සීනි මංකොල්ලය සිදු වූ හැටි සහ ඊට වගකිවයුතු ප්‍රධාන සමාගම් මෙන්න – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

සීනි මංකොල්ලය සිදු වූ හැටි සහ ඊට වගකිවයුතු ප්‍රධාන සමාගම් මෙන්න – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

*********************************************

සීනි මංකොල්ලය සිදු වූ හැටි සහ ඊට වගකිවයුතු ප්‍රධාන සමාගම් මෙන්න – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

(02.09.2021 – 11:29 +0530 – lankaleadnews.com)

  1. 2020 ඔක්තෝබර් මාසයේදී (2020/10/14) ඒ වන විට සීනි වලට පනවා තිබූ රුපියල් 50 ක ආනයන බද්ද සත 25 දක්වා එනම් රු. 49.75 කින් අඩු කරනු ලැබීය.
  2. බදු සහනය ලබා දෙන විට වරායේ ගුදම් වල (බදු ගෙවීම්ට පෙර) සීනි මෙ.ටො 8000 ක් තිබූ අතර බදු සහන ලබා දී සති දෙකක් (2) ඇතුළත සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් පමණ වරායෙන් නිදහස් කරගනු ලැබීය. ඒ අනුව ආනයනකරුවන් තමාට බදු සහනයක් ලැබෙන බව දැන සිටි බව ඉතා පැහැදිලිය. (මහබැංකු බැඳුම්කර වංචාවෙන් නඩු නිමිත්ත ඇතිවන්නේ තොරතුරු ලබාදීම මගින් යම් පාර්ශ්වයකට වාසි සැලසීමය).
  3. ශ්‍රී ලංකාවට මහා පරිමාණ, මධ්‍යම සහ කුඩා වශයෙන් සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් 9 ක් ඇති අතර ඒ අතරින් ප්‍රමුඛතම සමාගමක් වන්නේ Pyramid Willmar සමාගම වන අතර එම සමාගම ‘වියත්මග සංවිධානයේ’ ප්‍රධාන අනුග්‍රාහකයෙකි‍.
  4. ඉහත බදු සහනය ලබා දීමෙන් පසුව මාස 8 ක් ඇතුළත රට තුළට ආනයනය කළ මුළු සීනි තොගය මෙට්‍රික් ටොන් 5,84,000 කි. එම ප්‍රමාණය රටේ වාර්ෂික අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 5,00,000 ඉක්මවා යන අතර පාරිභෝගික අධිකාරියට අනුව ඒ වන විට රටේ මෙ.ටො 84,000 ක සීනී තොගයක් තිබුණි.
  5. ඒ අනුව සීනි බදු සහනය මගින් එම සමාගම් වලට ලැබුණු අතිරික්ත ලාභය රුපියල් මිලියන 29,000 කි. (එනම් භාණ්ඩාගාරයට හෙවත් පොදු මහජනයාට අහිමි වූ මුදල)
  6. එසේ බදු සහන ලබා දෙන අවස්ථාවේ දී එනම් 2020 ඔක්තෝබර් මාසයේදී ලෝක වෙළෙඳ පොළේ සීනි මිල පැවතියේ කිලෝග්‍රෑම් එකකට ඩොලර් ශත 30 ක මට්ටමක ය. අද (02.09.2021) වනවිට එය ඩොලර් ශත 40 දක්වා ඉහළ ගොස් ඇත.
  7. එදා බදු සහන දෙන අවස්ථාවේ දී ඉන්දියාවේ සීනි අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5 කින් ඉහළ ගොස් තිබූ අතර ඉන්දියාවේ සීනි අපනයනයකරුවන්ට සහ අන් රටවලින් ඉන්දියාවේ සීනි ආනයනකරුවන්ට ඉන්දියාව විවිධ දිරිගැන්වීම් ලබා දුනි. ඒ නිසා බදු සහන මගින් අප රටේ ආනයනකරුවන් දිරිගැන්වීමේ අවශ්‍යතාවයක් නොතිබුණි.
  8. බදු සහන ලබා දීමෙන් පසුව රුපියල් 135 – 145 අතර පැවති සිල්ලර මිල රුපියල් 105 දක්වා අඩු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු විය. රු. 49.75 ක සහන ලබා දී රුපියල් 30 – 40 අතර මිල අඩු වීමක් බලාපොරොත්තු වීම නිසා එම මිල අඩු කළ ද ආනයන කරුවන්ට කිලෝග්‍රෑම් එකකට රුපියල් 10 ක පමණ අයුතු ලාභයක් ලැබේ.
  9. ඉන්පසුව එම සමාගම් මිල අඩු නොකළ නිසා ස.තො.ස. විසින් එම සමාගම් වලින් වැඩි මිලට සීනි මිල දී ගෙන අඩු මිලට සීනි විකිණීම නිසා සතොසට රුපියල් මිලියන 3000 ක පමණ පාඩු සිදු වූ බව වාර්තා විය. (සීනි බදු සහනය සඳහා රජයට යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ ‘වියත්මග සංවිධානයේ’ ප්‍රබල ආධාරකරුවෙකු වූ සතොස සභාපති නුෂාඩ් පෙරේරා විසින් බවට චෝදනා එල්ල විය. පසුව ඔහු එම තනතුරෙන් ඉවත් කොට ඔහුට ඊට වඩා සමාගම් වලට උදව් කළ හැකි තනතුරක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිකම ලබාදුනි).
  10. අවසානයේදී මෙම සීනි ආනයනයකරුවන් විසින් රුපියල් 105 දක්වා මිල අඩු කිරීම වෙනුවට මිල රුපියල් 205 – 210 දක්වා වැඩි කරනු ලැබූ අතර ලියාපදිංචි නොකල ගබඩාවල පවා සීනි සඟවා තබා ගනු ලැබීය. එසේ නීතිවිරෝධීව ගබඩා කළ සීනි මෙට්‍රික් ටොන් 29,000 ක් පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා ඇත. දැන් එම සීනි තොගය ස.තො.ස. හරහා බෙදා හැරීමට සහ අයිතිකරුවන්ට වටිනාකම ගෙවීමට නව අත්‍යවශ්‍ය කොමසාරිස් තීරණයක් කර ඇත. (එසේ සීනි හොර රහසේ ගබඩාකළ සමාගම් අතර Pyramid Willmar සමාගම ද සිටියි.)
  11. නීති විරෝධීව ගබඩා කර අත්අඩංගුවට ගත් ප්‍රමාණය රටට ආනයනය කළ සීනි ප්‍රමාණයෙන් 5% කි. එසේනම් දැන් කළ යුත්තේ හදිසි නීතිය පනවා හොර සීනි අත්අඩංගුවට ගැනීමට වඩා නිත්‍යානුකූලව ගබඩා කර ඇති සීනි පාලන මිලට විකුණන ලෙස දැන්වීමය.
  12. එම නියෝග නොතකා ආනයනකරුවන් හෙවත් තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන් කටයුතු නොකරන්නේ නම් නව නීති හෝ හදිසි නීති රෙගුලාසි වෙනුවට පවතින නීතිමය තත්වය යටතේ ක්‍රියාමාර්ග රාශියක් ගත හැක. ඒවා නම්,
  • I. සාමාන්‍ය අවස්ථාවක පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන අවස්ථාවල සිදු කරන ආකාරයට අධිකරණයට ඉදිරිපත් කිරීම.
  • II. ආනයනකරුවන් හෙවත් තොග වෙළදුන් අසාදු ලේඛන ගත කිරීම සහ ඔවුන්ට අවමන් කිරීම
  • III. ආනයන අපනයන පාලන පනත යටතේ ආනයන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදී අසාදු ලේඛනගත කළ අයව බලපත්‍ර නොගත් බව (?) ප්‍රකාශ කිරීම මගින් ඔවුන්ට මානසික බලපෑමක් ඇති කිරීම
  1. ශ්‍රී ලංකාවට සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් :
    Pyramid Willmar, Global Trading, Wilson Trading, R.G. Brothers, S.V.J. Traders, Amro Sugars, Lanka Sugars, Anbu Brothers සහ Nestle Lanka.

ඇමුණුම : [ අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රය ]

******************************************

(02.09.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

රජය ලබාදී ඇති විසදුම්වලට යම් ප්‍රමාණයකට හෝ නම්‍යශීලි වෙමින් දරුවන් පිළිබද සලකා මෙම වර්ජනය තාවකාලිව අත්හිටුවන ලෙස මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියා සිටියේ වර්ජනය අත්හිටුවීමට නම් වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය හිමි වූ නිර්දේශ චක්‍රලේඛයක් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර අදට (02) දින 53 ක් ගත වනවා.

මෙම ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය අනු කමිටුව පසුගියදා සිය නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් නමුත් එම විසඳුම් වලට වෘත්තීය සමිති එකඟතාවය පළ කළේ නැහැ.

මෙවන් පසුබිමකයි ළමයින් ගැන සිතා ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කරන ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේ.

******************************************

(02.09.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී ටී.ඊ. සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇති බවට ශ්‍රී ලංකාවට දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා ෴

******************************************

(02.09.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියේ පිහිටා තිබෙන පුංචි සිතුල්පව්ව චෛත්‍යය ගර්භයට හානි කර එහි තිබූ නිධන් වස්තු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන් 7 දෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් අතර, ඉතිරි 5 දෙනා අද (02) අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ වෙළදසැලක සැගවී සිටියදීයි.

******************************************

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අවුරුදු 18 ත් 30 ත් අතර අයට කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිස්ත්‍රික් මට්ටමින් ඇරඹෙයි

(02.09.2021 – 17:44 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයස්වල පසුවන අයට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද (01) දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබාදීමේදී අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස් සඳහා යම් එන්නත් ප්‍රමාණයක් මේවන විට ලබාදී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඊට අමතරව ඇඟළුම් කර්මාන්තය ඇතුලු අත්‍යවශ්‍ය අංශවල එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් ද යම් ප්‍රමාණයක් එන්නත්කරණයට ලක්කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් සඳහා වන එන්නතරකරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙසට ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ඔක්තෝම්බර් මාසය අවසානයට පෙර අවුරුදු 20 ඉක්මවූ පුරවැසියන් සඳහා එන්නත්කරණය අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදී දිවයිනේ පළාත් 9 තුළම සිදුකිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොවිඩ් රෝගීන්ගේ රෝගී තත්වය අනුව රෝහල්ගත කිරීම සඳහා බස්නාහිර පළාතේ හඳුන්වාදුන් නව ක්‍රමවේදය අද (02) සිට දකුණු පළාතේද ක්‍රියාත්මකයි.

මෙම වැඩසටහනට අනුව රෝගීන් සම්බන්ධයෙන් තොරතුරු කෙටි පණිවුඩයක් මගින් එවිය යුතු වනවා.

ඒ අනුව ශ්වසන අපහසුතා සහ අනෙකුත් සංකූලතා ඇති රෝගීන් A ලෙසත්, උණ තත්වයෙන් පෙළෙන රෝගීන් B ලෙසත්, කිසිදු රෝග ලක්ෂණ නොමැති රෝගීන් C ලෙස වර්ගීකරණය කරමින් කෙටි පණිවුඩ අංක 1904 ට යොමුකළ යුතුයි.

එලෙස එස්.එම්.එස්. පණිවුඩ මගින් ලබාගන්නා තොරතුරු කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත යොමුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.

මේ අතර, කොරෝනා ආසාදිත වූ ගම්පහ – මාකවිට ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මවක් සිසේරියන් සැත්කමකින් තම තුන් (3) වන දරුවා බිහි කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ කොරෝනා ආසාදනය වී සුවය ලැබුවද ඇතැම් පුද්ගලයින් මාස කිහිපයක් ගතවනතුරු අධි අවදානම් තත්වයේ පසුවන බැවින් අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් පසුගිය මාසයේදී පමණක් කොරෝනා ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයින් 140 ක් හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඒ අතරට වෛද්‍යවරු 11 ක් සහ හෙද හෙදියන් 55 ක්ද ඇතුළත්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට පාලනය වී ඇති බවයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන්ගේ ප්‍රමාණයද පහත බැස ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, ඔක්තෝම්බර් මාසයේ මැද භාගය වනතුරුවත් නිරෝධායන රෙගුලාසි පවත්වාගනිමින් යම් යම් සීමා කිරීම් සිදුකළ යුතු බව අද පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියා.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1952 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,78,168 ක් ලෙසටයි ෴

++++++++++++++++++

(02.09.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 2773 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,46,903 ක් ලෙසටයි.

මේවන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 56,562 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 3,78,168 ක්.

මෙරටින් කොරෝනා වෛරසය ආසාදිත මරණ 9400 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++

(02.09.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ලබන 05 සහ 06 දිනවල දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනිං වෙළඳපොල තොග වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා ෴

+++++++++++++++++++

(02.09.2021 – 20:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ තවත් කොරෝනා වෛරස ආසාදිත මරණ 204 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (01) තහවුරු කළ මෙම මරණ 204 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9604 ක් ලෙසටයි.

මෙම මරණ අතර අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ 5 ක් වනවා. ඒ පිරිමි 3 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) වශයෙන්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි 30 දෙනෙකු සහ කාන්තාවන් 20 ක් මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 ට වැඩි පිරිමි 76 ක් සහ කාන්තාවන් 73 ක් ඊයේ (01) වාර්තා කළ මරණ 149 අතර වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 846 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (02) මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 3619 ක් ෴

+++++++++++++++++++

2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

(02.09.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම අයදුම්පත් කැඳවනු ලබන්නේ මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේයි.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021.07.05 දින සිට 2021.07.30 දින දක්වා කැඳවනු ලැබුව ද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමිනුයි අයදුම්පත් මාර්ගගතව කැඳවීමේ අවසාන දිනය 2021.09.15 දින දක්වා දීර්ඝ කර ඇත්තේ.

මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකු ම අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමවේදය මගින් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

ඒ අනුව, මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App) ‘DoE’ වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරිදි මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වනවා.

මෙම විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතුයි.

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු වනවා ෴

+ [ https://onlineexams.gov.lk/eic/ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *