එන්නත් දෙකම (2) ලබාගත් පිරිස කෝටියට ළං වේ – විස්සත් තිහත් (20-30) අතර මාතර අයට ෆයිසර් එන්නත් ලබාදීම ඇරඹේ

එන්නත් දෙකම (2) ලබාගත් පිරිස කෝටියට ළං වේ – විස්සත් තිහත් (20-30) අතර මාතර අයට ෆයිසර් එන්නත් ලබාදීම ඇරඹේ

*********************************************

එන්නත් දෙකම (2) ලබාගත් පිරිස කෝටියට ළං වේ – විස්සත් තිහත් (20-30) අතර මාතර අයට ෆයිසර් එන්නත් ලබාදීම ඇරඹේ

(08.09.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (07) දිනයේදී පුද්ගලයින් 4,29,515 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ඊයේ (07) දිනයේදී පුද්ගලයින් 2,78,788 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති බවයි.

එහි පළමු (1) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 126,272 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 834 දෙනෙකුට ඊයේ (07) ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 19,956 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, මේ වනවිට මෙරට තුළ කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,29,52,755 ක්.

දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව අනූහත් ලක්ෂයකට (97,00,000) අධික බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

එන්නත්කරණ වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුනියන් වෙනුවෙන් ෆයිසර් එන්නත ලබා දීම අද (08) ආරම්භ වුණා.

මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාවටද ෆයිසර් එන්නත ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් විවිධ මත පල කර තිබුණා.

බස්නාහිර පළාත සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන්ට සයිනොෆාම් පළමු (1) මාත්‍රාව ලබා දීම අදත් සිදුවන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර, බන්ධනාගාර රැඳවියන්ට සයිනොෆාම් එන්නතේ 2 වන මාත්‍රාව ලබා දීම අද (08) සිට සිදු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි මූලික අදියර යටතේ අද (08) වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 2,067 ක් හා කාන්තා අංශයේ රැඳවියන් 396 දෙනෙකු සඳහා එන්නත් කිරීම සිදුවන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 964 දෙනෙකුටත්, නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 694 දෙනෙකුටත් එන්නත්කරණය හෙට (09) දිනයේදී සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා ෴

++++++++++++++++

(08.09.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ඇති තවත් පුද්ගලයින් 1,691 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,89,969 ක්. තවදුරටත් පුද්ගලයින් 71,390 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා ෴

(08.09.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2269 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,74,132 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගෙන් 71,390 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,89,969 ක්.

එමෙන්ම මෙරටින් කොරෝනා මරණ 10,504 ක් ද වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++

(08.09.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල හෙට (09) සහ අනිද්දා (10) දිනවල විවෘතව තැබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළඳ කටයුතු සඳහා පමණක් ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳපොල මෙලෙස විවෘතව තැබෙන බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(08.09.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 2021-08-31 දින බේරුවල මුහුදු තීරයේ දී අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 288 කට අධික මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පස් දෙනා (5) සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා, මේ වනවිට පොලිසිය මඟ අරිමින් ඉන්නා බව සඳහන් වෙනවා.

‘කළුදුර චමින්ද තාබ්‍රේව්’ හෙවත් ‘බොබ් මාලි’ ලෙස හඳුන්වන මොහු ව සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

සැකකරු සම්බන්ධ තොරතුරක් ඇත්නම් ඒවා පහත දුරකතන අංකවලට දන්වන ලෙස, පොලිසිය මහජනතාවට දන්වා සිටියි.

071 859 2727
011 234 3334

සහකාර අධ්‍යක්ෂ – පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය

******************************************

(08.09.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමඟින් නව ලෝක වාර්තාවක්ද පිහිටු වූ දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ හමුවුණා.

අමාත්‍යාංශයේ අද (08) පෙරවරුවේ සිදුවූ මෙම හමුවට ඔවුන්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින්ට දෙදෙනාට (2) ත්‍යාග පිරිනැමීමේ උත්සවය ලබන 10 වැනිදා හෝ 13 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව පැරාලිම්පික් පදක්කම් දිනූ මෙම ක්‍රීඩකයින් දෙදෙනා (2) ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද හමුවීමට නියමිත බවයි ජාතික පැරාලිම්පික් කමිටුව සඳහන් කළේ.

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තට සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවුණා ෴

******************************************

(08.09.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු පළමුවෙනි දා (01) සිට බල පැවැත්වෙන පරිදි, දිරාපත් නො වෙන ලන්ච් ෂීට් නිෂ්පාදනය,බෙදාහැරීම හා අලෙවිය සම්පූර්ණයෙන් ම තහනම් බව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවේදනය කරනවා.

පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනු යි අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ.

එ අනුව, වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත ව නිෂ්පාදනය කරන භාණ්ඩ හතක් (7) පාලනය වෙනු ඇති.

ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට, අමාත්‍ය මණඩල අනුමැතිය ද ලැබී තිබෙනවා.

මේ අතර, මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා එක්තර පිරිසක් නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි, පිටරටකට රැගෙන යන බවත් ඒ සඳහා ‘වියත් මඟෙන්’ පැමිණි ආණ්ඩුකාරවරිය හා නිදහස් පක්ෂ‍යේ අමාත්‍යවරයෙක් ද සම්බන්ධ බවත් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කළ චෝදනාව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වන රාසමානික්කම් සානක්කියන් ඊයේ (07) පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ඔප්පු කරන්නේ නම් තමා සිය ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද (08) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා මෙරට වැලි පැටවීමේ ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙකු සම්බන්ධ බවට රාසමානික්කම් සානක්කියන් මන්ත්‍රීවරයා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.

පසුගිය කාලයේදී වැලි කියුබ් හයහමාරක් (6½) පමණක් ජල පෙරණවලට යෙදීම සඳහා මාලදිවයිනට යවා ඇති බවත්, එය මෙරට සමාගමක් විසින් බදු මුදල් අය කරගනිමින් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මාලදිවයිනේ දූපතක් ගොඩකිරීමට එලෙස මෙරට වැලි යවන්නේ යැයි ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධූරයෙන් පමණක් නොව මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වීමට සූදානම් බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ෴

******************************************

(08.09.2021 – 17:04 +0530 – hirunews.lk/sinhala)

සූරියවැව මහපැලැස්ස ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු (2) සහ තවත් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (08) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

සූරියවැව මහපැලැස්ස උණුදිය පොකුණ අසල නිවසක සිටි 34 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී නිදි යහනේම ඝාතනය කර තිබියදී සොයා ගැණුනේ පසුගිය පළමුවනදා (01) යි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එකම පවුලේ අවුරුදු 20 සහ 22 වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙක් (2) සහ ඔවුන්ගේ මිතුරෙකු වන 22 හැවිරිදි තරුණයෙක්.

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මියගිය කාන්තාවගේ අනියම් සැමියාගේ දරුවන් දෙදෙනා (2) සහ මිතුරෙක් බව ද සඳහන්.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සිටින සහෝදරයන් දෙදෙනා (2) ගේ පියා කාලයක සිට මෙම කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ හේතුවෙන් ඔහු තම බිරිඳ සමග ද නිතර පවුල් ආරවුල් ඇතිකරගෙන ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙය ඉවසාගෙන සිටීමට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා (2) මිතුරෙකු සමග එක්ව අදාළ කාන්තාව ඝාතනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(08.09.2021 – 18:18 +0530 – hirunews.lk/sinhala)

මතුරට වැවිලි සමාගමට අයත් අනින්කන්ද වතුයායේ මුඩු හා කුරුඳු ඉඩම් අක්කර 100 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් වතුයායට නොදන්වා මිනුම් කටයුතු සිදු කිරිමට යන බවට ලද තොරතුරක් හේතුවෙන් එම වතුයායේ පාලනාධිකාරිය සහ සේවකයන් අද (08) නොසන්සුන් තත්ත්වයකට පත්වුණා.

මෙම වතුයායේ අදාළ කොටස දකුණු පළාත සහ සබරගමුව පළාත් මායිමේ පිහිටා ඇති අතර මාතර හා රත්නපුර වෙන්වන දිස්ත්‍රික් මායිම ද පිහිටා තිබෙනවා.

අදාළ කොටසේ මතුරට වැවිළි සමාගම කොටසක් කුරුඳු වගාකොට ඇති අතර අනෙක් කොටස පතන්බිම් ලෙසිනුයි දිස්වන්නේ.

මෙම කුරුඳු වගාව දීර්ඝ කාලීනව පුද්ගලයින්ට බදු පදනම මත ලබා දී ඇති අතර ඔවුන් එම ඉඩම් නඩත්තු කරමින් වසරක් පාසා මුදල් ගෙවන බවයි එම ඉඩම් ප්‍රතිලාභීන් පවසන්නේ.

කෙසේ වෙතත් ඇඳිරි නීති සමයේ පිරිසක් පැමිණ ඉඩම් එළි-පෙහෙළි කිරීමට කටයුතු කර ඇති අතර ඊට වතු සමාගම එරෙහි වී පොලිසියට පැමිණිළි කලත් ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිශන් සභාව ලබාදුන් බලපත්‍ර ඔවුන් සතුව ඇති බවට ප්‍රකාශ කරන බවයි වතු අධිකාරීවරයා පවසන්නේ.

කෙසේ වෙතත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිළධාරීන් යැයි හඳුන්වන පිරිස මෙම ඉඩම් අත්පත්කර ගැනීම සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ මෙලෙස හොර රහසේ කරන කටයුතු කරන්නේ ඇයිදැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

එලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිළධාරීන් යැයි පවසන පුද්ගලයින් පැමිණෙන බවට ලද තොරතුරු හේතුවෙන් වතු පාලන අධිකාරිය සහ වතුසේවකයින් නොසන්සුන් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

වතු සේවකයින් පවසන්නේ උපන්දා සිට ජීවත්වූ වතුයායේ ඉඩම් එක් එක් පුද්ගලයින් විසින් වෙන්කර ගැනීමට කටයුතු කිරීමෙන් මතුරට වැවිළි සමාගමේ කුරුඳු නිෂ්පාදනයෙන් ජීවත්වූ ඔවුන්ට ආදායම් මාර්ගය අහිමිවී යන තත්වයක් උද්ගතව ඇති බවයි.

එමෙන්ම දීර්ඝකාලයක් සේවය කල වතුයායේ නිවසක් ඉඳිකර ගැනීම සඳහා ඉඩකඩ ලබාදෙන ලෙස කම්කරුවන් ඉල්ලා සිටිනවා.

අදාළ වතුසමාගමේ කුරුඳු ඉඩම් බදු පදනම යටතේ භුක්ති විදින ආදායම්ලාභියෙකු ප්‍රකාශ කලේ රුපියල් ලක්ෂ දහයක (10) මුදලක් ලබාදෙන්නේ නම් ඉඩමේ භුක්තිය දිගටම පවත්වාගෙන යාමට ඉඩකඩ ලබාදෙන බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිළධාරියෙකු ප්‍රකාශ කළ බවටයි ෴

******************************************

(08.09.2021 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ, ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

පැරාලිම්පික් තරග බිමේ නව වාර්තා තබමින් ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයෙහි ගෞරවාදරයට ලක් කිරීමක් බවයි අග්‍රාමාත්‍යවරයා එහි දී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය අලුතින් ලියූ මෙම ජයග්‍රහණයට මග පෙන්වූ පුහුණුකරුවන් නිලධාරීන් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැප වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා.

මෙම ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු රජය ලබා දුන් සහයෝගයට ප්‍රණාමය පුද කරන බවයි මෙහි දී පැරාලිම්පික් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ප්‍රකාශ කර ඇත්තේ.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම දිවයිනට පැමිණියේ ඊයේ (07) පස්වරුවේදීයි.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම ද රැගෙන දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පැරා කණ්ඩායමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හිමිවුණේ උණුසුම් පිළිගැනිමක්.

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම නව ලෝක වාර්තාවක් ද සමගින් දිනා දෙන්නට F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්තට හැකියාව ලැබුණා.

මීට අමතරව F64 හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් ලෝකඩ පදක්කමකින් ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දුන්නා.

රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්තට රුපියල් මිලියන 50 ක මුදලක් සහ ලෝකඩ පදක්කම දිනාගත් සමිත දුලාන්ට රුපියල් මිලියන 20 ක තැගි මුදලක් පිරිනැමීමටත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

ලෝක වාර්තා පිහිටුවීම වෙනුවෙන් දිනේෂ්ට රුපියල් මිලියන 10 ක් මුදලක් ලබාදීමටයි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත්තේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද දිනේෂ්ට රුපියල් මිලියන 10 ක් සහ සමිතට රුපියල් මිලියනයක (1) තැගි මුදලක් ද ලබා දෙනු ඇති.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ (2) පුහුණුකරු වූ ප්‍රදීප් නිශාන්තට ක්‍රීඩකයන්ට හිමි වන මුදල මෙන් 25% ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටත් නියමිතයි.

එමෙන්ම තරගාවලියේ 4 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිලියන 2.5 ක් ද, 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානයට පත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිලියනය (1) බැගින් ද පිරිනැමීමටත් සැලසුම් කර තිබෙනවා.

පැරා පුහුණුකරුවන් වෙනුවෙන් මිලියන 19 කට ආසන්න මුදලක් වෙන් කර ඇති අතර පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් මෙවර ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වෙන් කර ඇති තෑගි මුදල රුපියල් මිලියන 107 කට ආසන්න වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *