිදු පර්යේෂණයකින් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නොමැති බවයි.

(13.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

(13.09.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම නිසා ගත වූ පැය විසි හතරක (24) කාලය තුළ පුද්ගලයින් 737 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ දක්වා අත් අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 70,694 ක්.

බස්නාහිර පළාත තුල ස්ථාපිත කොට ඇති මුළු මාර්ග බධක සංඛ්‍යාව 13 ක් වෙන අතර, ඊයේ (12) දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 1705 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව 1057 ක් ලෙසට යි වාර්තා වෙන්නේ.

වලංගු අවසර පත්‍රයක් නොමැති ව මාර්ග බාධක හරහා පිටවීට උත්සාහ කළ වාහන 193 ක් ද නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇතුළත්.

+++++++++++++++++

(13.09.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරක ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා පස් අවුරුදු (5) සැලැස්මක් සකස් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

යුක්රේනයේ සංචාරක කර්මාන්තයේ නිරත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමිනු යි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රුසියාව, යුක්රේනය සහ කසකස්ථානය යන රටවලින් සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, පළමු කණ්ඩායම ලෙස පැමිණි සංචාරකයන් 2,258 දෙනාගෙන් ආසාදිතයින් බවට හඳුනා ගැනුණේ නවදෙනෙකු (9) පමණක් බව ද අමාත්‍යවරයා කියා සිටියා ෴

++++++++++++++++

(13.09.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (12) පුද්ගලයින් 72,177 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 32,866 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 24,324 ක්.

එමෙන්ම ඊයේ (12) ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 12,341 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව 104 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ද 1,301 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව 790 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 451 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා දෙවන (2) මාත්‍රාව ද ලබා දී එන්නත්කරණය සම්පූර්ණ කළ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 15,79,220 ක්.

2021-09-12 – Progress Report of COVID-19 Immunization (pdf)

++++++++++++++++

(13.09.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණය සිදුකිරීමේ දී බලපෑමක් සිදු නො කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, වයස අවුරුදු 15 ට වැඩි මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට ලබන මස මුල සිට එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ, පාසල් නැවත ආරම්භ කිරීම සඳහා ද අවශ්‍ය මාර්ගෝපදේශ ලබන 17 වැනි දා වෙනවිට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායට ලබාදීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ, විදෙස්ගත වීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පුද්ගලයින්ට අවශ්‍ය කරන එන්නත් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

කිසිදු තෝරා ගත් එන්නතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඒ සදහා බලපෑමක් නො කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා ෴

+++++++++++++++++++

(13.09.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

යාපනය ශික්ෂණ රෝහලේ දී නිවුන් දරුවන් ප්‍රසූත කොට මිය ගිය මවට ද කොරෝනා ආසාදනය වී ඇති බවට පසු ව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

යාපනයේ – ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම කාන්තාව දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු ව ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඇයට වෛද්‍යවරුන් ප්‍රතිකාර කර ඇති අතර, ඉන් අනතුරුව යි දින දෙකකට (2) පසු ව ඇය ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ෴

++++++++++++++

(13.09.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 1,483 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 4,14,295 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තවදුරටත් පුද්ගලයින් 60,331 රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(13.09.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාතට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය මේ වෙනවිටත් පිටිපන – ජලජ ජීව වගා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදුකරන අතර, මෙම කාබනික දියර පොහොර එළවළු, පලතුරු, වී සහ තේ වගාවන්වලට යොදා ගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නිල්වල මහතා සඳහන් කළේ ෴

******************************************

(13.09.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික සේවා අධිකාරිය විසින් මුද්‍රා තබන ලද වත්තල – එඬේරමුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් සීනි තොග ඉවත් කිරීම සම්බන්ධයෙන් කඩවත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික සමාගමකට අයත් මෙම ගබඩාව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වටලා තිබුණේ, පසුගිය 26 සහ 27 අතර කාලයේදි යි.

එම අවස්ථාවේ අදාළ ගබඩාවේ සීනි මෙට්‍රික් ටොන් 1670 කට අධික ප්‍රමාණයක් තිබුණා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ව මෙම ගබඩාව ඔහු යටතට ගැණුනා.

එසේ තිබිය දී මෙම ගබඩාවෙන් සීනි තොග ඉවත් කරන බවට ලද තොරතුරකට අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ නිළධාරීන් සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ස්ථානයට යන විට ගබඩාවේ තිබූ සීනි තොග විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කඩවත පොලිසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුවයි මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ.

මුද්‍රා තැබූ ගබඩාවේ යතුර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයේ තිබිය දී මෙලෙස සීනි තොග ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදාළ පරීක්ෂණයේ දී අවධානය යොමුවෙනු ඇති ෴

******************************************

(13.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වාලමින් පැනවූ නියෝගය ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදියි. පසුගිය 09 වනදා මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ නඩුව අද (13) දිනය තෙක් කල් තැබුණු අතර, එතෙක් විනාශයට ලක් වූ බව කියන දත්ත අඩංගු පරිගණක ගබඩාව යාවත්කාලීන කිරිමෙන් වළකින ලෙසයි අධිකරණය දැනුම් දුන්නේ.

කෙසේ වෙතත් අදාළ දත්ත පද්ධතිය පවත්වාගෙන යන පෞද්ගලික ආයතනය සහ ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ ගැටළුව විසඳා ගත යුතු බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල සඳහන් කළේ.

ඒ සඳහා අධිකරණය මැදිහත් වීමට අවශ්‍යතාවක් නොමැති බවද ඔහු කියා සිටියා ෴

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධිකාරියේ දත්ත පද්ධතිය මකා දැමීම ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක කොටසක් විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා ෴

******************************************

(13.09.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සහ පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානි රාවුල් ඉම්බැච් අතරයි මෙම ගිවිසුමට එළඹ ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ස්විස් ෆෑන්ක් 46,50,000 ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත යි.

මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යාපෘතිය 2024 වසරේ අගෝස්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති ෴

******************************************

(13.09.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

සුරකිමු ගංඟා වැඩසටහන යටතේ පළාත් කිහිපයක ගංඟා සංරක්ෂණ ව්‍යාපෘති රැසකට මුදල් වෙන් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 200 ක මුදලක් අදාළ වැඩසටහන සඳහා ලබාදීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මැණික් ගඟ ආශ්‍රිත ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 128 ක් වෙන් කර ඇති අතර, ඒ මොණරාගල ප්‍රදේශය ආශ්‍රිත ව අදාළ ව්‍යාපෘති දියත් කිරීම සඳහායි.

දකුණු පළාතේ ගංඟා කිහිපයක ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි අටකට (8) අධික මුදලක් වැය කර තිබෙනවා.

එමෙන්ම වැඩි ම පිරිසක් ජලය පාරිභෝජනය සිදුකරන සහ මෙරට දූෂිත ම ගංඟාව ලෙස සැළකෙන කැළණි ගඟේ සංරක්ෂණ කටයුතු සඳහා ද මුදල් වෙන් කිරීමට යි පියවර ගෙන ඇත්තේ ෴

******************************************

(13.09.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම කවුන්සිල මූලස්ථානයේ දී අද (13) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට වැඩි අවධානයක් යොමු කරමින්.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට පමණ සැසිය ආරම්භ වෙන අතර, එහි දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය මාර්තු මාසයේ පැවති 46වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සංහිඳියාවල වගකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණු අතර, එහි නිර්දේශ කර ඇති පරිදි මානව හිමිකම් කොමාසරිස්වරියගේ වාචික වාර්තාවෙන් එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කෙරෙනවා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ වාචික වාර්තාව සම්බන්ධවන විවාදය ඉන් අනතුරු ව හෙට (14) පැවැත්වෙනු ඇති.

මේ අතර අද (13) ආරම්භ වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වීමට නියමිතයි.

******************************************

(13.09.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පසු එම කන්ටේනර් රථය අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරලී රත්නපුර – කැටන්දොළ ප්‍රදේශයේ දී අද (13) පෙරවරුවේ සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

++++++++

******************************************

(13.09.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – දහයියාගම මන්සන්ධිය අසල කාර්මික පෙදෙස දක්වා ඇති අඩි 30 ක පමණ පළලින් යුතු මෙම මාර්ගය අනුරාධපුර නගර සැළසුම්කරණයේ දී ඉදිකොට ඇත්තේ කාර්මික පෙදෙසේ සේවා අවශ්‍යතා සපුරාලීම සඳහායි.

නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහාත් මෙම මාර්ගය භාවිත කරන බවයි ජනතාව පවසන්නේ.

කෙසේ වෙතත් අනුරාධපුර මහනගර සභාව සැලසුම් කර ඇත්තේ, කාබනික පොහොර භාවිතයෙන් නිපදවන ආහාර සහ නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළෙඳ සංකීර්ණයක් මෙම මාර්ගයේ එක් පැත්තක ඉදිකිරීමටයි.

නමුත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු සිවිල් සංවිධාන රැසක් චෝදනා කරන්නේ, මෙය නගර සැළසුම්කරණයට පරිභාහිර ව සිදුවෙන අවිධිමත් ව්‍යාපෘතියක් බවයි.

******************************************

(13.09.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මවුලවිවරුන් ඇතුලු 25 දෙනාට ලබන මස (ඔක්තෝබර්) 04 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (13) නොතීසි නිකුත් කළා.

ඒ, ඊට අදාළ නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ හමුවේ කැදවූ අවස්ථාවේදියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *