රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය

රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය

*********************************************

රජය වතිකානුවට යාම ගැන කාදිනල් හිමිගේ අප්‍රසාදය

(08.09.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (08) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අදහස් පළ කළා.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඊට සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉතාලියේ බොලොඤ්ඤා නුවර සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ, සුප්‍රකට බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට එක්වීම සඳහායී. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සංචාරයේ අරමුණ විදේශ අමාත්‍යවරයා විසින් පසුගිය සඳුඳා (06) පැවති මාධ්‍ය හමුවකදීද පැහැදිලි කළ බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සමුළුව ඇමතීමෙන් පසු දිවයිනට පැමිණෙන අතර, වෙනත් කිසිදු හමුවක් සිදුනොවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම, ශුද්ධෝත්තම පාප් වහන්සේ වතිකානුවේදී බැහැ දැකීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු අවස්ථාවක ඉල්ලීමක් සිදු නොකළ අතර, ඒ සඳහා වතිකානුවෙන්ද ආරාධනයක් ලැබී නොමැති බව විදේශ අමාත්‍යාංශය සිය නිවේදනය මගින් අවධාරණය කළා.

++++++++++++

******************************************

(08.09.2021 – 21:10 +0530 – hirunews.lk/sinhala)

රජය සම්මත කරගත් නව මුදල් පනත ඔස්සේ ඉදිරියේදී රුපියල් බිලියන 100 ක් පමණ මුදලක් වෙළෙඳපොළ තුළට පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් මහ බැංකු අධිපති වීමේ අපේක්ෂාවෙන් පසුවන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කිරීම හෝ තහවුරු කිරීම හෝ කළ නොහැකි බවයි.

******************************************

(08.09.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 120 කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 65 ක් සමග සැකකරුවෙකු කැළණිය වනවාසල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංක 1 කණ්ඩායම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

ගුරු – විදුහල්පති සංගම් දෙමව්පියන්ගෙන් සහයෝගය ඉල්ලයි

(08.09.2021 – 17:03 +0530 – sinhala.adaderana.lk)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවේදී ආණ්ඩුවේ හැසිරීම තේරුම්ගෙන සිය අරගලයට සහයෝගය දක්වන්නැයි ‘ලංකා ගුරු සංගමය’ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, ආණ්ඩුව තමන්ට අවශ්‍ය පනත් පමණක් කඩිනමින් සම්මත කරගනිමින් සිටින බවය.

අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

“ආණ්ඩුව තමන්ට අවශ්‍ය පනත් කඩිනමින් සම්මත කරගන්නවා. තමන්ට ඕන දේවල් කඩිනමින් කරනවා. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්න මේ වෙනකොට මාස 2 කට ආසන්න කාලයක් අරන් තියෙනවා. අපි මේ රටේ දෙමව්පියන්ගෙන් ඉල්ලනවා.. ආණ්ඩුවේ මේ හැසිරීම තේරුම් අරගෙන ගුරු – විදුහල්පති අරගලයට සහයෝගය ලබාදෙන්න කියලා.”

“දැන් විදුහල්පතිවරු ගුරුවරු බිය ගන්වමින් ඉන්නවා. අපි බය වෙන්නේ නෑ. හොරණ OIC ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලියුම් යවලා තියෙනවා උද්ඝෝෂණවලට සහභාගී වෙච්ච ගුරුවරු මැරිල තියෙනවා ද? පොසිටිව්වෙලා තියෙනවා ද? කියලා අහලා. ඒ විස්තර එවන්න කියන්න OIC ට තියෙන බලතල මොනවද? වගකීමෙන් කියනවා.. උද්ඝෝෂණවලට සහභාගී වුණු කවුරුත් මැරිලත් නෑ.. කොරෝනා ආසාදනයවෙලත් නැහැ.”

******************************************

නොඉවසිල්ල නිසා සිදුවූ අනතුර – CCTV දර්ශන

(08.09.2021 – 13:04 +0530 – sinhala.adaderana.lk)

අපරික්ෂාකාරී ලෙස වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

එය සිදුවී තිබුණේ ඌව පරණගම අඹගස්දෝව නව නරගයේදීය.

තවත් ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය මෙම අනතුරට මුහුණ දී තිබුණි.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී ඇත.

වැලිමඩ දෙස සිට අඹගස්දෝව දෙසට එම ත්‍රීරෝද රථය ධාවනය වී තිබුණි.

සිද්ධියෙන් තුවාල ලබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනා (3) ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

https://www.youtube.com/watch?v=lfq7BfFa6M0

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සංචාරක කර්මාන්තය නගා සිටුවන්න නිරෝධායන නීතිරීති ලිහිල් කරන්න – සංචාරක මණ්ඩලයේ ප්‍රධානියෙක් ඉල්ලයි

(08.09.2021 – 21:12 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට සංචාරක අමාත්‍යවරයා සමඟ රුසියාවේ සංචාරයේ නිරත සංචාරක මණ්ඩලයේ සභාපතිනී කිමාලී ප්‍රනාන්දු මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මේ වන විට පනවා ඇති සංචාරණ සීමාවන් සහ නිරෝධායන නීති රීති ලිහිල් කරන ලෙසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය රුසියාවේ ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම සඳහා තමන් රුසියාවට ගොස් සිටින බවත් සංචාරක අමාත්‍යවරයාද එක්වන මෙම වැඩසටහන් තුළදී රුසියාවේ සංචාරක ඒජන්තවරුන්, සංචාරක දිරි ගන්වන්නත්, මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් හමුවූ බවත් එම ලිපියේ සඳහන්.

එමෙන්ම රුසියාවේ ප්‍රියතම සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට එරට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එහි සඳහන්.

මේ වන විටත් රුසියාවේ සමස්ත ජනගහනයෙන් 25% ක් සම්පූර්ණ එන්නත් කරනයට ලක් කර ඇති අතර මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රමුඛ ඉලක්කය වන්නේ ඔවුන් බවත් සෞඛ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

කෙසේ වෙතත් ඉලක්කගත අරමුනු සපුරා ගැනීමට නම් ගිය සතියේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ලබාදුන් උපදෙස් අනුව ඉටු කළ යුතු මූලික කාර්ණා හතරක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

ඒවා වන්නේ…

• සම්පූර්ණ එන්නත් කරනයට ලක් වූ ගුවන් සේවක සේවිකාවන් පුද්ගල ආරක්ෂණ ඇඳුම් කට්ටල ඇදීමෙන් වැලකී සිටිම,

• සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයින් පැය 72 ට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම,

• වයස අවුරුදු දොළහට (12) අඩු දරුවන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා සිදු නොකිරීම,

සහ

• මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන්තොටුපල පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ පමණක් ක්‍රියාත්මක කිරීම මෙම ඉල්ලීම් වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන් අප සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම ලිපිය හරහා සිදුකර ඇති ඇතැම් ඉල්ලීම් පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බවයි.

කෙසේ වෙතත් හෙට (09) උදෑසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ අදාළ අනෙකුත් අංශ සමඟ මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු කියා සිටියා.

මේ අතර එන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් පසු දැනට පනවා ඇති සංචරන සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුසියානු ජනමාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.

අමාත්‍යවරයා මෙලෙස රුසියාවේ සංචාරයක නිරත වන්නේ සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහායි.

මෙම වැඩසටහන යටතේ සංචාරක නියෝජිතයින් හමුවීම, මෙරට සංචාරක ස්ථාන වල ඡායාරූප ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් සහ තවත් වැඩසටහන් කිහිපයක් ඉදිරි දිනවල රුසියාවේ දී පැවැත්වෙනු ඇති.

ජනතාවගේත් සංචාරකයින්ගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට රජය ගනිමින් සිටින බැවින් ශ්‍රී ලංකාව රුසියානුවන්ට සුදුසු සංචාරක ගමනාන්තයක් ලෙස සැලකිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එම නිසා ඉදිරි සීත සෘතුවේදී රුසියානුවන්ගේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගන්නා ලෙස ඉල්ලා අමාත්‍යවරයා රුසියානු මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවේදී ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ද එක්ව සිටියා.

++++++++++++++++++

අවමංගල්‍ය සේවා ආයතනයක ඒකාධිකාරයක් නිසා මෘතදේහ ආදාහනය කිරීමේදී ජනතාවට අපහසුතා

(08.09.2021 – 21:07 +0530 – hirunews.lk/sinhala)

අවමංගල්‍ය සේවා ආයතනයක ඒකාධිකාරයක් හේතුවෙන් මෘතදේහ ආදාහනය කිරීමේදී තමන් අපහසුතාවට පත්ව ඇති බව කුලියාපිටිය ප්‍රදේශයේ ජනතාව පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ අදාළ අවමංගල්‍ය සේවා ආයතනය සිය තැරැව්කරුවන් යොදවා මෘතදේහ ආදාහන කටයුතු වෙනත් ආයතනවලට ලැබීමේ ඉඩකඩ අහුරන බවයි.

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කඩිනමින් ආදාහනය කළ යුතු බවයි.

එවන් පසුබිමක කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු එක් අවමංගල්‍යය සේවාවකින් පමණක් ආදාහන කටයුතු සඳහා යොමු කිරීමේ ප්‍රවණතාවක් හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

කුලියාපිටියට ඇති එකම ආදාහනාගාරය වන්නේ කුලියාපිටිය නගර සභාවට අයත් නාගරික පොදු සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයයි.

එහි දිනකට සිව්වරක් (4) ආදාහන කටයුතු සිදුකරනවා.

ජනතාව චෝදනා කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුවන අවස්ථාවේ පටන් අදාළ අවමංගල්‍යය සේවාව වෙත යොමුවී දේහය පිළිබඳ අවසාන කටයුතු කඩිනමින් සිදුකරගත හැකි බවට ඥාතීන්ට බලපෑම් එල්ලවන බවයි.

ජනතාව සඳහන් කරන්නේ චෝදනා එල්ලවන අවමංගල්‍යය සේවා ආයතනය හැර වෙනත් ආයතනයක් වෙත යොමුවුවහොත් අවසන්කටයුතු සිදුකර ගැනීමට දිගු කාලයක් බලා සිටීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් චෝදනා එල්ලවන අවංමගල්‍ය සේවා ආයතනය සම්බන්ධයෙන් අප කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතාගෙන් විමසීමක් කළා.

+++++++++++++++++++

කොවිඩ් රෝගීන්ගේ ජීවිතවලට ලංසු තැබූ ඖෂධ ජාවාරමක්

(08.09.2021 – 20:25 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් රෝගීන්ගේ ජීවිත අවදානමේ දමමින් පිටකොටුවේ සිදුවන ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ කට්ටල ජාවාරමක් පිළිබඳ අනාවරණ කළ ‘අද දෙරණ උකුස්සා’ ට අද (08) තවත් ජාවාරමක් ගැන හෙළිදරව් විය.

ඒ කොවිඩ් නියුමෝනියාවෙන් අසාධ්‍ය වන ඇතැම් රෝගීන්ට ලබාදෙන ‘ටොසිලිසුමැබ්’ (Tocilizumab) නම් විශේෂ එන්නත අනීතිකව ගෙන්වා අසාමාන්‍ය වැඩි මිලකට අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳවය.

ටොසිලිසුමැබ් (Tocilizumab) යනු සාමාන්‍ය ඖෂධ මගින් සුව කළ නොහැකි ‘රූමැටොයිඩ් ආතරයිටීස්’ නම් රෝගී තත්ත්වයට විශේෂඥ වෛදවරුන්ගේ නිර්දේශය මත පමණක් ලබාදෙන විශේෂ එන්නතකි.

එය කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා අසාධ්‍ය වන ඇතැම් රෝගීන්ට ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ලබාදෙනු ඇත.

ඒ කොවිඩ් නියුමෝනියාවෙන් අකර්මණ්‍ය වන පෙනහළු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහාය.

පවතින කොවිඩ් වසංගතය නිසා ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධයට ලොව පුරා පවතින්නේ ද දැඩි ඉල්ලුමකි.

එය නිෂ්පාදනය කරන්නේ ස්විස්ටර්ලන්තයේ ‘රෝච්’ නම් සමාගම පමණක් වන නිසා මේ දිනවල පවතින දැඩි ඉල්ලුමට අවශ්‍ය පරිදි සැපයුම සිදු කරන්නට එම සමාගමට හැකියාවක් නොමැත.

එම ඉල්ලුම නිසාම ලොව පුරා මෙම ඖෂධය අධික මිලකට අලෙවි වෙයි.

ශ්‍රී ලංකාවට මෙම ඖෂධය ආනයනය කරන්නේ සහ රට තුළ අලෙවි කරන්නේ අවසර ලත් සමාගම් කිහිපයක් පම‍ණි

මේ පිළිබඳ පසුගියදා පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමුවිය.

ඒ සංවාදයත් සමග මෙම එන්නත සඳහා රට තුළ ඇති වූයේ අසාමාන්‍ය ඉල්ලුමකි.

එම අසාමාන්‍ය ඉල්ලුමෙන් අනිසි වාසි ලබාගත් ඇතැම් පිරිස් මෙම ඖෂධ අලෙවිය ජාවාරමක් කරගන්නට පෙළඹී තිබේ.

මෙරට තුළ රුපියල් ලක්ෂ 2 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම ඖධය රුපියල් ලක්ෂ 05 සිට 10 දක්වා අධික මිලකට පිරිසක් කූඨ ලෙස අලෙවි කරන බවට ‘අද දෙරණ උකුස්සාට’ රහසිගත තොරතුරක් ලැබුණි.

එම තොරතුර හඹා ගිය උකුස්සාට අනාවරණ වුණේ සමාජ මාධ්‍ය හරහා ජාවාරම්කරුවන් පිරිසක් Tocilizumab ඖෂධය අලෙවි කරන බවය.

එය තහවුරු කරගන්නට උකුස්සා පළමුව ජාවාරම්කරුවෙකු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත්තේය.

ඒ අනුව එම ජාවාරම නීතියේ රැහැනට හසුකරදීම සඳහා උකුස්සා වැල්ලවත්තට ළඟාවන්නේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ද සමගිනි.

එහිදී ජාවාරම්කරු ඖෂධය අලෙවිය සඳහා රැගෙන ආවේය.

එම අවස්ථාවේම අදාළ නිලධාරීන් ඔහුව සිය භාරයට ගත්තේය.

කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු වැදගත් කරුණු රැසක් හෙළිකර තිබුණි.

උකුස්සා මෙම ජාවාරමේ නිරත තවත් අයෙකු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගන්නේ එම තොරතුරු අනුවය.

එම ජාවාරම්කරු සොයා උකුස්සා කොම්පඤ්ඤවීදිය නවම් මාවතට ගමන් කළේය.

ඔහුව ද සිය භාරයට ගෙන නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ බොරැල්ල ප්‍රදේශයේ අයෙකු තමන්ට මෙම ඖෂධ ලබාදුන් බවය.

අනතුරුව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සමග උකුස්සා බොරැල්ලට ළඟා විය.

එහිදී අදාළ පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුයේ ඉන්දියාවේ සිට අදාළ ඖෂධය මෙරටට රැගෙන ආ බවය.

Tocilizumab එන්නත් 5 ක් ඔහුගේ නිවසේ ශීතකරණයක තිබී සොයා ගත්තේය.

පසුව ඔහුව බොරැල්ල පොලීසිය වෙත රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වුයේ ඔහු පසුගිය මහමැතිවරණයට සමගි ජන බලවේගය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකු ද වන බවය.

කොවිඩ් නිසා අසාධ්‍යව මරණය සමග සටන් කරන රෝගීන්ගේ ජීවිත සමග ඔට්ටු සෙල්ලම් කරන මෙවැනි ජාවාරම්කරුවන් ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ අවධානයෙනි.

++++++++++++++++++

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත් ලබාදී විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

(08.09.2021 – 10:13 +0530 – sinhala.adaderana.lk)

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර පසුව ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ වෙනත් රටවල් ගණනාවක ප්‍රධාන විභාග පැවැත්වීම වෙනුවෙන් සිසුන් එන්නත්කරණයට ලක්කිරීමේ ක්‍රමවේදයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.

“අපි සැලසුම් කරනවා නම් තව මාස 6 කින්වත් මේ අවසාන කඩයිම් විභාග ටික තියන්න. මේ වෙලාවේ අපි කරන්න අවශ්‍ය උසස් පෙළ, සමාන්‍ය පෙළ සහ විශ්වවිද්‍යාල අවසන් වසරේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටවත් ෆයිසර් වැනි එන්නතක් ලබාදෙන එක. බොහො රටවල අද වෙනකොට පාසල් සුරක්ෂිත කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ඉතා විදිමත්ව ලබා දෙනවා. අපේ රටේ දෙකම කරන්නේ නෑ හරි විදියට. එක නිසා පාසල් ආරම්භ කරන එක අදටත් විවාදාත්මක මට්ටමක තියෙන්නේ.”

කෙසේ වුවද කිසිදු කටයුත්තක් සඳහා පාසල් විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තවදුරටත් නිර්මාණය වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“සුදුසු වාතාවරණයක් තියෙනවා නම් කොළ එළිය පත්තු කරන්න පුළුවන්. අපි දන්නවා මේ මොහොතේ පාසල් ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නැහැ කියලා. අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක් ඒ සුදුසු වාතාවරණය සකස්කරලා, ඒ වාතාවරණය තිබෙන බවට අපිට පෙන්නුම් කළොත් අපි කොළ එළිය පෙන්නුම් කරන එක ගැටළුවක් නෑ. සෞඛ්‍ය අංශයට ඒ වාතාවරණය සකස් කිරීමට පුළුවන් කමක් නෑ. අපේ පරමාර්ථය වන්නේ රෝගීන් අඩු කිරීම. පාසල් ළමුන් අතර රෝගය පැතිරීම අවම කිරීමටත් පාසල් ළමුන් හරහා නිවෙස්වල සිටින අයට රෝගය පැතිරීම වැළැක්වීමටත් සුදුසු වාතාවරණයක් රටේ ගොඩනගන්න අවශ්‍යයි.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *