සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි

සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි

*********************************************

සාකච්ඡාවක් ඉල්ලූ රජයට – කාදිනල් හිමිගෙන් කොන්දේසි

(01.09.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට වතිකානු තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවී තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ ඊයේ (31) පැවති මෙම හමුවේදී පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළ විදේශ අමාත්‍යවරයා මෙම සිද්ධියට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳවද අවධාරණය කර තිබෙනවා.

මේ මාසයේ පැවැත්වෙන ජගත් මානව හිමිකම් සහ මහා මණ්ඩල සැසිවාරයන් ඉස්මතු කරමින් කතෝලික පල්ලියේ අව්‍යාජ චේතනාවන්ට පටහැනි ලෙස තම අවශ්‍යතා සඳහා මෙම තත්ත්වය උපයෝගි කර ගැනීමට ඇතැම් කණ්ඩායමක් උත්සහ දරණ බවයි ඔහු මෙහිදී කියා සිටියේ.

කතෝලික නියෝජිතයන් සමඟ රජය අදාල ගැටළු සාකච්ඡා කළ හැකි වන පරිදි රදගුරු සම්මන්ත්‍රණ කමිටුව සමඟ ඉක්මනින් රැස්වීමක් සංවිධාන කිරීමට වතිකානු තානාපති හිමිපාණන් මෙහිදී යෝජනා කර තිබෙනවා.

මෙම අවස්ථාව අගය කරන බව පැවසූ අමාත්‍යවරයා පල්ලිය සමග කෙරෙන සාකච්ඡාවේදී උපරිම තොරතුරු ලබාදීම සඳහා රජය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවලින් සියළු තොරතුරු රැස් කරන බවද ප්‍රකාශ කළා.

පසුගිය දා විදේශ අමාත්‍යවරයා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් යොමු කර තිබූ අතර ඊට උන්වහන්සේගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් අද (01) ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ සාකච්ඡාවක් ලබාදීමට කාදිනල් හිමියන් සූදානම් නමුත් ඊට පෙර ආණ්ඩුව කොන්දේසි කිහිපයක් ඉටු කළ යුතු බවයි.

******************************************

සිතුල්පව්ව විහාරස්ථානයේ ‘කුඩා ස්ථූපය’ට හානි කළ සෙසු සැකකරුවන් හදුනා ගනී

(01.09.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානයේ ‘කුඩා ස්ථූපය’ට හානි කර එහි තිබූ නිධන් වස්තු පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකකරුවන් ද හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ප්‍රකාශ කළා.

අදාළ ස්ථූපය අද (01) පස්වරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

යාල ජාතික වනෝද්‍යානයේ උසම ස්ථානයේ පිහිටා ඇති මෙම කුඩා ස්ථූපයේ නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව අද (01) උදෑසන එහි ආරක්ෂාවට යොදවා සිටින යුද හමුදා නිලධාරීන් දැක තිබෙනවා.

ඔවුන් අදාළ ස්ථානය නිරීක්ෂණය කරන විට ජලය සොයමින් සිටි පුද්ගලයෙකු දැක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පසුව කළ නිරීක්ෂණයකදී චෛත්‍ය වටා ඔතා තිබූ සුදු තිරයක් නිධන් හැරීමට රැගෙන ආ ආයුධ කිහිපයක් ද සොයා ගැනුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර චූදිතයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ තමා සංස්කෘතික අමාත්‍යවරයා සිටි සමයේ පුරාවිද්‍යා පනතට හා 2005 දඩ මුදල් පනතට සංශෝධන ලෙස පවතින නීති සහ දැඩි දඩුවම් පැමිණවීමට කැබිනට් අනුමැතිය ලබා ගත් බවයි.

එහෙත් ආණ්ඩු වෙනසින් පසු මේ පිළිබද විශ්ලේෂණය කිරීමට වත්මන් ආණ්ඩුව කමිටුවක් පත් කළ නමුත් එම කමිටුව මෙතෙක් සිය නිර්දේශ ඉදිරිපත් කර නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

කඩිනමින් කළ යුතු කටයුතු අතපසු කිරීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ අගතියක් මිස යහපතක් නොවන බව ඔහු අදාළ නිවේදනයේ වැඩිදුරත් දක්වා තිබෙනවා.

++++++++

******************************************

(01.09.2021 – 22:02 +0530 – hirunews.lk/sinhala)

රට තුල සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජනතාවගේ ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවයි එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

ඇතැම් දේශීය සහ විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිගයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙනවා.

ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් ද මෙම අසත්‍ය නැවත ප්‍රචාරය කරන බවටයි අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

ඇතැම් කූඨ වෙළඳුන් පසුව වැඩි මිලට අලෙවි කර අධික ලාභ උපයා ගැනීමේ අරමුණ සහිතව වී, සහල් සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරතවන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන්තේ එම උත්සාහය පරාජය කිරීම සඳහා මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කර තිබෙනවා.

සැඟවූ ආහාර ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන සාධාරණ මිලට බෙදා හැරීම සඳහා සතොස ඇතුලු රාජ්‍ය ආයතන වෙත භාරදීම එහි අරමුණයි.

කෘතිම ලෙසට ආහාර හිගයක් ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යර්ත කිරීමට එමගින් හැකි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එබැවින් ආහාර හිගයක් ඇති වේ යැයි බිය නොවන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

******************************************

(01.09.2021 – 23:17 +0530 – hirunews.lk/sinhala)

දස මසක් කුස තුළ හොවා ඇති දැඩි කර අපිරිමිත සෙනෙහසින් දරුවන් උස් මහත් කරන්න මවක දරන වෙහෙස අපමණයි.

නමුත් ඒ සෙනෙහසට නිගා කළ දරුවෙකු සිය මව මහ මග දමා ගිය පුවතක් අප ඊයේ (31) හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

නිට්ටඹුව පොදු වෙළෙඳ සංකීර්ණය අසළ දමාගොස් සිටි මේ වියපත් මව පිළිබඳ හිරු පුවත දුටු ඇයගේ ඥාති දියණියක් ඇයව යළි ඇයගේ නිවස වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

******************************************

රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන පැහැදිලි කිරීමක්

(01.09.2021 – 19:35 +0530 – sinhala.adaderana.lk)

රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පසුගිය දින කිහිපය පුරා සිදුකළ වැටලීම්වලින් සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900 ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් රජයේ භාරයට ගත් බවය.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍

සීනි කිලෝවකට අය කළ රුපියල් 50 ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25 ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878 කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000 ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000 ක් පමණ වේ.

ඒ අනුව සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් :

******************************************

මෙහෙවර නිමකර ගෙදර යන ඇත්රජු… (01.09.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

(01.09.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 944 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (01) දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 3828 ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 4,44,130 ක් හමුවී ඇති අතර ඉන් 57,785 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පවසනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ගණන 3,76,216 ක්.

මෙරටින් කොරෝනා මරණ 9185 ක් ද වාර්තා වී තිබෙනවා ෴

+++++++++++++++++

(01.09.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ලියාපදිංචි නොකළ තවත් ඔක්සිමීටර් තොගයක් ගාල්ල – වැකුණුගොඩ ප්‍රදේශයෙන් අද (01) සොයාගැනුණා.

ඒ, කොග්ගල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

එහිදී සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ ඔක්සිමීටර් 16 ක් හමුවී තිබෙනවා.

සෙල්ලම්බඩු ගෙන්වන මුවාවෙන් මේවා මෙරටට ගෙන්වා ඇති අතර සැකකරුගෙන් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබනවා.

පසුගිය දින කිහිපයේ ආහාර, ඖෂධ පරීක්ෂකවරුන් සිදුකළ වැටලීම්වලින් ලියාපදිංචි නොකළ, ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර 5,200 ක් පමණ අත්අඩංගුවට ගැනුණා.

එසේම ‘හිරු සී.අයි.ඒ.’ මගින්ද කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර අලෙවි කරන ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා තොරතුරු අනාවරණ කළා.

++++++++++++++++

(01.09.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 215 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (31) තහවුරු කළ මෙම මරණ අතරට පිරිමින් 115 ක් සහ කාන්තාවන් 100 ක් අයත්.

ඒ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ 2 ක් වනවා. ඒ එක් (1) කාන්තාවක් සහ පිරිමියෙක් (1) වශයෙන්.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 46 ක් සිදුව තිබෙනවා. ඒ අතර කාන්තාවන් 18 ක් සහ පිරිමි 28 ක් වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් 86 ක් සහ කාන්තාවන් 81 ක් ද මෙම මරණ 215 ට අයත්.

මේ අතර අද (01) දිනයේ මෙරටින් හමුවී ඇති ආසාදිතයන් ගණන 3828 ක්.

මේ දක්වා මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 4,44,130 ක් හමුවී ඇති අතර ඉන් 57,785 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති ගණන 3,76,216 ක් ෴

++++++++++++++++++++

(01.09.2021 – 21:11 +0530 – hirunews.lk/sinhala)

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

ඔහු පවසන්නේ පසුගිය ආණ්ඩුව සිදුකළ තුළ හදිසි ඖෂධ මිලදී ගැනීම් හේතුවෙන් රජයට අති විශාල මුදලක් අහිමි වී ඇති බවයි.

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇතැයි ඇතැම් පාර්ශ්වයන් නඟන චෝදනාවලටද ඔහු අද පිළිතුරු දුන්නා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *