නිරෝධායනයෙන් ගසාකන හෝටල්

නිරෝධායනයෙන් ගසාකන හෝටල්

*********************************************

නිරෝධායනයෙන් ගසාකන හෝටල්

(12.09.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට පැමිණීමේදී සිදුකරන කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායනය සඳහා රඳවා තැබෙන හෝටල් විසින් එම කාලසීමාව සඳහා සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් ගසාකෑමේ ක්‍රියාදාමය නිරතවන බවට සංචාරකයින් නිරන්තරයෙන් චෝදනා කරනවා.

සංචාරකයින්ට මෙලෙස හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැපිඩ් – පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම්ද සම්පාදනය කර ඇති පසුබිමකයි.

නිරෝධායනයට යොමු කෙරෙන පිරිස් චෝදනා කරන්නේ කොවිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටින පැය 12 කටත් නොවැඩු කාල සීමාව සඳහා අදාළ හෝටල් තමන්ගෙන් අධික මුදලක් ගසා කන බවයි.

මෙලෙස හෝටල් නිරෝධායනයේදී ගසා කෑමට ලක්වූ පිරිස්, ඒ පිළිබඳව තොරතුරු ‘හිරු සී.අයි.ඒ.’ වෙත ලබා දෙන ලෙස අප කළ දැනුම්දීමට අනුව ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට ඇමතුම් ගලා ආවේ සිදුවූ අසාධාරණය හෙළි කිරීමට ඇති එකම හා හොඳම වේදිකාව හිරු ප්‍රවෘත්ති බව පවසමින්.

අප කළ සොයා බැලීමකදී හෙළිවුණේ එක් තරු පන්තියේ හෝටලයක් දිනක් සඳහා තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයකට ඩොලර් 170 ක මුදලක්ද, දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 210 ක මුදලක් අය කරන බවයි.

ඊට අමතරව කොවිඩ් පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55 ක්ද එම හෝටලය මඟින් අයකර ගැණෙනවා.

තවත් හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 231 ක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 265 ක්ද අයකර ගන්නා බවට තොරතුරු හෙළිවුණා.

ඊට අමතරව එම හෝටලයද කොවිඩ් පරීක්ෂණයකට ඩොලර් 40 ක්, රක්ෂණ ගාස්තු වශයෙන් ඩොලර් 12 ක්, ගුවන් තොටුපොළ ප්‍රවාහන ගාස්තු වශයෙන් ඩොලර් 55 ක මුදලක් අයකර ගැණෙනවා.

තවත් තරු පන්තියේ හෝටලයක් තනි පුද්ගලයෙකු රැඳී සිටින කාමරයක් සඳහා ඩොලර් 235 ක් ද දෙදෙනෙකුට රැඳී සිටිය හැකි කාමරයක් සඳහා ඩොලර් 297 ක්ද ඇතුළුව තවත් පහසුකම් සඳහා මෙලෙස අධික මුදලක් අයකර ගන්නා බවයි අප කළ සොයාබැලීමේදී පෙනී ගියේ.

ඒ අනුව ඇතැම් හෝටල් සාමාන්‍ය තත්ත්වයකදී අය කරන මුදල මෙන් දෙතුන් ගුණයක් වැඩියෙන් නිරෝධායනයේදී ගසා කන බවටද තොරතුරු වාර්තා වුණා.

ඔබත් විදෙස් ගතව සිට යළි මෙරටට පැමිණීමේදී හෝටල් නිරෝධායනයෙන් ගසා කෑමට ලක්වූ අයෙක් නම් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම සඳහා 077 032 2821 ‘හිරු සී.අයි.ඒ.’ දුරකථන අංකය අමතා තොරතුරු ලබා සිය හැකියි.

මෙරටට පැමිණීමේදී දෙස් විදෙස් සංචාරකයින්ට සිදුවන මෙම අසාධාරණයට විසඳුම් ලැබෙන තෙක් හිරු ප්‍රවෘත්ති තවදුරටත් අවධානයෙන්.

+++++++++++++++++

(12.09.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 144 ක් අද (12) දිනයේ වාර්තා වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,296 ක් දක්වා ඉහළ ගියා.

++++++++++++++++

(12.09.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ශ්‍රී ලංකාව යහපත් තැනකට ගෙන ඒමට නම් දෛනික ආසාදිතයින් 950 ක් දක්වා වත් අඩුවිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ජනතාව සංචරණ සීමාවලට අවනත නොවන්නේ නම් පහල යමින් පවතින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී යළිත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා ප්‍රකාශ කළා. ඒ අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර වයෝවෘද්ධ සහ අබාධිත කොරෝනා ආසාදිතයින් රැක බලා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර නිදන්ගත රෝග සහිත අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

ඒ යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතයි.

අද (12) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,022 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,85,302 ක් දක්වා ඉහළ ගියා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 619 ක් වාර්තා වුණා. එම ආසාදිතයින් 619 ත් සමඟ අද (12) දිනයේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 2641 ක් වනවා. ඒ අනුව මෙතෙක් මෙරටින් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,85,921 ක් ෴

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගන්නා ලද තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 ක තොගයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා ෴

+++++++++++++++

(12.09.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala)

මහාචාර්ය මලික් පීරිස් මහතාට චීනය විසින් 2021 වර්ෂයේ ‘අනාගත විද්‍යා ත්‍යාගය’ පිරිනමා තිබෙනවා.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වයිරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැළකෙයි.

මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුතා අල්ලයි

(12.09.2021 – 18:29 +0530 – lankadeepa.lk)

තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ‘ගුලාන් හුසේන්’ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

2017 මැයි මස 09 වැනි දා මෙම ව්‍යාපාරිකයා මරණයට පත්වූ අතර ඔහුගේ මරණය ස්වභාවික මරණයක් ලෙස තීන්දු කර කෝට්ටේ ප්‍රදේශයේ සුසාන භූමියක කර මිහිදන් කෙරිණි.

මෙම මරණය සම්බන්ධයෙන් මරණය සිදුව වසර 2 කට පමණ පසු ඇති වූ ඇති වූ සැකය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව 2019 වර්ෂයේදී ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විණි.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ ව්‍යාපාරිකයාගේ හකු ඇටයක පිපිරීමක් හා වම්පස ඉල් ඇටයක පිපිරීමක් සිදුවී ඇති බවත් එය මොට බලයකින් සිදු වූ බාහිර තෙරපුමකින් සිදුවූවක් බවට දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත.

මෙලෙස මොට ආයුධයකින් පහර දී ඇත්තේ ගෙල ටයි පටියකින් සිර කිරීමෙන් බව වැඩිදුරටත් අනාවරණය වී ඇත .

අත්අඩංගුවට ගත් තිස්හත් හැවිරිදි සැකකාර බාල පුතු ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නෙකි.

දේපල ලබා ගැනීමේ අරමුණින් මෙම ඝාතනය කර ඇත්දැයි පරීක්ෂණ මෙහෙයවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ ෴

******************************************

(12.09.2021 – 21:55 +0530 – hirunews.lk/sinhala)

දරුවන් රජුන් කරන්නට පාරමිතා පුරන අසීමිත සෙනෙහසින් යුත් දයාබර පියවරුන් ලොව කෙතරම් ඇත්ද ?

මව්පිය සෙනෙහස, මහමග දමා යන ඇතැම් දරුවන් සිටින රටක තම පියාණන්ට උවටැන් කරන මේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පිළිබඳ අපට වාර්තා වන්නේ ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන්.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වනවාසීව පසුවන පූජ්‍ය ධම්ම කුසල හිමියන් ගලේවෙලට වැඩම කරන්නේ 84 හැවිරිදි තම පියා බරපතල ලෙස ගිලන්ව රෝද පුටුවකට වී කල් ගෙවිම දරා ගත නොහැකිවයි.

සොහොයුරා හදිසියේ මිය යාම නිසා පියා මෙලෙස අසරණ වි ඇති අතර දෙහිඅත්තකණ්ඩියේ සිට නිවසට වැඩම කර පියා නහවා පිරිසිදු කර අහාර සපයා දි යළි ආරාමයට වැඩම කරන බව උන්වහසේ අපට පැවසුවා.

ඇතැමි දිනවල උන්වහන්සේට නිවසේ නතර විමටත් සිදු වනවා.

දැන් මේ පියාට ඇති එකම සරණ සසුනට පුජා කළ තම පුතු පමණයි.

ඇතැම් දරුවන් මවිපියන් බරක් කොට ගත් සමාජයක පූජ්‍ය ගලේවෙල ධම්ම කුසල හිමියන් ලබා දෙන ආදර්ශය මිනිස් සමාජයට අතිශය වැදගත් වන්නේ එය සැබැ බුදු මඟ ද ගිහි පැවිදි සැමට කියා දිම හේතුවෙන් ෴

******************************************

(12.09.2021 – 23:02 +0530 – hirunews.lk/sinhala)

ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් බලපෑමට ලක්වූ මුහුදු කලාපය ධීවර කටයුතු සඳහා තහනම් කර තිබුණද පිරිසක් එම කලාපයේ මසුන් ඇල්ලීමේ නිරතවන බවට මීගමුවේ ධීවරයින් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය සඳහන් කළේ එම මුහුදු කලාපයේ ධීවර කටයුතු තවදුරටත් තහනම් බවයි.

ගිනි ගැනීමෙන් විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන යාමට කටයුතු කිරීමේදී එය උස්වැටකෙයියාව ප්‍රදේශයට නුදුරින් මුහුදුබත් වුණා.

නෞකාවේ ගින්න හේතුවෙන් එහි තිබූ රසායන ද්‍රව්‍ය සහ සුන්බුන් මෙන්ම බහලුම්ද මුහුදට එක්වීම හේතුවෙන් එම මුහුදු කලාපය ධීවර කටයුතුවලට තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගත්තා.

ඒ, රසායනද්‍රව්‍යවලින් සහ නෞකාවේ සුන්බුන්වලින් ධීවරයින්ට එල්ලවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින්.

******************************************

සන්ෂයින් සුද්දාගේ ඝාතනයට අනියම් බිරියගේ සැමියා අත් අඩංගුවට

(13.09.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙන මිරිස්සේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඝාතනයට ලක් වූ ‘සන්ෂයින් සුද්දාගේ’ අනියම් බිරිඳගේ සැමියා බවයි වාර්තා වෙන්නේ.

34 හැවිරිදි හෝටල් හිමියෙක් වෙන මොහු මාතර දිස්ත්‍රික් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (12) දිනයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඝාතනයට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.

‘සන්ෂයින් සුද්දා’ හේන්වල ප්‍රදේශයේ සිය අනියම් බිරිඳගේ නිවසට පැමිණ ආපසු යමින් සිටිය දී ඉකුත් 03 වැනි දින කොටවිල පොලිස් වසමේ වරකාපිටිය ප්‍රදේශයේ දී වාහනය තුළදී ම වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙම සිද්ධිය අදාළ ව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙක් පසුගිය 10 වැනි දා අත් අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

(12.09.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

නීතිය විෂය, පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා වෙන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 2 ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිත යි.

මේ බව පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී අනාවරණ වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

නීතිය, වෙන ම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයේ කොටසක් ලෙස ඇතුලත් කළ යුතු බවට ද එහි දී යෝජනා වී තිබෙනවා.

මෙම උපදේශක කාරක සභාව අධ්‍යාපන අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව ද මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා ෴

******************************************

(12.09.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් ඉටුවනතුරු විභාග කටයුතුවලට සම්බන්ධ නොවන බව ගුරු වෘත්තිය සමිති කියයි.

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා වන අරගලය අවසන් වන තෙක් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම් පත්‍රවලට අදාළ කටයුතු සිදු නොකිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ගුරු – විදුහල්පති වැටුප් ගැටළුව මුල් කර ගනිමින් ක්‍රියාත්මක ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අද (13) ට දින 64 ක්. සියළුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු විදුහල්පතිවරුන්ට පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය ලිපියක් යොමු කරමින් සදහන් කළේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර අනිද්දාට පෙර යොමු කිරීමේ වගකීම විදුහල්පතිවරුන්ට පැවරෙන බවයි. එලෙස විභාග අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදී ප්‍රමාදයක් හෝ අතපසුවීමක් සිදුවුවහොත් ඒ පිළිබඳ වගකීම විදුහල්පතිවරුන් භාරගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය එමඟින් දැනුම් දුන්නා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *