සීනි හා සහල් සඳහා පාලන මිලක්

සීනි හා සහල් සඳහා පාලන මිලක්

*********************************************

සීනි හා සහල් සඳහා පාලන මිලක්

(02.09.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම සහ උද්ධමනය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පාලන මිලක් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සීනි හා සහල් සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි පාලන මිලක් පනවන බව යි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (01) පවසා සිටියේ.

මේ අනුව පැකට්වල අසුරන ලද සීනි කිලෝවක් අලෙවි කළ හැකි උපරිම මිල ලෙස රුපියල් 130 ක් නිර්දේශ වී තිබෙනවා.

එසේම පැකට් නො කර විකුණන සීනි කිලෝවක් අලෙවි කළ යුතු බවට නිර්දේශ වී ඇත්තේ රුපියල් 125 කට යි.

එමෙන්ම කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 136 කටත්, සුදු හා රතු සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 101 කටත් අලෙවි කළ යුතු බවට නිර්දේශ කර ඇති අතර සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක් අලෙවි කිරීමට නිර්දේශ කර ඇත්තේ ද රුපියල් 101 ක උපරිම මිලකට යි.

මෙම නව මිල පාලනය යටතේ රතු නාඩු කිලෝ ග්‍රෑම් එකක් (1) අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස නිර්දේශ කර ඇත්තේ රුපියල් 94 ක්.

එමෙන්ම මෙම නව නිර්දේශ යටතේ රතු කැකුළු කිලෝ ග්‍රෑම් එකක් (1) රුපියල් 91 ක මුදලකට අලෙවි කළ යුතු වනවා.

මෙම මිල ගණන් අනුමැතිය සඳහා මේ වන විට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට යොමුකර ඇතත් ඒ සඳහා වන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

ශ්‍රී ලංකා ඇපල් යන නමින් දෙස් විදෙස්හී ප්‍රසිද්ධියට පත් ව ඇති ‘රාගල පෙයාර්ස්’ අස්වනු නිසි මිලකට විකුණාගත නො හැකි වීම හේතුවෙන් ගවයන්ට ආහාර සඳහා ලබාදීමට පියවර ගෙන තිබෙනවා ෴

******************************************

(02.09.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස ප්‍රදේශයේ දී අද (02) සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු (2) මිය ගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ අයෙක්.

පොලීසිය සදහන් කළේ ත්‍රිරෝද රථය මිරිස්ස ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, ලොරි රථය ගාල්ල ප්‍රදේශයේ සිට ගමන් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිය ගිය පුද්ගලයන් අවුරුදු 47 සහ 45 වන වයස්වල පසුවන්නන් ෴

******************************************

(02.09.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ඉතා සාර්ථක ව ක්‍රියාත්මක වන බන්ධනාගර තුළ යහපත් ලෙස සිර දඬුවම් ලබන රැඳෙවියන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ, වත්මන් කොවිඩ් තත්ත්වය මත තාවකාලික ව නවතා දැමුණා.

බන්ධනාගරගත වන රැදෙවියන් යහපත් පුරවැසියන් බවට පත් කර නැවත සමාජගත කිරීමේ පුනරුත්ථාපන ක්‍රියාවලිය හරහා යි මෙය සිදු වුණේ.

අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තියට අනුව ඇමතිවරයාට පැවරී ඇති බලතල මත, මෙම සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය සිදු වනවා.

මෙලෙස නිදහස ලබන සිර කරුවන්ට, බලපත්‍රයක් ලබා දීමෙන් අනතුරුව යි නිදහස හිමි වන්නේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය මත තාවකාලික ව නවතා තිබූ මෙම වැඩපිළිවෙළ, නැවතත් සෞඛ්‍යාරකෂණ නීති – රීතිවලට අනුව ඉකුත් අගෝස්තු දෙවන දා (02) පැවැත්වුණා.

බලපත්‍ර මණ්ඩලය මඟින් නිර්දේශ කළ සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීම මෙදින සිදු වූ අතර, ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින්.

මෙම වැඩසටහනේ ඉදිරි පියවර ලෙස ලබන සැප්තැම්බර් 17 වන දා බන්ධනාගාර ආයතන 09 ක සිරකරුවන් 24 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා ෴

******************************************

(02.09.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ තරග ජයගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන ත්‍යාග මුදල් ප්‍රමාණය ඉහළ දමා ඇති බව, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ (එෆ් 46) රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි පහක (5,00,00,000) ත්‍යාග මුදලක් මූලික වශයෙන් පිරිනැමෙනු ඇති.

ඊට අමතර ව ඔහු විසින් පිහිටුවන ලද ලෝක වාර්තාවට තවත් අතිරේක මුදලක් එකතු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

ඒ අනුව, ආසන්න වශයෙන් දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි හයකට (6,00,00,000) වැඩි මුදලක් ලැබෙනු ඇති බවට යි තොරතුරු වාර්තා වන්නේ.

එමෙන් ම, මෙම ක්‍රීඩා උළෙලේ දී (එෆ් 64) කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනාගත් දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි 2 (2,00,00,000) ක් ද හිමි වනු ඇති.

මෙම මුදල් ප්‍රදානය කරනු ලබන්නේ ක්‍රීඩා අමත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබා දෙන මුදල් ත්‍යාග ප්‍රමාණයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍රන ලද යෝජනාවකට අනුව යි.

මේ යටතේ අදාළ පදක්කම් ලාභී ක්‍රීඩකයින් දෙපලගේ පුහුණුකරුට ද රුපියල් කෝටි දෙකකට (2,00,00,000) ආසන්න මුදලක් පිරිනැමීමට තීරණය වී ඇති බව යි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සඳහන් කළේ.

මෙම ත්‍යාග මුදල මෙම ක්‍රීඩකයින් මෙරටට පැමිණීමෙන් අනතුරු ව පැවැත්වීමට නියමිත රාජ්‍ය උපහාර උළෙලේ දී ලබාදෙන බවත් වාර්තා වනවා ෴

******************************************

(02.09.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සතියේදී දින දෙකක් (2) පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට අද (02) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව එළඹෙන 06 සහ 07 වන දා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය කර ඇති බවයි සභා නායක කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම 06 වනදා සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස, ප්‍රශ්නවලට පිළිතුරු දීමට කලින් වෙන්කර තිබුණත්, අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යාම පිණිස පනවා ඇති හදිසි නීති රෙගුලාසි, එදිනට විවාදයට ගැනීමට, අද (02) තීරණය කෙරුණ බවයි, සභානායක , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

07 වැනිදා පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගනු ඇති ෴

******************************************

(02.09.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – සමුද්‍ර මාවත ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ හිස නොමැති මළ සිරුරක් අද (02) හමු වී තිබෙනවා.

අවුරුදු 30 ත්, 40 ත් අතර වයසේ පසුවන අයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහි අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(02.09.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි කිලෝග්‍රෑම් 1,65,000 ක් පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා ෴

******************************************

(02.09.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සහ තවත් ජේලර්වරයෙකු මන්ත්‍රීවරයා රඳවා සිටින සිර මැදිරිය අසළට යන විට ඔහු එය පිටතට විසිකර ඇති බවයි.

කෙසේ වෙතත් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශය වෙත ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(02.09.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 4,74,116 කට ඊයේ (01) කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 58,181 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 4,00,949 දෙනෙකුට ලබා දී ඇති බව යි.

එමෙන්ම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 3584 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 348 දෙනෙකුට ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 131 දෙනෙකුට ලබා දී ඇති අතර, ඊයේ (01) එහි දෙවන (2) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 10,725 ක්.

එසේම, ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 18 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 180 කට ලබා දී තිබෙනවා.

එමෙන්ම අදත් දිවයින පුරා මධ්‍යස්ථාන 437කදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.

(02.09.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

එන්නත් මාත්‍රා දෙකම (2) ලබා ගත් පුද්ගලයින්ට මෙන්ම කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින්ට ද, යළි යළිත් කොරෝනා වෛරසය වැළදීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයන් ද අදාළ කාලසීමාව ඉක්ම වීමෙන් පසු එන්නත් ලබාගත යුතු බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට මධ්‍යස්ථාන 224 කට කොරෝනා රෝගීන් සඳහා ඇදන් 38,825 ක් සූදානමින් පවතින අතර ඉන් 31,788 ක්ම භාවිතයට ගෙන තිබෙනවා.

මීට අමතරව කොරෝනා දැඩි සත්කාර ඒකක ඇදන් ද 100 ක් භාවිතයට ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

වව්නියාව – නාච්චිකුලම – තෙලිඟු ගම්මානයේ ගම්වාසීන් 146 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් 26 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ එන්නත ලබා නොගත් පුද්ගලයන් තවදුරටත් සිටී නම් කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙසටයි.

මේ අතර, කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මතුව ඇති ගිලන් රථ තදබදය අවම කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ යොදා ගනිමින් රෝගීන් රෝහල් කරා ගෙන යාමේ විශේෂ වැඩපිළිවෙළක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ වුණා.

ඒ අනුව පළමු අදියර යටතේ කෑගල්ල – වරාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කොවිඩ්-19 රෝගින් වර්ගීකරණය කරමින්, අවශ්‍යතා අනුව රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙළ අද (02) සිට දකුණු පළාත තුළත් ක්‍රියාත්මක වනවා. වර්ගීකරණය සඳහා 1904 ට කෙටි පණිවිඩයක් යොමු කළ හැකියි ෴

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1952 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,78,168 ක් ලෙසටයි ෴

++++++++++++++++++

(02.09.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පොදු ප්‍රවාහන කටයුතු පවතින තත්ත්වය අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ රට විවෘත කිරීමට පෙර විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීම සඳහා සැළසුම් සකස් කළ යුතු බවයි.

නැතහොත් යළි රට වසා දැමීමට සිදුවිය හැකි බවයි කොළඹ අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++

(02.09.2021 – 15:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත වූ මවක් සිසේරියන් සැත්කමකින් තම තුන් වන (3) දරුවා බිහි කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

ගම්පහ – මාකවිට ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මවකුයි මෙලෙස ගම්පහ මහ රෝහලේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

අදාළ මව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රෝහලේ වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකොට දරුවා බිහි කර තිබෙනවා.

කෙසේ වෙතත්, බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ෴

++++++++++++++++++

(02.09.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් පත්‍රයද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

මීට අමතරව ඔක්සිමීටර, ස්වයංක්‍රීය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රණ මෙරටට ගෙන්වීමට අවසර ලබාදීමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසටත් ඒවායෙහි ප්‍රමිතිය පිලිබද සොයා බලන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වෙළදපළේ ඉහළ මිලකට අලෙවි වන ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර පිලිබදව අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති අංශය මගින් කරුණු අනාවරණ කළා ෴

++++++++++++++++++

එන්නත්කරණයට ආ ජනතාවට පොලිස් ලොක්කෙක් පහර දෙයි..

(02.09.2021 – 15:50 +0530 – lankacnews.com)

වැලිගම ප්‍රදේශයේ පැවැති එන්නත්කරන මධ්‍යස්ථානයකට පැමිණෙන ජනතාව හැසිරවීමට පොලිසියේ ඉහළ නිලධාරියෙකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වන්නේ මුදාහැර ඇත.

වැලිගම හිටපු නගරාධිපති වරයා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම පහරදීම සිදු කරන්නේ වැලිගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් බවය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *