ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව භාර සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව භාර සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

*********************************************

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව භාර සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට

(09.09.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දත්ත ගබඩාව පවත්වා ගැනිමේ ටෙන්ඩරය ලබාදී තිබු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊයේ (08) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘එපික් ලංකා ටෙක්නොලජි’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ‘තරින්ද්‍ර කල්පගේ’ බව සඳහන්. මෙම ටෙන්ඩරය අදාළ සමාගමට ලබාදී තිබුණේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි ෴

******************************************

(09.09.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ සංචාරයකට එක්වෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දකින බවට පළවන වාර්තා මුළුමනින් ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ, බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය සැලසුම් කර ඇති බවයි.

එහෙත්, ශුද්ධෝත්තම පාප් වහන්සේ වතිකානයේ දී බැහැ දැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් සිදු නොකළ අතර, ඒ සඳහා වතිකානුවෙන් ද ආරාධනයක් ලැබී නොමැති බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එසේම අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුව ඇමතීමෙන් පසු බොලොඤ්ඤා හි සිට දිවයිනට පැමිණෙන බව ද එමඟින් සඳහන් කළා ෴

******************************************

(09.09.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

කොළඹ-මරදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 52 කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී සංචරණ සීමා ද උල්ලංඝනය කරමින් ජාවාරම් කිරීම සඳහා රැගෙන යමින් තිබූ කේරළ ගංජා තොගයක් සහ පුද්ගලයින් දෙදෙනෙකු (2) ද අත් අඩංගුවට ගත් බව යි වාර්තා වෙන්නේ.

අත් අඩංගුවට ගත් පුදගලයින් දෙදෙනා (2) වයස අවුරුදු 34, 33 වයස්වල පසුවන ගණේමුල්ල හා මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙසේ සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ 70 ක් පමණ වෙන බව සඳහන් වෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනාකමකින් යුත් බවට ගණන් බලා ඇති අතර, සැකකරුවන් දෙදෙනා (2) ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත බාර දී තිබෙනවා.

******************************************

(09.09.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අමිල ප්‍රසංග හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ඝාතනය සම්බන්ධයෙන් තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘රුවන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘දොන් ගනේෂලිංගම්’ හෙවත් ‘ගනේෂ්’ නමින් හඳුන්වන මොහු, ඝාතනයට අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම – උඩුකාව ප්‍රදේශයේදීයි.

මෙම සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර – මැද්දවත්ත කාර්යාලයේ 43 හැවිරිදි සේවකයෙකු බව කොටුවිල පොලිසිය සඳහන් කළා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ මොහු ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීම්වල ද ප්‍රධාන පුරුකක් ලෙස කටයුතු කර ඇති බවයි.

මේ අතර, රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් (1,20,00,000) වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කැලණිය – වනවාසල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වුණේ.

සැකකරු දිවයින පුරා ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටි අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 70 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝග්‍රෑම් 51 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ අත්අඩංගුවට ගත්තා.

මරදාන – ඩීන්ස් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගත්තේ ගණේමුල්ල සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

******************************************

(09.09.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය හා මාතලේ දිස්ත්‍රික්වල පැවති පානීය ජලය හා වාරි ජල හිඟතාව සඳහා පසුගිය සමයේ මහා පරිමාණ වාරි ව්‍යාපෘතිය කිහිපයක් ම ඉදි වුණා.

එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට අයත් කර දීම උදෙසා, නව විශේෂ මහවැලි ප්‍රදේශ දෙකක් (2) යෝජනා කිරීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ අනුව දැනට පවතින මහවැලි කලාප 10 ට අමතර ව දැදුරු ඔය බහුකාර්‍ය යෝජනා ක්‍රමය සහිත මිටියාවත ‘මහවැලි එන්’ කලාපය ලෙස ද වයඹ පළාත් මහ ඇළ බල ප්‍රදේශය ‘මහවැලි එම්’ කලාපය ලෙස ද කලාප 12 ක් දක්වා වැඩි වෙනු ඇති.

මේ හරහා කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා මාතලේ යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26 ක් හා ගම්මාන 410 ක් ආවරණය වීමට නියමිත යි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(09.09.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නිතී කාල සීමාව තුළ ජල බිල්පත් ගෙවීමේදී යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවයි ෴

++++++++++++++++

(09.09.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

දින 02 කට පසු අද (09) පෙරවරුවේ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමත් සමඟ සිය අස්වනු රැගෙන සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් විශාල ලෙස පැමිණෙමින් සිටිනවා.

කෙසේ වෙතත්, ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ මැනිං වෙළඳපලටද එළවලු තොග විශාල ලෙස ලැබී ඇති අතර ඒවායේ තොග මිල ගණන්වල අඩුවක් පවතින බව මැනිං පොදු වෙළඳ සංගමය ප්‍රකාශ කළා.

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් එස්.ඒ. තිස්ස ද සිල්වා මහතා ද කියා සිටියේ අද (09) දිනයේ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙන වෙළදුන්ගේ කැපී පෙනෙන අඩුවක් නිරීක්ෂණය වන බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ද ගොවීන් විශාල ලෙස පැමිණ සිටින අතර ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගවල ලොරි රථ පෙළ ගැසී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා ෴

++++++++++++++++

(09.09.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් යොමු කිරීම අවම වන ආකාරයට මෙරට රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් පහසුකම් ඇතුළු ඒවායේ අනෙකුත් පහසුකම් ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

306/C/1, ජාත්‍යන්තර සිංහ සමාජය , ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

‘O2 Life’ ලෙසින් නම්කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 03 ක් පමණ මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි.

අදාළ ව්‍යාපෘතිය සැලසුම්කර ඇති පාර්ශව ,සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

මේ යටතේ රෝහල්හි දැනට තිබෙන ඇඳන් 7500 ක මේ වන විට සිදු කෙරෙන ප්‍රතිකාර වලට අමතරව ඔක්සිජන් ලබා දෙමින් නිසි පරිදි නිරීක්ෂණය, කළමණාකරණය හා හදිසි ප්‍රතිකාර කිරීම සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම නව ඇඳන් 3500 ක් එම රෝහල් සඳහා එක් කෙරෙන අතර ඒවායේ ප්‍රතිකාර සේවාවන් තවත් ඉහළ මට්ටමට ගෙන එමින් උපරිම පහසුකම් ලබාදීමට මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

එමගින් දැඩි සත්කාර ඒකක කරා ඇතුළත් කෙරෙන අවදානම් මට්ටමේ රෝගීන්ගේ අවදානම් තත්ත්වය නව ව්‍යාපෘතියේ පහසුකම් ඔස්සේ අවම කරගැනීමට හැකි වන අතර, මෙය කඩිනිමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතයි ෴

++++++++++++++++

(09.09.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් 5,040 ක් පැමිණ ඇති අතර, ඒ, මේ වසරේ මසක් තුළ පැමිණි වැඩි ම සංචාරකයින් සංඛ්‍යාව යි.

මැයි මාසයේ එලෙස සංචාරකයින් 1,497 ක් ද ජුනි මාසයේ 1,614 ක් ද පැමිණි අතර, ජුලි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2,429 ක්.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩසටහන යටතේ දිවයිනට පැමිණි ඔවුන් කොරෝනා වයිරස් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරීක්ෂාවන්ට ලක්කර තිබෙනවා.

පසුගිය මාසයේ දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් වැඩි ම පිරිසක් පැමිණ ඇත්තේ කැනඩාවෙන්.

ජර්මනිය, බ්‍රිතාන්‍යය, පාකිස්තානය සහ ඉන්දියාව යන රටවලින් ඊළඟට වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

පූර්ණ එන්නත්කරණය ලැබූ ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ද පසුගිය අගෝස්තු 24 වැනිදා ආරම්භ කෙරුණා.

ගෝලීය වසංගතයට පෙර ශ්‍රී ලංකාවට වැඩි ම සංචාරකයින් පිරිසක් පැමිණියේ ඉන්දියාවෙන් ෴

++++++++++++++++

විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ එලියන්ත වයිට්ටත් කොරෝනා

(09.09.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ එලියන්ත වයිට් ට කොරෝනා වයිරසය අසාදනය වී තිබෙනවා.

ඔහු පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්වුයේ කොරෝනා වසංගතය පාලනය කළ හැකි බලයක් තිබෙන බවට කළ ප්‍රකාශයක් නිසාවෙන්.

එමෙන්ම ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ මුට්ටි කිහිපයක් ද ගංගාවලට දමනු ලැබුවා.

කෙසේ වෙතත් වෛද්‍ය එලියන්ත වයිට් කොරෝනා වයිරසය ආසාදනය වී කොළඹ පිහිටි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නා බවට මේ වනවිට වාර්තා වනවා.

අප කළ සොයා බැලීමක දී වාර්තා වුයේ, ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇති බවයි.

++++++++++++++++

නිරෝධායනයට ලක්වන පවුල් සඳහා zoom තාක්ෂණය ඔස්සේ ආයුර්වේද වෛද්‍ය උපදෙස්

(09.09.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට රට තුළ පවතින වසංගත තත්ත්වය නිසාවෙන් කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායනයට ලක් වෙන පුද්ගලයන් සඳහා උපදෙස් ලබා දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ වෛද්‍යවරුන්ට අපහසුතාවයක් ඇතිව ඇති බැවින්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සහ නිරෝධායනයට ලක්වන පවුල් සඳහා ඇතිවන ගැටලුවලට zoom තාක්ෂණය ඔස්සේ ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු කටයුතු කර තිබෙනවා.

තමන් සේවය කරනු ලබන ග්‍රාම නිළධාරී වසමේ කොවිඩ් ආසාදිතයින් විසින් ඔවුනට ඇති වී තිබෙන ගැටලු පිලිබද ව නිරන්තරයෙන් දුරකතනයෙන් කරුණු විමසුවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට නො හැකි බව පවසන බැවින් එම පිරිස් වෙත සහනයක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.

මේ සදහා ප්‍රජා ආයුර්වේද වෛද්‍ය නිළධාරීන් විසින් දායකත්වය ලබා දී වෛද්‍ය උපදෙස් ලබා දීම සිදු කරනු ලබන අතර, මේ සදහා සමස්ත රටේ ම කොවිඩ් ආසාදිතයින් සහ නිරෝධායනයට ලක්වෙන පවුල්වල පුද්ගලයන් සහභාගි කර ගැනීමට සූදානම් බව ද මෙම වැඩසටහනේ නිර්මාතෘ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුසිර ඉන්දික මහතා පැවසුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *