අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ.. – බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ.. – බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

*********************************************

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ.. – බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

(10.09.2021 – 10:00 +0530 – lankacnews.com)

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

කොරෝනා සදහා දැනට ආයුර්වේද ප‍්‍රතිකාර ලබන පුද්ගලයන් 40,000 ක් පමණ සිටින බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.

++++++++++++++

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ : සැප්තැම්බර් 21 දක්වා

(10.09.2021 – 11:19 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කර ඇති බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය වාර්ගික සහ ප්‍රාදේශීය පදනමින් ශිෂ්‍යයත්ව ලබා දීලා

(10.09.2021 – 11:59 +0530 – lankaleadnews.com)

මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා විසින් පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලය විසින් වාර්ගික සහ ප්‍රාදේශිය පදනමින් තෝරාගත් සිසුන්ට ශිෂ්‍යයත්ව ලබාදීම සම්බන්ධයෙන් ගරු ජනාධිපති තුමා දැනුවත් කරමින් යවන ලද ලිපිය :

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය විසින් වාර්ගික පදනම මත ශිෂ්‍යත්ව සඳහා සිසුන් තෝරා ගැනීම

අප සංවිධානය විසින් මීට පෙර කරුණු සොයා බැලීමකදී බංග්ලාදේශය, පකිස්ථානය වැනි රටවල විදේශ ශිෂ්‍යත්ව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විදේශ අමාත්‍යාංශය දැනුවත් නොවෙමින් සිසුන් තෝරා ගනු ලබන බව නිරීක්ෂණය වී ඇත.

එසේම, ඔබතුමා සහ ගරු අගමැති තුමා මුණගැසුනු පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් මෙරටට විදේශ ශිෂ්‍යත්ව දහසක් පමණ ලබා දෙන බව ඔබතුමන්ලා වෙත පැවසූ බව පුවත්පත් වාර්තා කර තිබුණි.

තවද මීට පෙර සිසුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවති අපහැදිලි තාවය හේතුවෙන් මේ පිළිබදව කරුණු විමසීමට අප සංවිධානයේ නියෝජිතයන් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ගිය අතර ඔවුන් එහිදී පැවසුවේ මෙරටේ සිසුන් තෝරා ගැනීම නිවැරදි ආකාරයට කටයුතු කරන බවත් අප පෙන්වා දුන් වැරදි නිවැරදි කර නැවතත් පුවත් පත් දැන්වීම් මඟින් සිසුන් තෝරා ගන්නා බව සහ මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියෝජිතයන් එම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ගනු ලබන බවත් ය.

එසේ අප සංවිධානයට පොරොන්දු ලබාදුන් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් එසේ නොකර 2021.08.17 දින එරාවූර් අලිගාර් විද්‍යාලයේ දී පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය මැදිහත්වීමෙන් ‘පාකිස්තාන අල්ලාමා ඉක්බාල් පදනම’ විසින් ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ විභාගයක් පවත්වා ඇත.

එයට නැගෙනහිර පළාතේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි මුස්ලිම් සිසුන් දෙසීයක් (200) පමණ සහභාගී වී ඇති බවද වාර්තා වේ.

එම සම්මුඛ පරීක්ෂණය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් නසීර් අහමඩ් මහතා විසින් සංවිධානය කර තිබුණු අතර මෙම තරග විභාගයට ත්‍රිකුණාමලය මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල මුස්ලිම් සිසුන් පමණක් සහභාගි වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

අප සංගමයේ නියෝජිතයන්ට වැරදි නිවැරදි කරන බවට පොරොන්දු දුන් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා මවිතය දනවන කරුණක් වන බැවින් මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කරුණු විමසීමක් කරන ලෙසද කාරුණිකව ඉල්ලමි.

මීට පෙර මෙරට පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ තානාපති තුමිය විසින් එරට Petto ත්‍රස්තවාදීන් මෙරට අධ්‍යාපනයට හා මාධ්‍යයට මුදල් වියදම් කරන බවට දුන් වාර්තා කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමු කරවන අතර,

වාර්ගික පදනමෙන් සිසුන් තෝරා ගැනීම මෙරට අනිකුත් සිසුන්ට කරන බලවත් අසාධාරණයක් සහ එය රාජ්‍ය ආරක්ෂාවට ජාතික ආරක්ෂාවට අනාගතයේදී සෘජුව බලපෑ හැකි කරුණක් වන බැවින් මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කරන ලෙස ඉල්ලා සිටින අතර,

මෙම වරද නිවැරදි කිරීම සඳහා නැවතත් ප්‍රසිද්ධ පුවත්පත් මගින් මුළු රටම දැනුවත් කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයින් ඉදිරිපිට වාර්ගික පදනමෙන් තොරව මෙරට කුමන ජාතියකට අයත් වුවත් සුදුසුකම් සහිත සිසුන් තෝරා ගැනීමට කටයුතු කරන ලෙස පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කරන ලෙස ඔබතුමාගෙන් වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි

වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
071 689 8874

පිටපත් :

උසස් අධ්‍යාපන අමාත්‍යංශය
විදේශ කටයුතු අමාත්‍යංශය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

******************************************

ඇමති බන්දුලට ‘දෙවියන්ගේ හාල් කැවිලා’; නැති නම් ඔහු ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 30 ක් නැතිකරන කුමන්ත්‍රණයක යෙදෙනවා – ජාතික සංවිධාන

(10.09.2021 – 10:25 +0530 – lankaleadnews.com)

සහල් වෙළෙඳ පොලේ ගැටළුව දීර්ඝ කාලීනව විසඳීම, එනම් රටේ ආහාර සුරක්ෂිතතාවය, වී ගොවිතැන, ගොවියාගේ ජීවන තත්වය ආරක්ෂා කිරීම ආදිය වෙනුවෙන් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය දිගටම පෙනී සිටියේය. මේ වන විට හදිසි නීතිය යටතේ සිදුවන අනර්ථයන් පිළිබඳව විවිධ පාර්ශව වලින් අප වෙත දිගින් දිගටම යෝජනා සහ චෝදනා ඉදිරිපත්වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා මුඛයෙන් අදහස් දක්වමින් :

“සහල් ලබා ගන්නේ පොළොව හාරලා නෙවෙයි. ගැසට් හෝ විශ්‍රාමික නිල ඇඳුම් පෙන්වල ගොවියාවයි වී මෝල් හිමියන්වයි බය කරල මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවා කෙටි කාලීන වැඩ. නමුත් දීර්ඝ කාලීනව රටේ ආහාර සුරක්ෂිතතාවයට පමණක් නොවෙයි ආණ්ඩුවේ පැවැත්මටත් ඒවා බලපානවා.

ඇමති බන්දුල වගේ උගත් අයෙකුට මේ නිර්දය සත්‍යය තේරෙන්නේ නැහැ කියල අපට හිතෙන්නේ නැහැ. ඔහුට ‘දෙවියන්ගේ හාල් කැවිලා’. නැති නම් ඔහු වී ගොවි පවුල් ලක්ෂ 15 ක ඡන්ද ලක්ෂ 30 ක් ආණ්ඩුවට අහිමිකරවන කුමන්ත්‍රණයක කොටස්කරුවෙක්.

සීනි ආනයනයකරුවන්ට රුපියල් මිලියන 29,000 ක බදු සහන දීල ඉන් පස්සේ රුපියල් 85 ට පැනවූ පාලන මිල නැවත රුපියල් 122 කට ඒ කියන්නේ රුපියල් 42 කින් වැඩි කරන්න නිර්ලෝභී වන ඇමතිවරුවරුන්ට ගොවියාට වී කිලෝ එකකට රුපියල් 60 ක් ගෙවල සහල් මිල රුපියල් 10 කින් වැඩි කරල ප්‍රශ්නය විසඳන්න බැරි ඇයි.ගොවියා දුකට පත් කරල බත් කන්න ඕනද ? කියල ජනමත විචාරණයක් තිබ්බොත් ඇමති බන්දුලට ඉල්ලා අස්වෙන්න සිදු වෙනව.”යනුවෙන් පවසා සිටියේය ෴

******************************************

ලිට්‍රෝ ගෑස් සමාගම වළපල්ලට යැවීමේ කූඨ මගඩිය අලුත් වටයකින්….

(10.09.2021 – 12:24 +0530 – lankaleadnews.com)

කූඨ ජාවාරම්කාරයින් කැබිනෙට්ටු තීරණයත් මායිම් නොකරමින් මහා වංචාවකට පිඹුරුපත් සියල්ල සකසා අවසන්. රටේ ජනතාව සතු මහා අනර්ඝ සම්පතක් වූද, විශාල වශයෙන් ලාභ ලබමින් තිබූ සහ 80% ක් තරම්වූ වෙළඳපොළ හිමිකාරිත්වයක් හිමි ලිට්‍රෝ ගෑස් සමාගම ගිලගැනීමට ලාෆ් ගෑස් සමාගම ගත් උත්සාහයන් සහ ඊට අනුබල දෙමින් අතිවිශාල කොමිස් කුට්ටියක් ගිලගැනීමට කැසකවන රජයට සම්බන්ධ කූඨ ජාවාරම්කාරයින් කණ්ඩායම ගත් උත්සාහය පරාජය කිරීමට දේශහිතයිෂී ජනතාවට තාවකාලිකව හැකි වුවද මේ මොහොත වනවිට නැවතත් එම කුමන්ත්‍රණ කරුවන්, ජාවරමුන් කැබිනට් මණ්ඩල තීරණයන්ටද පිටින් යමින් ක්‍රියාත්මක වෙමින් සිටින බව සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබේ.

මුදල් අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය සහිතව ‘සියොලිට්’ නමින් වූ ආයතනයක් ලියාපදිංචි කර ඒ සඳහා තමන්ට අවනත අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කරවා ගෙන එහි සභාපති සහ විධායක අධ්‍යක්ෂක වරයා ලෙස රජයේ ඉහළම නිලධාරියකුගේ ලේකම් වරයාට අයත් සමාගමක ප්‍රධාන මූල්‍ය අධ්‍යක්ෂක වරයා පත්කරගෙන තිබේ.

රුපියල් බිලියන 28 ක් තරම්වූ බැංකු ණයක් සහිත ලාෆ් ගෑස් සමාගමට සහ පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම යන දෙකටම ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් යොදවමින් ගෑස් මිලදී ගැනීම මෙම ‘සියොලිට්’ සමාගම හරහා සිදු කිරීමටත් ගෑස් ගබඩා කිරීම ලාෆ් ගෑස් හිමිකාරිත්වය දරන හම්බන්තොට ටර්මිනල් පර්‍යන්තයේ සිදුකිරීමටත් ගෑස් ප්‍රවාහනය ලාෆ් ගෑස් හිමිකාරිත්වය ඇති නෞකා හරහා සිදුකිරීමටත් ඒ සියලු සේවාවන් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ලාෆ් ගෑස් සමාගම වෙත අසාමාන්‍ය ලෙස ගෙවීම් සිදු කිරීමටත් එමගින් ලිට්‍රෝ ගෑස් සමාගම දියකර හැර ලාෆ් ගෑස් සමාගම වෙත නතුකර දීමත්, ඒ වෙනුවෙන් ලාෆ් ගෑස් සමාගමෙන් අති විශාල කොමිස් කුට්ටියක් ගිලගැනීමත් මෙම කූඨ ජාවාරම්කාරයින්ගේ යටි අරමුණයි.

පහත ඇමුණුම් මීට සාක්ෂි දරයි :

  1. ලිට්‍රෝ ගෑස් සමාගමේ සේවක මණ්ඩලය විසින් ඉදිරිපත් කරනලද මෙම ව්‍යාපෘතිය සිදුකලහොත් ආයතනයට සිවුවන අගතිය පිළිබඳව වූ සවිස්තරාත්මක ලියවිල්ල.
  2. ලිට්‍රෝ ගෑස් සමාගමේ බෙදාහැරීමේ ජාල නියෝජිත වරුන් විසින් මෙම ව්‍යාපෘතියට සහ එමගින් ලිට්‍රෝ ගෑස් සමාගමට සිදුවන අගතිය දක්වමින් ඊට අප්‍රසාදය පලකරමින් බලධාරීන් දැනුවත් කල සවිස්තරාත්මක ලිපිය.
  3. ‘සියොලිට්’ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වාර්තාව.
  4. ‘සියොලිට්’ සමාගමේ Memorandum of Articles

Litro Siyolit (Sinhala)
.
SIYOLIT_BM No.01_18.08.2021
.
Letter to Litro Chairman – LP GAS INDUSTRY 2021 (3)
.
SIYOLIT_PRA Revised

******************************************

නැගෙනහිර අනවසර වැලි කැණිමට ආණ්ඩුකාරවරිය සම්බන්ධද?

(09.09.2021 – 16:08 +0530 – ada.lk)

නැගෙනහිර පළාතේ අනවසර වැලි කැණිම් සිදු වන බවට දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යක්යන් රාසමානික්කම් මහතා පසුගිය අඟහරුවාදා (07) පාර්ලිමේන්තුවේ සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ස්වාධින පරීක්ෂණයක් සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (09) නියෝග කළාය.

එම පරීක්ෂණය ඉතා කඩිනමින් සිදු කර ඊට අදාළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදෙන ලෙස ද ඇය නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිවාය. නැගෙනහිර පළාතේ වැලි කැණිම් සම්බන්ධව රජයටත්, රජයේ මැති ඇමතිවරුන්ටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින්ටත් පුද්ගලිකව තමන්ටත් පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙම චෝදනාව සිදු කළ බවද ඇය කීවාය.

මහවැලි ගග ආශ්‍රිතව සිදුවන වැලි කැණිම් කාලයක් පුරා සිදුවන අතර මේ සදහා පූර්ණ අවසරය ලබාදෙන්නේ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශය මගිනි. අවස්ථා ගණනාවකදිම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම් වල දී මෙම අනවසර වැලි කැණීම් නතර කරන ලෙස තමන් දැඩිව තීන්දු තීරණ ගත් බවද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.

මෙම අවසරපත් ලබා ගන්නා පුද්ගලයන් එම අවසරපත් වල සදහන් කොන්දේසි අමු අමුවේ උල්ලංඝණය කරමින් වැලි කැණීම් සිදු කරන බව ඇතැම් අවස්ථා වලදී පෙනී ගිය බැවින් ඒවා නතර කිරීම කටයුතු කරන ලෙස පොලිස් විශේෂ කාර්යය බලකායට සහ නාවික හමුදාවට උපදෙස් දුන් අතර ඔවුන් හරහා විශේෂ වාර්තාවක්ද ලබාගෙන ජනාධිපතිවරයාට භාරදිමට අණ්ඩුකාරවරිය කටයුතු කළාය.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා මෙම නීතිවිරෝධි වැලි කැණිම් නතර කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කර තිබියදී රාසමානික්කම් මන්ත්‍රීවරයා කිසිදු සොයා බැලීමකින් තොරව ඒ සදහා ක්‍රියාමාර්ග නොගත් බව සදහන් කරමින් නගන චෝදනා පදනම් විරහිත බවද ආණ්ඩුකාරවරිය කීවාය.

කෙසේවෙතත් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් මෙම චෝදනා වල සත්‍ය අසත්‍යතාවය රටට හෙළිවෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙවැනි අනවසර වැළි කැණිම් සදහා තමන් උදව් උපකාර කරන බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමින් සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් අවධාරණය කළාය ෴

******************************************

පොලිසිය කොට්ටාවේ ගණිකා තිත්පළ වටලද්දී කළමනාකාරිනියට මීමැස්සන්ගෙන් ප‍්‍රහාරයක්..

(10.09.2021 – divaina.lk)

නිරෝධායන ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වෙමින් තිබියදී අන්තර්ජාලය ඔස්සේ අධික මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කළ කොට්ටාවේ අඟහරුවාදා පොළ ආසන්නයේ දෙමහල් නිවසක සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

එහිදී කොට්ටාව පොලිසිය විසින් කාන්තාවන් සිව්දෙනකු හා කාන්තා පහස ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ එහි කළමනාකාරිය බව පැවසෙන කාන්තාවක් එම ගොඩනැඟිල්ලේ පසෙක තිබූ බෙහෙත් ඔරුවක් තුළ සැඟවීමට උත්සාහ ගැනීමේදී එහි තුළ වූ මී වදයක් ඇවිස්සී ඇය මීමැසි ප‍්‍රහාරයකට ලක්වී තිබේ.

අත්අඩංගුවට පත් එම කළමනාකාරියගෙන් ප‍්‍රශ්න කිරීමේ දී අන්තර්ජාලය ඔස්සේ පළකරනු ලබන අදාළ කාන්තාවන්ගේ

ඡායාරූප ඔස්සේ ලැබෙන ඉල්ලුම අනුව පැයක (1) කාල සීමාවක් සඳහා රුපියල් පන්දහසේ (5000) සිට දසදහස (10,000) දක්වා වූ මුදලක් අයකර ගැනීමට පියවර ගන්නා බව ඇය පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් බෙලිහුල්ඔය, බළන්ගොඩ, මතුගම, කැලණිය යන ප‍්‍රදේශවල පදිංචිකාරියන් බවට සනාථ වී තිබේ. මෙම වැටලීමේදී ජංගම දුරකථන පහක්, කාන්තා පහස ලබාගැනීමට පැමිණි පුද්ගලයාගෙන් ලබාගත් රු. 5000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි ෴

******************************************

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *