පාසල් විවෘත කිරීම තවදුරටත් යෝග්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

පාසල් විවෘත කිරීම තවදුරටත් යෝග්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

*********************************************

පාසල් විවෘත කිරීම තවදුරටත් යෝග්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

(07.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳ ව නැවත සලකා බලන්නැ යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගෙන් ඉල්ලීමක් කරනවා.

අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත්වීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, අද (07) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉවත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 09 දෙනෙක් විදේශගත ව සිට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,65,949 ක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් එහි දී කියා සිටියේ.

පවතින තත්ත්වය අනුව පාසල් විවෘත කිරීමේ සූදානමක් නැති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී සඳහන් කළා.

මේ අතර, මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,20,283 ක්.

ඒ අනුව පළමු (1) මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 93,174 ක් සහ දෙවැනි (2) මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 2,27,109 ක් ලබා දී තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් පළමු (1) මාත්‍රාව ලබාදීම අදත් ක්‍රියාත්මක යි.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී එන්නත් ලබාදීම සිදුවෙනවා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 3,20,283 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ඊයේ (06) දිනයේදී පුද්ගලයින් 2,00,961 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදී ඇති බවයි.

එහි පළමු (1) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 88,441 ක්. එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 1,286 දෙනෙකුට ඊයේ (06) ලබාදී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව 24,550 දෙනෙකුට ලබාදී තිබෙනවා.

එසේම, මේ වනවිට මෙරට තුළ කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි විසිඅට ලක්ෂය (1,28,00,000) ඉක්මවනවා.

දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 94,14,851 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

+++++++++++++++

(07.09.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

සිරින්ජ සහ එන්නත් කටු යොදා ගනිමින් සිරුරට එන්නත් විදීමට මැලිකමක් දක්වන පුද්ගලයින්ට සුදුසු කොරෝනා එන්නතක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ලොව ප්‍රථම ඩී.එන්.ඒ. එන්නත වන එය, හඳුන්වා ඇත්තේ ‘සයි-කොව්-ඩී’ ලෙසින්.

එන්නත් කටු භාවිතයකින් තොර ව එය සම මත තෙරපීමෙන් සිරුරට අවශෝෂණය කර ගැනෙන බව සඳහන්.

රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනයට එරෙහි ව එය 67% ක රැකවරණයක් සලසන අතර, ඉන්දියාවේ ළමයින් සඳහා ද භාවිතයට අනුමත කර තිබෙනවා.

අනෙකුත් කොරෝනා එන්නත්වලට සාපේක්ෂ ව එය අඩු ශක්‍යතාවක් වූවත් සයි-කොව්-ඩී එන්නත නිෂ්පාදනය කිරීම සහ ගබඩා කිරීම පහසු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ෴

++++++++++++++

(07.09.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී ඇති තවත් පුද්ගලයින් 1,769 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 388,278 ක්. තවදුරටත් පුද්ගලයින් 70,301 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා ෴

++++++++++++++++++

(07.09.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර තුළ දී රජයට ලැබිය යුතු ආදායම් රුපියල් බිලියන 1600 ක් අහිමි වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවේ දී ආනයන අපනයන පාලන පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වක්‍ර බදු ආදායම් සියයට 70 ක් පහත වැටී ඇති බව යි.

එමෙන්ම රටේ ප්‍රධාන අදායම් මාර්ග වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉපැයීම් රට වසා දැමීම හේතුවෙන් බරපතළ ලෙස පහත වැටී ඇති බවත් ඔහු කියා සිටියා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ රජයේ ආදායම් වියදම් පරතරය උග්‍ර වීමත් මෙම කාරණයට දැඩි ලෙස බලපා ඇති බව යි.

කෙසේ වෙතත් මතු ව ඇති ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් රජය මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එහි දී සහනදායී ණය ක්‍රමයන් පිළිබඳව පමණක් රජයක් ලෙස අවධානය යොමු කරන බවත් මුදල් අමාත්‍යවරයා අවධාරණය කළා ෴

+++++++++++++++++++

(07.09.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 4 තුල මග හැරුණු තවත් කොරෝනා ආසාදිතයින් 2,950 දෙනෙකු ආසාදිත ලැයිස්තුවට එක් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ අසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන්නේ 4,68,899 ක් ලෙසින්.

මේ අතර කොරෝනා ආසාදනය වී ඇති තවත් පුද්ගලයින් 1,769 දෙනෙකු අද සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3,88,278 ක්.

තවදුරටත් පුද්ගලයින් 70,301 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා ෴

අද (07) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,823 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,70,722 ක් දක්වා ඉහලගොස් තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(07.09.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව සම්බාධක පැනවී තිබුණු ජපානයට නිදහස ලබාදුන් සැන් ෆ්‍රැන්සිස්කෝ ගිවිසුම අත්සන් තැබීමේ 70 වැනි සංවත්සරය ඊයේ (06) ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වුණා.

ජපානයට නිදහස ලබා ගැනීම සඳහා එවකට ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී ලෝක නියෝජිතයින් අමතා සිදුකල දේශනය ප්‍රබල කාර්යභාරයක් ඉටු කළා.

‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ යන බුදු වදන විග්‍රහ කරමින් එවක මුදල් අමාත්‍යවරයා විසින් සිදුකළ එම දේශනය ජපානයට නිදහස ලබාදීම සඳහා මහෝපකාරී වූ බව ජපානයේ සමස්ථ පිළිගැනීමයි.

එදා පටන් අද දක්වා ජපානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු ලෙස කටයුතු කරනු ලබන්නේ ජේ.ආර්. ජයවර්ධන එදා සිය රට වෙනුවෙන් පෙනී සිටිමින් සිදුකළ කාර්යභාරයට කෘත ගුණ දැක්වීමක් ලෙසටයි.

1951 සැප්තැම්බර් 06 වෙනි දින අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී සිදුකළ මෙම දේශනයේ වීඩියෝ පට සහ ඡායාරූප එකතුවක් පානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ප්‍රදර්ශනය කළ අතර මෙම අවස්ථාව සජීවීව ආවරණය කිරීම සඳහා ජපානයේ රූපවාහිනී නාලිකා සියල්ල කටයුතු කර තිබුණා.

මෙම අවස්ථාවේදී දිවංගත ජේ.ආර්. ජයවර්ධනගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන කොළඹ ජයවර්ධන මධ්‍යස්ථානයේ සිට සජීවිව එක්වූ අතර ජපානයේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ හිටපු නියෝජිත යසුෂි අකාෂි, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මහලේකම් යූකෝ ඔබුචි මෙහිදී අදහස් දැක්වූවා.

මෙම අවස්තාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර ද එක්ව සිටියා.

******************************************

(07.09.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව අද (07) පෙරවරුවේ රික්ටර් මාපක 2.4 ක සුළු භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා.

එහි සභාපති අනුර වල්පොල මහතා කියා සිටියේ පෙරවරු 10:38 ට පමණ මෙම සුළු භූ චලනය සිදුව ඇති බවයි.

පසුගිය මස 24 වැනිදා ද ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව සුළු භූ චලනයක් සිදුවූ අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

(07.09.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවල පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් රිය ධාවනයේ දී සැළකිලිමත් වන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලීමක් කරනවා.

හැටන් – ගාමිණීපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයකට සහ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ එම්.ආර්. නගරය ප්‍රදේශයට ඊයේ (06) රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.

මේ වනවිට එය යථා තත්ත්වයට පත්කර ඇති බව යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

******************************************

(07.09.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ, ඔහු යළි මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට ඉදිරිපත් ව ඇති යෝජනාවට අනුව යි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ තමන් එය ප්‍රතික්ෂේප නො කරන බව යි.

මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර, පාර්ලිමේන්තුවේ දී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ද ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්න යි.

කෙසේ වෙතත්, කතානායකවරයාගේ මැදිහත්වීමත් සමඟ ආණ්ඩුවෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ ෴

******************************************

(07.09.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිව්දෙනා (4) ලබන මස 21 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය මස 03 වනදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති අමිල සංදීප, කෝසලා හංසමාලි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත ඒ අතර වනවා ෴

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එළඹෙන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

මුදල් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා ෴

******************************************

(07.09.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්ත ව ක්‍රියාත්මක වන විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායමට ලද බුද්ධි තොරතුරු අනුව අද (07) පෙරවරුවේ මෙම වැටලීම සිදු කරනු ලැබුවා.

හොරොව්පතාන ප්‍රදේශයේ දී ඝාතනය කරන ලද ගවයින්ගේ මස් නීති විරෝධී ආකාරයෙන් කොළඹට රැගෙන එන බවට විශේෂ කාර්ය බලකායට බුද්ධි තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වුණු විශේෂ මෙහෙයුම් 3 කණ්ඩායම විසින් ගම්පහ ප්‍රදේශයේ සිට දෙහිවල දක්වා මස් ප්‍රවාහනය කළ ලොරි රථ දෙක (2) ලුහුබැඳ විත් දෙහිවල ප්‍රදේශයේ දී සෝදිසියට ලක් කරල තිබුණා.

එහි දී ඝාතනය කරන ලද ගවයින්ගේ හිස් හතළිහක් පමණ මෙහි තිබූ බව යි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා මෙම ගවමස් පරික්ෂා කළ අතර, එහි දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මේවා මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බව යි.

කිලෝ හය දහසකට (6000) අධික ගවමස් ප්‍රමාණයක් මෙහි දී සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, ගවමස් ප්‍රවාහනය කළ ලොරි රථ දෙක (2) ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

එම ගව මස්වල වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බව යි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ එම ලොරි රථ දෙහිවල පොලීසියට භාර දී තිබෙනවා ෴

******************************************

දිනේෂ් ප්‍රියන්ත ඇතුළු පැරාලිම්පික් කණ්ඩායම දිවයිනට

(07.09.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමඟින් නව ලෝක වාර්තාවක්ද පිහිටු වූ දිනේෂ් ප්‍රියන්ත ප්‍රධාන ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඔලිම්පික් තරඟ ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය මෙවර ටෝකියෝ පිටිය පුරා රැව්පිලි රැව්දෙන්නේ මුළු ලොවම අවධානය ඒ වෙත යොමු කරමින්.

F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්ද සමඟින් ශ්‍රී ලංකාව රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත අප රටට එම භාග්‍යය උදා කළා.

මීට අමතරව F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමිත දුලාන්ද සමත් වුණේ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ධෛර්යය යළි යළිත් ලොවට පසක් කරමින්.

අද (07) පස්වරු 04:21 ට UL 455 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පැරා කණ්ඩායම පිළිගැනිම වෙනුවෙන් විශේෂ චාම් උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධාන කර තිබුණා.

උත්සව කටයුතුවලින් අනතුරුව අද (07) රාත්‍රියේ ඔවුන් විශේෂ මාධ්‍ය හමුවකටද එක්වනවා.

මේ අතර, දිනේෂ් ප්‍රියන්තට සහ සමිත දුලාන්ට ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් නවීන මෝටර් රථ දෙකක් (2) ලබාදීම අද (07) උදෑසන ජපානයේ ටෝකියෝ ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදු වුණා.

එම අවස්ථාව ජපානයේ ශ්‍රී ලංකා තානපති සංජීව් ගුණසේකර මහතා ද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ මෙම ක්‍රීඩකයින් සඳහා කරන ඇගයීම සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගන්වන කටයුත්තක් බවයි.

මේ අතර, රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 05 ක මුදලක් සහ ලෝකඩ පදක්කම දිනාගත් සමිත දුලාන්ට රුපියල් කෝටි 02 ක තෑගි මුදලක් පිරිනැමීමටත් ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ලෝක වාර්තා පිහිටුවීම වෙනුවෙන් දිනේෂ්ට අමතර රුපියල් කෝටියක (1) මුදලක්ද ලබාදීමටයි ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලසුම් කර අත්තේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ද දිනේෂ්ට රුපියල් කෝටියක් (1) සහ සමිතට රුපියල් ලක්ෂ දහයක (10) තෑගි මුදලක්ද ලබා දෙනු ඇති.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ (2) පුහුණුකරු වූ ප්‍රදීප් නිශාන්තට රුපියල් කෝටි දෙකකට (2) ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමීමටත් නියමිතයි.

එසේම තරඟාවලියේ දක්ෂතා මට්ටම් අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාදීමටද සැලසුම් කර තිබෙනවා.

මේ අතර දිනේෂ් ප්‍රියන්ත ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිගනු ලැබුවේ මෙලෙසින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *