කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

*********************************************

කොරෝනා එන්නත්කරණයෙන් පසුවද අවධානයෙන් සිටින්නැයි වෛද්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

(09.09.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.

එලෙස සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු නේචර් නැත්නම් ස්වභාව විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ හැකියාව එහි නැවතත් දක්වා තිබෙනවා.

එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.

එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොරෝනා ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා.

++++++++++++++++

කරාපිටිය දොස්තරගේ කොරෝනා නසන කරල ගැන සලකා බැලිය යුතුයි.. – පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි

(09.09.2021 – 18:20 +0530 – lankacnews.com)

කොරෝනා වෛසරයට මුහුණදීම සදහා බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම සමග දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම එක් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

දේශීය වෛද්‍ය ක‍්‍රම මගින් වෛසරයට මුහුණදීම සදහා ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකියාව ලැබෙන බව පැවසූ රතන හිමියෝ ඒ සදහා දේශීය වෛද්‍ය ක‍්‍රමයට හා විකල්ප වෛද්‍ය ක‍්‍රමවලට අවස්ථාව ලබාදිය යුතු බවද සදහන් කළහ.

පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ උන්වහනසේ මේ බව ප‍්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවසූහ :

“දේශීය වෙදකම, යුනානි ආදී විකල්ප වෛද්‍ය ක‍්‍රම ලංකාවේ තිබෙනවා. මේ වෛද්‍ය ක‍්‍රමවල අය කොරෝනා මර්දන කමිටුවට පත් කරලා තියෙනවාද? වැක්සින්කරණය හොඳ තත්වයක තියෙනවා. ඒත් එන්නත පිළිබද වෛද්‍යවරු අතර එකගතාවයක් තියෙනවාද කියලා ප‍්‍රශ්ණයක් තියෙනවා.

කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා බටහිර වෛද්‍යවරයෙක්. ඒත් දේශීය ශාඛසාරවලින් නිපදවාගත් ඖෂධයකින් කොරෝනා වෛරසයට සාර්ථක ප‍්‍රථිඵල ලැබෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා.

රෝහල් තත්වය ගැන, ඔහු කරන ප‍්‍රකාශ ගැන රජය දැනුවත්ද. උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයාගේ ප‍්‍රකාශ නොසලකා හැරිය නොහැකියි.

එන්නත් දෙකම (2) ලබාගෙන ඇති කී දෙනෙක් මේ රටේ මිය ගිහින් තියෙනවාද? රෝගය කොතරම් බරපතල වුනත්, අපේ ඇඟ තුලින් එන ප‍්‍රතිශක්තියෙන් හොඳ වෙනවා. ප‍්‍රතිශක්තිය දුර්වල අය මිය යනවා. ප‍්‍රතිශක්තිය වැඩි අය ජීවත් වෙනවා.

දැන් ලංකාවේ එන්නත් වර්ග තුනක් (3) දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පවා මේ එන්නත් ගැන වාද විවාද පැවැත්වෙනවා. මේවා ගැන අවධානය යොමු කරලා තියෙනවාද?

එන්නත් මාත‍්‍රා දෙකම (2) ලබාගත් අයත් මිය යවනවා. ඒ අනුව මේ වයිරසයට ඇති එකම උත්තරය එන්නත්කරණයද කියන ප‍්‍රශ්ණයක් තියෙනවා. එන්නත්කරණය අනිවාර්ය කළ යුතු නැහැ.

මේ වයිරසයෙන් මිය යන්නේ සියයට එකක් (1%) නම්, බටහිර වෛද්‍ය විද්‍යාව හැර අනෙකුත් විකල්ප වෛද්‍ය විද්‍යාත්මක ක‍්‍රමවලින් මේක සුව කළ හැකි බව කියනවා නම් ඒ සදහා අවස්ථාවක් නොදෙන්නේ ඇයි? අපිට දෙන්න පුලුවන් නිර්දේශය තමයි එන්නත් නොගත් අය පොදු ස්ථානවලට යාම සීමා කිරිමයි.

විකල්ප වෛද්‍ය ක‍්‍රම පිළිබද ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? වයස අවුරුදු 30 ට අඩු පිරිස් එන්නත් නොකිරීම සුදුසු බව බොහෝ දෙනාගේ ස්ථාවරයයි. විදේශගත වීමට බලාපොරොත්තු වන අයට එන්නත් කරණය කිරිමට හැකියි. ඒත් අපේ දැනුම් පද්ධතිය යොදාගෙන විකල්ප ක‍්‍රමවලට යා යුතුයි.

කොරෝනා වයිසරයට පිළියමක් ලෙස ප‍්‍රතිශක්තිය රඳවා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් චීන රජයත් පවසා තිබෙනවා. එතකොට ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට හැකියාව ඇත්තේ බටහිර වෛද්‍ය ක‍්‍රමවලට පමණද? දේශීය වෛද්‍ය ක‍්‍රමවලට ප‍්‍රතිශක්තිය රඳවාගැනීමට හැකියාවක් නැද්ද? එහෙම දේශීය වෛද්‍ය ක‍්‍රම අනුව ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමට හැකි බව ඔප්පු කළ අය සිටිනවා. මේ, අරහෙන් මෙහෙන් දේවාලවලින් කියන දේවල් නෙමෙයි. දේශීය හා බටහිර වෛද්‍ය ක‍්‍රම දෙකම හැදෑරූ අය මේක පිළිගෙන තියෙනවා.

කොරෝනා වයිරසයට තිබෙන සාර්ථක ක‍්‍රමය තමයි අපි තුළ ප‍්‍රතිශක්තීකරණය විධිමත්ව පවත්වාගෙන යාමයි. ඒ සදහා රජයට විධිමත් වැඩපිළිවෙලක් තියෙනවාද කියලා දැනගන්න කැමැතියි.

කොරෝනා වයිරසය මර්දනය කිරීමේදී ඒකාබද්ධ වෛද්‍ය ක‍්‍රමය ඉතා වැදගත් බව දකුණු කොරියාව සහ චීනය වැනි රටවල් පිළිගෙන තිබෙනවා. ආර්යුවේදය හා පාරම්පරික වෙදකම එක් කිරීමට, ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වලදී හා ආණ්ඩුව හා විපක්ෂය එක්වූ රැස්වීම්වලදී මම කියා තිබෙනවා.

කොරෝනා වයිරසය තිබුණත්, නැතත් මේ වෛද්‍යක‍්‍රම එක් කිරීම ලෝකයේ පිළිගෙන තිබෙනවා. නමුත් ඉතා දියුණු වෛද්‍ය ක‍්‍රමයක් ඇති අපේ රටේ ඒ සදහා ගෙන ඇති පියවර මොනවාද?

ගිය සතියේ බස්නාහිර පළාතට ආර්යුවේද ඖෂධ බෙදීමට කටයුතු කිරීම ගැන සතුටු වෙනවා. නාවින්න රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අය බොහෝ දෙනෙක් සුවවී නිවෙස්වලට ගොස් තිබෙනවා. බොරැල්ල ආර්යුවේද රෝහලත් මේ සදහා යොදා ගැනීමට හැකියාව තිබෙනවා.

අද ඖෂධ කඩ ඇරලා නැහැ. ප‍්‍රාදේශීය ආර්යුවේද ඇරලා නැහැ. දේශීය වෙදකමත්, බටහිර වෙදකමත් ඒකාබද්ධ කරන්න. බටහිර වෛද්‍යවරුන් දෙන්නෙක් නාවින්න ආර්යුවේද රෝහලේ වැඩ කරනවා. එහෙනම් බටහිර වෛද්‍යවරුත් දේශීය වෛද්‍යවරුත් ඒකාබද්ධ කරන්න පුලුවන්.

විශේෂයෙන් ස්වශන ආබාධ ඇතිවුනාම ලබාදෙන ක්ෂණික ප‍්‍රතිකාර ක‍්‍රම ආර්යුවේදයේ තියෙනවා. ඒවා අපිට මනාව භාවිතා කළ හැකියි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරම්පරා වෙදකමේ ඇති ක‍්‍රමද භාවිතා කරන්න.

විකල්ප වෛද්‍ය ක‍්‍රම හා බටහිර වෛද්‍යක‍්‍රම ඒකාබද්ධ කිරීමෙන් අපිට විසදුම් ලබාගැනීමට හැකියි. දේශීය වෙදකමත් එක්ක අලුත් ආර්ථිකයක් අපිට හදන්න පුලුවන්.

ඒ නිසා ඒකාබද්ධ වෛද්‍ය ක‍්‍රමයකට යන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

+++++++++++++++++

කොරෝනා වෛරසය මැඩලිමේදී දේශිය වෙද මහතා මරා දැම්මාද ? – වෛද්‍යචාර්ය නිමල් කරුණාසිරි

(08.09.2021 – 17:33 +0530 – lankaleadnews.com)

කොරෝනා යනු වයිරස් රෝගයකි. නැතිනම් අධි මාත්‍රික හෙම්බිරිස්සාවකි. වයිරසයට තවම ලොකයේ නිෂ්චිත බෙහෙතක් නොමැත. දැනට ඇති සාර්ථකම විසඳුම ප්‍රතිසංස්කරනයයි. එහිදි හෙළ වෙදකම ඉතාම ඉදිරියෙන් සිටි. අවසනාවට අපේ රට එය ප්‍රමාණවත් පරිදි හඳුනාගෙන තිබේද ?

ලොව මෙම ව්‍යයසනයට සාර්ථක ව මුහුණ දුන් චිනය, වියට්නාමය වැනි රටවල ආදර්ශයන් අපි හිතා මතා ඉවත දැමවේ ඇයි ? අපි දැන්වත් නැවත නිවැරදි මග දෙසට හැරිය යුතුවේ. එයට තවම ප්‍රමාද නැත.

වෛද්‍යචාර්ය නිමල් කරුණාසිරි.
හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස්.

++++++++++++++++

කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ ශ්‍රී ලංකාවෙන් ප්‍රකාශයක්

(09.09.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සිදුකෙරෙන අධ්‍යයනය දේශපාලනීකරණය නොකළ යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කළා.

කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ සිදුකරන අධ්‍යයනය විද්‍යාත්මක හා සාක්ෂි පදනම් කරගත් ක්‍රම මත පදනම් විය යුතු බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ඊයේ (08) නිවේදනයක් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ එම විමර්ශන දේශපාලනීකරණය නොකළ යුතු බව ශ්‍රී ලංකාව යළි අවධාරණය කරන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා වෙසෙන ජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ ජීවනෝපාය මාර්ගවලට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා.

මෙම වසංගතය ඵලදායීව සහ තිරසාර ලෙස පරාජය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ බහුපාර්ශවිකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයි.

වයිරසයේ මූලාරම්භය පිළිබඳව පුළුල්, සාර්ව හා අපක්ෂපාතී අධ්‍යයනයක් සිදුකිරීමද ඒ හා සමානව වැදගත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉටු කරන ප්‍රමුඛ කාර්ය භාරය සහ පසුගිය මාර්තු මාසයේ ප්‍රකාශයට පත්කරන ලද ගෝලීය අධ්‍යයනයේ ඒකාබද්ධ වාර්තාවේ අන්තර්ගතය ශ්‍රී ලංකාවේ ප්‍රසාදයට ලක්වනවා.

එම ඒකාබද්ධ වාර්තාවේ ප්‍රධාන සොයා ගැනීම් අධ්‍යයනයේ මීලඟ පියවරයෙන් පිළිඹිඹු විය යුතු බව ශ්‍රී ලංකාවේ අදහසයි.

මේ සම්බන්ධයෙන් නොවිසඳුණු ගැටළු සඳහා සුහදශීලි හා පුළුල් විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාව සියලුම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සාධනීය ලෙස මැදිහත් වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කොරෝනා වයිරසයේ මූලාරම්භය පිළිබඳ පරීක්ෂණවලදී එහි මූලාරම්භය සිදුවූ බවට සැලකෙන චීනය සියලු කරුණු හෙලිදරව් කර නොමැති බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරනවා.

කෙසේ නමුත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය අවධාරණය කරන්නේ අදාළ අධ්‍යයනයන් දේශපාලනීකරණය කිරීමට ඇතමුන් උත්සාහ කරන බවයි ෴

++++++++++++++++

(09.09.2021 – 07:17 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 2,917 දෙනෙකු ඊයේ (08) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,74,132 දක්වා ඉහළ ගියා.

පසුගිය 07 වැනිදා සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 185 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කළා.

ඊට පිරිමින් 102 ක් සහ කාන්තාවන් 83 ක් ඇතුළත්. මියගිය පිරිස අතර, 140 දෙනෙක් අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමින් 76 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 44 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි කාන්තාවන් 19 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30 අඩු එක් (1) පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,689 ක් ලෙසින්.

මේ අතර, පසුගිය දින කිහිපය තුළදි රිජ්වේ ආර්යා ළමා රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වූ කුඩා දරුවන් ඇතුළත් කිරිමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, එන්නත්කරණ වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන් වෙනුවෙන් ෆයිසර් එන්නත ලබා දීම අද (09) දිනයේත් ක්‍රියාත්මකයි. ඊයේ (08) දිනයේදී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ වු අතර, එය ඉදිරි දින දෙක (2) තුළද ක්‍රියාත්මක වනවා.

බස්නාහිර පළාතේද අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන් වෙනුවෙන් එන්නත් ලබාදීම ස්ථාන 109 කදී අද (09) දිනයේත් සිදු කෙරෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ජනාධිපති තුමනි, විදේශීය බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වන්න ! – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(09.09.2021 – 11:11 +0530 – lankaleadnews.com)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා සිටින්නේ චීනය සමඟ ශ්‍රී ලංකා රජය පවත්වන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක චීනයේ සතුරන් ශ්‍රී ලංකා රජයේද සතුරන් වීමේ අනතුරක් පවතින බවයි. එම ලිපිය මගින්, අපගේ බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ අවශ්‍යයතාවය උන් වහන්සේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙන්වා දෙනු ලබන්නාහ. සම්පූර්ණ ලිපිය පහතින් :

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

2021 සැප්තැම්බර් 09

ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ සහ අන්තවාදී බලපෑම සම්බන්ධවයි.

ජනාධිපති තුමනි,

පසුගිය වසර 5 ක ‘යහපාලන රජය’ සමයේදී බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ අකර්මන්‍ය කිරීම හේතුවෙන් සහරාන් ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වලට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය වූ බව අපි දනිමු. එබැවින් යලිත් එවන් ප්‍රහාරයක් රට තුල සිද්ධ නොවීම සඳහා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ ඉතා සවිමත්ව තබාගැනීමේ අවශ්‍යතාවය ‘බොදු බල සේනා සංවිධානය’ ලෙස අප අවධාරණය කර සිටිමු. බුද්ධි අංශ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මා හට සිරබත් වැළඳීමට පවා අතීතයේ දී සිදුවුව ද තවදුරටත් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටිමි.

පසුගිය කාලයේ කොරෝනා වසංගතය පවතින අවස්ථාව තුල ද ගෝලීය දේශපාලන ක්‍රියාවලියක් අපගේ මාතෘ භූමියට අතපෙවීමට ගන්නා උත්සහයක් නිරීක්ෂණය විය. රට ස්ථාවර රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම අස්ථාවර කිරීම සඳහා විවිධ ස්වරූපයේ ක්‍රියාකාරකම් එකම අරමුණකින් ක්‍රියාත්මක වෙන ආකාරයක් සියුම්ව බැලීමේදී නිරීක්ෂණය විය.

චීනය සහ ශ්‍රී ලංකා රජය ඉතා මිත්‍රශීලි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ගෝලීය වශයෙන් චීනයේ සතුරන් ශ්‍රී ලංකාව සතුරු රාජ්‍යයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල අවිශ්වාසයක් ගොඩනැගෙමින් පවතී. එමනිසා, ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන විදේශීය බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමේ වැදගත්කම ඔබතුමාගේ අවදානයට යොමු කරන්නට කැමැත්තෙමි.

කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධයේදී රට පුරා ප්‍රහාර රැසක් එල්ල විය. එම ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ සිදුකරණවා වගේම කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම ඉලක්ක කරගෙන සිදුකල ක්‍රියාන්විත හේතුවෙන් අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට හැකිවිය. ඒ ආකාරයෙන්ම ‘ඉස්ලාම් අන්තවාදය’ තුලින් ත්‍රස්තවාදීන් බිහිවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාදාමයන් සියුම්ව කඩිනමින් සිදුකල යුතුය.

‘ඉස්ලාම් ආගමේ නාමයෙන්’ අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකල ‘පාස්කු ප්‍රහාරය’ මේ වනවිට දේශපාලන පා පන්දුවක් බවට පත්ව ඇත. ඒ තුලට මේ වනවිට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබේ. ප්‍රහාරය එල්ලකිරීමට මූලික වූ ‘මිනීමරු ඉගැන්වීම්, මිනීමරු න්‍යායයන්’ පිළිබඳව කිසිදු වග විභාගයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නැත. හුදෙක් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට ‘පාස්කු ප්‍රහාරය’ සැලසුම් සහගතව භාවිතා කරන ආකාරයක් මෙන්ම දැන හෝ නොදැන ආගමික නායකයන් ඇතුළු යම් යම් බලවේග ඒ සඳහා යොදාගන්නා ආකාරයක් ද නිරීක්ෂණය වේ.

සිවිල් සංවිධාන සහ පුද්ගලයින් මගින් ආරක්ෂක අංශ අධෛර්යයට පත්වන ආකාරයේ ක්‍රියාදාමයක් දියත්කර ඒ තුලින් ජාතික ආරක්ෂාව අනතුරට හෙලීමේ සැලසුම් රට තුල ක්‍රියාත්මක විය හැකිය. ඉතා කුඩා ආරක්ෂක හිදැස් වලින් රිංගා ‘පාස්කු ප්‍රහාරය’ වැනි අන්තවාදී ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇත. එබැවින් අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

ස්තුතියි,
තෙරුවන් සරණයි…!!

රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහ ලේකම් – බොදු බල සේනා

******************************************

(09.09.2021 – 06:45 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා මාතර පොලිස් වසමේ මැදවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී බරපතළ තත්ත්වයේ පසු වූ පුද්ගලයෙක් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කළ තුවාලකරු ඊයේ (08) දින මිය ගිය බව පොලිසිය වාර්තා කළා.

මරණකරු වයස අවුරුදු 34 ක මාතර මැදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට අදාළ සැකකරුවන් වයස අවුරුදු 28 හා 34 යන වයස්වල පසුවෙන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙන අතර, ඔවුන් දෙදෙනා (2) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මාතර පොලිසිය විසින් සිදුකරනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *