අනවශ්‍ය අවධානමකට නොයා හැකිනම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලයි

අනවශ්‍ය අවධානමකට නොයා හැකිනම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලයි

*********************************************

අනවශ්‍ය අවධානමකට නොයා හැකිනම් ගැබ් ගැනීම් වසරකින් පමා කරන්න – විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලයි

(08.09.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

හැකියාවක් පවතින්නේ නම් ගැබ් ගැනීම් වසරකින් (1) පමා කරන ලෙස කොළඹ කාසල් කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටිනවා.

විශේෂඥ වෛද්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද (08) කොළඹ සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ වන විට ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ගර්භනී මවුවරුන්ට සහ දරුවන්ට ඇතිවන සංකූලතා ඉහළ යාම හේතුවෙන් එම ඉල්ලීම් සිදු කරන බවයි ඔහු පවසන්නේ.

වසරක කාලයක් යනු වෛද්‍ය විද්‍යාවට ඉතා දීර්ඝ කාලයක් බවත් එම කාලය තුළ දැනට භාවිතා කරන එන්නත් වලට වඩා හොඳ එන්නත් නිෂ්පාදනය විය හැකි බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අවධාරණය කරන්නේ තාමත් මෙම වෛරසය පිළිබඳව ලොව සෞඛ්‍ය අංශ විවිධ පර්යේෂණ සිදුකරමින් සිටින බවයි.

තවමත් මෙම වෛරසයේ හැසිරීම පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් වෛද්‍ය ක්ෂේත්‍රයට ලැබී නොමැති බවත් නමුත් තවත් වසරක් වැනි කාලයක් තුලදී ඒ සම්බන්ධයෙන් වඩාත් වැඩි අත්දැකීම් සහ ප්‍රතිඵලදායී ප්‍රතිකාර ක්‍රම සොයාගත හැකි බවටත් ඔහු විශ්වාසය පල කරනවා.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය හේතුවක් නොමැති දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ගෙන් විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලා සිටින්නේ මෙම අනතුරුදායක කාලසීමාව පසුකර දරුවන් පිළිබඳ බලාපොරොත්තු සඵල කර ගන්නා ලෙසයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය ගර්භණී මව්වරුන් සහ දරුවන් ජීවයේ අනාගතය වන බැවින් මෙම තීරණය ඉතා හොඳින් කල්පනා කර ගන්නා ලෙසයි.

++++++++++

++++++++++++++++++

(08.09.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අද (08) දිනයේදීත් දිවයින පුරා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් පළමු (1) මාත්‍රාව ලබාදීම අදත් සිදුකෙරුණා.

එසේම, මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් – 30 ත් අතර තරුණ තරුණයින්ටද කොරෝනා මර්දන පළමු (1) මාත්‍රාව ලබාදීම අද (08) ආරම්භ කෙරුණා.

එහිදී ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.

මේ අතර, තවත් මාස කිහිපයකින් කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදීමේ සූදානමක් පවතින බව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

මේ අතර, අද (08) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2269 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 4,74,132 ක් ලෙසයි.

+++++++++++++++

(08.09.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 185 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කළ මෙම මරණ 185 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,689 ක් ලෙසටයි.

ඊයේ (07) තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 83 ක් සහ පිරිමි පුද්ගලයන් 102 ක් වනවා.

මෙම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමියෙක් (1) මෙම මරණ අතර වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 44 ක් වාර්තාවී ඇති අතර කාන්තාවන් 19 ක් සහ පිරිමින් 25 ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 140 ක් වන අතර ඒ පිරිමි 76 ක් සහ කාන්තාවන් 83 ක් වශයෙන් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(08.09.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08) සිදුකර තිබෙනවා.

ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න සහ සූරිය යන සහල් මෝල් සතුව පවතින තොග පවරා ගැනීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවූ බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කළේ.

පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළඳපොළ වෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළඳසැල් වෙත ප්‍රවාහනය කිරීම ද එම අවස්ථාවේම ආරම්භ කර තිබෙනවා.

මෙම සහල් තොග කඩිනමින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණ බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය කියාසිටියේ.

නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරීත්වය විසින් සැලසුම් සහගතව විරෝධතා මතු කිරීමට කටයුතු කර ඇති අතර නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ප්‍රකාශ කළේ රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විසින් මෙම සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබු බවයි.

කෙසේවෙතත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළඳ අමාත්‍යවරයාට සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම මහා පරිමාණ සහල් මෝල් 4 පරික්ෂාවට ලක් කෙරුණේ පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් , පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සහ පොලිසියේ මැදිහත් වීමෙන්.

ඒ අනුව පොළොන්නරුවේ පවත්වාගෙතන යන මහා පරිමාණ සහල් මෝල 4 කින් සහල් කිලෝ ලක්ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් රජය භාරයට ගැනුනේ කිලෝ ග්‍රෑමයක් රජයේ පාලන මිළට වඩා රුපියල් 03 ක් අඩුවෙන්.

එහිදී නාඩු , සම්බා සහ කිරි සම්බා සහල් තොග මිළට ගෙන තිබෙනවා. රජය නියම කර ඇති උපරිම සිල්ලර මිළ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක් ද, සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 103 ක් ද, කීරි සමිබා කිලෝග්‍රෑමයක් රුපියල් 125 ක් ද වනවා.

අදාල සහල් මෝල් පරික්ෂා කරන අතරතුර ප්‍රසිද්ධ සහල් මොලක් අසලට රැස් වූ පිරිසක් පාරිභෝගික අධිකාරියේ නිළධාරීන්ට විරෝධය පළකිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදු කළ වැටලීමකදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 2 ක් මුද්‍රා තබා තිබෙනවා.

කෙසේ වෙතත්, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මහා පරිමාණයෙන් වී තොග සඟවන්නන් සෙවීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර, පෑලියගොඩ ප්‍රදේශයේ තවත් සීනි තොග ගබඩාවක් අද (08) පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නියෝජිතයින් ගේ පරීක්ෂාවට ලක් වුණා.

එහිදී අයථා ලෙස සඟවා ගෙන තිබු සීනි මෙට්‍රික් ටොන් 1300 ක ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරියේ භාරයට ගෙන මුද්‍රා තැබීමට කටුයුතු කළා.

මේ අතර, පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තැබූ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ ගබඩාවක මුද්‍රා ඉවත් කර සීනි මෙට්‍රික් ටොන් 320 ඉන් ඉවත් කරගෙන ඇති බව අණාවරණ වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අදාල ගබඩාව පරික්ෂා කිරීමට පැමිණීමේදී එහි තිබූ තවත් සීනි තොග ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති අතර ගබඩාවේ භාර කරුවන් දෙදෙනෙකු (2) සහ ලොරි රථයේ රියදුරා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත්තා.

++++++++++++

******************************************

(08.09.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ස්ථාවරව පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව බලපත්‍රලාභී බැංකුවලට දැනුම් දීමත් සමග ඩොලරයේ කළු කඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමේ අවදානමක් පවතින බවට ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් විනිමය අනුපාතවල අධික අස්ථාවර බව හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල දේශිය මිල ගණන්වලට අහිතකර බලපෑම් ඇතිවන බවයි මහ බැංකුව පෙන්වා දී ඇත්තේ.

එබැවින් මහ බැංකුව සියලු‍ම බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා ඇත්තේ එකඟ වූ පරිදි ඇමෙරිකානු ඩොලරය සඳහා විනිමය අනුපාතිකය රුපියල් 200 – 203 ත් අතර පරාසයක පවත්වාගෙන යන ලෙසයි.

ඒ අනුව සියලු‍ම වානිජ බැංකු ඊයේ (07) සහ අද (08) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 203 ක් ලෙස ස්ථාවර අගයක් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් විදේශ මුදල් හුවමාරු කරන පෞද්ගලික ආයතන ඩොලරයක් සඳහා අද ලබා දී තිබුණේ රුපියල් 240-250 ත් අතර ඉහළ අගයක්.

මෙම තීරණය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා මියන්මාරය උදාහරණයට ගනිමින් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඩොලරයේ කළු කඩ මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බවයි.

මියන්මාරය අමෙරිකානු ඩොලරයක් සඳහා කෙයට් 6 ක ස්ථාවර අගයක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඩොලරයක කළු කඩ මිල කෙයට් 800 දක්වා ඉහළ ගිය බව ඔහු පෙන්වා දෙනවා.

මහබැංකුවේ තීරණය විනිමය වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයින් ද අනාවැකි පල කරනවා.

මේ අතර පසුගිය සඳුදා (06) දිනය හා සැසඳීමේදී ඊයේ (07) සහ අද (08) විදේශිය මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අධිප්‍රමාණය වී තිබීම කැපී පෙනෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව පසුගිය සඳුදා බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 317.47 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත් අද (08) වන විට එය දැක්වුණේ 280.99 ලෙසින්.

ඒ අනුව ස්ටර්ලිං පවුමට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වී තිබෙනවා. එමෙන්ම ජපන් යෙන් එකක විකුණුම් මිලද පසුගිය සඳුදා (06) ඉතිහාසයේ පළමුවරට රුපියල් 2 ඉක්මවා ගොස් රුපියල් 2.09 ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 1.85 ක් ලෙසින්.

සඳුදා (06) රුපියල් 273.52 ක් වූ යූරෝ එක විකුණුම් මිල අද (08) වන විට රුපියල් 242.85 ක් දක්වා අඩු වී තිබුණා.

කෙසේ වෙතත් ගත වූ දින තුනේදී (3) අමෙරිකානු ඩොලරයක් සඳහා වන විනිමය අනුපාතය චිචලනය වී තිබුණේ ඉතා අවම ප්‍රමාණයකින් ෴

******************************************

(08.09.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවෙන් දත්ත ගොනු මැකීයාමේ සිද්ධියට අදාළව එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පරිගණක දත්ත ගොනු මෙහෙයවීම භාරව කටයුතු කළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයායි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් දත්ත ගොනු මැකීයාමේ සිදුවීම හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා අනාවරණ කළා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මේවන විට සම්පූර්ණයෙන්ම අතුරුදන්ව ඇත්තේ මෙරට ඖෂධ නියෝජිත ආයතන පිළිබඳ දත්ත, ඖෂධයක් ලියාපදිංචි කිරීමේ දත්ත, ඖෂධ නිෂ්පාදනාගාර පිළිබඳ දත්ත සහ ඖෂධ සාම්පල් පරීක්ෂා කිරීමේ බලපත්‍ර පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත ගොනු ලක්ෂ 11 ක පමණ ප්‍රමාණයක්.

ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තේ අදාළ දත්ත ගබඩාව මෙහෙයවූ පෞද්ගලික සමාගමට එරෙහි නඩු පැවරීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, එහිදී අදාළ පෞද්ගලික සමාගම නිවේදනය කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත ගොනු කිහිපයක් මැකී ගොස් තිබුණේ ඉංජිනේරුවෙකුගේ අත්වැරදීමකින් බවයි.

මෙම සිදුවීම යම් පාර්ශ්වයක කුමන්ත්‍රණයක් බවට විවිධ අවස්ථාවන්වලදී චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක මෙහෙයුම් කටයුතු සිදුකළ ‘එපික් ලංකා ටෙක්නොලජි’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරීන්ද්‍ර කල්පගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(08.09.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ඇප ලබාදීම සඳහා, කොරෝනා වසංගත තත්ත්වය සුවිශේෂී හේතුවක් නොවන බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අර්තාපල් කන්ටේනරයක් තුළ සඟවා හෙරොයින් කිලෝ 67 කට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමටයි මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කර ඇත්තේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පසුගිය වසරේ මාර්තු 12 වනදා සිදු කළ මෙහෙයුමකදී ආහාර අඩංගු කන්ටේනරයක අර්ථාපල් ස්වරූපයෙන් හඟවා රැගෙන ඇවිත් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 99 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඇප ලබා දීමේදී අධිකරණය විසින් සලකා බලන සුවිශේෂී කරුණු ආත්මීය කරුණු බවත් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සුලු කොට තැකිය නොහැකි බවත් හලාවත පදිංචිකරුවෙකු වන සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතීඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය පෙන්වා දී තිබෙනවා.

සිය සේවා දායකයාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හා කොරෝනා වසංගතය සමග බන්ධනාගාර තුල පවතින තත්ත්වය සලකා ඔහුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අදාළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත ගොනු කර තිබුණා ෴

******************************************

(08.09.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

අම්පාර දමන චීන වත්ත කොංගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක අත් පා ගැට ගසා කාන්තාවක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය මස 27 වනදා සිය දියණිය පැහැරගෙන ගිය බවට ඇයගේ මව අම්පාර – කඳානගෙදර පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තිබුණා.

අද (08) අළුයම ඇය මෙසේ මාර්ගයේ දමා ගොස් තිබූ අතර මේ වන විට එම කාන්තාව අම්පාර මුලික රෝහලට ඇතුළත් කර සිටිනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *