නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට

නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට

*********************************************

නිධන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට සහ තරුණයින්ට, කොරෝනා ආසාදනය වීමේ අවදානම ඉහළට

(05.09.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

එහි විශේෂඥ කමිටුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ රට වසා දැමීමේ ක්‍රමවේදයේ පුර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට නම් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය මේ මස 18 වනදා දක්වා හෝ ඔක්තොම්බර් මස 02 වනදා දක්වා දීර්ඝ කළ යුතු බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට සහ අවුරුදු 12 ට වැඩි ප්‍රතිශක්තිකරණ දුර්වලතාවලින් පෙළෙන ඕනෑම අයෙකුට තුන් වන (3) මාත්‍රාව ලෙස ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත් ලබා දිය යුතු බවයි.

එමෙන්ම මෙලෙස ප්‍රතිශක්තිකරණ ඌනතාවයෙන් පෙළෙන, සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම (2) ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට තුන්වන (3) මාත්‍රාව ලබාදිය යුත්තේ දෙවන (2) මාත්‍රාව ලබාදී අවම වශයෙන් දින 28 කට පසුව බවද එහි දැක්වෙනවා.

මේ අතර නිධන්ගත රෝගවලින් පෙළෙන ළදරුවන්ට සහ තරුණයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩිහිටියන්ට හා සමාන වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

මාර්ගගත ක්‍රමයට පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරිය කියා සිටියේ ළමයින් මිලියනයකට කොරෝනා ආසාදනය වුවහොත් 13 දෙනෙකු මියයන බව කේම්බිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවයි.

වයස අවුරුදු 65 ත් 74 ත් අතර වැඩිහිටියන් මිලියනයකට කොරෝනා ආසාදනය වුවහොත් ඉන් 22,000 ක් සහ අවුරුදු 75 ට වැඩි පුද්ගලයින් මිලියනයකින් 1,20,000 ක්ද මියයා හැකි බව ඇය එහිදී පෙන්වා දුන්නා.

බටහිර රටවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගියත් ඔවුන් පාසල් පද්ධති විවෘතව පවත්වාගෙන යන බවත්, වර්තමානයේ ලොව පාසල් විවෘත කර නොමැති රටවල් 15 අතර ශ්‍රී ලංකාව ද සිටින බවත් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 අද (05) උදෑසන මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානාවකින්.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන අදත් (05) ක්‍රියාත්මක වනවා.

දින 23 කට පසු මෙරට දෛනික ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවක් ඊයේ (05) දක්නට ලැබුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද කොරෝනා මරණ 145 ක් ඊයේ (04) වාර්තා කර තිබුණා.

මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 150 ක් අගයකට අඩුවෙන් වාර්තා වූයේ දින 23 කට පසුවයි.

එමෙන්ම ඊයේ (04) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,333 ක්.

+++++++++++++++++

කොරෝනා ආසාදනය වී පූජ්‍ය පූලියැද්දේ සුධම්ම හිමියන් අපවත් වෙයි

(05.09.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

‘හිරු එෆ්.එම්. සෙනසුරාදා සදහම් උදෑසන’ ධර්ම දේශකයාණන් වහන්සේ සහ ‘හිරු ටී.වී. සීල පාරමිතා’ ධර්ම දේශකයානන් වහන්සේ වන හන්තාන සිරිධම්මරතන ත්‍රිපිටක ධර්මායතනයේ ධර්මායතනාධිපති පූජ්‍ය පූලියැද්දේ සුධම්ම හිමියන් කොරෝනා ආසාදනය වී අපවත්වී තිබෙනවා.

42 හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි ඊයේ (05) රාත්‍රියේයි මෙලෙස අපවත්වී ඇත්තේ.

මේ අතර කොරෝනා වැළඳීම හේතුවෙන් ආණමඩුව අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වසන්ත ජයසූරිය මහතා ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි වෛද්‍යවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ෴

++++++++++++++++

(05.09.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමඟ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ගොවීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

ඒ තම අස්වනු වලට නිසි මිලක් නොලැබීම ඇතුළු ගැටළු රැසක් හේතුවෙන්.

මේ රාගල ප්‍රදේශයේ ගොවින් පිරිසක් මුහුණ දෙන එවන් ගැටළුවක්.

+++++++++++++++

(05.09.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 2,081 දෙනෙකු සුවය ලබා අද (05) දිනයේ රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ මේ වනවිට කොවිඩ් ආසාදනය වූ මෙරට පුද්ගලයින් 3,84,557 දෙනෙකු සුවය ලබා ඇති බවයි ෴

අද (05) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 2,564 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,62,023 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++

(05.09.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20 ත් 29 ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සයිනොෆාම් එන්නත, එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදීම ලබාදෙනු ඇති.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවලට අමතරව විහාරමහාදේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදි මෙම පිරිස සඳහා එන්නත් ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

හෙට (06) ඇරඹෙන මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීම සිදු කරන්නේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණයි.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු විස්සත් තිහත් (20-30) අතර තරුණ තරුණියන්ට එන්නත් ලබාදීම අද (05) දිනයේත් සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 අද (05) මෙරටට රැගෙන එනු ලැබුවා.

මෙම එන්නත් තොගය භාරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් තිබූ අතර, එහිදී ඔහු කියා සිටියේ ස්පුට්නික් එන්නත ලබාගත් මහනුවර වැසියන්ට එහි දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය මේ මස තුළදී ලබාදීමට එම එන්නත නිෂ්පාදනය කරන සමාගම එකඟතාව පළ කර ඇති බවයි.

(05.09.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව අද (05) දස දහසේ (10,000) සීමාව ඉක්මවා ගියා.

ඒ තවත් මරණ 189 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරිමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,140 ක් ලෙසටයි.

ඊයේ (04) තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 93 ක් සහ පිරිමින් 96 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තා මරණයි වාර්තා වන්නේ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 34 ක් මෙම මරණ අතර වනවා.

පිරිමින් 20 ක් සහ කාන්තාවන් 14 ක් ඊට අයත්.

අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 78 ක් සහ පිරිමින් 76 ක් ද ඊයේ (04) තහවුරු කෙරුණු මරණ ට අයත්.

මේ අතර මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 4,62,023 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 67,515 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,84,557 ක් ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 744 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (05) දිනයේ මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3308 ක් වනවා ෴

++++++++++++++

(05.09.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හට කොරෝනා පරීක්ෂාවක් හෙට (06) දිනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඊට පාර්ලිමේන්තුවේ සේවකයින්ට සහ පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කරන මාධ්‍යවේදීන්ටද එක්විය හැකි බවයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

හෙට (06) උදෑසන 09:30 සිට දහවල් 12:30 දක්වා මෙම කොරෝනා පරීක්ෂණය සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අංශ විසින් පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙසට මීට පෙර සිට දැනුම්දී තිබුණා.

හෙට (06) සහ අනිද්දා (07) පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන අතර, ඊට සමගාමීවයි මෙම කොරෝනා පරීක්ෂාවන් සිදු කෙරෙන්නේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

(05.09.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන කිලෝග්‍රෑම් පණහේ (50) පොහොර මිටි 169 ක් කදිරවේලි සහ වාකරේ ප්‍රදේශවලින් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

නිවෙස් තුළ ගබඩා කර තිබියදී මෙම පොහොර තොගය ඊයේ (05) සොයාගෙන ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයින් හතරදෙනෙකු (4) ද අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා භාරදී ඇත්තේ වාකරේ පොලිස් ස්ථානය වෙතයි.

ගොවීන්ට අලෙවි කිරීම සඳහා සැකකරුවන් මේවා ගබඩා කර ඇති අතර, පොදු දේපළ පනත යටතේ ඔවුන්ට නඩු පවරන බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

(05.09.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලර් බිලියන 2.8 දක්වා පහත බැස තිබූ මෙරට විදේශ සංචිත මේ වනවිට ඩොලර් බිලියන 3.8 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය පිළිබඳව අල්ජසීරා රූපවාහිනී නාලිකාව සිදුකළ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙම සංවාදයට අදාළ නාලිකාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද එක් කරගෙන තිබූ අතර, රාජ්‍ය අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළා.

මේ අතර හිටපු මහ බැංකු අධිපතිවරුන් සියලු දෙනා සඳහා හිඟ මුදල්ද ඇතුලුව විශ්‍රාම වැටුප් ලබාගැනීමට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා උත්සහ කරන බවට ඉංග්‍රීසි පුවත්පතක් අද (05) වාර්තා කර තිබූ අතර, එහි දැක්වුණේ ඊට මුදල් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

වසර අටකට (8) අධික කාලයක් මහ බැංකු අධිපති ලෙස සේවය කර ඇති බැවින් තම පත්වීම් ලිපියට අනුව විශ්‍රාම වැටුපක් හිමි බව ඔහු එමඟින් සඳහන් කර තිබෙනවා.

තමන් ධුරයෙන් අස්වීමෙන් පසුව වසර හතරක් (4) යනතුරු විශ්‍රාම වැටුපක් නොගෙවූ බැවින් ඒ පිළිබඳව එවක මහ බැංකු අධිපතිව සිටි ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට දැනුම් දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් අනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස තමන් බලපෑමක් නොකළ බව ඔහු සිය ට්විටර් පණිවුයෙන් පෙන්වා දී තිබෙනවා ෴

******************************************

(05.09.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පවතින ඇඳිරි නීති සමයේ ගාල්ල, උඩුගම නැගෙනහිර ප්‍රදේශයට ජලය සැපයෙන රක්ෂිත ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් හෙළි කරන බවට ගම්වැසියන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නා ජල පෝෂික ප්‍රදේශයට දැඩි හානි සිදුවන බවයි.

******************************************

(05.09.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි මිල ඉහළ නොදමන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යාංශයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ පවතින මිලටම තිරිඟු පිටි අලෙවි කිරීමට ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බවයි.

මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා කර තිබූ ස්ථාන 10 ක් වටලා එහි තිබූ තොග අද (05) සිය භාරයට ගෙන තිබෙනවා.

එම ගබඩා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බවටයි පසුව අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, රජය විසින් පාලන මිලක් පැනවීමත් සමඟ සීනි සහ සහල්වල හිඟයක් පවතින බවට වෙළඳසැල් හිමියන් චෝදනා කරනවා.

******************************************

(05.09.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් සභාපතිවරයා ප්‍රතිකාර සඳහා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

දැරණියගල – දෙල්ඔලුව ප්‍රදේශයේදී ඊයේ (04) මෙම පහරදීම සිදුව ඇති අතර, අදාළ සැකකාර කාන්තාව හෙට (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *