හදිසි නීතිය අවශ්‍යය නැහැ! ‘වියත් මගේ’ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට කතා කළා නම් ප්‍රශ්නය ඉවරයි ! – ජාතික සංවිධාන එකමුතුව

හදිසි නීතිය අවශ්‍යය නැහැ! ‘වියත් මගේ’ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට කතා කළා නම් ප්‍රශ්නය ඉවරයි ! – ජාතික සංවිධාන එකමුතුව

*********************************************

හදිසි නීතිය අවශ්‍යය නැහැ! ‘වියත් මගේ’ තම ගජ මිතුරු ජාවාරම්කරුවන්ට කතා කළා නම් ප්‍රශ්නය ඉවරයි ! – ජාතික සංවිධාන එකමුතුව

(02.09.2021 – 04:30 +0530 – lankaleadnews.com)

සීනි මිල ප්‍රශ්නය මුල් කරගෙන හදිසි නීතිය යටතේ මිල පාලනය කිරීමට උත්සහා කිරීම සම්බන්ධව ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දක්වමින් :

“සීනි කිලෝ ග්‍රෑම් 1 කට රුපියල් 49.75 ක බදු සහනයක් ලබා දුන්නේ ‘වියත් මග සංවිධානය’ට මුදල් දුන් ප්‍රධාන පෙලේ සීනි ජාවාරම්කරුවෙකුගේ ඉල්ලීම නිසා බව සැඟවිය නොහැකියි. ඒ වන විට කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 135 ත් 145 ත් අතර තිබූ සීනි මිල රුපියල් 105 දක්වා අඩුකරණ ලෙස ඉල්ලා ආනයනයකරුවන්ට අදාල බදු අඩුවීමට වඩා වැඩි බදු සහනයක් ලබා දුන්නා. ඒ මගින් රජයට වසරකදී රුපියල් මිලියන 25,000 ක බදු ආදායමක් අහිමි කළා.

ඒත් ‘වියත් මග’ ජාවාරම්කරුවන් ඒ බදු මුදල සාක්කුවේ දමා ගෙන කිලෝ ග්‍රෑම් එකකට තවත් රුපියල් 100 ක ලාභයක් ලබා ගන්න සීනි මිල රුපියල් 205 ත් 210 ත් දක්වා වැඩි කළා. ඔවුන්ට දඬුවම් කරන්න තියෙන නීති මදි නම් තම ගජ මිතුරන්ට රටත් ආණ්ඩුවත් අමාරුවේ වැටෙන මෙවැනි දේවල් මේ දුෂ්කර මොහොතේ කරන්න එපා කියා ඉල්ලුවානම් ඉවරයි. එහෙම වූවා නම් හදිසි නීතිය දාන්න වෙන්නේ නැහැ.” යනුවෙන් පවසා සිටියේය ෴

******************************************

තලෙයිබානුන් නිසා ලංකාව අවධානමක – පාස්කුවේ මහමොළකරුවෙක් හොයන්න බෑ – පූජ්‍ය ඥානසාර හිමියන්ගේ සැර කතා (01.09.2021)

******************************************

(02.09.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගත වී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයේ ද මෙරට බරපතල ආහාර හිඟයක් ඇතැ යි ප්‍රචාර නිකුත් කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් ද මෙම ව්‍යාජ තොරතුරු නැවත ප්‍රචාරය කරමින් සිටිනවා.

ඇතැම් කූඨ වෙළඳුන් පසු ව වැඩි මිලට විකුණා අධික ලාභ උපයා ගැනීමේ අරමුණ ඇති ව වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තබන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රයත්නය පරාජය කිරීම සදහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනය කිරීමට අදාළ වගන්ති පසුගිය සදුදා බලාත්මක කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් ආහාර හිඟයක් ඇතිවේ යැ යි බිය නො වන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහි සඳහන් ෴

******************************************

(02.09.2021 – 09:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇමරිකානු ඩොලර් සංචිත වටිනාකම් ඇමරිකානු ඩොලර් මිලියන 937 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

මෙලෙස මෙරට විදෙස් මූල්‍ය සංචිත ශක්තිමත් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ගෝලීය එස්.ඩී.ආර්. ප්‍රතිපාදන එහි සාමාජික රටවල් වෙත මුදා හැරීමට ගත් තීරණයත් සමඟ යි.

මේ හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 787 සහ බංග්ලාදේශ මහ බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුම් යටතේ එකඟ වූ මුදලින් ලද ඇමරිකානු ඩොලර් මිලියන එකසිය 150 ක් මේ වනවිට මෙරට ආර්ථිකයට එකතු වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු ව දැනට පවතින කෝටාවලට සමානුපාතික ව එහි සාමාජික රටවල් අතර ඇමරිකානු ඩොලර් බිලියන 650 කට අධික මුදලක් ප්‍රතිපාදන ලෙස බෙදාදදීමට තීරණය කෙරුණා.

මේ හරහා ශ්‍රී ලංකාව හිමිකම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 800 ක්.

ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 787 මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු මෙම එස්.ඩී.ආර්. සංචිත මුදා හැරීමට තීරණය කරනු ලැබුවේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව දිළිඳු රටවල් බොහොමයක් අන්ත දිළිඳු භාවයට පත්වීමේ අවදානම හඳුනා ගැනීමත් සමඟ යි.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාදෙන ණයක් නො වන අතර, ඒ සඳහා කොන්දේසි කිසිවක් ඇතුළත් වන්නේ නැහැ.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය සාමාජික රටවල් සඳහා එස්.ඩී.ආර්. සංචිත නිකුත් කර තිබුණේ 2009, 1979-81 සහ 1970-72 වසරවල දී.

මීට අමතර ව බංග්ලාදේශ මහ බැංකුවේ විදේශ විනිමය හුවමාරු පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ලබා දීමට එකඟ වී ඇති අතර එය කොටස් තුනකින් (3), එනම් ඇමරිකානු ඩොලර් මිලියන 50, ඇමරිකානු ඩොලර් මිලියන 100 සහ ඇමරිකානු ඩොලර් මිලියන 50 වශයෙන් මෙරටට ලැබෙනු ඇත.

එහි පළමු (1) කොටස් දෙක (2) දැනටමත් ලැබී අවසන්.

මීට අමතර ව චීන සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 350 ණය මුදලක් ලබාගැනීමටත් ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා.

මේ අතර වීසා (visa) සහ මාස්ටර් කාර්ඩ් (master card) හරහා සිදු කෙරෙන විදෙස් මුදල් ගනුදෙනුවල දී මෙරට වානිජ බැංකු ඒ සඳහා අය කෙරෙන පොලී ප්‍රතිශතයන් ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහක් මතු වුණා.

ඒ දිනවල පැවති අමෙරිකානු ඩොලර් අගයට සාපේක්ෂ ව මෙම ප්‍රතිශතය 2.5% සිට 7% දක්වා ඉහළ දැමූ බවට යි පාරිභෝගිකයින් විසින් චෝදනා කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය වූයේ ඔවුන් කිසිදු අවස්ථාවක මෙරට වානිජ බැංකු වෙත එවන් පොලී අනුපාත ඉහළ දැමීමක් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු නො කළ බවයි.

මේ වන විට මෙරට ආර්ථිකය මුහුණ දී ඇති දැඩි අමෙරිකානු ඩොලර් සංචිත හිඟය හේතුවෙන් බොහෝ වාණිජ බැංකූ ඩොලර් කළමනාකරණය කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවටයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වූයේ.

මෙරට අමෙරිකානු ඩොලර් නිල සංචිත ප්‍රමාණය ජූලි මස අග වන විට දැක්වුනේ අමෙරිකානු ඩොලර් බිලියන 2.8 ක් ලෙසින්.

එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ අඩු ම අමෙරිකානු ඩොලර් සංචිත අගයක්.

ලොව වෙලා ගත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය හරහා වන ලැබීම් පහළ යාමත් මෙරට පවතින ලියාපදිංචි නො කළ නීති විරෝධී සමාගම් සහ ක්‍රමවේදයන් හරහා අමරිකානු ඩොලර් පිටරටට ගලා යාමත් මෙම ආර්ථික අර්බුදය තීව්‍ර කිරීමට හේතුවක් වුණා.

මෙලෙස මෙරට ලියාපදිංචි නො වූ සමාගම් හරහා වාර්ෂික ව ශ්‍රී ලංකාවෙන් පිටතට ඇදී යන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය දළ වශයෙන් මිලියන 600 ක් පමණ වන බවට යි ගනන් බලා ඇත්තේ ෴

******************************************

(02.09.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය විසි හතරක (24) කාලය තුළ විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් දිවයිනේ ස්ථාන කිහිපයක ම වැටලීම් සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර, මින්නේරිය පොලිස් වසමේ දී බලපත්‍ර නොමැති ව කැණීම් සිදු කළ පිරිසක් ද වනවා.

හබරණ රක්ෂිතයට ඇතුළු වී පුරා වස්තු සෙවීමේ අරමුණෙනු යි මෙම නීති විරෝධී කැණීම සිදු කර තිබෙන්නේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු (7) සමඟ කැනීම් සඳහා භාවිත කළ උපකරණ ද විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, විශේෂ කාර්‍ය බලකා දඹුල්ල කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් ලියාපදිංචි නො කළ වී කිලෝ 1,50,000 ක ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් සිද්ධියක් ද වාර්තා වනවා ෴

******************************************

(02.09.2021 – 10:36 +0530 – hirunews.lk/sinhala)

බී.බී.සී. වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා බවට පත්වීම හෝ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වීම (bbc wildlife photographer of the year) ලොව සෑම වනජීවී ඡායාරූප ශිල්පියෙක්ගේ ම සිහිනයක්.

ඊයේ (01) වෙනතුරු මෙරට දහස් ගණනක් වූ වනජීවී ඡායාරූප ශිල්පීන් අතර එම සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නට සමත් ව සිටියේ මෙරට සිටින ප්‍රවීනතම වනජීවී ඡායාරූප ශිල්පියෙකු වන රුක්ෂාන් ජයවර්ධන පමණ යි.

ඔහු වර්ෂ 2002 දී මෙම අනභිභවනීය ගෞරවයට හිමිකම් කියනවා.

කෙසේ වෙතත් ඊයේ (01) නිකුත් කෙරුණු බී.බී.සී. වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 (bbc wildlife photographer of the year 2021) ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රතිඵල අනුව මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනකු (2) ඉදිරිපත් කළ ඡායාරූප මෙවර bbc wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක් වී තිබුණා.

මෙම අතිශය සුවිශේෂී ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී. සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනා යි.

මේ අතරෙන් ගඟන වික්‍රමසිංහ තවත් විශේෂ වන්නේ ඔහු තවමත් එකොළොස් (11) හැවිරිදි වියේ ළාබාල දරුවෙකු වීම නිසාවෙන්.

මෙරට සිටින ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා වන ගගන, ඡායාරූප ශිල්පයට අමතර ව සිය පියාගේ අඩි පාරේ යමින් මේ වන විටත් පෙරළි කරන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන ලක්ෂණ ප්‍රකට කර හමාර යි.

මාල ගිරා මවක් ගස් බෙනයක සිටින සිය පැටවුන්ට ආහාර කවන අයුරු සිය කැමරාවට ග්‍රහණය කරගත් ගගන එය බී.බී.සී. වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණේ ‘Lockdown chicks’ නමින්.

සැඩපහරක අසීරුවෙන් පිහිනා යන චීටාවුන් කණ්ඩායමක් බුද්ධිලිනි ඩී සොයිසා මහත්මිය ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපයට අන්තර්ගත වී තිබුණා.

පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනී මහත්මිය මෙම දුර්ලභ දසුන ඇයගේ කැමරාවට හසු කර ගෙන ඇත්තේ කෙන්නයාවේ මසායි මාරා ජාතික වනෝද්‍යානය තුළදී යි.

ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරූප 55,000 ක් පමණ අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ තිබීමම රටක් හැටියට අප ලැබු සුවිශේෂී ම ජයග්‍රහණයක් ෴

******************************************

(02.09.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

වැදගත් කරුණු සගවමින් වැරදි මත සමාජගත කරවීමට ඇතැම් දේශපාලඥයින් සහ මාධ්‍යය කටයුතු කරන බවට ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සමස්ථ වැටුප් සම්බන්ධ වැදගත් කරුණු සගවමින් වැරදි මත සමාජගත කරවීමට ඇතැම් දේශපාලඥයින් සහ මාධ්‍යය කටයුතු කරන බවට ලංකා ගුරුසේවා සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද (02) පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(02.09.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සෑම රෝහලකම කොරෝනා රෝගීන් සදහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සදහා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (31) අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් වන අතර මේ වන විට එම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තාවන්නේ. කොරෝනා වසංගතයට පෙර මෙරට ඔක්සිජන් අවශ්‍යතාව පැවතියේ ටොන් 20 ත් 25 ත් අතරයි.

වත්මන් තත්වය මත ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුටම හිඟයකින් තොරව ඔක්සිජන් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++

(02.09.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වතුකරයේ ජනතාවට කොරෝනා එන්නත් ලබාදීමට පියවර ලෙස ඉල්ලීමක් කළ බවයි.

කොරෝනා පාලනය සදහා මේ වන විට රජය හා සෞඛ්‍ය අංශ ගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර වෛද්‍ය සේවා සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.1 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (01) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන්නා ෴

++++++++++++++++

(02.09.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි.

එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (06) අලුයම 04 ටයි ෴

+++++++++++++++++++

(02.09.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් වෙත බෙදාදීම සඳහා තායිලන්තය විසින් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් කර තිබෙනවා.

ඔක්සිජන් සාන්ද්‍රක 30 ක්, වෙන්ටිලේටර් දෙකක් (2), ඔක්සිජන් ටැංකි 108 ක් සහ ඔක්සිමීටර 160 ක් ඇතුලු තවත් උපකරණ තොගයක් මෙලෙස ලබාදී ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශය, තායිලන්තයේ ශ්‍රී ලංකා සංගමය, තායි ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය, කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය එක්වයි මෙම වෛද්‍ය උපකරණ තොගය මෙරටට පරිත්‍යාග කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *