සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල ගනන් නියම කළ ගැසට් නිවේදන නිකුත් වෙයි

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල ගනන් නියම කළ ගැසට් නිවේදන නිකුත් වෙයි

*********************************************

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල ගනන් නියම කළ ගැසට් නිවේදන නිකුත් වෙයි

(02.09.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පැකට් කළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් වනවා. පැකට් නොකළ සුදු සීනි කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 122 කටයි.

පැකට් කළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 128 කට අලෙවි කළ යුතු අතර පැකට් නොකළ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට අලෙවි කළ යුතුයි.

මේ අතර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 125 ක්.

සුදු හෝ රතු සම්බා කිලෝවක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 103 ක මිලකටයි.

වාෂ්පයෙන් තැම්බූ සුදු හෝ රතු නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් වනවා.

සුදු හෝ රතු කැකුලු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 95 කටයි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් සීනි තොග සතොස සතුව නොමැති බවයි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කළේ අද සිට හිඟයකින් තොර ව සීනි මිල දී ගැනීමට ජනතාවට අවස්ථාව පවතින බවයි.

ඒ අනුව එක් පරිභෝගිකයෙකුට සීනි කිලෝ 3ක් මිල දී ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු සදහන් කළා.

එමෙන්ම, නීති විරෝධී ලෙස සඟවා ඇති සීනි සහ වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තවදුරටත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරනවා.

කුරුණෑගල – මල්ලවපිටිය – උයන්දන ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබිය දී කිලෝග්‍රෑම් එක්ලක්ෂ 67,000 ක් පමණ සීනි තොගයක් ඊයේ සොයා ගනු ලැබුවේ එම වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

එමෙන්ම, ඊයේ අම්පාර – අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සඟවා තිබූ වී තොග සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මෙහෙයුමක් දියත් කළා.

එහි දී වී කිලෝග්‍රෑම් හයලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා ෴

******************************************

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවට – හෝඩුවා ලැබුණු ආකාරය මෙන්න

(03.09.2021 – 07:54 +0530 – lankaleadnews.com)

බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී අත්අඩංගුව ගෙන ඇති අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දී ය.

මොවුන් දෙදෙනා (2) මුදල් ඉපයීම සඳහා කලක් තිස්සේම අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබිණි.

ඔවුනගේ අරමුණ වී තිබෙන්නේ ඇමරිකානු අසභ්‍ය වීඩියෝ වෙබ් අඩවි කිහිපයක් සඳහා අදාළ වීඩියෝ ක්ලිප් නිෂ්පාදනය කර උඩුගත කිරීමය.

මෙවැනි උඩුගත කිරීම්වලට එකී වෙබ් අඩවි ඔවුනට මුදල් ගෙවන අතර එලෙස ගෙවන්නේ වීඩියෝවට ලැබෙන නැරඹුම් වාර ගණන අනුවය.

ඒ නිසා මෙම විඩියෝ ක්ලිප් ගැන ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළද යම් ඇවිස්සීමක් ඇති කිරීමට ඔවුන් උනන්දු වී ඇති අතර එලෙස ප්‍රසිද්ධ කිරීම මගින් වැඩි නැරඹුම් ලබාගැනීම අරමුණවී ඇතැයි සඳහන්ය.

මේ ආකාරයේ වීඩියෝ ගණනාවක්ම මෙකී යුවළ විසින් මින් ඉහතත් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර එකක් මීමුරේ පදනම් කරගෙන රූගත කර තිබුණි.

නමුත් වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ පහන්තුඩාව වීඩියෝවටය.

මේවාට ප්‍රවර්ධන වීඩියෝ කොටස් උඩුගත (upload) කිරීමට යොදාගෙන ඇත්තේ මෙකී කාන්තාවට අයත් ගිණුමකින් වන අතර ඇය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු සොයාගන්නට එම සම්බන්ධය ද උපකාරයක්වී ඇත ෴

******************************************

(03.09.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඓතිහාසික දළදා මාළිගා සංකීර්ණය තුළ පිහිටි ඉපැරණි රජමාළිගය සහ පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය සඳහා ඇමරිකාව රුපියල් මිලියන 52 ක ප්‍රදානයක් සිදුකර තිබෙනවා.

සංස්කෘතික සංරක්ෂණය සදහා වන එක්සත් ජනපද තානාපති අරමුදල හරහා මෙම ප්‍රදානය සිදුකර ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුමයක ඇති වැදගත් ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, අනාගත පරම්පරාවට අධ්‍යයනය කිරීමට හැකිවීම හේතුවෙන්.

මීට පෙර මෙම අරමුදල රජගල බෞද්ධ සෙනසුන සංරක්ෂණය, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය, මඩකලපුව ලන්දේසි කොටුව සංරක්ෂණය ඇතුළු ව්‍යාපෘති 14 ක් සදහා අරමුදල් සපයා තිබෙනවා.

මේ අතර, සංස්කෘතික අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු මහා විහාර වෙත ගොස් ඊයේ (02) සංදේශයක් භාර දෙනු ලැබුවා ෴

******************************************

(03.09.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා රුපියල් බිලියන 26.62 ක මුදලක් වැය වනු ඇතැ යි ඇස්තමේන්තු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊයේ (02) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ මහතා සඳහන් කළේ, රසායනික පොහොර ආනයනය කිරීමට ඇස්තමේන්තු කර තිබූ රුපියල් බිලියන 22 කට වඩා මෙය (26.62) වැඩි මුදලක් වන නමුත් කාබනික පොහොර ආනයන ක්‍රියාවලියේ දී මෙරට ගොවීන්ට රුපියල් බිලියන 13 ක් පමණ ලැබෙන බවයි. (?)

ආනයනය කෙරෙන කාබනික පොහොර ගොවීන්ට ලබාදෙන්නේ රසායනාගාර සහ ජෛව විද්‍යාත්මක පර්යේෂණයන්ට භාජනය කිරීමෙන් අනතුරු ව බව ද ඔහු කියා සිටියා.

එසේම ආනයනික සහ මෙරට නිෂ්පාදනය කරන සියලු කාබනික පොහොර සඳහා කිව්.ආර්. කේතයක් නිකුත් කෙරෙන අතර ඒ හරහා ඕනෑම අයෙකුට ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි බවයි අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ මහතා සඳහන් කළේ ෴

******************************************

(03.09.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

තම අස්වැන්න නෙලීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් ආනයනික ලොකුලූණු කිලෝවක් සඳහා දැනට පනවා ඇති ශත 25 ක බද්ද ඉහළ දමන ලෙස දේශීය ලූණු ගොවීන් ඉල්ලීමක් කරනවා.

සිය අස්වැන්න සඳහා රුපියල් 70 ත්, 80 ත් අතර මිලක් පැවතිය ද වෙළෙන්දන් එම මිලට තම නිෂ්පාදන මිල දී නො ගෙන ඊට වඩා අඩු මිලකට වෙළදපොළේ ඇති පාකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලොකුලූණු අලෙවි කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල, පොළොන්නරුව, හබරණ, මැදිරිගිරිය, ගල්කිරියාගම ආදී ප්‍රදේශවල මෙවර විශාල වශයෙන් ලොකුලූණු වගා කර ඇති අතර අස්වැන්න නෙලීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්ත වෙන්නේ ෴

******************************************

(03.09.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව ස්ථාවර සංඛ්‍යාවක් දක්වා අඩු කළ යුතු බවට මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එසේම, අදාළ කමිටුව පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් තවත් යෝජනා රැසක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

ඡන්ද ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති අතර, එහි සඳහන් නිර්දේශ ගණන 12 ක්.

කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතනයක නියෝජනයක් ලබා ගැනීමට නම් එම කණ්ඩායම අදාළ බල ප්‍රදේශයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 25 ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු බව ද අදාළ නිර්දේශවල දැක්වෙනවා.

කාන්තා නියෝජනය දිරිමත් කිරීම සම්බන්ධයෙන් ද යෝජනා එහි ඇතුළත් ෴

******************************************

(03.09.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා සෑ ම ප්‍රයත්නයක් සඳහා ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය ලබාදෙන බව, එහි මෙරට නේවාසික සම්බන්ධීකාරක ‘හැනා සිංගර්’ පවසනවා.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (02) විදේශ අමාත්‍යාංශයේ හමු වූ අවස්ථාවේ ඇය මේ බව සදහන් කළා.

මෙහි දී විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබද දේශීය යාන්ත්‍රණයක් තුළින් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද පැහැදිලි කර තිබෙනවා.

කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ ප්‍රයත්නය සහ ඒ සම්බන්ධයෙන් මුහුණ දී ඇති අභියෝග පිළිබදව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරිය දැනුවත් කරනු ලැබුවා ෴

******************************************

(03.09.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන රජයට පවරා ගත් වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසර තුනක් (3) තිස්සේ වසා දමා තිබිම නිසා රෝහල අවට වතු 06 ක රෝගින් දැඩි අසිරුතාවට පත් ව තිබෙනවා.

2009 වසරේ වතු රෝහලේ රජයට පවරා ගැනිමේ ව්‍යාපෘතිය යටතේ වෙස්ට්හොල් වතුරෝහල රජයට පවරාගෙන විශාල මුදලක් වැය කර එම රෝහල නවිකරණය කර 2018 වසර දක්වා පවත්වාගෙන පැමිණි බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

නේවාසිකව 30 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනිමට හැකි පහසුකම් ගණනාවකින් සමන්විත එම රෝහලේ, වසර 03 ක සිට කිසිදු වෛද්‍යවරයෙකු සේවයේ යෙදි නො සිටින බවත් නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙද නිලධාරිනියන් විසින් මාසකට එක් (1) වතාවක් එම රෝහලට පැමිණ සායන කටයුතුවලට සහභාගි වන රෝගින්ගේ වෛද්‍ය වාර්තා පරික්ෂා කර බලා ඖෂධ පමණක් ලබාදෙන බවත් එම රෝගින් පවසනවා.

රෝහල අවට පිහිටි ඇතටන් , රිලාගල , වෙස්ට්හොල් , බාර්කේපල් , බාරන්ඩා, බොහිල් ,කඩියන්ලෙන යන වතුවල පදිංචි රෝගී ජනතාව ප්‍රතිකාර ලබා ගැනිමට මෙම රෝහලට පැමිණි බවත්, එම රෝහලේ සිට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට කිලෝමිටර් 13 ක් යා යුතු බවත් ප්‍රදේශවාසින් සඳහන් කරනවා.

වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල වසා දැමිම නිසා එම රෝහල තුළ තිබෙන වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බව හා රෝහල අවට භුමිය ද දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවයි එම රෝහල අවට පදිංචිකරුවන් කියා සිටින්නේ.

නාවලපිටිය වෙස්ට්හොල් ප්‍රාදේශිය රෝහල අවට පදිංචිකරුවන් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වය මත එම රෝහලට වෛද්‍යවරයෙකු සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර රෝහල යළිත් විවෘත කරන ලෙසට යි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(03.09.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ගිරිබාව පොලිස් වසමේ තිඹිරිපොකුණ ප්‍රදේශයේ දී ගිරිබාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් රෝගියෙකු සම්බන්ධ තොරතුරු සොයා බැලීමට ගිය අවස්ථාවක දී මුහුණු ආවරණ නො පැළඳ සිටි පුදගලයින් දෙදෙනෙකුට (2) අවවාද කිරීමට යාමෙනු යි මෙම පහර දීම සිදු වී තිබෙන්නේ.

යතුරු පැදියක පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා (2) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බව වාර්තා වෙනවා.

වයස අවුරුදු 24 හා 42 වයස්වල පසුවන අදාළ සැකකරුවන් දෙදෙනා (2) තිඹිරිපොකුණ හා අශෝකපුර ප්‍රදේශවල පදිංචිකරුවන්.

පහර දුන් පුද්ගලයින් දෙදෙනා (2) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර, ගිරිබාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති ෴

++++++++++++++++++

(03.09.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 62 ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,908 ක්.

මේ අතර ඊයේ (02) දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13 ක දී පුද්ගලයින් 1796 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහි දී පරීක්ෂාවට ලක් වූ වාහන සංඛ්‍යාව 994 ක් ෴

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරක් (4) මෙරටට ලැබීමට නියමිත බව, චීන තානාපති කාර්‍යාලය දැනුම් දෙනවා. ඒ අනුව, එක් (1) දිනක් තුළ ලැබුණු වැඩි ම සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන එය වනු ඇති ෴

පොලිස් නිලධාරීන් 11,700 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නිවේදනය කළා. එමෙන්ම, පොලිස් නිලධාරීන් 28 දෙනෙකු කොරෝනා ආසාදිත ව ජීවිතක්ෂයට පත් ව ඇති බව යි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

++++++++++++++++++++

(03.09.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

දුරකතනයක් නොමැති වීම නිසා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නො හැකිව අසරණ ව සිටින දැරියක් පිළිබද ව අප පසුගිය දා හිරු ප්‍රවෘත්ති තුළින් කරුණු අනාවරණය කළා.

එම පුවත විකාශය කිරීමෙන් අනතුරු ව බඳගිරිය 52 වන ධීවර ගම්මානයේ පදිංචි 13 හැවිරිදි ‘මල්මි අංජලී’ නැමැති මෙම සිසුවියට පරිත්‍යාගීලී කාන්තාවක් විසින් නවීන ස්මාට් ජංගම දුරකතනයක් පිරිනමා තිබෙනවා.

පියා මිය ගොස් මවගේ රැකවරණය ද අහිමි ව සිය මිත්තණිය සමඟ දිවි ගෙවන මෙම දැරිය ඉල්ලා සිටියේ ඔන්ලයින් අධ්‍යාපනය සිදුකරගෙන යාමට තමන්ට ජංගම දුරකතනයක් ලබාදෙන ලෙසයි.

පසුගිය 27 වනදා උදෑසන හිරු ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මෙම පුවත විකාශය කිරීමෙන් අනතුරු ව ඇයට මෙම නවීන ස්මාට් ජංගම දුරකතනය පිරිනමා තිබුණේ පෞද්ගලික බැංකුවක සේවයේ නියුතු අම්පාරේ පදිංචි ශාලිකා මද්දුආරච්චි මහත්මිය යි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *