අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

*********************************************

අගමැති අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

(12.09.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.

අද (12) ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි විම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස පෙරේදා දිවයිනෙන් පිටත්ව ගියා.

මෙවර එම සමුළුවේ තේමාව ‘සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය’ යන්නයි.

දින තුනක් (3) පුරා පැවැත්වෙන ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට සමගාමිව අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික හමුවිම් කිහිපයකට ද එක් විමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියේ ඩ්‍රැගී, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් , අග්‍රාමාත්‍යවරයා එසේ හමුවිමට නියමිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් කිහිපදෙනෙකු වනවා.

******************************************

(12.09.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

තේ ප්‍රති අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය කරුණු පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමඟින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 90% ක්ම සාම්ප්‍රදායික තේ නිෂ්පාදන බවයි.

එම තේ වර්ග ආනයනයට කිසිසේත් අවසර ලබාදී නොමැති අතර, විශේෂිත තේ වර්ග පමණක් ප්‍රති අපනයනයට රෙගුලාසි පනවා ඇති බව තේ මණ්ඩලය සඳහන් කළා.

එහිදී ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීමේ අවසර ලැබෙන්නේ විශේෂිත තේ වර්ග වන ඩාජීලිං, ඇසෑම්, සී.ටී.සී. සහ හරිත තේ ප්‍රධාන ශ්‍රේණි සඳහා පමණක් වන අතර, ඒ සඳහා බැංකු ඇපකර ලබාගත යුතු වනවා.

නව චක්‍රලේඛය මගින් දක්වා ඇත්තේ මෙම තේ වර්ග සඳහා අවම වශයෙන් දේශීය තේ 30% ක් වත් එකතු කළ යුතු බව පමණක් බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය අවධාරණය කළේ ෴

******************************************

(12.09.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ වියළි කහ සහ විදුලි උපකරණ තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය තුඩාව සහ මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශවල පසුගිය 10 වනදා රාත්‍රී සහ ඊයේ (11)අලුයම කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගිනුයි සැකකරුවන් සහ මෙම භාණ්ඩ සොයාගෙන ඇත්තේ.

මෙහිදී වියළි කහ කිලෝ 1628 පමණ ප්‍රමාණයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (2) ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයට අයත් නෞකාවක නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 10 වනදා රාත්‍රී තුඩාව වෙරළට පැමිණෙමින් තිබූ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අදාළ යාත්‍රාවේ තිබී මෙරටට රැගෙන ඒමට සූදානම් කර උර 31 ක අසුරා තිබූ වියළි කහ කිලෝ 1134 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැණුනා.

එමෙන්ම එම යාත්‍රාවේ තිබී ගෘහ විදුලි පරිපථ සඳහා යොදාගන්නා විදුලි උපාංග සහිත තවත් උර දෙකක් (2) ද සොයාගත් බවයි නාවික හමුදාව කියාසිටියේ.

මේ අතර උතුරු මැද නාවික විධානයට අයත් මැරීන් භට කණ්ඩායමක් මගින් ඊයේ (11) අලුයම අරිප්පු මෝය ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කර නීති විරෝධීව රැගෙන එමින් තිබී තවත් වියළි කහ කිලෝ 494 යි ග්‍රෑම් 100 ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 26 ත් 45 ත් අතර වයස්වල පසුවනවා.

ඔවුන් කල්පිටිය සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට භාරදී තිබෙනවා.

වියළි කහ සහ විදුලි උපකරණ රේගු කාර්යාල වෙත භාරදෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

******************************************

(12.09.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ගතවූ අගෝස්තු මාසය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති විශේෂ ආදාන හිමිකම්වලින් ඩොලර් මිලියන 800 ක් පමණ ලැබීමත් සමඟයි.

ඊට අමතරව බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු වැඩසටහන යටතේ මහ බැංකුවට ඩොලර් මිලියන 150 ක මුදලක් අගෝස්තු මාසයේදී ලැබී තිබෙනවා.

මෙම මුල්‍ය ගලනයන් සමඟින් මෙරට නිල විදේශ සංචිතය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් පෙනී යන්නේ ෴

******************************************

(12.09.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයේ එළැඹෙන බ්‍රහස්පතින්දා (16) වැඩ භාර ගැනීමට නියමිතයි.

එමෙන්ම, මෙරට 15 වන මහ බැංකු අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අනිද්දා (14) වනවිට විශ්‍රාම ගැනීමටයි නියමිතව ඇත්තේ.

හෙට (13) දිනයේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගැනීමට පෙර මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් ඊයේ (11) පස්වරුවේ බැහැදුටුවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(12.09.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (11) දිනයේදී පුද්ගලයින් 2,25,521 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 1,19,346 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදී ඇති පිරිස 70,260 ක්.

එසේම, ඊයේ (11) ෆයිසර් එන්නත් මාත්‍රා 12,093 ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 17,340 ක් සහ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 6,482 ක්ද ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

2021-09-11 – Progress Report of COVID-19 Immunization (pdf)

+++++++++++++++++

(12.09.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අඩපණ වූ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීම සඳහා පස් (5) අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

පසුගියදා යුක්රේනයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා යුක්රේන හිල්ටන් හෝටලයේදී සංචාරක සංවිධායකයින් මුණ ගැසෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වයිරස් ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියමු ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගයද එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඇගයීමට ලක්වූ බව සඳහන් ෴

+++++++++++++++++

(12.09.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන නීති ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී මාර්ගවල ධාවනය වන වාහන යම් අනතුරකට ලක්වුවහොත් ඊට අදාළ රක්ෂණ වන්දි ලබාගත හැක්කේ නිසි අවසරය මත ධාවනය වන වාහනවලට පමණක් බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රක්ෂණ වන්දි ලබාගැනීමට සෑම වාහන හිමිකරුවෙකුටම අයිතියක් පවතින බවයි.

මීට අදාළව ශ්‍රී ලංකා රක්ෂණ සම්මේලනය එකඟතාව පළ කර ඇතැයිද රක්ෂණ නියාමන කොමිෂන් සභාව පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා රක්ෂණ සම්මේලනයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ නිරෝධායන ඇඳිරි නීති සමයේ සිදුවන රිය අනතුරුවලදී රක්ෂණ වන්දි මුදල් හිමි නොවන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා පිළිබඳව තමන් දැනුවත් බවයි.

එමෙන්ම, තම සම්මේලනය හෝ රක්ෂණ නියාමනය මගින් රක්ෂණ සමාගම්වලට එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති අතර, නිරෝධායන ඇඳිරි නීති සමයේ සිදුවන අනතුරුවලදී රක්ෂණ හානිය ඇගයීම සහ ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බවද අවධාරණය කරනවා ෴

+++++++++++++++++

(12.09.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මොඩර්නා එන්නතේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ අධ්‍යයන වාර්තාව ඉදිරි සතියේ ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා.

මොඩර්නා එන්නත ලබාදුන් ප්‍රදේශවලින් ලබාගත් ජෛව සාම්පල මේ වනවිටත් පරීක්ෂා කර අවසන් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, ස්පුට්නික් එන්නතේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ පරීක්ෂණයක්ද ලබන මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතයි.

දැනට මෙරට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය අනු ප්‍රභේදයන්ට ලක් වී ඇත්දැයි සොයා බැලෙන පරීක්ෂණයද අවසන් අදියරේ පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

මීට මාසයකට පමණ ඉහතදී සයිනොෆාම් එන්නත පිළිබඳ ප්‍රතිශක්තිකරණ පරීක්ෂණය අවසන් කර එළිදැක්වූ අතර, එය එම එන්නතේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ලොව සිදුකර ඇති පරීක්ෂණ කිහිපයෙන් ප්‍රමුඛතම පරීක්ෂණයක් බවටයි සැලකෙන්නේ ෴

+++++++++++++++++++

(12.09.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (12) තහවුරු කළා.

ඔහු සඳහන් කළේ එම එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

නිදන්ගත රෝග සහිත අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වැනිදා ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්.

ඒ යටතේ ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (12) පැවසුවේ ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන ෆයිසර් එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි.

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 2,25,521 ක්.

ඒ අනුව පළමු (1) මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 87,341 ක් ලබා දී ඇති අතර දෙවැනි (2) මාත්‍රාව වශයෙන් ලබාදුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 1,38,180 ක්.

ගෙවුණු දිනයේ (11) කොරෝනා ආසාදිතයින් 2,802 ක් මෙරටින් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,83,280 ක් දක්වා ඉහළ ගියා.

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කෝපායි ගුරු විද්‍යාලයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේයි.

මේ අතර, කොරෝනා ආසාදිතව ගම්පොල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු අතුරුදන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ 56 හැවිරිදි සුප්පයියා ඉලන්ගෝවන් නැමති තිදරු පියෙක්. අතුරුදන් වූ පොලිස් සැරයන්වරයා සොයා ගම්පොල සහ කොත්මලේ පොලිස් ස්ථාන එක්ව විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

පසුගිය 10 වනදා සිදුවූ කොරෝනා මරණ 157 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (11) තහවුරු කළා. වාර්තා වූ මරණ අතරින් 130 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්.

ඊට අමතර අවුරුදු 30 ත් – 59 ත් අතර පුද්ගලයින් 23 දෙනෙකු හා අවුරුදු 30 ට අඩු 04 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නව කොරෝනා මරණ 157 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,152 ක් ලෙසයි.

මේ අතර නිරෝධායන ඇදිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු දිනයේදී පුද්ගලයින් 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 38 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අඛණ්ඩව විවෘතව තැබීම සඳහා හිමි වූ අවසරය අනුව අද (12) දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර ඇති අකාරය දක්නට ලැබුණා.

කෙසේ නමුත්, මැනිං වෙළෙඳපොළ පොදු වෙළඳ සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ පහතරට එළවළු වර්ග ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

+++++++++++++++++

(12.09.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1579 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,12,812 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 4,83,280 ක් වාර්තාවී ඇති අතර ඉන් 59,316 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 11,152 ක් ෴

++++++++++++++++

(12.09.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

රැකියා වල නියුක්ත වීම සඳහා විදෙස් ගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අරලිය ගහ මන්දිරයේදී එක්වෙමින්.

විදේශ රැකියා වෙළඳපොල තුල ශ්‍රී ලාංකිකයන් හට මේ වන විට වැඩි ඉල්ලුමක් ලැබී ඇති බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වීම පිළිබඳව පවතින ගැටලු කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *