සිසුන්ට එන්නත් ලබාදීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව වෛද්‍යවරුන් කියයි
*********************************************
සිසුන්ට එන්නත් ලබාදීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව වෛද්‍යවරුන් කියයි
(04.09.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)
සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් විවෘත කළ හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
මේ අතර, සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා එල්ල කළේ ආසාදිතයන් සංඛ්‍යාව අඩුවී ඇත්තේ ‘කොරෝනා පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම’ හේතුවෙන් බවයි.
නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකම කොරෝනා ආසාදිතයින් 14,223 දෙනෙකු පසුවන බව නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේද කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළා.
පුද්ගලයින් 52,361 ක් අදාළ ක්‍රමවේදය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඉන් 37,448 ක් සුවය ලබා ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.
අදාළ ක්‍රමවේදය යටතේ සිටි ආසාදිතයින් 607 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුවීමට නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හරහා ලියාපදිංචි විය යුතු බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය කියා සිටියා.
මේ අතර, ඇතැම් විදේශ රටවල ක්‍රියාත්මක වන ආකාරයට සිසුන් එන්නත්කරණයට ලක් කිරීමකින් තොරව පාසල් ආරම්භ කළ හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා කියා සිටියේ.
මේ අතර මහනුවර ජාතික රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයෙකු මහල් පහකින් යුත් ගොඩනැගිල්ලෙන් පැන ¤¤¤¤ ¤¤ කරගෙන තිබෙනවා. පිළිකා රෝගියෙකු ද වන මොහු අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙක්.
අද (04) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයන් 2,640 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
එසේම අගෝස්තු 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුළ හමුවූ තවත් ආසාදිතයන් 4,725 දෙනෙකුගේ තොරතුරු අද (04) දිනයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඔවුන්ගේ වෙබ් අඩවියට එක් කර තිබුණා.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,58,766 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 10 ක සංචාරකයින්ට පනවා තිබූ තහනම අනිද්දා (06) සිට ඉවත් කිරීමට පිලිපීනය පියවර ගෙන තිබෙනවා.
හෙට (05) සහ අනිද්දා (06) දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම සඳහා පමණක් විවෘත කෙරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.
මේ අතර සයිනොෆාම් එන්නත මෙරටදී ලබාදුන් සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.
එසේම තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක හෙට (05) දිවයිනට පැමිණීමට නියමිතයි.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්-වී පළමු (1) මාත්‍රාව ලබාගත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එහි දෙවන (2) මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කළ පසු එය ක්‍රියාවට නංවන බවයි.
‘හාඩ් ටෝක්’ විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මේ බව කියා සිටියා ෴
කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් මරණ 145 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9951 ක් ලෙසටයි.
++++++++++++++++
(05.09.2021 – 05:56 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව විසින් චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මිලියන හතරෙන් (4) පළමු කොටස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (05) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.
කිලෝග්‍රෑම් 16,192 ක් බරැති එන්නත් පෙට්ටි 42 ක් පළමු කාණ්ඩය යටතේ තිබූ බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සදහන් කළේ.
ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් මිලියන 4 න් තවත් කොටසක් හෙට (06) මෙරටට ලැබීමට නියමිතයි.
ශ්‍රී ලංකාව විසින් මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 22 ක් මිලදී ගෙන ඇති බව ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය මීට පෙර නිවේදනය කළා.
එමෙන්ම, එළඹෙන ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර ස්පුට්නික් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලෙස යොදා ගැනීමට තවත් එන්නත් 1,20,000 ක් ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියානු ගැමලයා එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සදහන් කළේ.
එමෙන්ම, එළඹෙන ඔක්තෝම්බර් මාසය තුළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව මුදල් ගෙවා අවසන් කර ඇති බව ද ඔහු කියා සිටියා.
මේ අතර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ (04) තහවුරු කරන ලද මරණ 145 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 9951 ක් දක්වා ඉහළ ගියා.
අගෝස්තු මස 10 වන දායින් පසු මෙරට කොරෝනා මරණ අඩු අගයක් ගනු ලැබුවේ ඊයේ (04) දිනයේයි.
නව මරණවලින් 117 ක්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම නව ආසාදිතයින් 3333 දෙනෙකු ඊයේ (04) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,59,459 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයින් සියළු දෙනා ‘අලුත් අවුරුදු කොවිඩි පොකුරේ’ ආශ්‍රිතයින් වන අතර ඒ අනුව සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 67,032 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,82,476 ක් ෴
+++++++++++++++++
(05.09.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)
ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව ඔක්සිමීටරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 3000 ක්.
එමෙන්ම, මිල මකා දැමිය නොහැකි පරිදි ඔක්සිමීටරයේ මිල සලකුණු කළ යුතුයි.
එසේම ඔක්සිමීටරය අලෙවි කළ යුතු ආකාරය දැක්වෙන තවත් කරුණු රැසක් අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
ඉතා අධික මිල ගණන් යටතේ ඇතැම් ඖෂධ වෙළඳසැල් තුල ඔක්සිමීටර් අලෙවි කර තිබූ අතර ඇතැම් වෙළඳසැල්වල ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර් අලෙවි කරන බවටයි තොරතුරු ලැබී තිබුණේ.
මේ හේතුවෙන් සිදුකළ සොයා බැලීම් සහ වැටලීම්වලින් අනතුරුව එම උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ ඉදිරියේදී තවත් මෙවැනි වෛද්‍ය හා සෞඛ්‍ය උපකරණ සඳහා නිසි ප්‍රමිතියක් ලබාදීමටත් උපරිම මිලක් නියම කිරීමටත් පියවර ගන්නා බවයි.
- [ https://cdn.hirunews.lk/Data/news_uploads/202109/281405_1.jpg ]
- [ https://cdn.hirunews.lk/Data/news_uploads/202109/281405_2.jpg ]
@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@
(04.09.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ‘අමිල ප්‍රසන්න හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහුට කොරෝනා වැළඳී ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඒ, මාතර මහ රෝහලේ අද (04) පෙරවරුවේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදියි.
මේ අතර ඔහුව ඝාතනය කිරීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන අංක තහඩු රහිත වෑන් රථයක් පොලිසිය අද සොයාගත්තා. ඒ, මාතර – බණ්ඩත්තර – නාදුගල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදියි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
මාතර – වරකපිටිය ප්‍රදේශයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊයේ (03) දහවල් එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වුණා ෴
******************************************
දේශිය වෙදකම හා ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
(04.09.2021 – ada.lk)
පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය.
මොණරාගල, සිරිගල පිහිටි ‘රාජපුර ආයුර්වේද රෝහල’ විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පීත්ත පටිය කපමින් රාජපුර ආයුර්වේද රෝහල විවෘත කළ අතර අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
බෝ නොවන රෝග රැසකට දේශීය ප්‍රතිකාර කරනු ලබන මොණරාගල රාජපුර ආයුර්වේද රෝහල, රෝගීන් හතළිස් දෙනෙකුට (40) එකවර නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම්වලින් සමන්විතය.
බෞද්ධ ස්වාමීන්වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ට මෙම රෝහලේ බාහිර හා නේවාසික ප්‍රතිකාර මුළුමනින්ම නොමිලේ සැපයෙනු ඇත. රෝහල විවෘත කරන අවස්ථාවට වැල්ලවාය සිරි පියරතන විද්‍යාතනයේ විහාරාධිපති කන්දඋඩ පංගුවේ සුධම්ම හිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.
රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා මෙසේ පැවසිය :
“දේශිය වෙදකම දෙස් විදෙස් ජනතාව වෙනුවෙන් තවත් පියවරකින් ඉදිරියට යන මෙවැනි අවස්ථාවකට එක්වන්නේ ඉතාම සතුටින්. ඔබ දන්නවා අපට රජකමටත් වෙදකමටත් හපන් පෑ රජවරු සිටි අභිමානවත් ඉතිහාසයක් තියෙනවා.
අපේ මුතුන් මිත්තන් රැකගත්ත, අපේ දේශීය ප්‍රතිකාර ක්‍රම ඒ ආකාරයෙන් නූතන පරපුරට රැකදීම වගේම එය ජාත්‍යන්තරයට හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවක් විධියටයි අපි විශ්වාස කරන්නෙ. ඒ සඳහා සුමිත් රාජපුරල වගේ දේශීය වෙදකමත් ආයුර්වේදයත් ප්‍රගුණකරපු අපේ රටේ දේශිය වෛද්‍යවරු ගන්නා මෙවැනි ඉදිරි ක්‍රියාමාර්ග රජයක් විධියට අපි හැමවිටම අගය කරනවා.
අපි දන්නවා එක පැත්තකින් දේශීය වෙදකම කියන්නෙ අපේ රටේ සංස්කෘතියේම කොටසක්. එදා බටහිර වෛද්‍ය ක්‍රම ජනප්‍රිය නැති කාලෙ ජනතාව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේ දේශීය වෙදකමෙන්. දොස්තර මහත්තයා ගමට එන්න කලින් එදා ගම්වල වෙද මහත්තයෙක් හිටියා. ඕන ලෙඩකට දුකකට එදා පිහිටට හිටියෙ ගමේ වෙද මහත්තයා. අදත් සමහර ගම්වල ඒ වෙද පරම්පරාවේ ඉදිරියට ආපු වෙදමහත්වරු ඉන්නවා. ඒ වගේම එතැනින් තවත් ඉදිරියට ගියපු ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා. දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පවා හඳුන්වලා දෙන්න අපි කටයුතු කළේ මෙහි තියෙන වැදගත්කම කල් තියා දැනගෙන. අපි දන්න විධියට ඒ අමාත්‍යංශය දේශීය සහ ආයුර්වේද වෙදකමට ලියාපදිංචි වුණ වෛද්‍යවරුන් විසි දහසක (20,000) පමණ තොරතුරු දැන් අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා.
දේශීය හා ආයුර්වේද වෙදකම මේ කාලේ ලොව පුරා ජනප්‍රිය වෙමින් යනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් දැන්ම තියලා ඊට සූදානම් වෙන්න ඕනේ. අපි දන්නවා, පාකින්සන්, ආඝාත වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහිකරන්නත් දැනට සැලසුම් කරලා අවසන්.
අද මේ විවෘත කරන රාජපුර රෝහලත් දේශීය වෙදකම වගේම ආයුර්වේදය මුල්කරගෙන ප්‍රතිකාර දෙන බව අපට දැනගන්න ලැබුණා. මේ රෝහලෙනුත් බෝනොවන රෝග රැසකට ප්‍රතිකාර දෙනන් පුළුවන් කියලයි ඒ අය කියන්නෙ. ඒ නිසා ඉදිරියේ දී දේශීය ප්‍රතිකාර ක්‍රම සොයාගෙන එන විදේශිකයන්ටත් මෙවැනි රෝහලකින් ප්‍රතිකාර ගැනීමේ පහසුව උදාවෙනවා ෴
******************************************
(04.09.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)
තම ආත්මගරුත්වය ලොවක් ඉදිරියේ අභියෝගයට ලක්වද්දි කඳුළු මැදින් ඒ වෙනුවෙන් පෙනී සිටින්නට තරුණ යුවළකට සිදුව තිබෙනවා. ඒ ලොව සුපතල පහන්තුඩාව සුන්දර දිය ඇල්ලට ද කළු පැල්ලමක් එක්කළ අසභ්‍ය වීඩියෝ දර්ශන සිද්ධිය කරළියට පැමිණීමත් සමඟයි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ශනය දිනාගත් බංලගොඩ පහන්තුඩාව දිය ඇල්ල නැරඹීමට පරිසර ලෝලීන් වන කුෂාන් සහ ගයත්‍රි යුවල එක්වන්නේ තවත් පිරිසක් සමඟයි.
ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි. පැය ගණනාවක් දිය ඇල්ලේ අසිරිය විඳගත් මෙම යුවල සිය සංචාරයේ මතකය ජායාරූපයට ගැනීමට ද අමතක කළේ නැහැ.
මෙම සංචාරයට මාස 9 කට පමණ පසු පහන්තුඩාව දිය ඇල්ල ආශ්රිත පරිසරය සමාජ මාධ්‍ය හරහා දැඩි කැලඹීමකට පත්වනවා.
ඒ වෙනත් යුවලක් නිරෝධායන ඇඳිරිනීතිය පවතින සමයේ දිය ඇල්ල සමීපයට ගොස් අසභ්‍ය වීඩියෝ දර්ශණ පෙලක් රූගත කර අන්තර්ජාලයට එක්කිරීම හරහායි.
තවත් පිරිසක් එම දර්ශණවලට ගයත්රිගේ ජායරූපද එක්කරමින් අසභ්‍ය දර්ශනවලට පෙනී සිටියේ මෙම යුවල බවට හුවා දක්වා තිබුණා.
මේ අතර අසභ්‍ය දර්ශණවලට පෙනී සිටි යුවල පෙරේදා පොලිසිය අත්අඩංගුවට ගැණුනු අතර පසුව පොලිස් ඇප මත මුදාහැරුණා.
කෙසේ වෙතත් කුෂාන් සහ ගයත්‍රි යුවල අගතියකට පත්වීම සම්බන්ධයෙන් වහා සොයා බලා විමර්ශණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කියා සිටියේ.
******************************************
(04.09.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)
තවත් මාස 4 කට පමණ සීනි තොග පවතින බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස් ඇතුලු කුඩා වැවිලි බෝග සංවර්ධනය ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
ඇඹිලිපිටියේදී අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
සීනි සඳහා රජය විසින් උපරිම සිල්ලර මිලක් පැනවූවත් අලෙවි කිරීම සඳහා වෙළඳපොලේ සීනි තොග නොමැති බවට තොග වෙළඳසැල් හිමියන් චෝදනා කරනවා.
සීනි ආනයනකරුවන් විසින් සීමාසහිතව සීනි තොග ලබාදීම හේතුවෙන් අලෙවි කිරීමේදී ගැටළු මතුවන බවටයි ඔවුන් ප්‍රකාශ කළේ. එමෙන්ම සහල් තොග ද ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවට ඔවුන් ප්‍රකාශ කළා.
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴